Posted by: lrrp | September 11, 2011

මහා අශ්වාරෝහක ජාතකය

ප්‍රත්‍යුපකාරයෙහි ශ්‍රේෂ්ඨ බව බුදු දහමේ නිතර දැක්වෙන මිනිස් දහමකි. එය බුදු හිමියන් තම සම්බුදු දිවිය අරඹමින් ලොවට හෙළි කළ පළමු දහම ද වෙයි. බුදු වීමෙහිලා සෙවණ සැලසු ජය බෝ රුක් මුලෙහි සතියක් පුරා අනිමිස ලෝචන නම් වූ උත්තම පූජාවෙන් ලොවට පසක් කළේ උපකාරයෙහි ලා ජීවි අජීවි කවර තැනෙක වුව අමතක නොකිරීමේ වැදගත්කමයි. පළමු දහම් දෙසන්නට රජකු සිටුවරයකු නොසොයා සය වසක් ඇප උපස්ථාන කළ පස්වග තවුසන් ම සොයා දිග මගක බරණැස ඉසිපතනයට වැඩම කළේ ද කෘතෝපකාරයෙහි උත්තුංග බව පසක් කරනු පිණිසමය. මේ හැර ගැඹුරු අබිදම් දෙසුම පිණිස මව් දෙවඟන සොයා සුර ලොවට වැඩියේ ද, තමා ළඟට එනතුරා නොසිට දහම් දෙසුමට යශෝධරාවගේ කුටියට ම වැඩම කළේ ද මේ උතුම් මිනිස් දහමෙහි අරුමය පෙන්වනු පිණිස ය.

මෙසේ බුදු දිවියෙහි ප්‍රකට කළ ප්‍රත්‍යුපකාරය පෙර බෝසත් බව්හිදී අනන්ත වාරයක් ප්‍රත්‍යක්ෂ කෙරිණි. ගුණ ජාතකයේ දී සිංහයකුව තම දිවිය රැකි කැනහිලකු ලෙන අසලම පදිංචි කරවා ඇප උපස්ථාන කළ අනගි කථා පුවතක් අප ජාතක පොතෙහි එයි. එවන් කථා රාශියක් අපට ජාතක කථා අතරින් සොයා ගත හැකිය. අද අපගේ විවරණයට ලක් කෙරෙන මහා අශ්වාරෝහක ජාතකය ද ඒ අතර එන ප්‍රත්‍යුපකාර නම් උතුම් මිනිස් දහමේ අගය කියාපාන කථා වස්තුවකි.

පෙර නුවණැත්තෝ තමාට කළ උපකාරයට ප්‍රත්‍යුපකාර කළාහු යැයි පෙන්වන්නට අනඳ තෙරුන් අරබයා මෙම කථාව දේශනා වී තිබෙයි.

බෝසතාණන් වහන්සේ බරණැස රජකුව ඉපිද දැහැමෙන් රාජ්‍යය කරනා සමයෙහි ප්‍රත්‍යන්ත ජනපදයක ආරාවුලක් ඇති විය. එය සංසිඳවීමට බල සෙනඟ පිරිවරා ගිය රජ්ජුරුවෝ කැරලිකරුවන්ට පරාජය වූහ. දිවි බේරා ගන්නට සිතූ රජතුමා අසුපිටට නැඟ යුද්ධයට සැරසුණු ඇමතියන් සිටි ගමකට ඇතුළු විය. බියපත් ඇමතියන් තම තමන්ගේ නිවෙස්වලට දිව යද්දි එක් ඇමැතියෙක් මෙම රජු රාජ පුරුෂයෙකැයි දැන හැඳින තම නිවසට රැගෙන ගොස් තම බිරියට ද හඳුන්වා දී අසුන් පනවා අහර ආදිය සකසා දී කවා පොවා සාත්තු සප්පායම් කළේය. රජුගේ අශ්වයාට ද අවශ්‍ය ආහාරපාන සකසා දුන්නේය.

මෙසේ දින කිහිපයක් ඔහුගේ ගෙයි විසු රජතුමා තම නුවරට නික්ම යාමට සැරසී යහළුව මම අශ්වාරෝහකයෙක්මි, අපගේ ගෙය නුවර මධ්‍යයෙහි වෙයි. නගරයට පැමිණි විටෙක දකුණ මහ වාසල් දොරට පැමිණ මහා අශ්වාරෝහකයා කවර ගෙයක වසන්නේ දැයි විචාරා තම නිවසට පැමිණෙන ලෙස දන්වා රජු නික්ම ගියේය. ආරක්ෂක සේනාව ද රජු පිළිගෙන නුවරට ඇතුළු විය. රජතුමා දොරටු පාලයා කැඳවා ගම්වැසි පුරුෂයකු පැමිණ අශ්වාරෝහකයාගේ ගෙය විමසුවහොත් තමා වෙතට කැඳවාගෙන එන්නැයි දන්වා සිටියේය.

කාලය බොහෝ සෙයින් නික්ම ගියේය. රජතුමාට තම පැරණි මිත්‍රයා සිහි විය. ඔහු කෙසේ හෝ හමු වීමෙහි ලා අවශ්‍ය විය. රජතුමා ඔහු ගෙන්වා ගැනීම පිණිස උපායක් යෙදීය. එනම් ඔහු විසු ගමෙහි බදු වැඩි කිරීමයි. එවිට ද තම මිත්‍රයා දැකිය නොහැකි වූ රජතුමා දෙතුන් වරක් ම ජනයාගේ අය බදු ඉහළ නැංවීය. එවිට බදු ගෙවා ගත නොහැකි වූ මිනිසුන් මෙම ඇමතියාගේ නිවසට රැස්ව ඔහු දන්නා අශ්වාරෝහකයා ලවා සහනයක් ලබා දෙන්නැයි උද්ඝෝෂණය කළේය.

එය පිළිගත් මෙම ඇමැතියා තම මිත්‍ර අශ්වාරෝහකයාට හා බිරියට ද දරු දෙදෙනාට ද නොයෙක් තෑගි බෝග ද රැගෙන ගමන පිටත් වීය. බිරිය ද සමඟ නුවර දකුණු වාසල දොරටුවට ගොස්, දොරටු පාලයා වෙතින් මේ නගරයේ මහා අශ්වාරෝහකයාගේ ගෙදර කොහිදැයි විචාළේය. දොරටු පාලයා ඒ බව රජුට දන්වා රජ ගෙදරට මොහු රැගෙන ආවේය. රජතුමා ඉතා ගෞරවයෙන් පෙර ගමන් දක්වා ඔහු පිළිගෙන රාජාසන මස්තකයෙහි හිඳුවා නහවා කවා පොවා සියලු සත්කාර සම්මාන උසස් ආකාරයෙන් ම දැක්වීය. මිත්‍රයා විසින් ගෙනෙන ලද සියලු පුද පඬුරු ද රජුට පිළිගැන්වීය. අනතුරුව තම මිත්‍රයා රාජාභරණයෙන් සරසවා නුවර බෙර ලවා තම අමාත්‍යයන් රැස් කරවා රාජ්‍යයෙන් අඩක් ද පවරා දුන්නේය. ඉන් පසු ඔහු දෙදෙන කවරක්හු විසින් හෝ භේද කළ නොහැකි සේ අත්‍යන්ත විශ්වාසවන්ත විය.

මෙයින් අසතුටට පත් රජුගේ ඇතැම් ඇමතියන් රජුගේ පුත් කුමරු කැඳවා අපගේ රජතුමා පිටිසර ගොවියකුට රාජ්‍යය පවරා දී රජ කුමරුන් ලවා ද නමස්කාර කරවන බවත් මේ කවර විපතක් දැයි නොදන්නා බවත් කියමින්, පිය රජුගෙන් විමසන ලෙස බලපෑම් කළේය. කුමාරවරුන් ද පිය රජු හමුව එසේ කරන්නේ ඇයිදැයි ප්‍රශ්න කළේය. එවිට රජතුමා ප්‍රකාශ කළේ දරුවනි, මා මීට පෙර යුද්ධයෙන් පැරදි ගිය විටෙක මා ආරක්ෂා කළේ මොහුය. ආහාරපාන සම්පාදනය කළේ මොහුය. එබැවින් දිවි බේරා ගෙන නැවත පැමිණ මෙසේ රාජ්‍යය විචාරන්නට හැකි වූයේ මොහු නිසාය. මා විපතට පත් වූ විට මා රක්ෂා කළ උපකාර කළ මිත්‍රයා හට ප්‍රත්‍යුපකාර වශයෙන් අන් කවර සැපතක් දෙම්දැයි විචාළේය.

එබැවින් යමෙක් තමාට අනූපකාරී වූ කෙනකු හට දෙයි ද උපකාරී වූ හට නොදේ ද ඔහු කවර කලෙක හෝ දුකට විපතට පත්වන බවත්, යමෙක් උපකාර නොකළ අයට වඩා උපකාර කළ අය වෙනුවෙන් දිය යුතු දේ නිර්ලෝභීව දෙන්නා හට කවර ආපදාවෙහි වුව ආරක්ෂාව සැලැසෙන අයුරු පෙන්වා ප්‍රත්‍යුපකාරයෙහි උත්තුංග බව පෙන්වා වදාළහ.

මෙසේ මෙම කථාව දේශනා කළ බුදු හිමියෝ එකල ගැමි පුරුෂයා ආනන්ද තෙරුන් බවත් බරණැස් රජ තමන් වහන්සේ බවත් පුර්වාපර සන්ධි ගළපා වදාළහ.

වර්තමානයට බෙහෙවින් උපදේශාත්මක මෙම කථාව අතීතය අමතක කොට ක්‍රියාත්මක වන්නවුන්ට වැදගත් පාඩමක් කියා දෙයි. අතීතය අමතක කරන්නා තමාට උපකාර කළ මවු දෙමාපියන් පවා අමතක කරයි. මව පියා නොදන්නා කෙනකුට අනෙකුත් පිහිට වූ ගුරුවරාදීන් කෙසේවත් සිහිපත් නොවෙයි. ජීවිතය ගොඩනඟන්නට තමාට කවරාකාරයකින් හෝ උපකාර නොවූ ඇතැමුන් කර තබා ගනිමින් සියලු සැලකිලි සංග්‍රහ දක්වන මිනිසුන් අප සමාජයෙහි නිතර නිතර දැකිය හැකි වෙයි.

එබැවින් ලොව මිනිසුන් තුළ පැවතිය යුතු උදාර ධර්මයක් ලෙස අතීතය ස්මරණය හා එහිදී තමන් සමඟ ජීවත්වූ මිනිසුන් අමතක නොකිරීම දැක්විය හැකි වෙයි. බෝසතාණෝ කවර කලෙක හෝ අතීතය අමතක නොකළහ. අතීතය නැවත නැවත සිහි කරවමින් සම්බුදු පදවිය සොයා ආ ගමනේදී උපකාර කළ කවරාකාර හෝ අය සිහි කරවමින් මෙම ජාතක කථාදිය ඔස්සේ එම චරිත මතු කළහ. එයින් ලොවට විසිතුරු දහමක් ද ඉගැන්වූහ. එබැවින් අපි කිසි කලෙක අතීතයේ අපට හමු වූ උපකාර කළා වූ, වර්තමානයට එන්නට මං පෙත් විවර කළා වූ අපේ හිතවතුන්, මිතුරන්, ගුරුවරුන්, දෙමාපියන් අමතක නොකරමු. උපකාර කරමු.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: