Posted by: lrrp | September 14, 2011

අසිරිමත් පසේබුදු රජාණන් වහන්සේ

මේමහා භද්‍ර කල්පයේ මුලින්ම පහළ වූවේ කකුසඳ බුදුරජාණන් වහන්සේගේ යුගයයි. එකළ මිනිසුන්ගේ ආයුෂ හතළිස් දහස් අවුරුද්දකින් යුක්තයි. මිනිස් ආයුෂ වසර තිස් දහ වෙද්දී කෝණාගම බුදුරජුන්ගේ යුගය පහළ වීය. මිනිස් ආයුෂ වසර විසිදහසක්ව තිබියදී කාශ්‍යප බුදුරජුන්ගේ යුගය පහළ වීය.

අප සරණ ගිය ගෞතම බුදුරජුන්ගේ යුගය පහළ වීමේදී මිනිස් ආයුෂ වසර එකසිය විස්සක්ව පැවතිණි. එහෙත් මේ වනවිට මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවම වී ගෙන යන බව පැහැදිලියි. මේ සියලු යුග බිහි කළ බුදුවරු සම්මා සම්බුදු රජාණන්වහන්සේලාට අයත්වෙති.

උන්වහන්සේලාගේ ප්‍රධාන බුද්ධ කෘත්‍යය වන්නේ තමන් අවබෝධ කළ ධර්මය ලොවට දේශනා කිරීමයි. එසේ දෙසනු ලබන ඒ ධර්මය ශ්‍රවණය කොට ශ්‍රද්ධාව ඇතිකර ගත් ශ්‍රාවක පිරිස් බිහිවන්නේ සම්මා සම්බුද්ධ ශාසන තුළ පමණයි.
එසේ බුදු සසුනක් පිහිටුවන්නට නොහැකි බුදුවරුනුත් ලොව පහළ වන අතර, උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පච්චේක බුද්ධ’ නමිනි. හෙළබස් වහරින් ‘පසේබුදු’ යැයි කියති. පසේබුදුවරයන් වහන්සේලා පහළ වන්නේ සම්මා සම්බුදු සසුනත් ජීවමානව පවතින යුගයක නොවේ. ඊට පෙරදීයි. අපේ බුදුරජාණන් වහන්සේ මනු ලොව ඉපදීමට සුළු කලකට පෙර පවා ‘මාතංග‘ නමින් පසේබුදුරජාණන් වහන්සේ නමක් වැඩසිට තිබේ.

දිනක් අනද මහතෙරුන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ ඉල්ලා සිටියහ. පසේබුදුවරයන් වහන්සේ පිළිබඳ තමන්වහන්සේට කියාදෙන ලෙසයි. එවිට බුදුරජුන් අනඳ හිමිට ගාථා වශයෙන් ‘වග්ග විසාණ’ සූත්‍රය වදාළ සේක. එම ගාථාවලින් කියවෙන්නේ ඒ ඒ පසේබුදුවරයන් වහන්සේලා තමන්ගේ අවබෝධය සහ අත්දැකීම් එක්කොට වදාරණ ලද ගාථාවන්ය. මෙම ගාථා අයත් වන්නේ සුත්ත නිපාතයටය.

මෙය පසේබුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිත කථාවය. මෙම පසේබුදුරජාණන් වහන්සේ පහළ වූයේ අපගේ ශාස්තෘන්වහන්සේ පහළ වෙන්නට පෙරදීයි. එනම් වසර විසිදහසක් ආයුෂ තිබෙන කාලයේ ලොව පහළ වූ කාශ්‍යප බුදු සසුනෙහි තරුණයෙක්ව පැවිදිව සිට එහිදී ඔහු විසිදහසක් අවුරුදු මහණදම් පුරද්දී වැඩිපුර පුරුදු කොට තිබෙන්නේ ‘ගත පච්චාගත’ වතයි.

ඒ කියන්නේ භික්ෂුවක් ගමට පිඬු සිඟා වඩින විට කුටියෙන් පළමු පියවර තබන්නේ කිසියම් භාවනා අරමුණකින් යුක්තවයි. ඒ භික්ෂුව පිඬු සිඟා වඩින අතරතුර මුණගැසෙන කිසිදු බාහිර අරමුණක් නිසා හෝ තම භාවනා මානසිකාරය වෙනස් කර ගත්තේ නැහැ. ඒ තුළම රැඳී ඉන්නවා.

ඒ භාවනා අරමුණෙන්ම ආපසු කුටියට වඩිනවා. බාහිර ලෝකය හා එක් නොවී සිතෙහි නගාගත් එම කුසල අරමුණ මත රැඳී පිඬුසිඟා යෑමත්, ආපසු ඒමත් එකම අයුරින් කරන නිසා එයට ගත පච්චාගත වත කියනවා. සැබැවින්ම මෙය ඉතා දුෂ්කරයි. ඒ දුෂ්කර දේ පවා පිනැතියන් කරනවා.

ඉතින් මේ භික්ෂුවට එසේ ගත පච්චාගත වත පුරමින් පවා මහත් උත්සහ කරද්දී කාශ්‍යප බුදු සසුනේදී මාර්ගඵලාවබෝධයක් ලබා ගන්නට නොහැකි වුණා. ඒ උත්සාහය අපතේ ගියේ නැහැ. අපවත් වීමෙන් පසු දෙව්ලොව උපන්නා. පසේ බුදුවරු පහළ වෙන යුගයේදී, මනුලොව බරණැස රජුගේ අගමෙහෙසියගේ කුස පිළිසිඳ ගත්තා. මේ දරුවා මහා ප්‍රඥාවන්තයෙක්. පිය රජතුමා මේ පින්වත් කුමරා තරුණ වියට පැමිණෙද්දී රජකම පැවැරුවා. ඔහු දැහැමින් රජකම කළා.

අවබෝධය පිණිස රැස් කරගත් පින විපාක දෙන අයුරු හරි පුදුමයි. රජකම කරන අතරේ මොහු භාවනාවට යොමු වුණා. රාත්‍රියට සඳළුතලයට ගොඩවෙනවා. පුන්සඳ දෙස ඇස් පිය නොහෙලා බලා සිටිනවා. ඉන්පසු දෑස් පියා ගන්නවා. ඒ පුන්සඳ ඡායාව සිතෙන් මතු කරනවා. ඒ අනුව සිත පිහිටුවාගෙන කසිණ භාවනාව වඩනවා.

මේ කාලය සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී නැති කලක් නිසා සතර සතිපට්ඨානය, සත්තිස් බෝධිපාක්ෂික ධර්ම දන්න කවුරුත් නැහැ. කසිණ වැනි කිසියම් භාවනාවක් කිරීම තමයි තිබෙන්නේ. මේ රජුගේ සිත එකඟ වුණා. ටිකෙන් ටික භාවනාවට සිත යොමු වුණා. ඔහු ඇමැතියකු කැඳවා රාජ කෘත්‍යය ඔහුට භාරදී උඩු මහලේම නැවතී භාවනා කරන්න පටන් ගත්තා.

අඩ මසක් ගතවුණා. රජතුමා පේන්න නැහැ. රජතුමාගේ ප්‍රධානත්වයෙන් රාජකීය උත්සව තිබෙනවා.

දැන් මේ කිසිත් නැති නිසා රජතුමා කොහිදැයි බිසව ඇමතිවරුන්ගෙන් ඇසුවා. රජකම පිළිගත් ඇමැතිවරයා බිසවට සියලුම දේ දන්වා සිටියා.

“ඕහෝ…! එහෙමද? එතකොට රජකම පවරා තිබෙන්නේ ඔබටයි… එහෙනම් මා අයිතිත් ඔබටයි. එනිසා ඔබ මගේ ස්වාමියා විය යුතුයි.”

ඇමැතියා, තැති ගත්තා. බිය වුණා. කම්පා වූවා. අහෝ ! බිසවුන් වහන්ස, මට සමාවුව මැනව. රජතුමා මට මේ රාජ්‍ය කෘත්‍ය පැවරුවේ උන්වහන්සේට භාවනා කිරීම පිණිස පමණයි. එනිසා මට එවැනි යෝජනාවකට එකඟ විය නොහැකියි…!

එවිට බිසව ඇමැතිවරයට තර්ජනය කළා. ‘ඇමැතිය මෙය යෝජනාවක් නොවෙයි. රජ බිසවගේ අණක්’ ඇය ගර්ජනය කළා.

අන්තිමේදී බිසවගේ අණට කීකරු වෙන්න ඇමැතිට සිදුවුණා. ඇමැතියාගේ රහස් ක්‍රියාකලාපය ගැන රජතුමාට සැලවුණා. රජතුමා වැරැදි අතටම හසුකර ගත්තා. වධ හිංසා කිරීමට අකමැති රජු මේ ඇමැතියා රාජ්‍යයෙන් නෙරපා ඛ්ැරියා.

එවිට ඇමැතිවරයා වෙනත් ප්‍රාදේශීය රජෙකු ළඟට ගියා. රාජ්‍ය සේවයට බැඳුණා. රජුගේ සිත දිනා ගත්තා. ඔහු කියනවා,

‘අනේ රජතුමනි මට කමාවුව මැනව. මා මේ පවසන්නේ සත්‍යයක්. එනම් බරණැස නුවර රජකම ගැනයි. මෙය අසත්‍යයක් නම් චරපුරුෂයන් ලවා විමසා බලන සේක්වා.”

ප්‍රාදේශීය රජු චරපුරුෂයන් යැවුවා. ඔවුන් බරණැස නුවරට ගොස් උමං සාරාගෙන මාලිගාවේ රජුගේ යහන් ගැබින් මතුවුණා. රජු ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. තමන් සොරුන් බව ඔවුන් පවසා සිටියා. එවිට බරණැස රජු ඔවුන්ට සමාවදී ධනය ද දුන්නා.

‘රජතුමනි ඒ බරණැස රජතුමා සිල්වත් කෙනෙක්. ප්‍රාණඝාත නොකරන කෙනෙක්.’ තෑගි බෝග දුන් බවත් ඒ චර පුරුෂයන් පවසා සිටියා. එයින් කරුණු තහවුරු කරගත් රජු බරණැස් නුවර මායිම් නගරයක් යටත් කර ගැනීමට ගියා.

“මේ නගරය මට ඕන. නැතිනම් යුද්ධ කරනවා” ප්‍රාදේශීය රජු ප්‍රකාශ කලා.

“මම යුද්ධයට කැමැති නැහැ. නගරය දෙන්නම්” බරණැස් රජු කිවුවා. එහෙත් බරණැස් රජුගේ ඇමැතිවරු මෙයට කැමැති වූයේ නැහැ. දිනක් උපායශීලීව ප්‍රාදේශීය රජු අල්ලා ගත්තා. මහරජු ඔහුට සමාව දුන්නා. බරණැස් නුවරට සමීප ජනපදයක රජකමට පත් කළා. ඔවුන් යාළුවන් බවට පත්වුණා.

නැවතත් රජතුමා ක්‍රම ක්‍රමයෙන් මෙත්සිත දියුණු කළා. ඒ තුළින් ධ්‍යාන උපදවා ගන්නට රජතුමා සමත් වුණා. යුද කෝලාහල, ලෙඩ දුක් ආදිය නිසා උපන් සත්ත්වයා දුකට පත්ව සිටින අයුරු රජතුමාට හොඳින් වැටහුණා. උපදින තැන් මේ දුකට මුහුණ දිය යුතු බව රජතුමාට තේරුණා.

ඉපදීමට හේතුව විමසුවා. ඉපදීමට හේතුව භවය බවත්, භවයට හේතුව උපාදාන බවත්, උපාදානයට හේතුව තණ්හාව බවත්, තණ්හාවට හේතුව, විඳීම බවත්, විඳීමට හේතුව ස්පර්ශය බවත්, ස්පර්ශයට හේතුව ආයතන හය බවත්, ආයතන හයට හේතුව සංස්කාර බවත් සංස්කාරයට හේතුව අවිද්‍යාව බවත් අවබෝධ වුණා. ඒ අවිද්‍යාව ඉතුරු නැතිව නිරුද්ධ කොට නිදහස් වුණා. අරහත්වයට පත්වුණා. නිකෙලෙස් වුණා. පසේ බුදු බවට පත්වුණා.

එහෙත් තවම සිටින්නේ රජ ඇඳුම ඇතිවයි. එදා ඒ පසේබුදුන් හස්තියා පිට නැඟී සිටියා. ඇමැතිවරු පැමිණ මෙසේ කිවුවා.

“පින්වත් මහරජ, දැන් සුදුසු කාලය පැමිණුනා. බල සෙනගට සත්කාර කළ යුතුයි. පරාජිත සේනාවට බත් වැටුප් දිය යුතුයි.”

“පින්වත් දරුවනි මට තවදුරටත් රාජ්‍ය කෘත්‍ය අදාළ නැහැ. මං මේ සියලු බන්ධනයන්ගෙන් නිදහස්ව හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද කෙනෙක්.”

“මහරජතුමනි අපට පුදුමයි. අප අසා තිබෙනවා හුදෙකලාවේම ජීවිතාවබෝධය ලද උතුමන් ‘පච්චේක බුද්ධ’ නමින්. ඒ පසේ බුදුරජුන් මෙවැනි රාජාභරණයෙන් සැරසී සිටි අය නොවේ. පසේබුදුවරුන් සිටින්නේ කෙස් රැවුල් බාලයි.

පොරවාගෙන සිටින්නේ සිවුරු පිරිකරයි. ඒ උතුමන් අයිතිවන්නේ ශ්‍රමණ පිරිසටයි. රජතුමා දකුණතින් හිස පිරිමැද්දා. එසැණින් රාජවේශය නොපෙනී ගියා. ශ්‍රමණ වහන්සේ නමකගේ රූපයක් පෙනී ගියා. ඇමැතිවරු නමස්කාර කළා. පසේබුදුරජුන් මෙම ගාථාව වදාලා.

සබ්බේසු භූතේසු නිධාය දණ්ඩං

අච්හේඨයං අඤ්ඤතරම්පි නේසං

න පුත්තමිච්ඡෙය්‍ය තුතෙර සහායං

ඒකෝ චරේ චග්ගච්්‍යාණ කප්පෝ

මා ඉන්නේ මේ ලෝකයේ සියලු සත්වයන් කෙරෙහි දඬුවම් අත්හැරලයි. කිසි කෙනකුට මම පීඩාවක් කරන්නේ නැහැ. මේ යන ගමනේ දරුවකු වත් එක්ක යන්න කැමැති නැති මම උදවු කාරයන් කොහොම එක්ක යන්නද? මා හැසිරෙන්නේ හුදෙකලාවෙමයි. කඟවේනෙකුගේ හිස මත තිබෙන තනි ඇඟක් වගෙයි….”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: