Posted by: lrrp | September 14, 2011

අසිරිමත් පසේ බුදු පෙළහර

අපගේ ශාස්තෘන්වහන්සේ පසේබුදුවරයන් වහන්සේලා ගැන කරන විග්‍රහය අතිශයින්ම සුන්දරයි. කෙනෙක් තුළ නුවණින් විමසීමේ හැකියාව ඇත්නම් ඇතැම් විට එය ක්‍රියාත්මක වන්නේ ඔහුටත් නොදැනීමයි. එසේ නුවණ විනිවිද ගිය පසේබුදුවරුන් ගැනයි ඔබ ඉගෙන ගන්නේ.

මෙම පසේබුදුවරයන් වහන්සේගේ තොරතුරු සඳහන් වන්නේ ඛග්ගවිඝාණ සූත්‍රයෙහි දසවන ගාථාව ලෙස.

බරණැස් නුවර චතුමාසික නමින් රජෙක් විය. ඇතැම් විට ඔහුට මේ නම යෙදී ඇත්තේ ඒ ඒ සෘතුවට අයත් මාස හතරේ ඔහු උයන් කෙළියට යන නිසා වෙන්න ඇති.

ඉතින් මේ රජතුමා ගිම්හාන සෘතුවේ ප්‍රථම මාසයෙහි උයන් කෙළියට ගියා. ඒ උද්‍යානයෙහි ඝන නීල පත්‍රයන්ගෙන් සුසැදි කොබෝලීල රුකක් දැක්කා. රජතුමා මේ වෘක්ෂය දුටු වේලාවේ මහත් සතුටට පත් වුණා.

”එම්බා ඇමැතිවරුනි, අර කොබෝලීල රුක දෙස බලන්න. හරි අපූරු වෘක්ෂයක්. තද නිල් පාට පත්‍රවලින් යුක්තයි. සුදුපාට කඳින් යුක්තයි. හැබෑම ලස්සනයි. ඔව්… මම කැමැතියි හවස් වරුවේ මේ කොබෝලීල වෘක්ෂය සෙවනේ විවේක සුවයෙන් ඉන්න. එනිසා මට පැණවිය යුත්තේ අන්න අතනයි.”

රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. ඉතා සතුටින් කල් ගෙව්වා. හවස් වරුවේ කොබෝලීල වෘක්ෂය සෙවණේ පණවන ලද අසුනෙහි සැනසුණා. හරි සතුටින් එම වෘක්ෂය දිහා බලාගෙන හිටියා. ගිම්හාන සෘතුවත් මධ්‍යම මාසය පැමිණුනා. දැන් තරමක් රස්නෙයි. රජතුමා උයන් කෙළියට ආවා. කොබෝලීල වෘක්ෂය මලින් පිරී තිබෙනවා. අලංකාර පුෂ්පයන්ගෙන් ගැවසී ගත් එම වෘක්ෂය දකිද්දී රජතුමා මහත් සතුටට පත් වුණා.

”ෂා! හරිම අපූරුයි. හැබෑම ලස්සනයි. ඔව්, අද සවස් යාමයෙහි විවේක ගැනීමට මගේ යහන පැනවිය යුත්තේ අන්න අර සුපිපුණු මලින් යුතු කොබෝලීල වෘක්ෂය සෙවණේ.”

රජතුමා ක්‍රීඩා කළා. පොකුණට බැස්සා. මල් පැළඳ ගත්තා. මධු විත පානය කළා. සුරූපී ළඳුන් පිරිවරා කොබෝලීල රුක් සෙවණට ආවා. මල් පිපී ගිය වෘක්ෂය දෙස බලමින් මහත් සතුටට පත් වුණා.

ගිම්හානේ දුෂ්කරම කාලය පැමිණුනා. ඉතාමත්ම රස්නෙයි. රජතුමා ඒ අධික රස්නේ දවසක උද්‍යාන ක්‍රීඩාවට ගියා. එදා රජතුමා රස්නේ වැඩි නිසා කෙළින්ම පොකුණට ගියා. යන අතරේ ඇමැතිවරුන්ට පවසා සිටියේ අර කලින් කොබෝලීල රුක් සෙවණේ යහන පනවන ලෙසයි. කොබෝලීල වෘක්ෂය දුටු ඇමැතිවරු පුදුමයට පත් වුණා.

හරි වැඩේ! මේ ගසේ එක් කොළයක්වත් නැහැ. එක මලක්වත් නෑ. නිකම් දඬු ටිකක් පමණයි තිබෙන්නේ. රජතුමා යහන පනවන්න කිව්වේ මෙතනමයි. අපට රාජ අණ ඉක්මවා යන්න බැහැ. රජ අණට කීකරු වෙමු” කියලා ඇමැතිවරු යහන පැණෙව්වා. රජතුමා ඇති පදම් වතුර නෑවා. මල් පැළැන්දා. රස්නේ අඩුවක් නැහැ. හවස් වරුවේ රස්නේ ගතිය අඩු වුණා. කොබෝලීල වෘක්ෂය ළඟට ආවා. දුටු පමණින් රජතුමාගේ සිතට මහත් සංවේගයක් හටගත්තා. රජතුමා යහනේ වැතිරී වෘක්ෂය දෙස බලා සිටියා.

”හරි පුදුමයි. ගසකට ගිය කලක්! එක් කාලයක් ආවා. මේ ගස හිතන්න බැරි තරම් ලස්සනයි. සෑම චිත්‍රයකම මැණික්වලින් කළා වගේ අමුතු දිස්නයක් දුන්නා. අමුතු අලංකාරයක් තිබුණා.

තව කාලයක් ආවා. මල් පිපිලා… අමුතු සිරියාවක් තිබුණා. හැබෑම ලස්සනක් තිබුණා. පබුලු කැට වගේ දිළිසුණා. මේ වැලි පොළොව කොබෝලීල මලින් ලස්සන වුණා. අහෝ! මේ සියල්ල ගිලිහී ගිහිං. මේ ගසත් කාලයේ පහරට ලක්වෙලා. ජරාවට පත්වුණා. මේක තමයි ලෝක ස්වභාවය. හටගන්නවාද යමක් එය වැනසී යාම එහි ස්වභාවයයි.

දඬු පමණක් ඉතිරි වූ කොබෝලීල ගස දෙස බලමින් රජතුමා සිතන්නට වුණා. රජුගේ ප්‍රඥාව අවධි වෙන්නට එම වෘක්ෂය හොඳ අරමුණක් වුණා. ජීවිතය ගැන විමසා බලන්නට කැඩපතක් වුණා. කොබෝලීල රුක දෙස බලා සිටිද්දී ඉපිද මැරී යන ජීවිතයේ ඇත්තේ ද මෙවැනි ස්වභාවයක්ය යන කරුණ පැහැදිලි වුණා. රජතුමාගේ සිත මැනවින් එකඟ වුණා. සමාධිය වැඩී ගියා. ප්‍රඥාව වැඩී ගියා. ආදීනව ඥානය ඇතිවුණා. කළකිරීම ඇතිවුණා. විරාගය ඇතිවුණා. ඒ රජුගේ සිත සියලු කෙළෙසුන්ගෙන් නිදහස් වුණා. පසේබුදුවරයෙක් බවට පත්වුණා.

ඇමැතිවරු පැමිණ කාලය දැනුම් දුන්නා.

”පින්වත් රජතුමනි, දැන් රෑ බෝවී එනවා. අපට පිටත්වෙන්න කාලයයි.” යහනේ පළඟක් බැඳ වාඩි වූ රජතුමා ඇමැතිවරු ඇමතුවා.

”පින්වත් ඇමැතිවරුනි, මං දැන් රජකෙනෙක් නොවේ. මට යථාර්ථය පෙන්වා දෙන්න පහළ වූ වෘක්ෂය ළඟයි මං දැන් ඉන්නේ. ජීවිතාවබෝධය මා ඉදිරියේ දිස්වුණේ මේ කොබෝලීල වෘක්ෂයයි. ජීවිතය කියන්නේත් වෙනස්වන දෙයක් බව මට පසක් කර දුන්නේ මේ වෘක්ෂයයි. ඇමැතිවරු පුදුමයට පත් වුණා. සුළු වේලාවකට කළින් පොකුණෙහි දිය නාමින්, මල් පැළැඳ ගනිමින්, කෙළෙිදෙලෙන් සිටි රජතුමා ද මේ? රස මසවුළු කෙරෙහි ලොල්ව, මධුවිත තොලගාමින් සිටි රජතුමා ද මේ? ඇමැතිවරුට මෙය සිහිනයක් වැනි දෙයක් වුණා.

රජුන් වහන්ස, ඔබවහන්සේ කියන දේ අපට තේරෙන්නේ නැහැ”

”පින්වතුනි, මා ලද අවබෝධය කුමක්ද කියා මට විග්‍රහ කිරීමට පුළුවන්කමක් නැහැ. එක දෙයක් පැහැදිලියි. මං දැන් නිදහස් කෙනෙක්. මා නිදහස් වී සිටින්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් බව මට වැටෙහෙනවා. කලින් නොතේරුණු දෙයක් තමයි මා පවසන්නේ. කලින් මා සතුටු වුණේ නිදහස් වීමෙන් නොවේ. බැඳී යාමෙනුයි. දැන් මා සතුටු වන්නේ නිදහස් වීමෙනුයි. මට හිතෙන්නේ මේ අලෞකික විරාගි සැපය ශ්‍රමණයන්ගේ අත්දැකීමක් බවයි.”

”රජ්ජුරුවන් වහන්ස, විරාගී සැපයට පත්වූ පච්චේකබුද්ධ නම් ශ්‍රමණයන් වහන්සේලා ගැන අප අසා තිබෙනවා. උන්වහන්සේලාගේ අදහසට ඔබවහන්සේගේ අදහස් ගැලපිලා යනවා. නමුත් ඒ සියලුම දෙනා ශ්‍රමනයන් වහන්සේලා මිසක් ගිහි උදවියෝ නොවෙයි. රැවුල් බහා කසාවත දරා සිටින උන්වහන්සේලා පිඬු සිඟා යෑමෙනුයි ජීවත් වන්නේ. ඉතින් ඔබවහන්සේ එහෙම කෙනෙක් නොවෙයිනේ.”

එවිට රජතුමා හිස අතගෑවා. තම සිරුර දෙස බැලුවා. සැණෙකින් කෙස් රැවුල් නොපෙනී ගියා. කසාවතක් ගත දැවටී ගියා. පාත්‍රයක් අත රැඳුණා. විස්මයට පත් ඇමැතිවරු පසේබුදුරජාණන්ට වන්දනා කළා. උන්වහන්සේ මෙසේ වදාළා,

ගිහි ජීවිතයක ඇති ආටෝප සාටෝප සාඩම්බර සාලංකාරී ගති ඉවත් වූ විට මේ කොළ හැලිච්ච කොබෝලීල රුක වගේමයි. වීරියවන්ත පුද්ගලයා ගිහි බන්ධන සිඳ බිඳ දමා විමුක්තිය කරා යනවා. ඊට පස්සේ ඔහු නිදහස්. ඇත්තෙන්ම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තිබෙන තනි අඟක් වගෙයි.”

අටුවාවේ තිබෙන විස්තර අනුව මේ පසේබුදුවරුන් වැඩිපුර වාසය කරන්නේ හිමාලයේ “ගන්ධමාන” නම් පර්වතය ඇසුරු කරගෙනයි. එහි “මංජුසක” නම් විශාල වෘක්ෂයක් තිබෙනවා. මේ වෘක්ෂයේ විශේෂ මල් වර්ගයක් පිපෙනවා. එය පිපෙන්නේ පසේබුදුවරයන් වහන්සේ නමක් පහළ වූ දවසටයි.

එම මල “රන්මල්” ලෙස හඳුන්වනවා. රන්මල් යනු රත්තරනින් කරන ලද මලක් නොවේ. මේක කෙඳි රාශියකින් සමන්විතව මුලට උඩින් යටි කඳෙන් මතුවන එක්තරා මුල් විශේෂයකි. මේවා වර්ණවත් රන් පැහැයෙන් යුක්තයි. සුදු සහ කහ පැහැයෙන් යුතු කෙඳි ද මිශ්‍රව ඇත. මෙවැනි රන්මලක් මතු වූ විට අනෙක් පසේබුදුවරයන් වහන්සේලා දැනගන්නේ තවත් පසේබුදුවරයෙක් පහළ වී ඇති බවයි.

සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත්!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: