Posted by: lrrp | September 14, 2011

අසිරිමත් පසේ බුදු පෙළහර

අපගේ ශාස්තෘන්වහන්සේ විසින් චතුරාර්ය සත්‍යය දේශනා කළ අතරේ අතීතයේ වැඩ සිටි පසේ බුදුවරු නම් වූ විශේෂ මුනිවරුන් වදාළ ගාථාවන් ගැනත් අපට කියා දුන්නා. එනිසා ම යි අප පසේ බුදුවරුන් ගැන තොරතුªරු දන්නේ. ඒ පසේබුදුවරුන් කැමැති දේ නැඹුරු වී පවතින්නේ විමුක්තියට උපකාරී වීමටයි. මෙහි සඳහන් වන්නේත් එවැනි ප්‍රවෘත්තියක්.

බරණැස් නුවර පින්වත් රජෙක් වාසය කළා. ඒ රජතුමා ජනතාවට හරි ආදරෙයි. හැම විටම පොදු ජනයාගේ සැපය පිණිස වෙහෙසුණා. රජතුමා වීථි සංචාරය කරද්දී ගුණ කියන ජනයා මඟ දෙපස සිටිමින් මල් ඉස්සා. එහෙත් රජතුමාගේ ආරක්ෂාව අඩුවක් කෙළේ නැහැ. සේනාවේ අඩුවක් නෑ. බිය තැති ගැනීම්වල අඩුවක් නෑ. රජතුමා කල්පනා කළා.

මං මොන දේවල් කළත් හැම තිස්සේම බයෙන් ඉන්නේ. ආරක්ෂාව තර කරන්න කියලයි ඇමැතිවරයා කියන්නේ. මේ ජීවිතය රැක ගන්න මොනතරම් මහන්සි ගන්නවද ? බිය සැක තැති ගැනීම් නැති ජීවිතයක් අපට ඇති කරගන්න බැරිද ?

රජතුමා මේ ගැන විමසද්දී පුරෝහිත බමුණා පිළිතුරු දුන්නා.

රජතුමනි ඔබ වහන්සේ මිනිසුන්ගේ රජු තමයි. නමුත් ඔබ වහන්සේගේ ආරක්ෂාව බාහිරින් සපයා ගන්න බෑ. මේ ආරක්ෂාව නැති වූ ගමන් ඔබ වහන්සේගේ සාමාන්‍ය මිනිසෙකුගේ මානසික ස්වභාවයෙන් යුතු වෙනවා. එනිසයි භය තැති ගැනීම් ඇති වෙන්නේ.

එතකොට පුරෝහිතය බාහිර ආරක්ෂාව නැති අය නැද්ද ?

ඉන්නවා, රජතුමනි, ඒ තමයි මෘගරාජ වූ සිංහයා. ඌට තිබෙන්නේ අභ්‍යන්තර ආරක්ෂාවක්. සිංහයා එළියට එනවා. ඇඟේ කේසර සොළවලා ඇඟපත ගසා දමා ඔළුව උඩට ඔසොවා සිංහනාද කරනවා. එය උගේ ආරක්ෂාවයි. ඒ නාදයට සියලු සතුන් පලා යනවා. සිංහයාගේ ශක්තිමත් දළ ඇති බව උගේ ආරක්ෂාවයි. සිංහයාගේ ශක්තිමත් සිරුර උගේ ආරක්ෂාවයි. එනිසා සිංහයා තමයි තැති ගැනීම් නැති සතා.

රජතුමා මේ ගැන සිතන්න පටන් ගත්තා. බිය තැති නොගන්නා සිංහයාගේ ස්වභාවය කුමක් දැයි රජතුමා දැකීමේ ආශාවක් ඇතිවුණා. දිනක් රජතුමා ඈත ප්‍රදේශයකට කැලෑ පාරකින් සේනාව සමඟ ගමන් ගත්තා. ඒ අතර අව්ව තපමින් සිටින සිංහ රාජයෙක් ගල් තලාවක් මත වැතිරී සිටින අයුරු දැක ගත්තා.

‘’අන්න … ඇමැතිවරුනි, අර බලව් !! අර ඉන්නේ ගල්තලාව මත අන්න සිංහයා .. ෂා ! ලෝකයෙහි බිය සැක තැති ගැනීම් නැති අපූරු සතා ! ඒයි සේවකයින් වරෙල්ලා .. බෙර, තම්මැට නාද කරපල්ලා . සත් පිඹිව් .. අද අපි කම්පා නොවන සතා දෙස බලමු.. ‘’

එතරම් ඝෝෂා කරද්දී ද සිංහයා ගණන් ගන්නේ නෑ. මේ පිරිස ද වැඩි වැඩියෙන් ඝෝෂා කළා. සිංහයාට මෙය මහ වදයක් වුණා. සිංහයා නැගිට්ටා. ඇඟපත සොළවා කේසර විසිරෙව්වා. ඔලුව උඩට හැරෙව්වා. සිංහනාදයක් කළා. මුළු වනාන්තරයම ගිගුම් දුන්නා. ඇතුන්, අසුන් හිස් ලූ ලූ අත පලා ගියා. සේනාව පඳුරු අස්සේ හැංගුණා. රජතුමා හිටියේ ඇතුපිට නැගලයි. මූත්‍රා හලමින් ඇත් රජා මහා වනයට දිව්වා. රජතුමාට බේරෙන්න විදිහක් නෑ. රජතුමා යාන්තම් ගසක අත්තක එල්ලී බේරුණා. හිමින් හිමින් ගහෙන් බිමට බැස්සා. රජතුමා හොඳට ම බය වුණා. රජතුමාට මතක් වුණා.

රජතුමනි, ආරක්ෂාව නැති වු විට ඔබතුමා රජෙක් වුණත් සාමාන්‍ය මිනිසෙකුට වගේ භය තැති ගැනීම් හට ගන්නවා.

ඒක ඇත්ත ! මට දැන් හොඳට තේරෙනවා. මේ දළ ඇත්තු මුත්‍රා හලාගෙන දිව්වා. අශ්වයන් සී සීකඩ දිව්වා. නිර්භීත සේනාවන් පඳුරු අස්සේ හැංගුණා. දැන් මං මොකද කරන්නේ ? මේ මහ වනයේ මට මොන කරදයක් වේවිද ?

රජතුමා ජීවිතය රැක ගැනීම පිණිස දුවන්න පටන් ගත්තා. ටික දුරක් යද්දී කුටි ප්‍රදේශ තිබෙන තැනකට පැමිණුනා. එහි ශ්‍රමණයක් වහන්සේ නමක් රජතුමා ඇමැතුවා.

‘’අනේ ශ්‍රමණයන් වහන්ස, නුඹ වහන්සේට මොකවත් සද්දයක් ඇහුණේ නැද්ද ? ‘’

‘’ඇහුණා .. රජතුමනි, ඈතින් දිගටම බෙර හඬක් ඇහුණා, සක් පිඹින හඬ ඇසුණා. ඊට පස්සේ වනය දෙවනත් කරමින් මහ සිංහනාදයක් ඇසුණා.

එතකොට ශ්‍රමණයන් වහන්ස, නුඹ වහන්සේට බිය තැති ගැනීම් ඇති වුණේ නැද්ද ? මරණ භය ඇති වුණේ නැද්ද ?

පින්වත් රජතුමනි, බිය තැති ගැනීම යනු අපට සුවපත් වූ රෝගයක්, මරණ බය අපට නොතේරෙන දෙයක්, බිය තැති ගැනීම්, ශෝකය, කම්පාව, වැළපීම, භය භේරව කිසිවක් අපේ ජීවිතයට හා එක්වෙන්නේ නෑ ‘’

එතකොට ශ්‍රමණයන් වහන්ස, සිංහයන් විතරක් නෙවෙයි බිය තැති නොගන්නා මිනිසුනුත් ඉන්නවා කියලද ඔබ වහන්සේ කියන්නේ.

එසේය රජතුමනි, අපි අයිති වන්නේ බිය සැක නොමැති ලෝකයටයි. මේ බලන්න මෙහි ශ්‍රමණවරුන් සෑහෙන්න ඉන්නවා. අපි හැමෝම සිංහයෝ වගෙයි. හැබැයි සිංහයාට වඩා අපි වෙනස් වෙන්නේ නිකෙලෙස් බව නිසයි.

රජතුමාට ඒ හැම වචනයක්ම ආශ්චර්යයවත් වුණා. අද්භූත වුණා. රජතුමා රජකම අත්හැරියා. ශ්‍රමණයෙක් වුණා. එතනම නැවතුණා. ටික කලක් යද්දී ඒ නවක ශ්‍රමණයන් වහන්සේ තුළ සීල, සමාධි, ප්‍රඥා වැඩී ගියා. පසේ බුදුවරයෙක් වහන්සේ නමක් බවට පත්වුණා. බිය සැක තැති ගැනීම් නැති සුන්දර ජීවිතයක ආශ්වාදය විඳින්නට වාසනාව ලැබුණා. මේ පසේබුදුවරයෙක් වහන්සේ මංජුසක රුක් සෙවණට වැඩි විට අනෙක් පසේබුදුරජාණන් වහන්සේලා ඇසූ පැණයට පිළිතුරු දුන්නේ මේ ගාථාවෙනුයි.

සීහෝ යථා දාඨබලී පසය්හ

රාජා මිගානං අභිභුය්යචාරී

සේවේථ පන්තානි සේනාසනානි

ඒකෝ චරේ ඛග්ගවසාණ කව්පෝ

තියුණු දළ බල ඇති මෘගරාජන් වූ සිංහයා තමන්ගේ සියලු සවියෙන් සියලු සතුන් මැඬගෙන බිය සැක රහිතව ඉන්නවා. අන්න ඒ වගේ ඈත හුදකලා සෙනසුන්වල වාසය කරමින් දැන් මං හැසිරෙන්නේ තනිවම හුදකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තියෙන තනි අඟක් වගෙයි’

සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත් !


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: