Posted by: lrrp | September 14, 2011

අසිරිමත් පසේ බුදු පෙළහර

අපගේ ශාස්තෘන්වහන්සේ සසර පිළිබඳවත් නව ගමනේ ඇති විවිධ විචිත්‍රත්වය පිළිබඳවත් ඇතැඹුලක් සේ පසක් කොටයි ලොවට පහදා දෙන්නේ. පසේ බුදුවරුන් පිළිබඳව මේ අසිරිමත් වෘත්තාන්තයන් අපට දැනගන්නට ලැබුණේ ඒ නිසාමයි.

පසේ බුදුවරයන් වහන්සේලා අවබෝධය ලබන්නේ සද්ධර්මශ්‍රමණයෙන් තොරයි’ අප අයිති වන්නේ ශ්‍රාවක ගණයටයි. ශ්‍රාවකයන් කරනු ලබන්නේ ශ්‍රවණය කොට දැනුම ලබා ගැනීමයි. එසේ ලබා ගත් ධර්මඥානය ඇසුරෙන් නුවණ මෙහෙයවා සත් පුරුෂ භූමියට පැමිණෙන්ට ශ්‍රාවකයන්ට වාසනාව ලැබෙනවා. සත් පුරුෂ භූ®මියට පත් ශ්‍රාවකයන් තුළ පළමුව පිහිටන්නේ කෙළෙහි ගුණයි.

කෙළෙහි ගුණ දන්නා බව සත් පුරුෂ භූ®මිය හඳුනා ගන්නා සළකුණ වේ. ඒ සඳහා බාහිරින් ලැබෙන සද්ධර්ම ශ්‍රවණය පිණිස කල්‍යාණ මිත්‍ර සේවනය අතිශයින්ම උපකාරි වේ. අභ්‍යන්තරව ඇති යෝනිසෝමනසිකාරය නම් වූ නුවණින් විමසීම අතිශයින්ම උපකාරී වේ. මෙසේ අභ්‍යන්තර බාහිර හේතු කාරක ධර්මයන්ගේ සමෝධානයෙන් සත්පුරුෂ භූමියට පත් ශ්‍රාවකයා පෘතග්ජන භාවයෙන් අත්මිදී ආර්යශ්‍රාවකභාවයට පත්වේ.

චග්ගවිසාන සූත්‍රයේහි ඇතුළත් හත්වෙනි ගාථාවට අදාළ ප්‍රවෘත්තිය මෙයයි’ එක්තරා අවධියක බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජෙක් වාසය කළා. මොහුට එක පුත් කුමරෙක් සිටියා. මේ රජතුමා ඒ පුත් කුමරාට අසීමිත ආදරයක් දක්වන්නට පටන් ගත්තා. ඒ රජතුමා බොහෝ විට ආහාර ගන්නේ, වාසය කරන්නේ , නිදා ගන්නේ මේ පුත් කුමරා සමඟයි. එනිසාම රජතුමාට “ ඒකපුත්තක බඹදත් රජු’’ යන නම පටබැඳුණා. එනම් එකම දරුවෙක් සිටින බඹදත් රජා යන්නයි.

දිනක් රජතුමා උද්‍යාන ක්‍රීඩාවට ගියා. එදා පුත් කුමරාට මාළිගයේ රැඳී සිටින්නට අවශ්‍ය වුණා. ඒ නිසාම පිය රජු සමඟ උයනට ගියේ නැහැ. රජතුමා සාංකාවෙන් උයන වෙත ගියා. රජතුමාට කිසි සතුටක් තිබුණේ නෑ. ඒ නිසාම පුතු පැමිණියේ නැති සාංකාව මග හැරෙන්නට රජු ඇති පදමට මද්‍ය පානය කළා. එනිසාම කුමරුව අමතක වුවා.

මේ අතරේ මාළිඟාවේ සෙල්ලම් කරමින් සිටි පුත් කුමරා හදිසියේ අසනීප වුණා. අසාධ්‍ය වුණා. රාජකීය වෛද්‍යවරුන් කැඳවා ප්‍රතිකාර කරන්නට උත්සාහ කළත් අසාර්ථක වුණා. දරුවා මිය ගියා. ඇමැතිවරු කලබල වුණා.

‘’හරි වැඩේ ! දැන් අපි මොකද කරන්නේ ? රජතුමා මේ විපතට කොයි ආකාරයෙන් මුහුණ දෙයි දැයි කාට නම් කිව හැකි ද ? හදවත පැලී යාවිද සිහි විකල් වේවිද ? උමතුවේවි ද ?

එවිට ප්‍රධාන පුරෝහිත බ්‍රාහ්මනයා කිවුවා ‘ ඇමැතිවරුනි අපට කරන්න තිබෙන්නේ එකම දෙයයි. අපි මෙය රජුට නොකියා සිටිමු. ඔහුට නොකියාම කුමාරයාගේ ආදාහන කටයුතු වසන් කරමු.

පුරෝහිත ප්‍රධාන අමාත්‍ය මණ්ඩලය රැස් වුණා. අගබිසව ප්‍රධාන කලාංගනාවන් රැස් වුණා. රජතුමාගේ ජීවිතය බේරා ගන්නට සිතා පුරෝහිත බ්‍රාහ්මයාගේ තීරණයට එකඟ වී පුත් කුමරාගේ අවසන් කටයුතු සිදු කළා.

උද්‍යාන ක්‍රීඩාවට ගිය රජු බොහෝ වේලාවන් උයනේ්ගත කළා. මධ්‍ය පානය නිසා එදා දරුවාව සිහි වුයේ නැහැ. දෙවැනි දින සුවඳ පැනින් ස්නානය කොට ආහාර අනුභව කරන වේලාවේ දී පුත් කුමාරයාව සිහි වුණා.

ඇමැතිවරුන් කෝ කුමාරයා ? ඊයේ දවස පුරාම කුමාරයාව දුටුවේ නැහැ. වෙනදාට දුව පැන ඇවිදින හඬ ඇසෙනවා. අද කිසිවක් නොඇසේ. ඉක්මනින් කුමාරයාව රැගෙන එන්න.

ඇමැතිවරු බිම බලා ගත්තා. බිසව තිරයට මුවා වී කඳුළු වැගුරුවා. සියලුම දෙනා නිශ්ශබ්දයි. නැවත රජතුමා කථා කළා.

මොකෝ .. මේ ? ඇයි කුමාරයා කොහේවත් ගියාද ? මොකද නිශ්ශබ්ද ?

එකවර සියලු දෙනාම හඬා වැටෙන්නට පටන් ගත්තා. බිසව පැමිණ රජතුමා පාමුල වැටී වැළපෙන්න පටන් ගත්තා.

ඇයි මේ… ඇයි වැළපෙන්නේ ? මොකද වුණේ .. රජතුමා ඇසුවා..

දේවයන් වහන්ස අපේ පුත් කුමරා ඊයේ අභාවයට පත් වුණා. අපට හරි සිත් වේදනාවයි. ඔබ වහන්සේ පුත් කුමරුට දැක් වූ අසීමිත ආදරය නිසා එකවරම මේ කාරණාව අපි කිව්වේ නැහැ. රජතුමා දෑස පියා ගත්තා. හදවත පැලී යන තරම් දරුණු වූ විශාල දරු ශෝකයක් ඉස්මතු වේවී ආවා. සම්, මස්, ඇට , ඇට මිදුළු රිදුම්කන වේදනාවක් පැන නැංගා , රජතුමා ශෝකය මඩින්නට වෙර වඩද්දී ඇඟ මවිල් කෙලින් වී යන අයුරු හැමෝම බලා සිටියා. . රජතුමා ඇස් ඇරියේ නෑ. බොහෝ වේලාවක් ඒ ඉරියව්වේම සිටියා.

ජීවිතය යනු ඇති වී නැති වී යන දෙයක් බව තේරුම් ගන්නට රජතුමා මහන්සි ගත්තා. ක්‍රමක් ක්‍රමයෙන් වේදනාව තුනී වී ගියා. ශෝකය අඩු වුණා. මානසි අපහසුතාවය සංසිදී ගියා. සිත එකඟ වී ගියා. රජතුමා සිතන්නට පටන් ගත්තා.

ඔව් , මරණයට පත්වීම උපන් මොහොතේ සිටම තියෙන එකක්. මෙය ධර්මතාවයක්. උපන් සත්ත්වයට මෙයින් මිදෙන්න පිළිවෙළක් නැහැ. ඉපදීම ඇති කල්හී ජරා මරණ තිබෙනවාමයි. උපදින්නේ මක් නිසාද ? උපන් සත්ත්වයා තුළ පැහැදිළි විවිධත්වයක් තිබෙනවා. මොහුන් ඉපදී සිටින්නේ ඒකාකාරි ලෙස නොවෙයි. මෙයට හේතුව තමා තුළ සකස් වූ කර්ම විපාකයන්ගේ වෙනස්කම බව පැහැදිළියි. භවය ඇති කල් හී ඉපදීම සිදුවේ. කෙනෙක් තුළ උපතක් පිණිස කර්ම සකස් වන්නේ යමකට සිර වී සිටි විටයි. උපාදාන ඇති විටයි. එසේ නම් උපාදානය ඇති කල්හී භවය ඇත. මේ අයුරින් ‘මෙය ඇති කල් හී මෙය ඇත’’ යන ධර්මතාවයත් ‘මෙය උපදින විට මෙය උපදී’ යන ධර්මතාවයත් වැටහෙන ආර්ය න්‍යාය රජතුමාට අවබෝධ වීමට පටන් ගත්තා.

රජතුමා තුළ සමාධියත් ප්‍රඥාවත් මැනවින් වැඩී ගියා. ලොවෙහි පැවැත්ම තුළ තිබෙන්නේ ආස්වාදයට මුලා වී සිටීම නිසා ආදීනව වැළඳගෙන සිටීම බව මැනැවින් පසක් වී ගියා. ආස්වාදයෙනුත් ආදීනවයෙනුත් නිදහස් වීම පිණිස අවබෝධයෙන්ම ඒවා අත්හළ යුතු බවත් රජතුමාට පසක් වුණා. අවබෝධයෙන් කළකිරීම ඇති වුණා. විරාගය ඇති වුණා. සියල්ලෙන් නිදහස් වී ගියා. නිකෙලෙස් වුණා. අරහත්වයට පත් වුණා. පසේබුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වුණා.

උන්වහන්සේ මේ ගාථාව වදාළා

යහළු මිත්‍රයන් අතර සිටිද්දී කෙළි සෙල්ලම්වලට යි සිත ඇදී යන්නේ. කාම සැපයටමයි සිත ඇදී යන්නේ. දරුවන්ට මැදි වී සිටිද්දී දාරක පේ‍්‍රමයමයි බලවත් වී යන්නේ. ඒ හේ්තුවෙන් තමාට පි‍්‍රය වන දේ අහිමි වී ගිය විට සෝක හුලෙන් පහර කන්නට වෙනවා. මං එයට කැමැති නැහැ. එය මට පිළිකුල් ඇත්තටම මං හැසිරෙන්නේ හුදෙකලාවේමයි. කඟවේනෙකුගේ හිස මත තිබෙන තනි අඟක් වගෙයි.

සම්බුදු පෙළහර සැබැවින්ම අසිරිමත්!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: