Posted by: lrrp | September 16, 2011

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

වැඩියි රස්නය වැඩියි සීතල

කාලකන්නියා, නිකමා,

අලස තක්කඩියා…

පාරේ යන විට ඔහුට ඇසුණේ මේ වචන ය. සැවැත් නුවර වැසියන් ඔහු ඇමතුවේ ඒ වචනවලිනි.

“කිසි වැඩක් පලක් කරන්න බැරි මූසලයා. නිකං කන්න බලන් ඉන්න හිඟන්නා.”

ඔහු ඒ වචන අසා කිපුණේ නැත. ඇත්තට ම ඔහු කුසීතයකු වූ හෙයිනි.

ඔහුට පිඩු සිඟා යන භික්ෂූන් පිරිසක් දක්නට ලැබිණ. උන් වහන්සේලාගේ පාත්‍රා සැදැහැවතුන්ගේ අත්වලින් හැඳීවලින් පිරෙන හැටි ඔහුට පෙනිණ. රස මස වුලු වල සුවඳින් ඔහුගේ නැහැය කිති කැවිණ. තවත් දිනෙක ඔහුට මහ මැදුරකට වැඩම කරන භික්ෂූන් සිය නමක් පෙනිණ.

ඒ විශාකා සිටු දුවගේ මැදුරයි.

“මේ භික්ෂූන්ට හැමදා ම දානය ලැබෙනවා. නිකම්ම හොඳ රස කෑම ලැබෙනවා. කිසිම වැඩක් පලක් නොකර කෑම ලබා ගැනීමට මාත් භික්ෂුවක් වන්නට ඕනෑ.” ඔහු සිතුවේය.

ඔහුගේ නම මාතාංග පුත්තය. ඔහුගේ පියා මාතාංගය.

මාතාංග පුත්ත ජේතවනාරාමයට ගියේය.

ඔහුට එහි දී පැවිදි බව ලැබිණ.

මාතාංග පුත්‍ර හිමියෝ දම්සභා මණ්ඩපයට වැඩියහ. බුදු රජාණන් වහන්සේගේ දෙසුමකට සවන් දීමට උන් වහන්සේට හැකි විය. සද්ධාවෙන් සිත පිරී යනු උන් වහන්සේට දැනිණ. ඇතැම් භික්ෂූන් සෘද්ධිමය දස්කම් පාන අයුරු ද පෙනිණ.

“මාත් ඍද්ධිබල සහිත කෙනකු විය යුතුයි”

උන් වහන්සේ බුදු රජාණන් වහන්සේ හමුවී සිය වුවමනාව පළ කළහ.

ඒ සඳහා අවශ්‍ය කමටහන් බුදු රජාණන් වහන්සේගෙන් ලැබිණ.

මාතාංගපුත්ත හිමියෝ ඒ කමටහන් මුල් කැරැ ගනිමින් භාවනාවේ යෙදුණහ. වැඩි කලක් නොගොස් උන්වහන්සේ ෂඩ් අබිඥ සහිත රහතන්වහන්සේ නමක් බවට පත් වූහ.

ඉන්පසු උන් වහන්සේට තමා ගිහි කල ගෙවූ කුසීත ජීවිතය සිහි විය. යමකු වැඩක් පැවරූ විට එදා දුන් පිළිතුරු සිහිවිය.

“මා දැන් වැඩ කරන්නේ කොහොමද ? තාම උදේ වැඩියි. දැන් හවස් වෙලා. මේ වෙලාවේ වැඩ කරන්න පුළුවන් ද ? මේ වෙලාවේ සීතලයි. වැඩ කරන්න බැහැ. දැන් වහිනවා. වැඩ කරන්න බැහැ. හිම වැටෙනවා. දැන් රස්නෙ වැඩියි. වෙන වෙලාවක වැඩ කරන්නම්.”

වැඩ කළ හැකි වෙලාවක් ඔහුට කවදාවත් එළඹුණේ නැත. කුසීත කමින් සිත පිරී තිබිණ. වැඩ කිරීමෙන් වැළකී නිකම්ම කෑමට පුරුදු වී සිටි ගිහි ජීවිතය පිළිකුල් සහගතයි. කුසිත බවෙන් මිදී දැඩි අදිටනින් යුතුව විදසුන් වඩන්නට පටන් ගත් පසු ඉතා ඉක්මනින් බලාපොරොත්තු වූ ඉලක්කය කරා ගමන් කළ සැටි උන්වහන්සේ සිහිපත් කළහ. ඒ සිතිවිලි මාතාංගපුත් රහතන් වහන්සේ සිය උදානය වශයෙන් ද පළ කළහ.

සීතලය දැන් උණුසුම්ය දැන්
දැන්සවස බෑ වැඩ කරන්නට
සිතන්නෝ මේ ලද උතුම්කල්
නසා ලති පිරිහුමට ලක්වෙති

සීතලය, උණුසුම්ය, සවසය
තණ පතකටත් වැඩිය නොතකා
සිය කිසෙහි යෙදෙනා කෙනෙක් ලොව
වෙත් ද ඔහු නොපිරිහේ සුවයෙන්

වැලුක් හී තණ කුස තණ ද මුදු
තණ ද නෙරපමි ළඟට නොගනිමි
එහි සුවය මට එපා කිසිවිට
සිත් විවේකය සමග රැඳෙනෙමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: