Posted by: lrrp | September 19, 2011

සියලු දුකෙන් නිදහස් වෙන මඟ

බණ භාවනා පුරුදු කරන්නටත්, බණ භාවනා දියුණු කරගන්නටත් බොහෝ දෙනෙක් කැමතියි. භාවනා කරන බොහෝ අය කැමති වෙන්නේ සමාධිය උපදවා ගන්නට යි. ඒ පිණිස තමයි බොහෝ අය මහන්සි වෙන්නේ. මේ පින්වත් පිරිසත් සමාධියක් උපදවා ගන්ට කැමති ඇති. නමුත් අපි කැමති වූ පමණින් සමාධියක් උපදවා ගන්ට පුළුවන් ද? කැමති වූ පමණින් සමාධියක් උපදවා ගන්ට බෑ. ඊළඟ දේ තමයි අපි මූලික වශයෙන් කැමති වෙන්ට ඕනැ සමාධිය උපදවාගන්ට ම නෙමේ. අපි මූලික වශයෙන් කැමති වෙන්ට ඕනැ සසර දුකින් නිදහස් වෙන්ට යි. ආර්ය සත්‍යය අවබෝධ කර ගන්නටයි අපි කැමති වෙන්නට ඕනැ. රාග, ද්වේෂ, මෝහ දුරුකර ගන්නටයි අපි කැමති වෙන්නට ඕනැ. නිවන අවබෝධකර ගන්නටයි අපි කැමති වෙන්නට ඕනැ. අන්න ඒ කැමැත්ත ඉටුකර ගැනීම පිණිස අපට සමාධිය උවමනා කරනවා. සමාධිය උවමනා කරන්නේ සසර දුකින් නිදහස්වීම පිණිස යි. එහෙනම් අපි කැමති වෙන්ට ඕනැ සසර දුකින් නිදහස්වීමට යි. අන්න ඒ කැමැත්තෙන් වාසය කරන කෙනාට සමාධිය උපදවා ගන්ට පුළුවන් කලක් එනවා.

අපි බලමු සමාධිය ඇතිකර ගැනීම පිණිස අපි මොන වගේ වැඩපිළිවෙලක් ද අනුගමනය කළ යුත්තේ කියල. සමාධියක් උපදවාගන්ට කැමති කෙනා සමාධිය උපදවා ගැනීම පිණිස අනුගමනය කළ යුතු වැඩපිළිවෙල පුරුදු කරන්ට කැමති වෙන්ට ඕනැ. සමාධිය ඉබේ ඇති වෙන්නේ නෑ. දැන් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වා දෙන්නේ සම්මා සමාධිය ඇති කරගැනීමයි. සම්මා සමාධිය උපදවාගන්ට නම් එයා උපදවගෙන තියෙන්ට ඕනැ සම්මා සතිය. සම්මා සතිය තියෙන කෙනාටයි සම්මා සමාධිය උපදින්නේ. සම්මා සතිය ඇති කරගන්ට නම් එයා සම්මා වායාමය ඇතිකර ගන්ට ඕනැ. එහෙනම් සම්මා වායාමය තියන කෙනාට සම්මා සතිය උපදවා ගන්න පුළුවන්. එයාට සම්මා සතිය ඉපදෙනවා. සම්මා වායාමය ඇතිවෙන්න නම් එයා තුළ සම්මා ආජීවය තියෙන්ට ඕනැ. සම්මා ආජීවයෙන් තොරව සම්මා වායාමයක් ඇති වෙන්නේ නෑ. එතකොට සම්මා ආජීවය තියෙන්ට නම් සම්මා කම්මන්ත තියෙන්ට ඕනැ. සම්මා කම්මන්තය තියෙන්න නම් සම්මා වාචා තියෙන්ට ඕනැ. සම්මා වාචා තියෙන්ට නම් සම්මා සංකප්ප තියෙන්ට ඕනැ. සම්මා සංකප්පය තියෙන්න නම් සම්මා දිට්ඨීය තියෙන්ට ඕනැ.

එතකොට බලන්න සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්ප පුරුදු කර ගන්ට බෑ. සම්මා සංකප්පයෙන් තොරව සම්මා වාචා පිහිටන්නේ නෑ. සම්මා වාචා නැත්නම් සම්මා කම්මන්ත පුරුදු කර ගන්ටත් බෑ. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, කියන අංග නැත්නම් සම්මා ආජීවය ඇති කර ගන්ටත් බෑ. එතකොට සම්මා දිට්ඨිය, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව කියන අංග නැත්නම් සම්මා වායාමය ඇති කර ගන්ටත් බෑ. එතකොට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම කියන අංග නැත්නම් සම්මා සතිය ඇතිකර ගන්ටත් බෑ.

එතකොට සම්මා දිට්ඨී, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ අංග 07 ම තියන කෙනාට සම්මා සමාධිය උපදවා ගන්ට පුළුවන්. එයා සමාධිය ඉපදේවා කියල ප‍්‍රාර්ථනා කරන්ට ඕනද? ප‍්‍රාර්ථනා කරන්න දෙයක් නෑ. සම්මා සමාධිය ඉපදෙනවා. එහෙනම් සම්මා සමාධිය උපදවා ගන්ට කැමති කෙනා විසින් බැලිය යුතුයි තමන් තුළ සමාධිය උපදීමට වුවමනා කරන අනිකුත් අංග තියෙනවද කියල. සම්මා සමාධිය උපදවා ගැනීම පිණිස උවමනා කරන ඒ මූලික අංගයන් ‘සමාධි පිරිකර’ කියලයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ. ඒ සමාධි පිරිකර ඇතිකරගෙන ඒවා පුරුදු කරන්ට ඕනැ.

සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සංකප්ප ඇති වෙන්නේ නෑ. සම්මා වාචා ඇති වෙන්නෙත් නෑ. සම්මා කම්මන්ත ඇති වෙන්නෙත් නෑ. සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි මේ එක අංගයක්වත් උපදින්නේ නෑ. එහෙනම් සම්මා දිට්ඨිය තමයි අනෙක් සෑම මාර්ග අංගයකටම මූලික වෙන්නේ. සම්මා සංකප්පය උපදවා ගන්ටත් ප‍්‍රමුඛ වෙන්නේ මූලික වෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා වාචා ඇති කර ගන්ටත් මූලික වෙන්නේ ප‍්‍රමුඛ වෙන්නේ සම්මා දිට්ඨියයි, සම්මා කම්මන්ත උපදවා ගන්නටත් මූලික වෙන්නේ ප‍්‍රමුඛ වෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා ආජීවය ඇතිකර ගන්නටත් මුලික වෙන්නේ ප‍්‍රමුඛ වෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා වායාමය උපදවා ගන්නටත් මුලික වෙන්නේ ප‍්‍රමුඛ වෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා සතිය උපදවා ගන්නටත් මුලික වෙන්නේ ප‍්‍රමුඛ වෙන්නේ සම්මා දිට්ඨියයි. සම්මා සමාධිය ඇතිකර ගන්නටත් මූලික වෙන්නේ ප‍්‍රමුඛ වෙන්නේ සම්මා දිට්ඨියයි.

එහෙනම් සම්මා සමාධිය උපදවා ගන්ට කැමති කෙනා කැමති වෙන්ට ඕනැ කුමක් කරන්න ද? සම්මා දිට්ඨිය උපදව ගන්ට. සම්මා දිට්ඨිය ඉපදුනොත් එයාට පුළුවන් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන මේ සමාධිය උපදවගන්ට උවමනා කරන මූලික අංග 07 ම උපදවගෙන දියුණු කර ගන්ට පුළුවන්. එතකොට අන්න ඒ විදිහට ඒ මූලික අංග, සමාධි පිරිකර උපදවගෙන යම් කෙනෙක්, පුරුදු කළොත් එයාට සම්මා සමාධිය ඉපදෙනවා. එහෙනම් සමාධියක් ඇති කර ගන්ට කැමති කෙනා සම්මා දිට්ඨිය උපදව ගන්න බලවත් කැමැත්තක් ඇතිකරගෙන, ඒ සඳහා වෑයම් කළ යුතුයි. ආර්ය අෂ්ඨාංගික මාර්ගය උපදවගෙන පුරුදු කිරීම පිණිස සම්මා දිට්ඨිය තමයි ඉතාම වැදගත් මාර්ග අංගය වෙන්නේ. යම් කෙනෙක් සම්මා දිට්ඨිය උපදවා ගත්තොත් එයා භව 07 කින් හරි අනෙක් අංග ටික සම්පූර්ණයෙන්ම පුරුදු කර ගන්නවා. සම්මා දිට්ඨීය උපදවා ගැනීම තමයි අපි ප‍්‍රමුඛ වශයෙන් ප‍්‍රමාද නොවී කර ගත යුතු කාරණය.

සම්මා දිට්ඨිය උපදව ගන්න අපි මොකක්ද කරන්න ඕනැ. අපි අහල තියනවා සද්ධර්ම ශ‍්‍රවනයත්, යෝනිසෝ මනසිකාරයත් කියන අංග දෙක පුරුදු කිරීමෙන් සම්මා දිට්ඨිය උපදිනවා කියල. ඒ අංග කොහොමද පුරුදු කර ගන්නේ. දැන් අපි සද්ධර්මය ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න ධර්මය මුල් කරගෙන අපි යෝනිසෝ මනසිකාරය පුරුදු කළා නම් සම්මා දිට්ඨීය ඇතිකරගන්ට අපට පුළුවන්. එහෙනම් අප තුළ ඇති කරගත යුතු අතිශය අමාරු, බැරෑරුම් දේ කුමක්ද? යෝනිසෝ මනසිකාරය උපදවා ගැනීම. යෝනිසෝ මනසිකාරය උපදවාගන්ට අපි සමත් වුනොත් අපේ අර්බුදයට අපි විසදුම් ලබාගෙන ඉවරයි නේද? අපේ අර්බුධය අපි විසඳගත්ත අය බවට පත් වෙනවා. අපිට බාහිරින් ලැබිය යුතු උපකාරයක් තියනවා නම් ඒ උපකාරය ලැබෙමින් තියෙන්නේ. දැන් අපි අප තුළ ඇතිකරගත යුතු දේ ඇතිකර ගන්ට ඕන. ඒ තමයි යෝනිසෝ මනසිකාරය.

කොහොමද ඒ යෝනිසෝ මනසිකාරය උපදවාගන්නේ? යෝනිසෝ මනසිකාරය ඇතිකර ගන්නා ආකාරය ගැන භාග්‍යවතුන් වහන්සේ දෙආකාරයකින් කියා දෙනවා. එකක් තමයි ධර්මයේ යමක්ද තියෙන්නේ, ඒ ආකාරයෙන් ම කල්පනා කිරීම. ඒ එක විදිහක්. අනෙක තමයි කල්‍යාණ මිත‍්‍රයා යමක් ද කියා දෙන්නෙ, ඒ ආකාරයෙන් ම කල්පනා කිරීම. දැන් අපිට සද්ධර්ම ශ‍්‍රවනය තියනවා. යෝනිසෝමනසිකාරය ඇතිකර ගන්නා ආකාරය අපි දන්නවා. දැන් අපිට පහසුවක් ඇතිවෙන්ට ඕනැ.

එතකොට අපි කතා කළේ සම්මා දිට්ඨිය උපදවා ගත්තොත් එයාට පුළුවන්කම ලැබෙනවා ඒ සම්මා දිට්ඨිය මුල්කරගෙන ආර්ය අශ්ඨාංගික මාර්ගයේ අනෙකුත් අංග උපදවාගෙන, දියුණු කරගෙන, පරිපූර්ණත්වයට පත්කර ගන්ට. එතකොට අපි ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අනෙකුත් සෑම අංගයකටම අතිශයින් උපකාරවන ප‍්‍රමුඛ වන සම්මා දිට්ඨිය ඇතිකර ගන්නටයි වහ වහා කල්පනා කළ යුත්තේ. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ හිස ගිනි ගත්ත කෙනා ඒ ගින්න නිවන්ට වෑයම් කරන්නේ යම් සේද ඊටත් වඩා සක්කාය දිට්ඨිය දුරුකිරීම පිණිස මහන්සි වෙන්න, වීරිය කරන්න සිහිනුවණ උපද්දගන්ට කියල. ඒ කියන්නේ ඉතා ඉක්මනින්ම සම්මා දිට්ඨිය උපදවාගන්න කියලයි.

සම්මා දිට්ඨිය උපදවාගැනීම පිණිස අපට උපකාර වන දේ තමයි සිතේ පිරිසිදු බව. සිත පිරිසිදු නොවී සම්මා දිට්ඨිය උපදින්නේ නෑ. ඒක මතක තියා ගන්න. සිතේ පිරිසිදු බව ඉපදීම පිණිස මොකක්ද උපකාර වෙන්නේ? සීලය පිරිසිදු වීම. සීලය පිරිසිදු වීමෙන් සිත පිරිසිදු වෙනවා. සීලය පරිපූර්ණත්වයට පත් නොවී සිත පිරිසිදු වෙන්නෙ නෑ. සීලය පිරෙනකොට තමයි සිතේ පිරිසිදු බව ඇතිවෙන්නේ. එතකොට ඒ විදිහට සීලය පිරෙන කෙනා තුළ සිතේ පිරිසිදු බව උපදව ගන්න පුළුවන්් කම ලැබෙනවා. සිත පිරිසිදු වෙන කෙනා තුළ සම්මා දිට්ඨිය උපදවා ගන්ට පුළුවන්කම තිබෙනවා. දැන් මේ අමාරු කටයුත්ත කරගන්නා ආකාරය හොදට මතක තියා ගන්න.

එතකොට සීලය අපිරිසිදු නම්, සීලය පිරිල නැත්නම් ඇයි සිත පිරිසිදු වෙන්න නැත්තේ? සීලය පිරිල නෑ කියල කියන්නේ එයා ලඟ කායික දුෂ්චරිතය, වාචසික දුෂ්චරිතය සිද්ධ වෙන්ට පුළුවන්. සුචරිතය සම්පූර්ණ නෑ. එයා අතින් කායික හෝ වාචසික හෝ දුෂ්චරිතය සිද්ධ වුනොත් ඒ දුෂ්චරිතය සිදුවීම නිසා එයාට පසුතැවෙන්ට වෙනවා. පසුතැවෙනවා කියල කියන්නේ සිත පිරිසිදුයි ද? සිතේ පිරිසිදුභාවය නෑ. යම් කෙනෙක් ඉන්නවා සීලය සම්පූර්ණයි. එයා අතින් දුෂ්චරිතය සිදුවෙන්නේ නෑ. දැන් එයාට පසුතැවෙන්ට දෙයක් තියනවද? පසු තැවෙන්න දෙයක් නෑ. සීලය පිරිසිදු නැති කෙනා පසුතැවෙනවා. මම කායික දුෂ්චරිතය කළා, වාචසික දුෂ්චරිතය කළා. කායික සුචරිතය මට කරන්ට බැරි වුනා. වාචසික සුචරිතය කරන්න බැරිවුනා කියල පසු තැවෙනවා. නමුත් සීලය පිරිච්ච කෙනාට පසුතැවෙන්ට දෙයක් නෑ. එයා හිතනවා මම සුචරිතය කළා දුෂ්චරිතය බැහැර කළා කියල.

සීලය දුර්වළ කෙනාට වඩා හාත්පසින් වෙනස් දෙයක් තමයි සීලය පිරුන කෙනාට හිතන්ට තියෙන්නේ. සීලය පිරුන කෙනා හිතන්නේ කොහොමද? මම සුචරිතය කළා, යහපතේ හැසිරුනා, යහපතේ හැසිරෙනවා. අයහපත අතහැරියා, දුෂ්චරිතය අතහැරියා කියල එයා හිතනවා. එහෙම හිතන්න හිතන්න සිත පිරිසිදු වෙනවා, ප‍්‍රබෝධයට පත් වෙනවා. පසුතැවිල්ල නැතිවෙලා යනවා. ඒ පසුතැවෙන ස්වභාවය නැතිවුනාට පස්සේ එයාට සම්මා දිට්ඨිය උපදවා ගන්ට පුළුවන්කම ලැබෙනවා. එහෙනම් සිත පිරිසිදු වෙන්නේ සීලය පරිපූර්ණවීමෙන්. සීලය පරිපූර්ණ වෙන්නේ කොහොමද? සීලය පිරෙන්නේ සේඛ බල පරිපූර්ණ වීමෙන්. සේඛ බල පරිපූර්ණවීමෙන් සීලය පිරෙනවා, සීලය පිරෙන කෙනා තුළ සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදුවෙන කෙනා තුළ සම්මා දිට්ඨීය ඉපදෙනවා. සම්මා දිට්ඨියෙන් යුක්ත කෙනා තුළ සම්මා සමාධිය උපදිනවා.

එතකොට සීලය පරිපුර්ණ කරගැනීම පිණිස සේඛ ධර්ම පරිපූර්ණ කරගත යුතුයි. මොනවද ඒ සේඛ ධර්ම? ශ‍්‍රද්ධාව පවට ලැජ්ජාව, පවට බය, වීරිය, ප‍්‍රඥාව. මෙන්න මේ සේඛ ධර්ම පරිපූර්ණවීමන් සීලය පරිපූර්ණ දෙයක් බවට පත්වෙනවා. සීලය පරිපූර්ණ වීමෙන් සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදුවෙන කෙනා තුළ සම්මා දිට්ඨිය ඉපදෙනවා. ඒ කියන්නේ සෝතාපන්න කෙනෙක් බවට පත්වෙනවා. සෝතාපන්න වුන කෙනා තුළ සම්මා සමාධිය ඉපදෙන කලක් එනවා. ඒකත් හදිසියේ වෙන එකක් නෙමේ. එතකොට අපි මූලික වශයෙන් මොකක්ද පුරුදු කළ යුත්තේ? සේඛ බල. සේඛ බල පුරුදු නොකොට සිල් රකින්ට පුළුවන් ද බැරිද? සිල් රකින්ට පුළුවන්. නමුත් මොකද වෙන්නේ? ඒ සීලය පරිපූර්ණ දෙයක් බවට පත්වෙන්නෑ. ඒ කියන්නේ සීලය නොපිරිහෙන දෙයක් බවට පත්වෙන්නේ නෑ. සේඛ බල පුරුදු කිරීමෙන් තමයි සීලය නොපිරිහෙන දෙයක් බවට පත්වෙන්නේ. එතකොට යම් කෙනෙක් ලග මේ අංග තියෙනවා නම් එයා අතින් ආයෙ සීලය කවදාවත් බිඳෙනව ද? නෑ. මේ ගුණ ධර්ම පරිපූර්ණ වෙන්ට වෙන්ට සීලය පළුදු වෙන්නේ නෑ. හොඳට මතක තියා ගන්න මේ කරුණු කාරණා තේරුම් නොගෙන අපට සීලය හොඳින් දියුණු කරගෙන සමාධිය උපදවා ගන්ට බැරිවෙනවා.

යම් කෙනෙකුට සීලය පරිපූර්ණ කරගන්නේ නැතුව සමාධියක් ඇතිකර ගන්ට බැරිද? එයාට එහෙම අවස්ථා තියෙන්ට පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ පහළ වෙන්ට කලින් සිල් රැක්ක අය හිටිය. ඒ සීලය මුල් කරගෙන සමාධිය උපදවාගත් අය හිටිය. ඒ සමාධිය නිසා ඉපදෙන යම් කුසල් තිබෙනවා නම් ඒ අදාළ ලෝකවල ඉපදෙනවා. ඉපදිලා ඒ කුසල් ඉවර වුනාට පස්සේ ආයෙත් පහත ලෝකවලට එයාට එන්ට වෙනවා. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා යම් කෙනෙක් පළවෙනි ධ්‍යානය උපදවා ගෙන, ඒ ධ්‍යානය බලවත් කරගෙන, නොපිරිහී කළුරිය කළොත්, එයා බ‍්‍රහ්මකායික දෙවියන් අතර ඉපදෙනවා කියල. එහි ආයුෂ කල්පයක්. එයා භාග්‍යවතුන් වහන්සේ ගේ ශ‍්‍රාවකයෙක් නොවෙනව නම් ඒ කල්පය අවසන් වෙලා නැවතත් පේ‍්‍රත ලෝකයේ තිරිසන් ලෝකවල නිරයේ ඉපදෙන්ට එයාට සිදු වෙනවා. නමුත් ඒ පළමු වෙනි ධ්‍යානය උපදවාගත් කෙනා ආර්ය ශ‍්‍රාවකයෙක් නම් සෝතාපන්න ඵලයට පත්වුන කෙනෙක් නම් එයා බ‍්‍රහ්මකායික දෙවියන් අතර ඉපදිලා කල්පයක් ආයුෂ එහිදිම ගෙවල එහිදි පිරිනිවන් පානවා. ආයෙ මෙහෙට එන්නෙ නෑ.

එතකොට බලන්න අපිට ඉතාම වැදගත්වන දේ නේද ආර්ය ශ‍්‍රාවකත්වය ඇතිකර ගැනීම. ඒ ශ‍්‍රාවකත්වය ඇතිවෙන්නේ සම්මා දිට්ඨිය ඇතිකර ගැනීමෙන්. සෝතාපන්න වීමෙන්. ඒකයි අපි කිව්වෙ සම්මා දිට්ඨියයි වඩා වැදගත් වෙන්නේ කියල. එහෙනම් සම්මා දිට්ඨිය ඇතිකර ගන්නේ නැතුවත් සමාධිය ඇතිකරගන්නා අකාරයන් තියනව නේද? එහෙනම් ඒ ධර්මය තුළින් අපිට ඉගෙන ගන්න තියෙන පනිවුඩය තමයි සම්මා දිට්ඨිය උපදවා ගන්නේ නැතුව සමථයත් පුරුදු කරල, සමාධිය උපදවාගන්නා ආකාර තියෙනවා කියන එක. ඒ විදිහට සම්මා දිට්ඨියෙන් තොරව සමාධියක් ඇතිකර ගත්තොත් ඒක මහත් ඵලද? මහත්ඵල නෑ. ඇයි මහත්ඵල නැත්තේ? ඒ ලෝකෙ කල්පයක් සැප වින්දත් ආයෙ දුක් සහිත ලෝකවල ඉන්ට සිද්ධ වෙනවා. එහෙනම් ඒ කල්පය සැප විදිහට ගත්තොත් දුක් විඳින්ට තියනවා ඊට වඩා දීර්ඝ කාලයක්. එහෙනම් ඒ පුංචි සැපට යම් කෙනෙක් අහුවුනොත් දීර්ඝ කලක් එයාට දුක් විදින්ට සිදු වෙනවා.

අන්න ඒ අනතුර අපි තේරුම් ගන්ට ඕනැ. එසේ තේරුම් අරගෙන සම්මා දිට්ඨිය ඇතිකර ගන්ට අපි කැමති වෙන්ට ඕනැ. සම්මා දිට්ඨිය ඇතිකර ගැනීම පිණිස සුදුසු ධර්මයන් අපි පුරුදු කර ගන්ට ඕනැ. එතකොට සම්මා දිට්ඨිය ඇතිකර ගන්ට නම් හිත පිරිසිදු වෙන්ට ඕනැ. සිත පිරිසිදු වෙන්ට නම් සීලය පරිපූර්ණ වෙන්ට ඕන. සීලය පරිපූර්ණ වෙනව කියල කියන්නේ සීලය ආපසු පිරිහෙන්නෙ නැති විදිහට දියුණු කර ගැනීමට යි. ඒ විදිහට සීලය පරිපූර්ණ වෙන්නේ සේඛ බල පරිපූර්ණ වීමෙන්. ශ‍්‍රද්ධාව හිරි ඔත්තප්ප වීරිය ප‍්‍රඥා කියන මේ සේඛ ධර්ම පරිපූර්ණවීමෙන් තමයි සීලය පිරෙන්නේ එතකොට අපේ ජීවිතය අපි ආරක්ෂා වෙන පැත්තට දියුණු කරගෙන හරවගෙන ඉවරයි.

තෙරුවන් සරණයි!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: