Posted by: lrrp | September 20, 2011

කකු සඳ – කෝනාගමන – කාශ්‍යප – ගෞතම යන බුදුරජාණන් වහන්සේලා තම බුද්ධ කාලය තුළ අපගේ මවුබිම වූ ශී‍්‍ර ලංකා ධරණි තලයට වැඩම කළ සේක.

මේ මහා භද්‍ර කල්පයට බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළ වෙති. ඉන් සිවු නමක් මේ වන විට සම්බුද්ධත්වයට පත්ව ලෝක සත්ත්වයාට ධර්මය දේශනා කොට පිරිනිවන් පෑහ. මෛත්‍රෙය බුදුරජාණන් වහන්සේ අනාගතයෙහි පහළ වෙති.

කකු සඳ – කෝනාගමන – කාශ්‍යප – ගෞතම යන බුදුරජාණන් වහන්සේලා තම බුද්ධ කාලය තුළ අපගේ මවුබිම වූ ශී‍්‍ර ලංකා ධරණි තලයට වැඩම කොට සුපූජනීයත්වයට පත් කළ අයුරු මහාවංස – දීපවංස – බෝධිවංස – ථූපවංස ආදී වංශකතාවල සඳහන් වෙයි. මේ අනුව මේ සතර බුදුවරයන් වහන්සේලාම අනුරාධපුරයට වැඩම කොට තිබීම ද විශේෂත්වයකි.

කකුසඳ බුදුරජාණන් වහන්සේ මේ දිවයිනට වඩින කාලය වන විට හඳුන්වා ඇත්තේ “ඕජ දීප” නමිනි. මහමෙවුනා උයන “මහා තීර්ථක” නමින් හඳුන්වා ඇත. උන්වහන්සේ මහාතීර්ථකයෙහි (අනුරාධපුර) වැඩ හිඳිමින් ලක්වැසියනට ධර්මය දේශනා කළහ. රාජනන්දා භික්ෂුණීන් වහන්සේ ලවා මහරි (මාර) බෝධීන් වහන්සේගේ ශාඛාවක් වඩමවා අභය නම් රජතුමා ලවා රෝපණය කරවූහ.

කෝනාගමන බුදුරජාණන් වහන්සේගේ කාලයේ ශී‍්‍ර ලංකාව නම් කර ඇත්තේ “වරදීප” නමිනි.එකල මහමෙවුනාව හැඳින්වූයේ “මහ අනෝම වන” නමිනි. ඒ සම්බුදුරජාණන් වහන්සේ ද මෙරට වැසියන්ට ධර්මය දේශනා කොට සන්මාර්ගගාමි කළහ. කනකදත්තා මෙහෙණින් වහන්සේ ලවා දිඹුල් (අට්ටික්කා) බෝධි ශාඛාවක් දඹදිව සිට වඩමවා සමෘද්ධි නම් රජතුමා ලවා රෝපණය කරවූහ. ඉන්පසු පහළ වන්නේ

කාශ්‍යප බුදුරජාණන් වහන්සේයි. ඒ සමයෙහි ශී‍්‍ර ලංකාව නම් කර ඇත්තේ “මණ්ඩප දීප” යනුවෙනි. මහමෙවුනාව “මහ සාගර වන” නමින් හැඳින්විනි. රාජ්‍ය විචාළේ ජයන්ත නම් රජතුමා ය. උන්වහන්සේ ද මෙරට වැසියනට දහම් දෙසූහ. ඒ බුදුරජාණන් වහන්සේට සෙවණ දුන්නේ නිග්‍රෝධ බෝධියකි. එනම් නුග ගසයි. සුධර්මා තෙරණින් වහන්සේ ලවා ඒ බෝධි ශාඛාවක් වැඩම වූහ. එය ජයන්ත රජතුමා ලවා රෝපණය කරවූහ.

මේ තුන් බුදුරජාණන් වහන්සේම අද අනුරාධපුර නමින් අප හඳුන්වන පූජනීය භූමියටම වැඩම කළහ. එහි ශී‍්‍ර මහා බෝධි මළුව, රුවන්වැලි සෑ මළුව හා ථූපාරාමය ආදී පූජනීය ස්ථානවල සමාධි සුවයෙන් කල් ගෙවූහ. උන්වහන්සේලා සමඟ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් ද වැඩිය බව සඳහන් වෙයි. ඒ පැරණි බෝධි ශාඛාවන් ද රෝපණය කර ඇත්තේ අද ශී‍්‍ර මහ බෝධීන් වහන්සේ වැඩ වෙසෙන මළුවෙහිමය.

මේ බුදුවරයන් වහන්සේ ජනතාවට පූජා හි වස්තූන් දී තිබේ. ඒ පූජනීය වස්තු තැන්පත් කර අද ථූපාරාම භූමියෙහි චෛත්‍ය ඉදිකළ බව ද සඳහන් වෙයි. බුදුරජාණන් වහන්සේ සමඟ වැඩම කළ රහතන් වහන්සේලාගෙන් පිරිසක් ද බෝධි ශාඛා වැඩම වූ තෙරණීන් ප‍්‍රධාන භික්ෂුණීන් වහන්සේලා ද මේ දිවයිනේ නතර කළහ. බුදුරජාණන් වහන්සේ ආපසු දඹදිවට වැඩම කළහ. මේ දිවයින් වැසියෝ උන්වහන්සේලාට සිවු පසයෙන් සංග‍්‍රහ කළහ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධරමාන කාල පරිච්ඡේදයේම මේ රට ද බෞද්ධ වූහ. මේ පිළිබඳ තොරතුරු මහාවංශයේ 15 පරිච්ඡේදයේ 52 ගාථාවේ සිට ඉදිරියට හමුවෙයි.

බෝධිතෝ නවමෙ මාසේ
ඵුස්ස පුණ්නවියං ජිනෝ
ලංකාදීපං විසෝධෙතුං
ලංකාදීප මුපාගමි

(ම. ව. 1 පරි: 19 ගාථාව)

එදින සවසතුමන් – බුදු වී නව වන මසේ
දුරුතු පුන් පෝදා ලක – සුසුදු කරනුව වැඩියෝ

(මහාවංස ගීතය – 1 සග – 18 ගීතය)

බිම්තැන්නේ හෙවත් මහියංගනයේ යක්‍ෂ ගෝති‍්‍රකයන්ගේ මහා සමුළුවක් පැවති මොහොතක උන්වහන්සේ එතැනට වැඩම කළහ. රැස්ව සිටි අය අතරින් ඇතැමෙක් ධර්මය අවබෝධ කර ගත්හ. ඒ අතරින් කෙනෙකි සුමන දෙවි තෙම. එතුමා ධර්මාවබෝධයෙන් පසු පූජා හී වස්තුවක් ඉල්ලීය. බුදුරජාණන් වහන්සේ කේශ ධාතු දුන් බව සඳහන් වේ. අද මහියංගන චෛත්‍ය ස්ථානයේම ඉදිකළ දාගැබක තැන්පත් කළ බවද වංශකතාවල සඳහන් වෙයි.

එසේ නම් ශී‍්‍ර ලංකාවේ චෛත්‍ය නිර්මාණය වංශකතා අනුව බුද්ධ කාලයේම සිදු වී තිබේ. බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ආදාහන චිතකයෙන් ලබා ගත් ගී‍්‍රවා ධාතුව, සරභූ නම් රහතන් වහන්සේ විසින් මේ චෛත්‍යයෙහි නිධන් කරවූ බව ද සඳහන් වෙයි. මේ සරභූ රහතන් වහන්සේ කවුද? උන්වහන්සේ සැරියුත් හිමියන්ගේ ශිෂ්‍යයෙකු බව ද කියැවෙයි.

බුදුරජාණන් වහන්සේ මහියංගනයට වැඩම වූ අවස්ථාවේ ධර්ම ශ‍්‍රවණය කළ ශී‍්‍ර ලාංකිකයෙකි. සමහර විට දඹදිවට ගොස් පැවිදි වන්නට ඇත. බුද්ධ පරිනිර්වාණයෙන් පසු සර්වඥ ධාතු තම ගම් පියස වූ මහියංගනයට වැඩමවා පූජා සත්කාර කිරීමට තම ඥාතීන්ට භාර දෙන්නට ඇති බව සිතිය හැකිය.

දෙවෙනි වරට බුදුරජාණන් වහන්සේ වඩින්නේ නාගදීපයටය. නාගදීපය නමින් මුළු යාපන අර්ධද්වීපයම හැඳින්වූ බව කියති. චූලෝදර මහෝදර දෙදෙනා අතර ගැටුමක් ඇති වූ අවස්ථාවේය. ඔවුහු ශී‍්‍ර ලාංකික නාග ගෝති‍්‍රකයෝ ය. මේ සිදුවීම වන්නේ බුද්ධත්වයෙන් පස්වෙනි වර්ෂයෙහි බක් අමාවක දිනකය.

සම්බුධො චිත්තමාසස්ස
කාළ පෙක්‍ඛ උපොසථෙ
පාතොයේව සමාදාය
පවරං පත්ත චීවරං
අනුකම්පාය නාගානං
නාගදීපමුපාගමි

(ම. ව. 1 පරි 46 – 47)

දකිමින් බක් මාසේ – අමාවක් පෝ දවසේ
අලුයම් සමයේ දී මැ – පා සිවුරින් උතුම් වූ
සැදී ඒ හිමිතුමෝ – නාගදීපයට වැඩියෝ

(මහාවංස ගීතය 1 සග 49 – 50)

එදා නාගදීපයට විවිධ පළාත්වලින් නාග ගෝති‍්‍රකයින් රැස්වූ බව පෙනේ. කැළණිය ආදී ප‍්‍රදේශවලින් ද වූහ. ඒ අතර කැළණියේ මණි අක්ඛික නාග ගෝති‍්‍රක නායකයා ද විය. බුදුරදුන් කෙරෙහි පැහැදුන හෙතෙම තම වාසභූමියට ද පසු දිනක වඩින ලෙස ආරාධනා කළහ.

ඒ අනුව ඉන් වසර තුනකට පසුව එනම් බුද්ධත්වයෙන් වර්ෂ අටකට පසුව වෙසක් පුර පොහෝ දිනක කැලණියට වැඩම කළහ. මේ තුන්වෙනි ගමන සඳහා මහරහතන් වහන්සේ පන්සිය නමක් සහභාගි වූ බව මහාවංසය කියයි.

අද කැළණි වෙහෙර පුදබිමේ වැඩ හිඳ දහම් දෙසූහ. ප‍්‍රදේශවාසී ජනතාව ද විවිධ ආහාරපාන ආදියෙන් සංග‍්‍රහ කළහ. අප සම්බුදු රජාණන්වහන්සේ මේ ගමන් වාර තුනෙන් දෙකක් අනාරාධිතව ද එක් අවස්ථාවක් ආරාධනාවකට අනුව ද වැඩම කළහ. දෙවරක් භික්ෂූන් නැතිව ද එක් වරක් භික්ෂු සංඝයා පිරිවරාගෙන ද වැඩියහ.

මේ තුන්වෙනි ගමන් වාරයේ දී ශී‍්‍ර ලංකාවේ ස්ථාන කීපයකට ම වැඩියහ. සුමනකූටය හෙවත් සමනළ ගිරට වැඩමවා සිරිපදලස තැබීම ඉන් සුවිශේෂී වූවකි. ඒ පර්වත පාදයේ දිවා විහරණය කර දීඝවාපියට වැඩම කළහ. දිවාගුහාව පිළිබඳ උගතුන් අතරේ මත පවතී.

ඉක්බිති අනුරාධපුර මහාමේඝ වනෝද්‍යානයට වැඩියහ. ශී‍්‍ර මහා බෝධිය පිහිටන තැන – මහාථූපය හෙවත් රුවන්වැලි සෑය පිහිටි තැන – ථූපාරාමය පිහිටි තැන හා සේල චෛත්‍ය පිහිටි තැන යන ස්ථානවල මොහොතක් සමාධි සුවයෙන් වැඩ හිඳ රැස්වූ ජනතාවට ධර්මය දේශනා කළහ.

නාථො වුට්ඨාය ඨානම්හා
ඨානා ඨානෙසු කෝවිදො
මහාමෙඝවනාරාම
ඨානමවාග මහාමුනි
මහාබෝධි ඨිතට්ඨානෙ
නිසීදිත්වා සසාවකො
සමාධිං අප්පයි නාථො
මහා ථූප්පතිථිඨිතෙ තථා
ථූපාරවම්හි ථූපස්ස
ඨිතට්ඨානෙ තථෙව ච
සමාධිතොථ වුට්ඨාය
සිලා චේතිය ඨානතො

(ම. ව. 1 පරි. 80 – 81 – 82 ගාථා)

නිසි නොනිසි තැන් දත්
එතුමෝ එයින් නැගැ සිට
අද මහ මෙවුනා උයන
පිහිටි බිමට ද වැඩියෝ
උතුම් සිරිමා බෝ
පිහිටි තැන සඟ ගණ හා
වැඩ හිඳිමින් සමවතට
සම වැදුණ සමිඳ්‍රණෝ
එපරිදි මහ සෑ
ථූපාරාම දාගැබ
පිහිටි තැන් පිවිතුරු කොටැ
සේල සෑ රද ඇති තැන

මහාවංස ගීතය 1 සග 86 – 87 – 88 ගී)

මෙයින් අපට උපකල්පනය කළ හැක්කේ ඉහත කී තැන් බුදු සිරිපා පහසින් සුපිරිසිදු වූ බවයි. එසේම බුද්ධ කාලයේ සිටම තෙරුවන් සරණ ගිය බෞද්ධ ජනතාවක් අනුරාධපුරය ආදි විවිධ ප‍්‍රදේශවල සිටි බවයි.

ඉහත කී සිවු බුදුවරයන් වහන්සේලාම ආපසු දඹදිවට වැඩමවා ඇත්තේ ථූපාරාමය අසලිනි. මේ බව සිහිපත් කරන පාදලාංඡන චෛත්‍ය නමින් හඳුන්වන චෛත්‍යයක නටඹුන් එහි දක්නට ලැබේ. ථූපාරාමය පෙදෙස නටඹුන් වූ කල්හි කටු පඳුරු ගහණ ප‍්‍රදේශයක් ම පැවති බවත්. එසේ වන්නේ මළ මූත‍්‍රයෙන් අපවිත‍්‍ර වීම නොවීම පිණිසත් බව ථූපවංසය කියයි.

කි‍්‍ර. ව. 13 සියවසේ දී පමණ ආරණ්‍යකි වේදේහ මා හිමියෝ ඉතා රමණීය පාලි කාව්‍යයක් වූ සමන්තකූට වර්ණනාව කළහ. එහිදී බුදුරදුන්ගේ තෙවෙනි ලංකාගමනයේ දී සමනළ ගිරි සිරසේ සිරිපා සටහන් තැබීම පිළිබඳ විසිතුරු වර්ණනාවක් කරති. ඒ රචනයේදී උන්වහන්සේට පාලි අට්ඨකථා – වංශ කථා හා ජනශ‍්‍රැති ද උපකාර වන්නට ඇත.

එහි සඳහන් වන පරිදි ශී‍්‍ර ලාංකික මණි අක්ඛික නා රජ දඹදිව ජේතවනාරාමයට ගියහ. බුදුරජාණන් වහන්සේ හමු වී මේ සිරිලක් දිවයිනට වඩින ලෙස ආරාධනා කළහ. ඒ ඇරයුම පිළිගත් සම්බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම වූහ. ඒ ගමනට සැරියුත් – මුගලන් – කාෂ්‍යප – උපාලි – අනුරුද්ධ – උපධාන – බක්කුල ආදී පන්සියයක් මහරහතන් වහන්සේ ද සහභාගි වූහ.

ඒවමාදි මහානාගා
පංචසත ජිනොරසා
සාමාගඤ්ජුං සහා ගන්තුං
මුනිනාලෝක සාමිනා

(සමන්තකූට වණ්ණනා 652 ගාථාව)

එහිදී නාග ගෝති‍්‍රකයන්ට දේශනා කළේ යැයි සිතන වටිනා ධර්මානුශාසනයක් ද කතුවරයා දක්වා තිබේ. සමනළ වැඩමවීමෙන් අනතුරුව අනුරාධපුරයට වැඩම කර කළ කී දේ අනික් වංශකථාකරුවන් මෙන් ම මෙහිද වර්ණනා කර තිබේ. “ලංකාවතාර සූත‍්‍රය” බෞද්ධ සංස්කෘත සාහිත්‍යයෙහි තිබෙන වැදගත් ග‍්‍රන්ථයකි.

කි‍්‍ර. ව. තුන්වෙනි සියවසේ දී පමණ මෙහි මුල් පිටපත චීන භාෂාවට පරිවර්තනය වී තිබේ. එසේ නම් මුල් සංස්කෘත පිටපත ඊට වඩා පැරණි විය යුතු බව උගතුන්ගේ පිළිගැනීමයි. මේ ලංකාවතාර සූත‍්‍රය සකස් වී තිබෙන්නේ බුදුරජාණන් වහන්සේ ලක්දිව දී රාවණ නම් පුද්ගලයෙකුට දේශනා කළ අයුරිනි. එසේ නම් මෙයින් ද බුදුරදුන්ගේ ලංකාගමනයක් කියැවෙයි. මේ ආදී වශයෙන් සිංහල – පාලි ඣී සංස්කෘත සාහිත්‍ය ග‍්‍රන්ථවල බුදුරජාණන් වහන්සේගේ ලංකාගමනයන් ගැන සඳහන් වෙයි.

පුරාවිද්‍යා මූලාශ‍්‍ර කීපයක් උපයෝගී කර ගන්නා පුරාවිද්‍යා ගවේෂකයෝ ද මේ බුදුරදුන්ගේ ලංකාගමනය තහවුරු කිරීමට උත්සාහ කරති. “ශ‍්‍රද්ධාඤ්ජලී” ශාස්තී‍්‍රය සංග‍්‍රහයට ලිපියක් සපයන ආචාර්ය ජයරත්න පතිරආරච්චි මහතා මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කරයි. මේ පිළිබඳ තව තවත් පුරාවිද්‍යාඥයන්ගේ හා ගවේෂකයින්ගේ අවධානය යොමුවීම ඉතා අගනේය.

මේ ආදී කරුණු අනුව සාහිත්‍යාත්මක – පුරාවිද්‍යාත්මක හා ජනශ‍්‍රැති ආශ‍්‍රයෙන් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශී‍්‍ර ලංකා දීපයේ අනුරාධපුර ආදී ස්ථාන කීපයකටම වැඩම කරන්නට ඇති බව අපට සිතා ගත හැකිය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: