Posted by: lrrp | September 20, 2011

තෘෂ්ණාව දුරු කිරීම

සසර ගත කරන සත්වයා භවයෙන් භවය ඉපදෙමින් මියයමින් නැවත උපදමින් විඳිණු ලබන්නේ අනන්ත වූ දුක් රාශියකි. උපන් භවය තුළ ලෙඩවීම, වයසට යාම, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයයන් හා එක්වීම, කැමති දෙය නොලැබීම ආදී දුක්වලට මුහුණ දෙයි. කයිකාව ලබන පීඩාවන්ද ඊටත් වඩා විඳීමට සිදුවන මානසික පීඩාද මේ අතර වෙයි. මෙම සියලු දුක් දොම්නස් අප දකින්නේ මේ භයය තුළදී පමණි. ඊට හේතුව පෙර භවයක් හෝ මතුභවයක් අපේ ඥානයට ගෝචර නොවීමයි.

සත්වයා මෙලෙස දුක් අනුභව කළද ඉන් තාවකාලිකව මිදීම සොයමින් තවත් දුක් වලට පැටලෙන්නේ පෙර පසු භවයන් හා ඒවාහි විඳින දුක් ගැන අවබෝධයක් නැති නිසාවෙනි. තුවාලයක් ඇති පුද්ගලයා තාවකාලික සනීපයක් ලැබෙන නිසා එය කසයි. මොහොතකින් පැවතියාට වඩා දැඩි වේදනාවක් ඔහුට උරුම වන්නේ තුවාලය තවත් උග‍්‍රවෙමිනි. සසර දුක පිළිබඳ අවබෝධයක් නැති සත්ත්වයද එලෙසම එදිනෙදා මුහුණ දෙන දුක් ප‍්‍රශ්න පීඩාවලට තාවකාලික ව පිළිතුරු සෙවීමේ මහා තරඟයක යෙදී සිටින ඔහු නොදැනුවත්වම කලින් පැවතියාට වඩා දුෂ්කරතා වලට පත්වේ. අවුලෙන් අවුලට පත්වීම යනු මෙයයි. එම සියලු අවුල් නිරවුල් කිරීම කළ හැක්කේ කවරෙකුටද යන්න විමසීම මෙහි අපේක්ෂාවයි.

දේශනා කරන ලද විශාල දහම් කරුණු ඉතා කෙටි ගාථාවලින් හකුළුවා දැක්වීම බුදුරජාණන් වහන්සේ ගේ දේශනා ශෛලිය තුළ විශේෂ ලක්ෂණයක් ලෙස හඳුනාගත හැකිය. සමහර ගථාවන් තුළ ඉතා සංකීර්ණ පිටු ගණනාවකින් දැක්විය යුතු ධර්ම දේශනාවක් සංක්ෂේපයෙන් දක්වා ඇත. මෙහිදී මාතෘකා කරන ලද ඉහත ගාථා පාඨය ඇතුළත් ගාථාවද එවන් පුළුල් අර්ථයක් සැඟවුණු ගාථාවක් ලෙස පෙන්වා දිය හැකිය.

 

අන්තෝ ජටා බහිජටා ජටාය ජටිතා පජා
තං තං ගෝතම පුච්ඡාමි කෝ ඉමං විඡටයෙ ජටං

 

දෙවියකු විසින් බුදුරජාණන් වහන්සේගෙන් ගාථා ප‍්‍රශ්නයක් ලෙස අසල ලදැයි සඳහන් වන මෙහි අර්ථය ඉතා සංකීර්ණය. “ස්වාමීනි ඇතුළතද අවුලය. පිටතද අවුලය. සත්වයා අවුලෙන් අවුලට පත් වී සිටිති. ස්වාමීන් ඔබගෙන් විමසම් කවරෙක් මේ අවුල ලිහා දමයිද ?” මෙලෙසින් එම දේවතාවා අසන ප‍්‍රශ්නය දෙවි මිනිසුන් සහිත කාමයෝගී සියලු සත්ත්ව වර්ගයා මුහුණ දෙන ප‍්‍රශ්නයයි.

මෙහි ඇතුළත හා පිටත අවුල් යනුවෙන් ඔහු අදහස් කරන්නේ සත්වයා හා ඔවුන් අත්දකින බාහිර ලෝකය නිසා මුහුණ දෙන අතිවිශාල දුක් කරදරයි. ජටා යනුවෙන් අදහස් කරන්නේ එම දුක් කරදර වලට හේතුව වූ තෘෂ්ණාවයි. තමා යන්න මුල් කරගෙනත් රූපාදී අරමුණු සහිත විෂය ලෝකය මුල්කර ගෙනත් සත්වයින්ගේ සිත්තුළ හට ගැනෙන තෘෂ්ණාව නිසා දුකින් දුකට කරදරයෙන් කරදරයට පත්වේ. මෙය අවුලකි. අවුල් වූ නූල් බෝලයක් සේ ලිහා ගත නොහැකි ගැටලු රැසක පැටලීමකි. අවුලෙන් අවුලට පත්වීමකි. මෙම ගැටලුව විසඳිය හැක්කේ කවරෙකුටද යන්න දැන ගැනීම පැනය විමසූ දෙවියාගේ අපේක්ෂාව වීය. එම ගැටලුව විසඳමින්ය බුදුරදුන් පහත ගාථාව දේශනා කරන්නේ.

 

සීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤෙ¤ චිත්තං පඤ්ඤංච භාවයං
ආතාපි නිපකො භික්ඛු සො ඉමං විජටයේ ජටං

 

තෘෂ්ණාව දුරුකරන ආකාරය පිළිබඳ බුදුරදුන් විවිධ අවස්ථාවල විවිධාකාරයෙන් පෙන්වා දී තිබේ. එක් තැනකදී එය ධ්‍යානය සහ ප‍්‍රඥාව යනුවෙන් දක්වා ඇත. එක් තැනකදී එය ධ්‍යානය සහ ප‍්‍රඥාව යනුවෙන් දක්වා ඇත. (සමථ විපස්සනා) තවත් තැනක සීල සමාධි, ප‍්‍රඥා යනුවෙන් දක්වා ඇත. උක්ත ගාථාවෙන් බුදුරදුන් එම මාර්ගය පෙන්වා දෙන්නේ සීල, සමාධි, ප‍්‍රඥා යනුවෙනි. ඒ අනුව එම ගාථාවේ අදහස වන්නේ සීලයෙහි පිහිටි. ප‍්‍රඥාවන්ත, කෙළෙස් තවන වීර්යයෙන් යුක්ත වූ, සංසාරයෙහි බිය දකින්නා මෙම අවුල ලිහා දැමීමට සමත් වන බවයි.

සමස්ත බුදුදහමම සඟවා ගත් මෙම ගාථාව ඇතුළත් වන්නේ සූත‍්‍රපිටකයේ සංයුක්ත නිකායේ සගාථාවග්ගයෙහි ජටා සූත‍්‍රයේය. මෙයින් පෙන්වා දෙනු ලබන අවුල් දුරු කිරීම හෙවත් තෘෂ්ණාව දුරු කිරීමේ මාර්ගය වන්නේ ඉහත කෙටියෙන් පැහැදිලි කළ ආකාරයට සීලය සමාධිය සහ ප‍්‍රඥාවයි. සීලය යනු හික්මීම ලෙසත් සමාධිය යනු සිතේ එකඟතාවය ලෙසත් ප‍්‍රඥාව යනු කෙළෙස් නැසීමේ ඥානය ලෙසත් සරලව අරුත් ගැන්විය හැකිය. ති‍්‍රශික්ෂාව ලෙස හඳුන්වන්නේද මෙම අංගත‍්‍රයයි.

ඉහත ගාථාවේ භික්ෂු යන පදයෙන් හඳුන්වන්නේ භික්ෂුවයි. භික්ඛු යන්නට විවිධාකාර අර්ථකතන තිබේ. මෙම ගාථාවට අනුව භික්ඛු යන්නෙහි අරුත වන්නේ සසරෙහි බිය දකින්නා යන්නයි. (සංසාරෙ භයං ඉක්ඛතීති භික්ඛු) ඒ අනුව සසර දුක් වලින් මිදීමට උත්සුක වේ නම් පළමුව ඔහුට තමා ගත කරන සසරෙහි බිය අවබෝධ විය යුතුය. එය ආයාසයෙන් සිතට නගා ගත යුතු බියක් නොව සසර ගැන සිහිකරන විට බුද්ධිමත් සිතට දැනෙන දෙයකි. පංචේන්ද්‍රියන් පිණවීම අරමුණු කරගෙන නිමා නොවන දුරක ජයග‍්‍රහණයක් ;නාමැති තරඟයක මිනිසා යෙදී සිටී.

එසේම එම නොලැබෙන ජයග‍්‍රහණය උදෙසා තම ශක්තිය උත්සාහය කැපවීම ආදී සියල්ල යොදවයි. නමුත් ලැබූ ජයග‍්‍රහණයක් නැත. සිත ලැබූ තෘප්තියක්ද නැත. ඊට අමතරව සත්වයා අත්විඳින ජාති ජරා ව්‍යාධි මරණ ශෝක දුක් දොම්නස්වල නිමාවක්ද නැත. සසර ගමන නිසරු දෙයක් ලෙස ආර්ය උතුමන් පවසා ඇත්තේ මේ නිසාය. මෙම සිද්ධාන්තය යමෙකුට අවබෝධ වේ නම් ඔහුට සසරගමන නිසරු හරසුන් දුක් සහිත වූවක් බව අවබෝධ වේ. මේ ගාථාවෙහි භික්ඛු යන්නෙන් අදහස් කරන්නේ සසරෙහි බිය දක්නා එම පුද්ගලයාවය.

නිපකො යනු ප‍්‍රඥාවයි. එය පාරිහාරිය ප‍්‍රඥාව ලෙස හැඳීන්වේ. පාරිහාරිය ප‍්‍රඥාව යනු අවස්ථාවට සුදුසු දේ නුවණින් යුතුව සළකා ගත හැකි අවබෝධයයි. සසරෙහි බිය දක්නා පුද්ගලයා නිපකො යන පදයෙන් විශේෂණ කර ඇත්තේ සසර දුකක් බව අවබෝධ වීමට ප‍්‍රඥාව අවශ්‍ය වන බැවිනි. මානව ඉතිහාසය දෙස බලන කල ලෝකයේ විවිධාකාර නිර්මාණයන් බිහි කළ ලෝකය වෙනස් කළ ශ්‍රේෂ්ඨ මිනිසුන් දැකිය හැකි වුවද සසර දුකක් බව අවබෝධ වී ඉන් මිදීමට කල්පනා කළ අය දැකිය හැක්කේ සුළු පිරිසකි.

වර්තමානය දක්වාම අනාගතයටත් මේ යථාර්ථය මෙසේම වනු ඇත. ඇතැමෙකුට සසර දුකක් බව පෙනුනද ඉන් මිදීමට තරම් උත්සාහයක් නැත්තේ ලැබෙනා තාවකාලික සතුටට වහල්වීම නිසා හෝ අනවබෝධය නිසාය. මෙය මනාව තේරුම් ගැනීමට නම් ඉහත කී පාරිහාරිය ප‍්‍රඥාව අවශ්‍ය වේ.

ආතාපි යනු කෙළෙස් තවන වීර්යයෙන් යුක්ත වන බවයි. යමෙකුට සසරෙහි නියම ස්වභාවය වැටහුණු විට සංසාර ගමන නැවැත්වීමට නම් ඒ දුෂ්කර කාර්යය සිදු කිරීමට දැඩි වීර්යයක් තිබිය යුතුය. අලස පුද්ගලයාට එම පරමාර්ථයට ළඟාවිය නොහැකිය. කෙළෙස් තැවීම යනු සිතෙහි මුල් බැසගෙන ඇති රාගාදී කෙළෙස් මුල් උදුරා දැමීමට කටයුතු කිරීමයි. එය ඉතා අසීරු කටයුත්තකි. එනිසා විවිධ කාම සිතුවිලි මැඩගෙන එය සිදු කිරීමට සැබවින්ම දැඩි වීර්යයක් තිබිය යුතුය. ඇතැමෙකුට සසර දුක දැණුනද ඉන් මිදීමට අවශ්‍ය වුවද ඒ සඳහා දැඩි වීර්යයක් නොමැත.

එවිට සසර තවත් දිගුවීම ස්වභාවයයි. බෝසතාණන් වහන්සේ බෝමැඩ මුලදී සිතට නගාගත් චතුරංග සමන්නාගත වීර්යය මෙහිදී සිහිපත් කළ හැකිය. මගේ සම් මස් ලේ නහර වියළී ගියත් බුදු වී මිස මෙතනින් නොනැගිටිමි යන උදාර අධිෂ්ඨානය ලෝකයටම ආදර්ශකි.

මෙම ගථාව තුළ සපඤ්ඤෙ¤ යන්නද ඇතුළත් ව තිබේ. ඉන් අදහස් කරන්නේද එක්තරා පඥාවකි. එය ජාති ප‍්‍රඥව නොහොත් ප‍්‍රතිසන්ධි ප‍්‍රඥාව යනුවෙන් හඳුන්වයි. මෙය ලැබෙන්නේ පෙර භවයේ කළ කර්ම බලයෙහි සත්‍යාවබෝධය උදෙසා පෙර පින් කර තිබීමද වැදගත් බව මින් පෙන්නුම් කරයි. අවුල හෙවත් තෘෂ්ණාව සිඳ දමන පුද්ගලයා තුළ තිබිය යුතු ලක්ෂණ මේ ආකාරයෙන් පැහැදිලි කරන ලදී.

ඒ අනුව සංසාර අවුල ලිහා දමන්නේ සසර බිය දකින කටයුතු නුවණින් මෙහෙයවන පෙර පිනෙන් ජාති ප‍්‍රඥාව ලද දැඩි වීර්යයෙන් කටයුතු කරන්නාය. මෙම ලක්ෂණ වලින් යුතු පුද්ගලයා සසර බැමි බිඳ දැමීම සඳහා පියවර තුනක් අනුගමනය කළයුතුය. එනම් සීලය සමාධිය හා ප‍්‍රඥාවයි.

සීලය යනු සරල අර්ථයෙන් ගත් විට සංවර වීමයි. සීලය තුළින් බලාපොරොත්තුවන්නේ සිත කය වචනය තුළින් සිදුවන අකුසල් වළක්වා ගැනීමයි. සීලයට බුදුදහම තුළ ඉතා වැදගත් ස්ථානයක් හිමිවේ. ඊට හේතුව සීලය ආර්ය මාර්ගයේ පදනම වීමයි. සිත, කය, වචනය සංවර කර ගත නොහැකි පුද්ගලයාට ලැබිය හැකි මාර්ගයක් පලයක් හෝ සුභසිද්ධියක් නැත. මේ නිසාම බෞද්ධ ප‍්‍රතිපදාව තුළ සීලයෙන් යුතු පුද්ගලයාට වයස තරාතිරම භේදයකින් තොරව ගරු කරනු ලැබේ. සීල යන්නට එම නම ලැබී ඇත්තේ සීලන යන අර්ථයෙනි. සීලන යනු කුසල ධර්ම විසිරී යාමට නොදීම හා කුසල ධර්ම පිහිටා සිටීමට ආධාර වීමයි. සීලයේ ප‍්‍රභේද ගණනාවකි.

චේතනා, චෛතසික, සංවර, අවිතක්කම යනුවෙන් ප‍්‍රධාන වශයෙන් සීලය කොටස් හතරකි. ප‍්‍රාණඝාතාදී පව්කම් වලින් වැළකී වත්පිළිවෙත් රකින්නා තුළ ඇතිවන සීලය චේතනා සීලයයි. චෛතසික සීල යනු ප‍්‍රාණඝාතාදී පවෙන් වැළකී සිටින විට සිතෙහි පහළ වන විරති, අනභිධ්‍යා, අව්‍යාපාද, සම්මාදිට්ඨි යන චෛතසික ධර්මයි. සංවර සීලය පස්වැදෑරුම්ය. ප‍්‍රාතිමොක්ෂ සංවර සීලය, සති සංවර සීලය, ඤාණ සංවර සීලය, ඛන්නි සංවර සීලය, විරය සංවර සීලය වශයෙනි. අවිතක්කම සීලය නම් සමාදන් වූ සීලය කය වචන මගින් බිඳීමට ඉඩ නොදී රැක ගැනීමයි. මීට අමතරව සීලයෙහි නොයෙකුත් ප‍්‍රභේද දැකගත හැකිය. මෙකී සියලු සීලයන්ගෙන් බලාපොරොත්තු වන්නේ කය සහ සිත සංවර කර ගැනීමයි.

දුදහමේ උගන්වන පොදු හා ප‍්‍රථමික සීලය පංචශීලයයි. සමාජයක් රටක් යහපත් ගුණගරුක සමාජයක් බවට පත් කිරීමට අදාළ සියලු කාරණා ඊට අන්තර්ගතය.

සසර අවුලට මෙහා ඇති බොහෝ අවුල් මගහරවා ගැනීමට පංචශීලය සාම්ප‍්‍රදායික වතාවතක් පමණක් බවට පත් වී ඇත. තම පැවැත්ම උදෙසා පරපණ නැසීම, සොරකම, පරපුරුෂ සේවනය, බොරු කීම හා මත්ද්‍රව්‍ය භාවිතය යන මේ කරුණු අද මුළු මහත් ලෝකයටම සාපයක් වී තිබේ.

ලොව කොතනක හෝ අසාධාරණ, කලකෝලාහල මෙන්ම යුද්ධ ආදිය තිබේනම් ඒ සෑම තැනම එකී නරක සිරිත් ඊට මුල් වී ඇත. මේ අනුව බලන කළ මේ පැණවීම් පසෙහි වටිනාකම කෙතෙක්ද යන්න මනාව අවබෝධ වේ. කිසියම් සමාජයක් මෙම ධර්මතා පසට ගරුකරමින් තමා ගැන සේම අනුන් ගැනද සිතයි නම් එය ශ්‍රේෂ්ඨ වූ සංකල්පයකි.

සීලයන් අතර වඩාත් වැදගත් සීලයක් ලෙස ඉන්ද්‍රීය සංවර සීලය පෙන්වා දිය හැකිය. ගැඹුරින් සළකා බැලුවහොත් ඉඳුරන් සංව කර ගැනීම ලෞකික ;ල¤කෝත්තර දෙපක්ෂයේම සුභසිද්ධියට හේතු වේ. භික්ෂූන් වහන්සේලාට වැදගත් වූ ප‍්‍රාතිමෝක්ෂ සංවර සීලය රැක ගැනීමට පවා ඉන්ද්‍රීය සංවර සීලය පිටිවහල් වේ. මෙහිදී ඉන්ද්‍රීය යනුවෙන් සළකන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය යන පසයි.

එම ඉඳුරන් සමග ගැටෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන අරමුණු නිසා බොහෝ විට සිත කිලිටිවේ. ඇසට ලැබෙන පි‍්‍රය අපි‍්‍රය රූප මගින් රාගය හෝ ක්‍රෝධය පහළ වී වර්ධනය වේ. කනට ඇසෙන පි‍්‍රය හෝ අපි‍්‍රය ශබ්ද නිසා සිතෙහි ආශාව හෝ තරහව ඇතිවේ. මේ අයුරින් පසිඳුරන් හරහා ලබන අරමුණු වල එල්බ ගැනීම නිසා කෙළෙස් දහම් වර්ධනය වේ.

මෙලෙස වර්ධනය වන කෙළෙස් වල කි‍්‍රයාකාරකම් කලඑළි දක්වන්නේ කය වචන මගිනි. කය වචන මගින් කරනු ලබන කි‍්‍රයාකාරකම් තුළින් ඉඳුරන් තුළින් ලබාගත් අරමුණු වල වර්ධනය කෙතෙක්ද යන්න දත හැකිය. විවිධ වර්ගීකරණයන් යටතේ විවිධාකාර වූ ශික්ෂාපද බුදුරදුන් පණවා තිබුණද ඒවායින් බලාපොරොත්තු වූයේ ප‍්‍රධාන වූ එක් අරමුණකි.

එනම් සිත ආරක්ෂා කර ගැනීමයි. එක් අවස්ථාවක කෝටියක් සංවර ශීලය පිළිබඳව විමසූ භික්ෂුවක් එහි සංඛ්‍යාත්මක විශාලත්වය දැක උපසම්පදා ශීලය රැකීමට නොහැකි දෙයක් යැයි සිතීය.

එම අවස්ථාවේ බුදුරදුන් වදාළේ කෝටියක් සංවර සීලය පසෙකින් තබා එකක් රැක ගන්නා ලෙසයි. එම එක නම් සිතයි. බුදුදහම සිත මුල් කරගත් දහමකි. පුද්ගලයාගේ සසර පැවැත්ම හෝ නැවැත්ම තීරණය කරනු ලබන්නේ කිසියම් නිර්මාපකයෙකු දෙවියෙකු විසින් නොව තමාගේ සිත විසිනි. එනිසා පුද්ගලයාව සසර දුක් නිවාලන මාර්ගයට යොමු කරන්නේද උත්සාහයෙන් හික්මවා ගන්නා මනස පමණි.

සියුම් දෘෂ්ටියකින් සමාජයේ දුක්විඳින ප‍්‍රජාව දෙස බලන විට පෙනී යන කරුණ වන්නේ බොහෝ දෙනෙකු දුක්විඳින්නේ මානසිකව බවයි. ඇතැමෙක් ලබා ගැනීමට නොහැකි වූ අරමුණු මුල්කරගෙන පසු තැවෙති.

තවත් අයෙක් තවත් අරමුණු අපේක්ෂාවෙන් දුක් විඳිති. ලද දෙයින් තෘප්තිමත් වීමට මිනිස් සිත සූදානම් නැත. කහවණු වැස්සක් වැස්සද මිනිස් සිත තෘප්තිමත් නොවන බව බුදුරදුන් වදාළේ එහෙයිනි.

අපි කෙතරම් අරමුණු මගින් ඉඳුරන් පිනවීම සිදුකළත් ඉන් සෑහීමකට පත් නොවෙයි නම් නිමා නොවන අතෘප්තිකර ආශාවන් පසුපස හඹායාමෙන් පලක් ඇතිදැයි සිතා බැලිය යුතුය.

මෙම විෂම ලෝකය තුළ ඉඳුරන් සංවර කරගෙන ජීවත්වීම අසීරු බව ඇතැමෙකුගේ මතයයි. එය සැබෑවකි. නමුත් ආශාව, වෛරය ආදී කෙළෙස් පවතින්නේ සිත තුළ මිස අරමුණු තුළ නොවන බව පිළිගත යුතුය.

එනිසා අරමුණු නිසා සිත අපිරිසිදු වේයැයි බියෙන් ඇස් කන් වසා සිටීම සිල්රැකීමක් නොවේ. ඉඳුරන් වසා සිටීම සිල්වත් කමක් නම් බුදුන්වහන්සේ දේශනා කළ ආකාරයට ලොව උසස්ම සිල්වතුන් වන්නේ ඳයගිය අයයි.

මෘත ශරීරවල සියලු ඉඳුරන් පවතී. නමුත් අරමුණු ලබා ගැනීමක් නැත. එහෙයින් ඉඳුරන් සංවර කර ගැනීම කරගත යුත්තේ විවිධ අරමුණු සහිත මේ ලෝකයේ සිිටිමින්මය. බෞද්ධ විමුක්ති මාර්ගය තුළ පළමු පියවර වශයෙන් සීලය හඳුන්වා දී ඇත්තේ ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන පුද්ගලයා සන්සුන් කරවන නිසාය. මනස සන්සුන් වීමට තිදොර සංවරය ඉතා වැදගත්ය.

තමන් රකින පන්සිල් ආරක්ෂා කර ගැනීමේ ක‍්‍රම දෙකක් ද බුදුදහම තුළ දැක්වේ. ඉන් එකක් නම් සිල් බිඳීමෙහි දොස් දැකීමයි. සිල් බිඳුණු විට ලෝකයාගෙනුත් ධර්මයෙනුත් පමණක් නොව තම හදවතෙනුත් තමන්ට නැගෙන අපවාද ගැන සිහි කොට සිල් ආරක්ෂා කොට ගැනීම පළමුවැන්නයි. දෙවැන්න නම් සිල් රැකීමේ ආනිසංශ දැක සිල් රක්ෂා කිරීමයි.

සිල්වත් පුද්ගලයා මෙලොවදීම ඊට විපාක වශයෙන් දෙව් මිනිසුන්ගෙන් බුහුමන් ලබයි. සීලය මගින් තිදොර සංවර කරගත් පුද්ගලයාට ඊළඟට සිත සමාධිගත කර ගැනීම පහසුය.

සසර අවුල ලිහාදමන්නා එළඹෙන දෙවන පියවර සමාධියයි. චිත්තං භාවයං යනුවෙන් ගාථාව තුළ දැක්වූයේ එයයි. තුන්දොර සංවර කරගත් පුද්ගලයා අනතුරුව සමාධිය වඩයි. කුසල සිත්හි එකඟතාවය සමාධියයි. එනම් සිත තුළ ඇති චෛතසික එක් අරමුණක පවත්වා ගැනීමයි. සමාධිගත වූ සිත විසිර නොයයි. සිත සමාධි ගත කිරීම අසීරු කටයුත්තකි.

දියෙන් ගොඩගත් මසෙකු සේ නිතර සැලෙන සිත එක් අරමුණක තබා ගැනීම ඉතා අසීරුය. විශේෂයෙන් සිත දමනය කර ගැනීම සඳහා එක් අරමුණකට ගැනීම වඩාත් අසීරුය. උදාහරණයක් ලෙස නෙත් සිත් පිනවන දසුනක් නරඹන විට එකම ඉරියව්වකින් එක් මනසකින් එය නැරඹීමට අපහසු නැත. එහෙත් කුශල අරමුණක සිත යෙදවීම තත්පර කීපයකට පවා අසීරු වෙයි.

සමාධිය පිණිස බුදුදහම විවිධ ක‍්‍රම උපයෝගී කර ගනී. කසිණ නම් වූ පඨවි, ආපෝ, තෙජෝ, වායෝ යන වස්තුන් මුල් කරගත් භාවනා ක‍්‍රමය, මළසිරුරක් මුල් කරගත් අසුභ භාවනාව, අනුස්සති භාවනාව ආදිය උදාහරණ වේ.

මෙහි දක්නට ඇති විශේෂත්වය නම් විවිධ අරමුණුවලට ඇස හුරු කොට ඒ තුළින් සිත සමාධිගත කිරීමයි. මෙම භාවනා රූපවචර භාවනා නම් වේ. ඉන් ලබන ධ්‍යාන නම් වේ. අනතුරුව ඔහුට අරූපාවචර ධ්‍යාන වැඩිය හැකිය. එහි විශේෂත්වය වන්නේ කිසිදු රූපයක් අරමුණු නොකිරීමයි. එසේ අරූපාවචර ධ්‍යාන වඩා අරූපාවචරධ්‍යාන හතරක් ලබාගත හැකිය.

සමාධි භාවනාව තුළින් බලාපොරොත්තු වන ඒකායන අරමුණ නම් සිත සමාධිගත කිරීමයි. නමුත් මෙයින් විවිධ ඥාන මට්ටම වලට පත්විය හැකිය. ඒ සමෘද්ධි ප‍්‍රාතිහාර්ය කළ හැකි සෘද්ධිවිධ ඥානය, දිබ්බසෝත, පුබ්බේනිවාසානුස්සති, චුතුපපාත ආදී ඥානයන්ය. බුදුරදුන් ධරමාන අවදියේ ඇතැම් අන්‍යාගමිකයෝ පවා සිත සමාධිගත කිරීම මගින් ඉහත කී ධ්‍යාන මට්ටම්වලට පැමිණ සිටියහ. ඔවුන් ඒවා ඛ්ැඳින්වූයේ නිවන ලෙසය. තවත් විමුක්තියක් පිළිබඳව විශ්වාසයක් නොතිබීය.

එහෙත් එම ධ්‍යානයන්හි ස්වභාවය වන්නේ කාමය රාගය ආදී සිතුවිලි පහළ වූ විට ධ්‍යාන ශක්තීන් නැති වී යාමයි. මෙම අස්ථාවභාවය බුදුරදුන් පෙන්වා දුන්හ. එම සමාධි වැඩිම මගින් සිත එක් අරමුණකට පත්වීම පමණක් නොව ඇතැම් කෙළෙස්වල බලය හීනවීමද සිදුවේ. සිත සමාධිගත කිරීමේ වැදගත්කම වන්නේ එය ප‍්‍රඥාව වැඩීමට මග පෑදීමයි.

බුදුදහම තුළ උගන්වනු ලබන ප‍්‍රධාන භාවනා මාර්ග දෙක වන්නේ සමථ සහ විදර්ශනා යන දෙකයි. සමථ භාවනාව චිත්ත භාවනාව, සමාධි භාවනාව යන නම් වලින්ද හැඳින්වේ. විදර්ශනා භාවනාව ප‍්‍රඥා භාවනාව නම් වේ. විදර්ශනා යන්නෙහි අරුත විශේෂයෙන් දැකීම යන්නයි. එනම් ප‍්‍රඥාවයි. අටුවාවල සඳහන් වන අන්දමට ප‍්‍රඥාව තෙවැදෑරුම් වේ.

උදාහරණයක් ලෙස රන් කාසියක් බාල දරුවෙකුට ලැබුණු විට ඔහු එහි වටිනාකමක් නොදනී. ඔහුට එය සෙල්ලම් කිරීමට උපකරණයක් පමණක් ද විය හැකිය. නමුත් එය සාමාන්‍ය මිනිසෙකුට ලැබුණු විට එහි වටිනාකමක් ඇති බව ඔහු දනී. එහෙත් එහි නිවැරදි වටිනාකම දැනගන්නේ එය රන්කරුවෙකුට ලැබුණු විටය. තිදෙනාටම ලැබුණු වස්තුව එකක් වුවත් තිදෙනා ඒ දෙස බලාගත් තීරණ වෙනස්ය. ප‍්‍රඥාවද එලෙසය. එය පිළිවෙළින් සඤ්ඤා, විඤ්ඤාණ, පඤ්ඤා යනුවෙන් හැඳින්විය හැකිය.

විදර්ශනා ප‍්‍රඥාව යනු ලොව ඇති සියලු සංස්කාර ධර්මයන්ගේ යථාස්වරූපය අවබෝධවීමයි. සත්වයා පුද්ගලයා සහිත ලෝකය ජීව අජීව සෑම ධර්මයක්ම හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගත් බවත් හේතු ප‍්‍රත්‍යයන් නිරෝධ වීමෙන් එම ධර්ම නිරෝධ වන බවත් අවබෝධ කර ගැනීම එම ප‍්‍රඥාවයි. මෙය සරල ලෙසින් දිස්වුවද අසීරුය.

එමෙන්ම එය හිටිවනම අවබෝධ කර ගැනීමද කළ නොහැක. ඒ සඳහා පූව¢කෘත කුසල බලයක්ද කෙළෙස් තැවීමේ වීර්යයක්ද සසර දුක අවබෝධවීමේ නුවණක්ද අවශ්‍යය. සත්වයා සසරට බැඳ තබන අවුලෙන් අවුලට පත්කරන මේ තෘෂ්ණාජාලය බිඳ දැමිය හැක්කේ කවරෙකුටද යන්න එදා දේවතාවා ඇසූ ප‍්‍රශ්නයට බුදුරදුන් දුන් පිළිතුර ඉතා සැකෙවින් මෙසේ විස්තර විය.

වත්මන් සමාජයේ බොහෝ දෙනෙක් අවුල් විසඳීමට උත්සාහ කරති. නමුත් ඒ සත්ත්වයා සසරට බැඳ තබන අවුල් නොව එදිනෙදා ජීවිතයේ ඇති අවුල්ය. මෙලොව ජීවතයත් සංසාර ගමනත් අවුල් ජාලාවක් බවට පත් කරන්නේ ආශාවන් පසුපස ලුහුබඳුන අපේ සිත බව අප සිහිතබා ගත යුතුය. එය හික්මවා ගන්නා පුද්ගලයා මෙලොම අවුල්ද සසර බැඳුම්ද සිඳ දමා සියලු අවුල් ලිහා සසර ගමන කෙළවර කරන්නේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: