Posted by: lrrp | September 20, 2011

ප‍්‍රඥාවේ දද නංවා…

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමග ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි. ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරැයුම කරයි.

“ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත‍්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස්ය. සමාපත්තිවලට සමවදිති. ප‍්‍රඥාවන්තය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

සභාවේ ඇමතියෙක් නැඟී සිටියේ ය. බිම්සර රජුගේ ඇස ඔහුට යොමුවිය. “කුමක්ද දේවින්ද? උදෑසන යහපත් පුවතක් ද?” රජු ඇසීය.

“අම්බපාලියට දරු ගැබක් ඇතිවෙනා.” ඇමති තතනමින් කීවේය.

“ඒ ගැන ඇයි මට දන්වන්නේ?”

“අම්බපාලි කියනවා ඒ දරුගැබ ඔබගේ කියා.”

“ඇය නගර සෝභිනියක්”

“එසේය ස්වාමීනි, පසුගිය තෙමස තුළ ඔබ වහන්සේට හැර ඇය හමුවීමට වෙනත් කිසිම පිරිමියකුට ඇය ඉඩ ලබා දී නැහැ. ඇයට ඔබ වහන්සේගෙන් දරුවකු වුවමනාවී තිබුණු බව පෙනෙනවා.”

රජු මඳ වේලාවක් නිහඬව සිටියේ ය. පසුව රාජකීය වෛද්‍යවරයා දෙසට හැරුණේය.

“දැන්මම අම්බපාලිගේ නිවසට ගොස් ඇය පරීක්‍ෂා කොට මට විස්තර දන්වන්න. ඇයට අවශ්‍ය සියලු වෛද්‍ය පහසුකම් ලබා දෙන්න.”

වෛද්‍යවරයා ඒ මොහොතේම ඇගේ නිවසට ගියේය.

නිසි කල පැමිණ විට අම්බපාලි මවක් වූවාය. ලැබුණේ පුතෙකි. පුතුගේ නම විමලය. මවු කිරි බී අවසන් වූ පසු විමල කුමරු රජ මැදුරට ගෙන්වනු ලැබිණ.

අම්බපාලි යළි සුපුරුදු රැකියාවේ යෙදෙන්නට පටන් ගත්තාය.

බිම්සර රජුගේ ආදරය සහිතව විමල කුමරු රජ මැදුරේ ජීවත්විය. වියත් බමුණු ඇදුරෝ රජ මැදුරට පැමිණ කුමරුට ශිල්ප ශාස්ත‍්‍ර ඉගැන්වූහ.

දිනක් විමල කුමරු පියා සමග වේළුවනාරාමයට ගියේ ය. එහි වූ ශාන්ත නිසල පරිසරයට විමලගේ සිත ඇදිණ. උසට වැඩුණු විශාල උණ පඳුරක සෙවණේ පැනවූ අසුනෙක බුදුරජාණන් වහන්සේ වැඩ සිටිති. සිය ගණනක් භික්ෂූන් වහන්සේ උන්වහන්සේ ඉදිරිපිට වැඩ සිටිති. බුදු මුවින් මියුරු හ¾ඩින් බණක් කියැවෙයි. මුළු වේළු වනයටම ඇත්තේ ඒ හඬ පමණි. බිම්සර රජු පිරිස අග හිඳ ගත්තේය. විමල කුමරු ද ඔහු අසල හිඳ ගත්තේ බණට කන් දුන්නේ ය.

කුඩා සිතකට වුවද ඒ බණ වැටහෙයි. සසර යනු කුමක්දැයි විමල අවබෝධ කැර ගත්තේ ය. එය හරිම බිහිසුණු තැනක්. රජෙක්. මරණයට පත් පසු විසකුරු සර්පයෙක් වී උපදිනවා. ඊට පසු උපත අපායේ.

සතර අපායෙන් අපට පෙනෙන්නේ තිරිසන් අපාය. මාත් තිරිසනුත් වෙලා කොච්චර කල් ඉන්නට ඇද්ද? ගව හිමියාට අවශ්‍ය පරිදි ගවයා වෙහෙසෙනවා. බර අදිනවා. කුඹුරු සී සානවා.

හොඳටම මහලු වෙනතුරු වැඩ කරනවා. වැඩ බැරි වූ දාට කැළේට පන්නනවා. කැළේදී කොටියාට ගොදුරු වෙනවා. කොටියා ගවයාගේ මස් කෑලි කඩාගෙන කනවා. දුක් විඳලා ගවයා මැරෙනවා. හැම සතෙක්ම ඉන්නේ බයෙන්. විමල දෑස පියාගෙන සසර බිහිසුණු බව සිහි කළේ ය.

බණ අවසන ගිහියෝ ප‍්‍රධාන දොරටුවෙන් පිටතට ගියහ. බිම්සර රජු බුදුරජාණන් වහන්සේ හමුවී කතා බහ කිරීමට සිතා නතර වූයේ ය. විමල කුමරු සිය පියා සමඟ මල් අසුනක් ළඟට ගියේ ය.

“පියාණනි, මට අර බණ හොඳට තේරුණා. සංසාරේ ඇවිදින්න මට වුවමනාවක් නැහැ. බුදු රජාණන් වහන්සේ ළඟ පැවිදිවීමට මා කැමතියි. බණ ඇසූ කීප දෙනෙක් පැවිදි වෙන්නට ඕනෑ බව කියමින් බුදුරජාණන් වහන්සේ ළඟට ගියා.”

රජුගේ මුහුණට ශෝකයක් නැගිණ.

“පුතා නැතිවුණාම රජ මැදුර පාළු වෙයි.” රජු කීවේය.

“මා නැතිවුණාට රජ මැදුර පාළු වෙන්නේ නැහැ. අජාසත්ත අයියා ඉන්නවානේ”

“ඒ වුනාට පුතාට නේ කවුරුත් ආදරේ”

“මට ආදරේ නම් මේ සසර දුකෙන් නිදහස් වෙන්න ඉඩ දෙන්න ඕනෑ”

“පුතා හුඟක් දේවල් තේරුම් අරගෙන තියෙනවා. පුතා ගේ කැමැත්තට මා ඉඩ දෙනවා.”

විමල පියාගේ දෙපා මුල වැටී වැන්දේය. රජු සිය පුතු සමඟ බුදු රජාණන් වහන්සේ සමීපයට ගියේය.

“මා පැවිදි වෙන්නට කැමතියි. මගේ පියා මට ඒ සඳහා අවසර දී තිබෙනවා.” විමල කීවේය.

සතියකට පසු විමල කුමරු වේළුවනාරාමයේ දී පැවිදි බව ලැබූයේ ය.

විමල කොණ්ඩඤ්ඤ නමින් ප‍්‍රකට වූ මේ හිමියෝ විදසුන් වඩන්නට පටන් ගත්හ. වැඩි කලක් නොගොස් රහත් බව ලැබූහ.

විමල කොණ්ඩඤ්ඤ රහතන්වහන්සේ සිය මව පිළිබඳව සෙවූහ. ඇය බුදු රජාණන් වහන්සේ දැක පැහැදී මහා සංඝයාට මහ දන් දෙමින්, පින් රැස් කරන්නියක වශයෙන් ප‍්‍රකටව සිටියාය.

විශාලා මහනුවරට කිට්ටුවෙන් පිහිටි තමා සතු අඹ වනය ද ඇය බුදු සසුනට පිදුවාය. පින්කම් කිරීමෙන් පමණක් පලක් නැත. ධර්මයේ හැසිරීමයි වඩා වැදගත්.

මේ කාරණය සිය මවට පැහැදිලි කිරීම සඳහා උන්වහන්සේ සිය මව හමුවීමට වැඩියහ. මවට කරුණු වැටහිණ. සිය ජීවිතය දෙස ආපසු හැරී බැලූ ඇයට මහත් සංවේගයක් ඇතිවිය. මා පමා වුණා වැඩියි. මේ ගෙවෙන්නේ සැන්දෑ සමය. සිතූ ඇය ගිහි ගෙය හැර දමා පැවිදි වූවාය. විදසුන් වඩා රහත් බව ලැබුවාය.

විමල කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ සිය උදානය පළ කළේ මෙසේ ය.

දිය දද නැඟු බිම්සර මහ රජුනි නිසා

අම්බපාලි කුසින් ලොවට බිහිවුණු ඔහු

ප‍්‍රඥාවේ දද නංවා

මානය සිඳ දැමුවා

මරු දද බිම හෙළුවා


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: