Posted by: lrrp | September 20, 2011

බුද්ධෝත්පාද කාලය

බුදු සමයෙහි ඉගැන්වෙන ලොව පවත්නා දුලබම කරුණු කීපයක් මෙවර කලාපයෙන් සාකච්ඡාවට බඳුන් කෙරේ. බුද්ධෝත්පාද කාලයක් ලැබීමේ අතිශය දුර්ලභත්වය ඉන් එකකි. මේ ලිපියෙන් කරුණු අනාවරණය කෙරෙනුයේ එම කරුණ පිළිබඳවය.

මේ මහා රුදුරු නිම් හිම් නොමැත්තා වූ සංසාර සාගරයෙන් උත්තීර්ණ වීමට නම් බුද්ධෝත්පාද කාලයක්ම (පසේ බුදු බව හැර) ලැබිය යුතුය. එය වූ කලී අතිශය දුර්ලභ වූ සම්පත්තියකි.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ

දුකකිනි මිනිසත් බව ලැබගන්නේ….

යනුවෙන් ලෝවැඩ සඟාවෙහි වීදාගම මාහිමියෝ මේ බැව් උපදේශ ස්වරයෙන් පැහැදිලි කරන ලදහ. බුදු දහමෙහි විවිධ අවස්ථාවල විවිධ අයුරින් බුද්ධෝත්පාදයෙහි දුර්ලභත්වය පිළිබඳව (බුද්ධුප්පාදෝ ච දුල්ලභෝ ඣී- කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ – බුද්ධදිච්චාහි මණ්ඩිතා) පැහැදිලි කොට ඇත. මේ හේතුවෙන් නිර්වාණාවබෝධයට ඇති ඉඩකඩ ද දුර්ලභය. ඊට හේතුවන තවත් කරුණක් නම් අතිශය දුර්ලභත්වයෙන් ලැබිය යුතු වූ බුද්ධෝත්පාද සමයක මිනිසත් බවක් ලැබීම ද ඉතා දුර්ලභ කරුණක් වීමය.

“බුදුකෙනෙකුන් මේ ලොව නූපන්වර….

සිදු නොකළැකි ඉන් සග මොක් සිරි සර

මිනිසත් බවක් ලද ද බුදු කෙනෙකුන් ලොව නූපන් සමයෙක ධර්මයක් ද ලොව නො පවතී එවන් සමයක කුසලා කුසල යනු මොනවාදැයි නිෂ්චය කර ගත නොහැකි හෙයින් සත්වයා ස්වර්ග මෝක්‍ෂ සිරි සරින් පිරිහේ. එබැවින් බුද්ධෝත්පාද සමයක මිනිසෙකු ලෙසින් උත්පත්තිය ලැබීම මහාම භාග්‍යයෙකි. එවන් භාග්‍යයක් ලද මොහොතේ “සුදනෙනි කිම වීරිය නොකරන්නේ” යැයි නිර්වාණාවබෝධයට උත්සුක නොවන්නේ මන්දැයි ද ලෝවැඩ සඟා කතුවරයාණෝ විමසති.

අබුද්ධෝත්පාද සමයක ධර්මය පිළිබඳ වූ ශබ්දයකුදු අසන්නට නොලැබේ. උතුම් වූ සම්බුද්ධ ශාසන සම්පත්තිය ලද සමයෙහි සත් ඛ්ැවිරිදි ළදැරියන් පවා සව් කෙළෙසුන් නසා නිවන සාක්‍ෂාත් කරගත් බව ථෙරී අපදානයන්ගෙන් පවා ප‍්‍රකට වේ.

යං න දිට්ඨං පුරාණේහි – තිÀථිකා ‘චරියේහි’පි

තං පදං සුකුමාරීහි – සත්තවස්සාහි වේදිතං

ඇතැම් විටක සම්මා සමබුදුවරයන් වහන්සේලාගේ ලොව පහලවීමක් නැත්තාවූ ශූන්‍ය කල්පයන්ද පවත්නාහෙයින් ලොකයෙහි උතුම් සම්බුද්ධ ශාසනය සම්මුඛ කර ගැනීම අතිශය දුෂ්කර කාරණයකි. ඇතැම් මහා කල්පයන්හි ද බුදුවරයෝ පහළ නොවෙති.

එහෙයින් ඒවා “බුද්ධ ශූන්‍ය” මහා කල්ප ලෙස හදුන්වයි. මෙම මහා කල්පයක කාලය අවුරුදු වශයෙන් හදුන්වා ඇත්තේ “දිග – පළලින් හා උසින් යොදුන බැගින් ඇති ශිලාස්ථම්භයක් කසීරට නිපැයූ මොළොක් පට වස්ත‍්‍රයකින් අවුරුදු සියයකට වරක් බැගින් පිරිමදින කල ඒ මහා ශිලාස්ථම්භය පවා කල්යාමේදී ක්‍ෂය භාවයට පැමිණිය ද මහා කල්පයක අවුරුදු සංඛ්‍යාව එසේ ක්‍ෂය භාවයට නො පැමිණෙන” ලෙසයි.

මහා කල්පයක අවුරුදු ගණන සංයුක්ත නිකායෙහි විග‍්‍රහ කර ඇත්තේ “ දිග පළල – උස යොදුනක් පමණ වූ යම් කිසිවක අබ පුරවා වසර සියයකට ඇබැටක් බැගින් ගත් කල අබ අවසන් විය හැකි නමුත් මහා කල්පයක අවුරුදු සංඛ්‍යාව නම් ක්‍ෂය නොවන” ලෙසය. බුද්ධත්වයේ දුර්ලභත්වය තේරුම් ගැනීමට මේ විග‍්‍රහයම ප‍්‍රමාණවත්ය.

බුද්ධෝත්පත්තියෙහි දුර්ලභත්වය වටහාගෙන විමුක්තිය සලසා ගැනීමෙහිලා අපව උත්සුක කරවීමට තුඩුදෙන තවත් කරුණක් කෙරෙහි මෙහිදී අවධානය යොමු කරවීම වැදගත්ය. එනම් තුන්තරා බෝධියෙන් නිවන පසක් කර ගැනීමෙහිලා පාරමී ගුණ නුවන දියුණු කළ යුතු වන කාල වකවානුවන්ය.

ශ‍්‍රාවක බෝධියෙන් නිවන් පසක් කර ගැනීම උදෙසා කල්ප ලක්ෂයක් පාරමී ගුණ නුවණ පිරිය යුතුය. අග‍්‍ර ශ‍්‍රාවක හෝ මහා ශ‍්‍රාවක තත්ත්වයට පැමිණ නිවන් අවබෝධ කර ගැනීම උදෙසා ඒකා සංඛය කල්ප ලක්ෂයක් පාරමී ධර්ම පිරිය යුතුය. පසේ බුදු හෙවත් පච්චේක බෝධිය නිවන් පසක් කර ගැනීම උදෙසා දෙයා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය.

අබුද්ධෝත්පාද සමයක වුව පසේ බුදුවරයන් වහන්සේලා පහල විය හැකි නමුත් උන්වහන්සේලාට අන්‍යයිනට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි වන සේ දේශනා කළ නොහැක.

සම්මා සම්බුද්ධත්වය නම් වූ ලොව්තුරු බුදු බව ලබනු පිණිස යටත් පිරිසෙන් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් දම් පිරිය යුතුය. එයද ප‍්‍රඥාධික බෝධිසත්වයන් වහන්සේ නමක විසිනි. ශ‍්‍රද්ධාධික බෝධිසත්වයන් වහන්සේ නමක විසින් නම් අටාසංඛ්‍ය කල්ප ලක්ෂයක් වශයෙන් ද වීර්යාධික බෝධි සත්වයන් වහන්සේ නමක විසින් සොළසාසංක්‍ය කල්ප ලක්ෂයක් වශයෙන් ද පාරමී ධර්මයන් පූර්ණය කළ යුතුය.

මෙහිද “අසංඛ්‍ය” යන වචනය ද තේරුම් ගත යුතුය. “අසංඛ්‍ය” යනු ගණන් කළ නොහැකි කාල සංඛ්‍යාවකි. “සංඛාතුං න සකඛාති අසංඛ්‍යා ගණනා තික්කන්තං ති අෙත්‍ථා” යනු විසින් එම වචනය චරියා පිටක අටුවාවෙහි විග‍්‍රහ කොට ඇත. මේ අනුව බුදු කෙනෙකුන් ලොව පහළවීම කොතරම් දුර්ලභ කරුණක් ද යන වග ප‍්‍රකට වේ.

බුදුවරයන් වහන්සේලාගේ පහළ වන ප‍්‍රමාණය අනුව කල්පයන්ගේ නාම වර්ග කිරිමක් ද දක්නට ලැබේ.

. එක් බුදු කෙනෙකුන් පමණක් පහළවන කල්පය. සාරාසංඛ්‍ය කල්පය නම් වේ.

. බුදුවරයන් වහන්සේලා දෙනමක් පහල වන කල්පය මණ්ඩ කල්පය නම්වේ.

.බුදුවරයන් වහන්සේලා තිදෙනෙකු පහළ වන කල්පය වර කල්ප නම්වේ.

.බුදුවරයන් වහන්සේලා සිව් නමක් පහළවන කල්පය සාර මණ්ඩ කල්ප නම්වේ.

.බුදුවරයන් වහන්සේලා පස් නමක් පහලවන කල්පය මහා භද්‍ර කල්පය නම්වෙත්.

දැනට ගතවෙමින් පවත්නේ ද මහා භද්‍ර කල්පයකි. එය බුදුවරයන් වහන්සේලා පස් නමක් පහළ වීමෙන් ආශිර්වාද ලබන හෙයින් මහා භද්‍ර (භද්‍ර – යහපත්) කල්පය ලෙස හැදින්වේ. කකුසඳ කෝනාගම, කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා පහළව පිරිනිවන් පා ඇති අතර මෛතී‍්‍ර බුදුරජාණන් වහන්සේ මතු පහළවීමට ඇත.

මෙ පමණකින් පරීක්ෂණයට භාවිතා කෙරුණු කරුණු වලින් පැහැදිලි ලෙසම පෙනී යන්නේ බුද්ධෝත්පාදය නො එසේ නම් බුද්ධෝත්පාද කාලයක උත්පත්තිය ලැබීම අති මහත් දුර්ලභ කාරණයක් බවය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: