Posted by: lrrp | September 20, 2011

මා දැක දනෝ නිවෙති

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමග ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි. ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරැයුම කරයි.

“ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත‍්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස්ය. සමාපත්තිවලට සමවදිති. ප‍්‍රඥාවන්තය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කොට එහි තුන්බිය දුරුකොට පෑ හාස්කමත්, පැවැත්වූ ද ධර්ම දේශනාත් නිසා බුදු සසුනට එක්වූ නුවර වැස්සන්ගෙන් කෙනකු වූ උන්වහන්සේ දැන් ඉතින් කරන්නේ කුමක්දැයි සිතමින් භික්ෂූන් අතර දින කීපයක් ගත කළහ.

වජ්ජිපුත්ත නමින් ප‍්‍රකට වූ මේ හිමියන්ට අනෙක් භික්ෂූන්ගේ අවවාද ලැබිණ.

”අප පැවිදි බිමට පැමිණියේ සසරෙන් එතෙරවීමේ අරමුණෙන්. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි මාර්ගයක් දක්වා තිබෙනවා. එය ඉගෙන ගෙන හුදෙකලා තැනකට ගොස් භාවනාවේ යෙදෙන්න.”

වජ්ජිපුත්ත හිමියෝ ධර්මය හදාරා විශාලා මහනුවරට කිට්ටු වනයට වැඩියහ. භාවනාවේ යෙදෙන අතර උන්වහන්සේ දිනක් සිය පැරණි නිවෙසට වැඩියහ. එහි රැයක් ගත කළහ. එදා ඒ නගරයේ සැණකෙළියක් පැවැත්විණ.

ගීයෙන්, නැටුමෙන්, සුරාවෙන් මත්වූ නුවර වැස්සන් විඳින සතුට උන්වහන්සේට පෙනිණ.

පසුදා උදෑසන උන්වහන්සේ යළි වනයට වැඩම කළහ. භාවනා කුටියට පිවිස හිඳගත් නමුදු උන්වහන්සේගේ සිත සන්සුන් වූයේ නැත.

පෙර දා රෑ සැණකෙළියේ ගී හඬ සිය කන් කුහරවල නළියනු මෙන් දැනෙන්නට විය. රැඟූ නිළියන්ගේ රූ සිරි දෑස ඉදිරියේ පෙනෙන්ට මෙන් විය. සුරාවෙන් මත් වූ තරුණ පිරිස් නිළියන් හා එක්ව නැටූ අයුරු ද පෙනෙන්ට විය. ඒ ගලා ගියේ පී‍්‍රතියේ නදිය. හැම මුහුණකම උතුරා ගියේ පී‍්‍රතිය. එක් අඟනකගේ දෑස අමතක නොවන සුළුය. ඒ දිගටි දෑස. ඇය වටා සිටියේ රජ පවුල්වල තරුණයන්. ගී හඬ, ඔල්වරසන් හඬ, එකිනෙකා ඇද බැඳ වැළඳගන්නා ගමන් කියැවෙන රස කතා, අහෝ ගිහි ජීවිතය කොපමණ මිහිරි ද?

මම මේ වනාන්තරයේ දිරා ගිය ලී කොටයක් මෙන් හුදෙකලාව ජිවත් වෙමි. ඉතා මිහිරි ජීවිතයක් හැර දමා ආ මා තරම් අවාසනාවන්තයෙක් තවත් ඇද්ද? ජීවිතය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කිය කියා මතුරන මේ මන්තරය කුමක්ද? ගලා යන රස දහරට පැන සතුටු වන්නේ නැතිව අනිත්‍යය ගැන සිතන්නේ ඇයි? අර සොඳුරියගේ දිගටි දෑස, පුන් පියොයුරු, මනරම් දඟයුග හැර දමන අන්ධයෙක් නොවේද මා? තවදුරටත් මේ පාංශුකූල චීවරයත්, හිඟන පාත‍්‍රයත් මා දැරිය යුතුද?

වජ්ජිපුත්ත භික්ෂුව නැඟී සිටියේය. කුටියෙන් පිටතට වැඩියේය. මලින් පිරුණු ගසක් දෙස බලා සිටියේය. ලොව කොයි තරම් සුන්දරද? ඒ සුන්දර ලෝකය හැර දමා මේ වනාන්තරයේ හුදෙකලාව මා ගෙවන දුක් ජීවිතයේ අරුත කුමක්ද?

මල් ගස සෙලවිණ. සුළඟක් හමා ගිය හෙයිනි. මල් කීපයක් උන්වහන්සේගේ පාමුල වැටිණ.

ඒ ගසේ අතු පතරින් හඬක් මතුවිය.

”මට සවන් දෙන්න. ඔබ පැවිදි වූයේ කුමක් සඳහා ද? සසර සයුරෙන් එතෙර වීම සඳහා නොවේද? දැන් ඔබ සිතන්නේ මොනවාද? පාත‍්‍රය සහ සිවුර දමා යළි ගිහියකු වීමට නොවේද ඔබ සිතුවේ? නිවැරදි පාර පෙනි පෙනී වුවමනාවෙන් වල්මත් වන්නට තනන මෝඩ භික්ෂුව. සංගීතය, නැටුම, ගැහැනුන්ගේ අඟ පසඟ ගැන සිතා මුලාවන්නට තරම් ඔබ මෝඩ වූයේ ඇයි? ඔබේ පාමුල වැටී ඇති මල් දෙස බලන්න.

අලංකාර ලෙස අතු අග බැබළෙමින් තිබුණු ඒ ලස්සන මල් පරවී මැලවී දැන් ඔබේ පාමුලට ඇවිත්. තව ටික දවසකින් ඒ මල් පොළවට පස් වෙනවා. අර දිගටි ඇස් ඇති රූමතියගේ ඉරණමත් ඒකයි. ගී ගැයූ නැටූ තරුණ තරුණියන්ගේ ඉරණමත් ඒකයි.

ඔබේ ඉරණමත් ඒකයි. අර ගැහැනියගේ රස පහස ලබන්නට ඔබ ගියා නම් ඒක ලබන්නට ඔබට හැකි වන්නේ ඉතා සුළු කාලයකට පමණයි. ඔබත් ඇයත් අනිත්‍යයට යනවා. ඔබ දැන් මොහොතකට පෙර අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ති‍්‍රලක්‍ෂණයට සිතින් ගැරහුවා. එහෙත් ලෝකයේ ඇති සැබෑව එය නොවේද? ඔය පාමුල ඇති පරවී ගිය මල් ඔබට පාඩමක් උගන්වනවා. ඔය මෝඩ සිතිවිලිවලින් ඈත්වෙන්න.

පාර පැහැදිලියි. වල්මත් වෙන්න එපා. මා කවුදැයි ඔබට දැන් කියන්නම්. ඔබ සමඟ එකට එකම ඇදුරාගෙන් අකුරු කළ මා සුමිත්ත. ඔබ දන්නවා ඇති මා අකල් මරණයකට ගොදුරු වුණා. එහෙත් කළ පින්කම් නිසා දෙවියකු වී ඉපදුණා. ඔබ වල්මත් වනු දැකීමට අකමැති වූ නිසා මා මෙසේ පැමිණියා. මට කියන්නට ඇත්තේ එපමණයි.”

රන්වන් එළියක් තුරු අතරින් ඉහළට නැඟෙනු වජ්ජිපුත්ත හිමියන්ට පෙනිණ.

උන්වහන්සේ ගේ සිත ලජ්ජාවෙන් පිරිණ.

යළි භාවනා කුටියට වැඩම කළහ. සිතන්නට වූහ. පාමුල වැටුණු මල් ගැන සිහිවිය. අපේ ජීවිතත් එහෙමයි. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. සැබවින්ම මා වල්මත් වන්නටයි සැරසුණේ.

මම ඇස සංවර කැර ගනිමි. කන සංවර කැර ගනිමි. නාසය සංවර කැර ගනිමි. දිව සංවර කැර ගනිමි. කය සංවර කැර ගනිමි. සිත සංවර කැර ගනිමි. සැණකෙළිය නිසා මගේ ඇස, කන සහ සිත අසංවර විය. යළි එබඳු අසංවර වීමකට මගේ ඉන්ද්‍රියයන්ට ඉඩ නොදෙමි. මම මැනවින් සතිය පිහිටුවාගෙන විදසුන් වඩමි.

උන්වහන්සේගේ සිත දැඩි විය. වීර්යෙන් යුතුව සිත හැසිරවූයේය. වැඩි කලක් නොගොස් වජ්ජිපුත්ත හිමියෝ රහත් බවට පත්වූහ.

පසු කලෙක වජ්ජිපුත්ත රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළකළහ.

දිරූ දර කඩක් සේ
තනිව වනයේ වෙසෙමි
සිව් අපා දුක නොරිසි
දනෝ මා දැක නිවෙති


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: