Posted by: lrrp | September 20, 2011

යටගිය දවස බණකතා

විස්වාසා පරමා ඥාති

(බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන කාලයේ එක්තරා උපාසකයකු හා මහළු තෙරකෙනෙකුන් අතර පැවති මිත්‍රත්වය හේතුකොට ගෙන මේ ජාතක කතාව දේශනා කරන ලදී.)

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කාලයේ බෝධිසත්වයන් වහන්සේ ඒ රජුහට අමාත්‍යවරයෙක් වූහ. එකල එක්තරා සුනඛයෙක් මඟුල් ඇත් හලට ගොස් මංගල හස්තිරාජයා අනුභව කරන තැන්හි වැටුණා වූ බත්හුලු ආදිය අනුභව කරන්නේය. ඒ සුනඛයා ද ඒ ආකාරයෙන් ම වැඩෙන අතර මංගල හස්තියාට ද විශ්වාසයක් ඇති වී දෙදෙනා අතර මිතුරු බවක් ඇති විය.

කාලය ගත වීමත් සමග මංගල හස්තිරාජයා සහ සුනඛයා අතර ඇති වු මිත්‍ර බව හේතු කොට ගෙන මේ දෙදෙනාට ම වෙන්ව වාසය කිරීමට පවා නො හැකි විය. සුනඛයා ද ඇතාගේ හොඬවැල ගෙන එහෙ මෙහෙ කරමින් හස්තියා සමග ක්‍රීඩා කරන්නේය.

මේ අතර එක් දිනක් ගම් වැසි මිනිසෙක් මේ සුනඛයා දැක ඇත් ගොව්වාට මුදල් දී තමන්ගේ නිවසෙහි ඇති දැඩි කරනු පිණිස රැගෙන ගියේය. එදින සිට හස්ති රාජයා ද සුනඛයා නො දැක සාංකාවෙන් මෙන් ආහාර ගැනීමෙන් වැළකුණේ ය. පැන් නොබොන්නේ ය. නෑමෙන්ද වැලකුණේ ය. ඇත් ගොව්වා විසින් මේ බව රජුට දැන්වීය. එවිට රජතුමා බෝසත් ඇමතිවරයා කැඳවා

“පණ්ඩිතයෙනි, කවර කාරණයක් නිසා මංගල හස්තිරාජයා මෙලෙස වෙනස් වූයේදැ යි සොයා දැනගනුව“ යි පවසා බෝධිසත්වයන් වහන්සේ ඇත් හල වෙත පිටත් කර යැවූහ. බෝධි සත්වයන් වහන්සේ ද ඇත්හලට ගොස් ඇතා පරීක්ෂා කර බලා හස්තියාගේ ශරීරයෙහි කිසිදු රෝග ලක්‍ෂණයක් නො දැක ඇතා සාංකා ස්වභාවයකට පත්ව ඇති බව දැන ඇත් ගොව්වා කැඳවා

“එම්බා ඇත්ගොව්ව, ඇතාගේ ශරීරයෙහි කිසිදු රෝග ලක්‍ෂණයක් නො පෙනේ. මොහු වනාහි කිසි කෙනෙකු හා විශ්වාසයක් පැවති බවක් තොප දන්නෙහිදැ?” යි ඇසීය.

එවිට ඇත්ගොව්වා

“එසේය ස්වාමීනි, එක්තරා සුනඛයකු හා බලවත් මිත්‍ර කමක් පැවතුණි. පසුගිය දිනෙක එක්තරා මිනිසකු විසින් ඒ සුනඛයා රැගෙන යන ලදැ” යි කීය.

ඉන් පසු බෝසත් තුමා බ්‍රහ්මදත්ත රජු වෙත ගොස්

“මහරජතුමනි, මංගල හස්තියාට කිසිදු ආබාධයක් නැත. හස්තිරාජයා සමග බලවත් මිත්‍ර කමකින් යුතුව සිටි සුනඛයකු ගම් වැසියෙකු විසින් රැගෙන යන ලදී. එනිසා ඒ සුනඛයා නො දැක්මෙන් හස්තියා තුළ මෙවැනි වෙනස් හැසිරීමක් ඇති වී ඇතැ” යි පැවසීය.

“එසේ නම් පණිඩිතයෙනි, දැන් කුමක් කළ යුත්තේදැ?” යි ඇසූ කළ

පණ්ඩිතයන්ගේ උපදෙස් පරිදි

“අපගේ මංගල හස්තියාගේ යහලු සුනඛයා කිසිවකු විසින් ගෙන යන ලදී. යම් කෙනෙකුගේ ගෙයි ඒ සුනඛයා දුටුවහොත් ඔහුට දඩ ගෙවීමට සිදුවන්නේය” යි කියා අණබෙර යැවීය. ඒ ඇසූ සුනඛයා ගෙන ගිය ගම් වැසියා බියට පත්ව සුනඛයා මුදා හැරියේය. ඒ සුනඛයා ද මුදා හල වහා මංගල හස්තියා සමීපයට ගියේය. සුනඛයා දුටු මංගල හස්තියා දැඩි සතුටට පත් ව සුනඛයා හොඬින් රැගෙන කුම්බස්තලයෙහි තබා හඬා වැලපී එයින් බස්සවා ආහාරයෙහි පළමු කොටස දී අනතුරුව තමා ද ආහාර ගත්තේය. මෙයින් සතුටට පත් රජු “තිරිසන් සතාගේ පවා කැමැත්ත අකමැත්ත මනාව තේරුම් ගත්තේයැ” යි බෝසතුන් කෙරෙහි පැහැදීමට පත්ව ඔහුට මහත් යස ඉසුරු සම්පත් ලබා දුන්හ.

එකල සුනඛ තෙම නම් දැන් මේ උපාසක තෙමේ ය. මංගල හස්තිරාජයා නම් මේ මහලු තෙරණුවන් ය. පණ්ඩිත ඇමතිවරයා නම් තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ය.


මිතු දමක මහිමය

(බුදු රජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ වසන කාලයේ දෙව්දත් තෙරණුවන්ගේ පක්‍ෂය ගත් එක්තරා භික්ෂුවක් මුල්කොට ගෙන මේ ජාතක කතාව දේශනා කරන ලදී)

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙකු රාජ්‍යය කරන කාලයේ මහබෝසතාණන් වහන්සේ ඒ රජතුමාගේ අමාත්‍යවරයෙක් වූහ. එකල ඒ රජතුමාට සිල්වත් වූ ද ආචාර සම්පන්න වූ ද කිසිවකුට හිංසා පීඩාදියක් නො කරන්නා වූ ද මහිලාමුඛ නම් වූ මංගල හස්තිරාජයෙක් විය.

මේ අතර එක් දිනක් මහිලාමුඛ හස්තිරාජයා සිටින ඇත්හල අසල රාත්‍රී කාලයෙහි සොරු පිරිසක් පැමිණ සොරකම් කිරීම පිළිබඳව සාකච්ඡා කළහ. එහි දී සොර නායකයා අනිකුත් අය අමතා

“මේ අයුරින් උමං බින්ද යුතුය. මේ අයුරින් මං පැහැරිය යුතුය. උමං බිදීම හා මං පැහැරීම නිරවුල් ව ඉගෙන ගෙන බඩු සොරකම් කළ යුතුය. සොරකම් කරන්නහු විසින් වස්තු හිමියන් මරා සොරකම් කළ යුතුය. එවිට තමන්ට එරෙහිව නැගී සිටින්නෙක් නො වන්නේය. සොරකම් කරන අය විසින් ශීලාචාර ගුණයෙන් යුක්ත නො විය යුතුය. කර්කශව, පරුෂව, සාහසිකව පැවතිය යුතුය”

ආදී වශයෙන් සාකච්ඡා කොට පිටත්ව ගියහ. මේ අයුරින් දෙවෙන දවස්හිත්, තුන්වන දවස්හිත් ඇත් හළ අසලට පැමිණ සාකච්ඡා කළහ.

ඒ මහිලා මුඛ හස්තියා ද සොරුන්ගේ බස් අසා “මේ මා හට උගන්වන්නේය” යන හැඟීම ඇති ව “එතැන් පටන් චණ්ඩව, පරුෂව රුදුරු ස්වරූපයෙන් හැසිරිය යුත්තේය” යනුවෙන් සිතා එබඳු ගති ලක්‍ෂණ ඇති කර ගත්තේය.

එබඳු ගුණයන් ඇති කර ගත් හස්තියා පසු දින උදෑසනම පැමිණි ඇත් ගොව්වා සොඬින් බදා අල්ලා බිම ගසා මරා දැමීය. මේ අයුරින් කිහිප දෙනෙකුම මරන ලද අතර මද කිපීම නිසා දකින දකින හැම දෙනෙකුම මරා දමන්නට විය. හස්තියාගේ මේ වෙනස පිළිබඳව දැනගත් රජු බෝසත් ඇමති වරයා කැඳවා

“පණ්ඩිතයෙණි, තොප ගොස් කවර හේතුවක් නිසා මංගල හස්තිරාජයා මෙවැනි දුෂ්ට තත්වයට පත් වූයේ ඇයි දැයි සොයා දැන ගෙන එව“ යි

පවසා බෝසත් ඇමතිවරයා ඇත් හලට යැවීය. බෝධි සත්වයෝ ද ඇත් හලට ගොස් හස්තියාගේ ශරීරය පරීක්ෂා කර බලා ශරීරයෙහි කිසිදු රෝග ලක්ෂණයක් නොදැක ඇත්ගොව්වන් කැඳවා තොරතුරු දැන ගෙන රජු වෙත ගොස්

“දේවයන් වහන්ස, මංගල හස්තියාට කිසිදු රෝග පීඩාවක් නැත. සොරුන්ගේ බස් ඇසීම නිසා දුෂ්ට වී තිබේ. එබැවින් සිල්වත් මහණ බමුණන් ඇත් හල සමීපයෙහි හිඳුවා ශීලාචාර කතා කියවිය යුතුයැ” යි කීය.

බ්‍රහ්මදත්ත රජු ද අමාත්‍යයන් කී අයුරින් ම සිල්වතුන් ලවා

“කිසිවකු නොමැරිය යුත්තේය. සිල්වත්ව, ඉවසීමෙන්, මෛත්‍රීයෙන්, හා කරුණාවෙන් යුක්ත විය යුතුය”

ආදී වශයෙන් ශීලාචාර කතා කියවන ලදී. ඒ බස් අසා සිටි හස්තිරාජයා ද “මොවුන් මා උගන්වන්නේය” යන අදහසින් “මා මෙතැන් පටන් සිල්වත් විය යුතුයැයි” සිතා සිල්වත්ව කරුණාවෙන් හා මෛත්‍රියෙන් යුක්ත විය. මේ බව දැන සතුටට පත් බ්‍රහ්මදත්ත රජතුමා

“මේ අයුරින් දුෂ්ට වූ හස්තියා නුවණැත්තන් නිසා පෙර පරිදිම සිල්වත්ව සිටියේ ය. එමෙන්ම තිරිසන් ගත හස්තියාගේ පවා අදහස දැන ගන්නට සමත් වූයේ ය”

යනුවෙන් බෝසතුන් කෙරෙහි සතුටුව බොහෝ යස ඉසුරු සම්පත් දී ආයු අවසානයේ මිය පරලොව ගියහ.

එකල මහිලාමුඛ හස්තියා නම් මෙකල දේවදත්ත තෙරණුවන්ගේ පක්ෂය ඇසුරු කළ භික්ෂුව ය. බ්‍රහ්මදත්ත රජතුමා නම් ආනන්ද තෙරණුවන්ය. අමාත්‍යයා වූයේ බුදු රජාණන් වහන්සේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: