Posted by: lrrp | September 27, 2011

යක්ෂ භූත අසුර ඇදහිලි බුදු දහමෙන් පැහැදිලි කිරීම

විවිද අමනුෂ්‍ය අසුර බලපෑම්වලට ලක්වී පීඩා විඳින බොහෝ අය ගැන පුවත් නිතර අසන්නට ලැබේ. අප රට තුළ පමණක් නොව ඇමෙරිකාවේ ධවල මන්දිරයේ පවා හොල්මන් ඇතැයි මතයක් පවතී. පසුගිය දා මියගිය ජනප්‍රිය පොප් ගායක මයිකල් ජැක්සන්ගේ භූතයා පසුව නිතර ඔබ මොබ සැරිසරනු වීඩියෝපට මගින් මුළු ලොවටම දැකගත හැකි විය.

විශේෂයෙන්ම නූතන තාක්ෂණය යටතේ දියුණු කළ කැමරා උපකරණ වලින් අහම්බෙන් ගත් ඡායාරූපයන්ට හසුවන මෙවැනි අමනුෂ්‍යයන්ගේ සේයාරූ පිළිබඳ පුවත් දැන් දැන් නිතරම අසන්නට ලැබේ.
එසේ නම් මෙවැනි අමනුෂ්‍ය අසුර කොටස් සිටින්නේ කොහිද? එවැන්නන්ගේ පැවැත්ම කුමක්ද? විශේෂයෙන්ම මෙවැනි අසුරයන්ගේ බලපෑමට ලක් වූ පුද්ගලයන් එයින් ගැලවීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග කවරේද ආදී ගැටලු පිළිබඳ ධර්මානුකූල සාකච්ඡාවක් සඳහා මෙවර අපි අති පූජනීය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේ සමග සදහම් පිළිසඳරකට එක්වෙමු.

ගෞරවනීය ස්වාමීන්වහන්ස අමනුෂ්‍ය අසුර කොටස් මෙලොව සිටිනවා යැයි ඇතැම් අය විශ්වාස කරන්නේ නැහැ. මෙවැනි කොටස් පිළිබඳ බුද්ධ දේශනා ඇසුරෙන් පැහැදිලි කළ හැකිද?
අනිවාර්යයෙන්ම. ඉතා පැහැදිලි ලෙස බුද්ධ දේශනා ඇසුරෙන් මෙවැනි බලවේග ගැන විස්තර ඉදිරිපත් කළ හැකියි. මේ අයගේ ස්වභාවය දෙවියන්ගේ ස්වභාවයට වඩා හාත්පසින්ම වෙනස් බවත් අපට මේ දේශනා අනූව පෙනෙනවා.

දැන් දැන් අමනුෂ්‍යයන් පිළිබඳ අසන්නට ලැබෙන පුවත්වල ප්‍රමාණය වැඩිවීමක් පෙනෙනවා. ඒට හේතුව කුමක් විය හැකිද?
බුද්ධ ශාසනය බබළන කාලවල දී වැඩිවෙන්නේ දෙව් පිරිසයි. ඊට හේතුව බොහෝදෙනා ධර්මයේ හැසිරීමයි. එසේ ධර්මයේ හැසිරෙන අය මරණින් මතු දෙවියන් අතරයි උපදින්නේ. ඒත් බුද්ධ වචනය නොඇසී යනවිට, ධර්මයේ හැසිරෙන පිරිස හීන වන විට මිය යන අය අසුර පිරිස් අතරයි උපත ලබන්නේ. එවිට අමනුෂ්‍ය ගහනය වර්ධනය වෙනවා. මේ කාලය ඇත්තටම අසුර ලෝකය පිරී යන කාලවකවානුවක්. දැන් දෙවියන් යැයි සිතා ගෙන අදහන ශිව, පාර්වතී වැනි සියලු අය නියෝජනය කරන්නේ අසුර පිරිස්මයි. මෙවැනි කාරණා බොහෝ අය දන්නේ නැහැ. එසේත් නැතිනම් පිළිගන්නේ නැහැ.

මෙවැනි අමනුෂ්‍ය අසුර බලවේග බලවත්ද?
අනිවාර්යයෙන්ම බලවත්. මොවුන්ට අන් අයගේ සිතිවිලි පවා පෙනෙනවා. මිනිසුන්ගේ වැඳුම් පිඳුම් ලබා, පුද පූජා ලබාගෙන ආනුභාවසම්පන්නව සිටින පිරිසක් තමයි මොවුන්.ඇපේ රටේ ඇතැම් ත්‍රස්තවාදී නායකයන් පවා සොහොන් කාලියට ලේ ගොටු නිරතුරුවම පූජා කළා. ඒ අයගේ සටන් ජයග්‍රහනය සඳහා උපකාර ලබා ගැනීමට. ඒ පූජා කළේ මිනිස් ලේ. ඒ වගේම මෑතකාලීනව මෙරට මහත් ආන්දෝලනයකට ලක් වුණ මුන්නේස්වරම් සොහොන් කාලි පූජාව. මෙය විශාල අසුර බිලි පූජාවක්. මේ අසුර වන්දනායි.

මෙවැනි බිලි පූජා සිදු කරන්නේ ඇයි?
එය වන්දනා ක්‍රමයක්. සතුන්ගේ ගෙල සිඳ දමා එයින් ගලායන ලෙයින් “දේව” ප්‍රතිමාව නහවා හරිනවා. සමහර දේවාලවල දිව පිටතට දිගු කරගෙන සිටින ප්‍රතිමා වෙත යන ඇතැම් මිනිසුන් මිනිස් ලේ ගෙනගොස් ඒ දිව මත තවරා අසවලා මරා දමන්න ආදී වශයෙන් ඉල්ලා සිටිනවා.

මෙවැනි ක්‍රියා අර්ථ දැක්විය හැක්කේ කෙසේද?
මේවා ඇත්ත වශයෙන්ම මිනිසුන් සිය ළාමක අදහස් මුදුන්පත් කරවා ගැනීම පිණිස අමනුෂ්‍ය අසුර කොටස් පාවිච්චි කිරීමයි. ඒ ඒ පිරිසුත් මේවාට ගිජුව වසඟව වාසය කරන බව අපට පේනවා.

ඔවූන් බලයට ගිජුද?
ඔව් බලයට කැමතියි. ආනුභාවසම්පන්න වීමට කැමතියි. කීර්ති ප්‍රශංසාවට කැමතියි වාගේම මිනිසුන් ඔවුන්ට වැඳුම් පිදුම් කරමින් ඔවුන් පාමුල වැතිර සිටිනවාටත් ඔවුන් කැමතියි.

මෙවැනි අමනුෂ්‍යයන්ගේ බලවත්කම් උපයෝගී කරගෙන කෙරෙන යම් යම් මන්ත්‍ර ශාස්ත්‍ර කටයුතුත් දැන් මිනිසුන් අතර බොහෝ සෙයින් ව්‍යාප්ත වී තිබෙනවා?
ඔය ගැන වටිනා සඳහනක් තිබෙනවා ධර්මයේ එක් තැනක. ඒ සඳහනට අනූව සම්බර මායාව නමැති මන්ත්‍ර ශාස්ත්‍රය ලොවට දුන් තැනැත්තා මරණින් පසු ඉපදී තිබෙන්නේ නිරයේ. එය යක්ෂ, භූත ආදී අමනුෂ්‍යයන් සම්බන්ද කරවාගෙන කරන කිසියම් මායා ශාස්ත්‍රයක්. අණවින, කොඩිවින, හූනියම්, ප්‍රේත බන්ධන ආදී සියල්ලටම වරම් දී තිබෙන්නේ මේ සම්බර අසුරයායි. ඒ අනූව තමයි දකුණු ඉන්දියාවේ මෙවැනි සියලු ශාස්ත්‍ර වැඩිදියණු වී තිබෙන්නේ.

මේ අය ධර්මයට විරුද්ධද?
අනිවාර්යයෙන්ම විරුද්ධයි. දෙවියන්ටත් විරුද්ධයි. දෙවියන් මේ බලි බිලි, තටු පුළුටු, බිලි පූජා ආදී කිසිවක් ඉවසන්නේ නැහැ. ඔවුන් ලේ පිපාසිත වූවන් නොවේ. ඔවුන් ධාර්මිකයි.

මේ අමනුෂ්‍ය අසුර කොටස්වල ස්වභාවය කෙබඳු ද?
මේ ලෝකයට ගරු සරු නැති බව, සැලකිලි නැති බව, තමන් පිළිබඳ මහත් වූ මාන ඇති, තම බලතලවලින් මත් බවට පත් වූ අතිශය අහංකාර ලක්ෂණ පහල කරමින් දෙවියන්, මිනිසුන් තම වසඟයේ පවත්වාගෙන යටත් කරමින් සිටින්නට කැමති පිරිසක් ඔවුන්.

මේ බලවේග සිල්වත් ගුණවතුන්ට එරෙහිව කටයුතු කරනවාද?
මේ බවටත් පැහැදිලි සාක්ෂි බුද්ධ දේශනාවල තිබෙනවා, වරක් අසුර නායකයෙක් සිල්වත් පිරිසක් බැහැදකින්නට එනවා. ඒත් ඔහු තම පාවහන් පයින් ඉවත් කරන්නේ නැහැ. කඩුව හෝ කුඩය ඉවත් කරන්නේත් නැහැ. ඔහු සිල්වතුන් හමුවට ඇවිත් ඒ සිල්වතුන්ට නිගාකොට නික්ම යනවා.

මේ අමනුෂ්‍ය අසුර බලය විශාල එකක්ද?
විශාල නොවේ සුවිශාල එකක්. අද වන විට මෙලොව පවතින මේ බලය මෙතකැයි කියා කීමට නොහැකි තරම්. මිනිසුන් මේ අයට විවිද දේවාලවල දී විවිධාකාර පුද සත්කාර කරනවා. මේ බලය දැන් මිනිසා මැඬගෙන වර්ධනය වෙමුන් යනවා. එසේම මේ බලය දෙව්ලොව සිසාරා ගමන් ගන්නා බවත් පේනවා.

මෙවැන්නක් බුද්ධ කාලීනව පැවතුණාද?
ඔව්. එකලත් තිබුණා. ඒත් මේ බලය එකල පැවතුණේ පරාජිතව. ඒත් දැන් එසේ නොවේ.

ආටානාටිය සූත්‍රයේදීත් මේ බව සඳහන් වෙනවා නේද?
ඔව්. මෙවැනි යක්ෂ භූත කුම්භාන්ඩ පිරිස් වලින් මිනිසුන්ට සිදුවන බලපෑම ගැන එහි සඳහන්. ඒත් මෙවැනි අයට දඬුවම් පැමිණවිය හැකි වරය ඇති පිරිසුත් සිටිනවා. ඒ යක්ෂ සෙන්පතිවරුනුයි. ඒ අයගේ නම් හඬ නගා කියන්න යැයි එහි සඳහන් වෙනවා.

භාග්‍යවතුන් වහන්සේ යම් තැනකට වැඩිය පමණින් ඒ තැන්වලින් අමනුෂ්‍යයන් පලා ගිය බව සඳහන් නේද?
ඔව් එසේ සිදුවී තිබෙනවා බොහෝ අවස්ථාවල. එකලත් මෙකල සේම මේ අමනුෂ්‍යයන් සාමාන්‍ය මිනිසුන් වසඟ කරගෙන සිට තිබෙනවා. ඔවුන්ගේ බල පරාක්‍රම පතළ කරමින් සිට තිබෙනවා. ඒත් බුද්ධානුභාවය ඉදිරියේ ඒ සියලු බල නිශේද වී ගියා. ඒත් අද එවැන්නක් නැහැ.මිනිසුන් බහුල වශයෙන් මේ අමනුෂ්‍ය වන්දනා සහ ඔවුන්ගේ අනුහස් අදහාගෙන පරිහානිදායක ගමනක යමින් සිටිනවා. ධර්මයේ හැසිරෙන්නට සිතන පුද්ගලයා එයින් මුදවා, කළකිරවා ඔහුගේ ගමන් මගට අකුල් හෙළන්නට මෙ අමනුෂ්‍යයන්ට පුළුවන්. සමහරුන්ට් පිරිත් කියන්න බැහැ. තවත් සමහරුන්ට හිටි අඩියේ භාවනා කරන්නට බැරිව යනවා. විශාල අර්බුද හටගන්නවා. අමනුෂ්‍යයන් දහමටත්, දහමේ හැසිරෙනවාටත් අකමැතියි.

එහෙහ් මේ කිසිවක් නොදන්නා සාමාන්‍ය මනුෂ්‍යයා  තමාගේ හුදු ළාමක ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අමනුෂ්‍ය වන්දනාවේ යෙදෙමින් යම් යම් ඉල්ලීම් ඉදිරිපත් කරමින් ඔවුන් ඉදිරියේ වැඳ වටෙමින් සිටිනවා. තමන් ඉදිරියේ වැඳ වැටෙන්නා දකින මේ බලවේගත් එයින්ම සතුටු වෙමින් තම බලතල මෙවැනි පුද්ගලයන් ඉදිරියේ ප්‍රකට කරවමින් සිටිනවා. මෙවැනි වන්දනාමානවලට හුරු වූ පුද්ගලයන්ට වටහා ගැනීමට බැහැ තමන් මොන තරමක උගුලක පැටලිලාද කියා.

මේ බලවේග තම බලතල මිනිසා විෂයෙහි ක්‍රියාත්මක කරන ක්‍රමවේදය කුමක්ද?
ඔවුන් මිනිසුන් තමන් වෙත වසඟ කරවා ගන්නවා. තම ආධිපත්‍යයේ පවත්වා ගන්නවා.

මෙම බලවේග තමන්ට පුද සත්කාර කරනා විට ඕනෑම ක්‍රියාවකට ඉදිරිපත් වෙනවාද?
ඔවුන් තමන්ගේ පැවැත්මම, ලාභයම පතනා පිරිසක්. ඒ වගේම තමා වෙත කෙරෙන පුද සත්කාර පිලිගෙන ඕනෑම ළාමක කටයුත්තක් සඳහා පෙලඹෙන උදවිය. ඒත් ඇතැම් අසුර පිරිස් මෙයින් තරමක් වෙනස් බවත් පෙනෙනවා ඇතැම් විට. ඒත් මෙවැනි අමනුෂ්‍යයන් වන්දනා කිරීම පවා සුබ ප්‍රථිපල උදා කර දෙන්නේ නැහැ. එවිට ඇදහිලි ඇති අයට කිසි විටෙක දෙව්ලොව වෙත යා නොහැකියි මරණින් මතුවට. ධර්ම ශ්‍රවණයටත් ඔවුන්ට ඉඩ නැහැ.

බුද්ධ කාලීනවත් බලවත් බිලි පූජා පවත්වමින් දෙවියන් පිදීම පැවතුණා නේද?
ඔව් විශේෂයෙන්ම ශිව දෙවියන් යනු අසුර බලවේගයක්. රුද්‍ර යන නමින් එකල එය පැවතුණේ. ශිව ඇදහිල්ල පටන් ගත්තේ 5 වැනි සියවසෙන් පසුවයි. එකල රුද්‍රට පිදුවේම ගව මස්. අහිංසක ගවයන් විශාල වශයෙන් මරා බිලි දුන්නා. බුදුරජාණන් වහන්සේ මේවාට දැඩිව එරෙහි වුණා. පසුව මේ රුද්‍ර ගේ ස්වභාවය වෙනස්ව ශිව බවට පෙරලුණා. ශිව යනු යහපත් හා සුන්දර යන්නයි. හින්දු ධර්මයේ ඉගැන්වෙන ත්‍රිමූර්තික වන බ්‍රහ්ම, විෂ්නු, මහේෂ්වර අතරින් බ්‍රහ්ම යනු ලෝකයට උපත සාදන්නායි. විෂ්නු යනු ඒ ලෝකය සුරකින්නායි, මහේෂ්වර නම් ලෝකය විනාශ කරන්නායි.

ඉන්දියාවේ එක්තරා ප්‍රසිද්ධ හින්දු සභාවකදී ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළා වරක් ඔවුන් ශිව බලය යොදාගෙන ඉන්දියාව තුළ බුදු සසුන විනාශ කල බව. මෙයින් අපට පෙනෙනවා මෙහි ඇති සුවිශාල අසුර බලය. කාලි යනු දාසි නමැති මාරයාගේ සොහොයුරිය වූ අසුර බලවේගයයි. මෙවැනි දේ බ්‍රාහ්මණයන් සොයා ගත්තා. එහෙම සොයාගෙන මේ කාලි ඇදහිල්ල දැන් ප්‍රබලවම කරගෙන යනවා. මාස් පතා එලුවන් ලක්ෂ සියයක් පමණ මේ වෙනුවෙන් දැනට බිලි දෙනවා. මෙතරම්ම දැඩි ලෙස කාලි පූජාව දැන් පැවැත්වෙනවා.

බද්‍ර කාලි, ලේ කාලි, සොහොන් කාලි පිදීම ආදී වශයෙන් මෙය විවිධාකාර ආකාරවලින් සිදු කරනවා. මේ සියලු අය මන්ත්‍ර ශාස්ත්‍රයට සම්බන්ධයි, මේ අය දැන් ප්‍රබල විදියට මිනිසුන්ගේ යම් යම් අවශ්‍යතා ඉටුකර ගැනීම වෙනුවෙන් පාවිච්ච් වෙනවා. මලයාල ගුරුකම් ආදී සියලි ගුරුකම් මේ සමගම සම්බන්ධයි. මේ සියල්ල අපේ පියවි ඇසට නොපෙනෙන අසාමාන්‍ය බලවේග.

ඒත් මේ සියලු දේ අවසානයේ ඇතිවන්නේ මහා විපත්තිකාරී තත්ත්ව පමණයි. එය පැහැදිලිවම ධර්මයේ සඳහන්, ඒ කෙසේ වෙතත් මේ අමනුෂ්‍ය අසුර ලොව බලපෑම් ඉතා තදින් මිනිසා විෂයෙහි ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ඉතාම පැහැදිලියි.

අප තථාගතයන් වහන්සේ සත්ථා දේව මනුස්සානං, එසේත් නැත්නම් දෙවියන්ගේත් මිනිසුන්ගේත් ශාස්තෘන් වහන්සේ. ඒත් මිනිසුන්ට උන්වහන්සේගේ ධර්මය කරා යන්නට බැරි මේ අසුර ලොව බලපෑම නිසා. දෙවියන්ටත් මිනිසුන් කරා ළඟා වීමට නොහැකි තත්වයක් උදාවී තිබෙනවා. ඒට හේතුව සමස්ථ පෘථිවියම අසුර ග්‍රහණයට නතුවී තිබීමයි. මිනිසුන් මෙයින් තව තවත් අසරන වෙමින්ම යනවා. මෙයින් අත්මිදීමට අපට හැකියාවක් තිබේ දැයි සැක සිතෙන තරමටම දැන් තත්ත්වය බරපතළ වෙලා ඉවරයි.

මෙවැනි අසුර ග්‍රහණයන්ට හසුවූ පුද්ගලයන්ට එයින් මිදෙන්නට හැකි ක්‍රමය කුමක්ද?
ඒ සඳහා ඇති එකම ක්‍රමය මෛත්‍රී භාවනාවයි. එයින් තොරව මේ බලවේග වලට මුහුණ දිය හැකි වෙනත් ක්‍රමයක් නම් නැහැ. මේ සඳහා ‘මම වෛර නැත්තෙක් වෙම්වා’ ආදී වශයෙන් ඇරඹෙන මෛත්‍රී භාවනාවේ නිවැරදිම ක්‍රමය හුරුවිය යුතුයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: