Posted by: lrrp | October 12, 2011

මට හොඳ තැනකට යන්න පුළුවන්ද?

මේ මිනිස් ලෝකය ද කාම ලෝකයකි. උපන් දා සිට ම ඉන්ද්‍රියයන් පිනවීම සඳහා ම මිනිසා කටයුතු කරයි. ආධ්‍යාත්මීය සංවර්ධනයක් ගැන නොසිතන මිනිසා පහළට ගලා යන ගංගාවක දිය පහරට අසුවී සිටින්නාක් මෙන් ගඟ පහළට පා වී යයි. මේ ගමනේ කෙළවරක් නැත. අනන්ත දුකක් විඳීමට සිදුවී ඇතැයි අවබෝධ කොට ගත් ඉතා සුළු පිරිසක් මේ සංසාර දුකෙන් මිදීම සඳහා උඩුගං බලා පිහිනන්නාක් මෙන් සිත පිනට දහමට යොමු කොට දාන සීල භාවනාදියෙහි යෙදෙති.

ජීවත්වීමේ ප්‍රශ්න එකින් එක දිනෙන් දින තමන් පිටට පැවරෙන විට දෙවියන් බුදුන් සිහි කරන්නට වත් බොහෝ දෙනෙකුට නිදහසක් නැත. වර්තමානයේ ගොඩ නැඟී ඇති සමාජ රටාව අනුව තමන් ගේ දූ දරුවන්ගේ ප්‍රශ්න විසඳන්නට දිවා රෑ වෙහෙසෙති, මේ දූ දරුවන්ගේ ප්‍රශ්නවත් හරියාකාර විසඳන්නට මත්තෙන් ඒ දූ දරුවෝ ද නිසි වයස් එළඹ මුණුපුරු මිණි පිරියන් බිහි කරති.

වයස් ගත මව් පිය දෙදෙනා මේ හෙය්යම්මාරුවට මැදි වෙති, ආර්ථික ප්‍රශ්න විසඳා ගන්නට දූ දරුවෝ රැකී රක්ෂාවල යෙදෙන විට ඔවුන්ගේ මව් පිය දෙදෙනා මුර කාරයන් බවට පත් වෙති. මුණුපුරු මිණිපිරියන් සමඟ ළදරු පාසල් යති, ආදරය කරුණාව නිසා සියල්ල ඉවසා දරා ගෙන දුක් කරදර ලෙඩ රෝග ඉදිරියේ අසරණව සිටිති. ඇත්තම කියනවා නම් මෙයින් බොහෝ දෙනෙකුට “උවමනා වෙලාවට” වැසිකිළියට කැසිකිළියට යෑමටවත් නිදහසක් නැත.

මේ කිනම් වැඩ රාජකාරි තිබුණත් යා යුතු වෙලාවට නොවරදවා ම යා යුතු ගමනක් ඇත. එදාට කවුරු හඬා වැළපුණත් වැඩක් නැත. ලයිට් කණුවල ටෙලිෆෝන් කණුවල “නිවන් සැප ලැබේවා” යි දැන්වීම් ප්‍රදර්ශනය කළාට වැඩක් නැත. ආදරයකින් ආශාවකින් මළේ නම්, තරහකින් වෛරයකින් මළේ නම් ඔහු හෝ ඇය අනිවාර්යයෙන් ම දුගතිගාමී වෙනවා ම ය. තමන්ගේ විමුක්තිය තමන් ම සොයා ගත යුතු ය. “අත්නාහි අත්ත නෝ නාතෝ. කුතෝ පුත්තා කුතෝ ධ නං” තමන්ට තමන්වත් නැති කළ දරුවන් හෝ ධනය කෙසේ, පිහිට වෙයි ද?

මේ වැල්ලවාය ප්‍රදේශයේ තරුණ යුවළක ගේ කතාවකි. ඇය පැහැපත් ප්‍රසන්න තරුණියක්. වයස අවුරුදු විසි පහකි. ඔහු තිස් හැවිරිදි කඩවසම් ;යෟවනයෙකි. මේ දෙදෙනා විවාහ වී දැනට අවුරුදු හතරක් ගත වී ඇතත් ඇයට සමීප වන්නට ඔහුට නොහැකි ය. ඒ තරම් ම දුර්ගන්ධයක් ඇය කෙරෙන් ඔහුට දැනේ. මෙය තරුණයා තුළ ඇති මානසික රෝගයකැයි මනෝ වෛද්‍යවරුන් වෙත ගියහ. තරුණියට ඇති කායික රෝගයකැයි කායික (සර්වාංග) වෛද්‍යවරු සොයා ගියහ. ඉංග්‍රීසි සිංහල ප්‍රතිකාර ගණනාවක් සිදු කළ ද මේ ප්‍රශ්නය විසැදුණේ නැත. අවසානයේ බලි තොවිල් අංශයට නැඹුරු වුව ද එයින් ද සුවයක් නොලැබුණි.

අවසානයේ මේ දෙදෙනා අගනුවරට ආසන්න හෝමියෝපති වෛද්‍යවරියක සොයා පැමිණියහ. මේ වෛද්‍යවරිය ආධ්‍යාත්මීය දැනුම ද උපයෝගී කොට ගෙන සමගාමීව ප්‍රතිකාර කිරීම නිසා මෙම ස්ථානයේ දී තරුණිය කෙරෙන් ඉතා ම අප්‍රසන්න ගති ලක්ෂණ මතු වන්නට විය. මුහුණ අඳුරු වී මුළු ශරීරය ම වෙව්ලන්නට වූවා ය. කෑ ගසන්නට වූවා ය.

“කව්ද මේ කලබල කරන්නේ?”

“මට ඉන්න විදිහට නිදහසේ ඉන්න නොදෙන හින්දයි මම කලබල කරන්නේ?”

“කව්ද ඔබට හිරිහැර කළේ?”

“අනේ! අනේ! මට තේරෙනවා ඔය සූදානම් වෙන්නේ මාව පන්නන්න නේද?”

“කවුද?”

“ඔබ තුමිය”

“මම තමුන්ට එන්න කිව්වෙත් නෑ. තවම යන්න කිව්වෙත් නෑ”

“එහෙම ද?”

“එහෙම තමයි”

“එහෙම නම් කමක් නෑ”

“හොඳයි දැන් කියන්න මේ ළමයගෙ ඇඟට රිංගා ගෙන ඉන්නේ කව්ද කියලා?”

“තාත්තා”

“කාගෙ තාත්තා ද?”

“මේ සුරංගනී දුවගෙ තාත්තා”

“ඇයි මේ ශරීරයට රිංගා ගත්තේ?”

“මුන්ව මරාගෙන යන්න.”

“ඇයි ඒ?”

“මම අරූ එක්ක තරහයි”

“කවුරු එක්කද?”

“මේකි ගෙ මිනිහත් එක්ක. අනේ! මට වතුර ටිකක් දියල්ලා. දැවිල්ලයි. දැවිල්ලයි. පිච්චෙනවා” යි තරුණිය වේදනාවෙන් මොර ගහන්නට වූවා ය. ඒ අනුව වතුර බෝතල් ගණනාවක් ම සපයා දෙනු ලැබ ඒවා බී ගෙන බී ගෙන ගියා ය. නැවතත් තරුණයා දෙස බලා වෛරයෙන් දත් සපන්නට විය.

“පළි ගන්නවා. පළි ගන්නවාමයි. තෝව මරනවා. මරාගෙන යනවා. එතකම් මම යන්නෙ නෑ”

“ඇයි මේ තාත්තා මේ බෑණත් එක්ක මේ තරම් තරහක්.”

“මම මේ කසාදෙට විරුද්ධ වුණා. මුං හොර රහසෙම කසාද බැන්දා? මම හිතේ අමාරුවෙන් ම යි මළේ. මම පළිගන්නවා ම යි.” කියා කුණු හරුපයෙන් ද බනින්නට විය.

“දැන් කෑ ගැහුවා ඇති. මේ මගේ ස්ථානය. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ නිතර සජ්ඣායනා කරන ස්ථානයක්.”

“සාදු! සාදු!! මමත් හොඳට පින් දහම් කළා. මට ඒවා දැනුයි මතක් වුණේ. මුන් එක්ක තියෙන වෛරට ඒ ඔක්කොම අමතක වුණා. ඒ වෛර වේදනාවට තමයි මට දරුණු පිපාසයක් එන්නෙත්, මම මේ දුක් විඳින්නේ මුන් දෙන්නා හින්දයි. මුන්ගෙන් පළි ගන්න ම ඕනෑ.”

“තමුන් මිය ගියේ වෛරයෙන්. ඒ වෛරය නිසයි ඔය දුක් විඳින්නේ. තමුන් දැන් මේ ළමයගෙ තාත්තා නොවෙයි. වෙනත් ආත්මයක්. තමුන්ට සාධාරණ අයිතියක් නෑ මේ අයට හිංසා පීඩා කරන්න. ඔය වෛරය නිසා තව තවත් දුගතිගාමී වෙනවා. දැන් අතීතයේ කළ පින් දහම් සිහිපත් කර හොඳ තැනකට යන්න හිතන්න. මේ ළමයින්ට සමාව දෙන්න. සමාව දීම දේව ගතියක්. මේ අයට අනුකම්පා කරන්න. කරුණාවෙන් හිතන්න.”

“බැහැ. බැහැ.”

වෛද්‍යවරිය ඔවුන් දෙදෙනා සමඟ පැමිණි අයට පන්සිල් සමාදන් වී මෛත්‍රී භාවනාව වඩන හැටි සරලව පැහැදිලි කළා ය. තමන්ටත් සියලු සත්ත්වයන්ටත් මෛත්‍රිය පතුරුවා මේ දියණියටත් ඇගේ ශරීරයට ආවිශ්ටව සිටින භූතාත්මයටත් මෛත්‍රී බලයෙන් සුවපත් වෙන්නට සිතන්නැයි උපදෙස් දුන්නා ය. වෛද්‍යවරිය ද භාවනාවක නිමග්න වූවා ය. මේ අතර තරුණියගේ කලබල ස්වභාවය ක්‍රමයෙන් අඩු විය.

“දැන් කොහොමද?” වෛද්‍යවරිය ඇසුවා ය.

“සුවයක් දැනුණා. පුදුම සුවයක්.”

“ඒක තමයි වෛර කරන්න එපා කියන්නේ, තව තවත් දුගතිගාමී නොවී සුගතිගාමී වෙන්න හිතන්න. ලෝකයේ කවුරු අතිනුත් වැරදි සිද්ධ වෙනවා,, ඒ නිසා අනුකම්පා කරන්න.”

“මට හොඳ තැනකට යන්න පුළුවන් ද?”

“පුළුවන්”

“ඒ කොහොමද?”

“මේ අය ලවා දන් පැන් දී පින් අනුමෝදන් කරවනවා. ඒ පුණ්‍ය ශක්තියෙන් දුගතිගාමී බවෙන් නිදහස් වෙන්න පුළුවන්.”

“ඉතින් මට පින් ලැබෙන කම් මම කොහේ ද ඉන්නේ?”

“ගමේ පන්සලේ බෝධීන් වහන්සේ ළඟට වී ඉන්න.”

දුප්පතුන්ට රෝගීන්ට ආහාර පානයෙන් සංග්‍රහ කරන්න. විශේෂයෙන් තැඹිලි වතුරෙන් රෝගීන්ගේ පිපාසය නිවන්න. ඒ අතර දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වන්න. සෑම දිනකම බෝධි පූජාව අවසානයේ තමන් කළ පුණ්‍යකර්ම සිහිපත් කොට මිය ගිය පියා, දුගතියෙන් සුගතියට පත් වේවා” යි ප්‍රාර්ථනා කරන්නැ” යි සුරංගනී ගේ ස්වාමි පුරුෂයාටත් ඥාතීන්ටත් උපදෙස් දුන්නා ය.

හිටි හැටියේ “සාදු සාදු” යි පැවසූ සුරංගනී යටි ගිරියෙන් “හූ” කියාගෙන ඇස් ඇරියා ය. පුදුමයෙන් මෙන් වටපිට බැලුවා ය. ඒ වනවිට ඇගේ මුහුණ ප්‍රසන්න වී තිබුණි. තරමක තෙහෙටිටුවක් ඇතැයි සැමියා ගේ ඔඩොක්කුවේ හිස තබා ගත්තා ය.

“දැන් අර දුර්ගන්ධය නැහැ” යි ඔහු කීවේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: