Posted by: lrrp | October 13, 2011

සිහි කිරීම හා සිහිය පැවැත්වීම – පොතුහැර විපස්සී හිමි

සිහිය පැවැත්වීම සිහි කිරීමට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. එය සිදුවන දෙය දෙස බලා සිටීමකි. නිරීක්‍ෂණයක් පමණි. බොහෝ කලක් විවිධ දේ සිහි කිරීමට හුරුපුරුදු වී සිටින අපට සිදුවන දෙය බලා සිටීම අසීරු විය හැකිය. නමුත් ටිකෙන් ටික හුරුවීමෙන් ඒ බලා සිටීම පුරුදු කළ හැකි ය. ඒ තුළින් සිහිය දියුණු වේ.

සංසාර ගත සත්වයාගේ පිරිසුදු බව පිණිස, සතර සතිපට්ඨානයෙහි සිහිය පැවැත්වීම බව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සේක. කුසල් ගොඩකියා පවසන්නේ සතර සතිපට්ඨානයයි. සිහි කිරීම හා සිහිය පැවැත්වීම යනු දෙකකි. මේ දෙකෙහි වෙනස හොඳින් හඳුනා ගත නොහැකි නම් සිහිය පැවැත්වීම කළ නොහැකිය. ‘සතිපට්ඨාන’ යන්නෙහි තේරුම සිහිය පැවැත්වීමයි. අනුස්සති (අනුස්සරති) යනු සිහි කිරීමයි. බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනා වලදී කෙරෙන්නේ සිහි කිරීමයි. ප්‍රත්‍යවේක්‍ෂා කිරීම (පච්චචෙක්ඛති) නුවණින් විමසා බැලීම (මනසානුපෙක්ඛිතා) යන වචන ද බොහෝ දුරට සිහි කිරීමට සමාන තේරුම් ඇත.

සිහිකිරීම සෑම විටම අතීත අරමුණක් වේ. ඇස, කන, නාසය, දිව, කය යන ආයතනයන්ගෙන් සෑම විටම අරමුණු ලබා ගනී. මේ අරමුණු සියල්ලම සිත තුළ තැන්පත් ව ඇත. ඕනෑම විටෙක ඒවා එකිනෙක ගළපා ගනිමින් සිහිපත් කළ හැකිය. සමහර විට අපි අලුත් දෙයක් ලෙස සිතුවත් එයද අතීත අරමුණු ම වෙනත් අයුරකින් ගළපා ගැනීමක් පමණි. අතීතයේ නොදුටු, නො ඇසූ හෝ නාසය, දිව, කය යන ආයතනයන්ගෙන් විඳ නැති කිසිවක් සිහි කළ නොහැකි බව ‘වාලුංක්‍යපුත්ත’ සූත්‍රයෙන් ද හෙළි වේ.

බුදුගුණ සිහිපත් කිරීමට නම්, කලින් බුදුගුණ කියවා හෝ අසා තිබිය යුතු ය. අපට හුරු පුරුදු ආකාරයෙන් බැහැරව වෙනත් අයුරකින් සිහි කළ ද, එයත් කියවා හෝ අසා ඇති දේ අලුත් මුහුණුවරකින් ගලපා ගැනීමකි. ආයතනයන්ගෙන් ගත් පංචකාම අරමුණු සිහි කිරීමෙන් මුලාව දියුණුවේ. රාගය, ද්වේෂය වැඩීමට හේතුවේ. බුද්ධානුස්සති ආදි භාවනා කමටහන් සිහිපත් කිරීමෙන් රාග, ද්වේෂ, මෝහ යටපත්වේ. නමුත් අනුශය වශයෙන් ඇති කෙලෙස් ප්‍රහාණය නොවේ. අනුස්සති භාවනා තුළින් සිත එකඟ කළ හැකි ය. එසේ එකඟ වූ සිත රූපී – අරූපී ධ්‍යාන සමාධි දක්වා දියුණු කළ හැකි ය.

එසේ නමුත් ඒ සමාධිය පවා, චේතනාත්මකව සකස් කරන සංස්කාරයක් බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළා. යමක් චේතනාත්මකව සකස් කරයි නම් එතැන අනිත්‍ය දර්ශනයක් නැත. මේ නිසා ම අතීතයේ, අෂ්ට සමාප්තිලාභීන්ට පවා අනිත්‍ය දර්ශනයට පැමිණීමට නො හැකි විය. සිහි කිරීම මනස නමැති ආයතනයේ ක්‍රියාකාරීත්වයයි. අනිත්‍යය පිළිබඳ ව සිහි කිරීමත් මනසේ ක්‍රියාකාරීත්වයයි. අනිත්‍ය දර්ශනයට පැමිණීමට චේතනාත්මක ව සිදු කරන සකස් කිරීමෙන් බැහැර විය යුතු ය.

සිහිය පැවැත්වීම සිහි කිරීමට හාත්පසින් ම වෙනස් වූ දෙයකි. එය සිදුවන දෙය දෙස බලා සිටීමකි. නිරීක්‍ෂණයක් පමණි. බොහෝ කලක් විවිධ දේ සිහි කිරීමට හුරුපුරුදු වී සිටින අපට සිදුවන දෙය බලා සිටීම අසීරු විය හැකිය. නමුත් ටිකෙන් ටික හුරුවීමෙන් ඒ බලා සිටීම පුරුදු කළ හැකි ය. ඒ තුළින් සිහිය දියුණු වේ. උදාහරණයකින් මෙය වඩාත් පහසුවෙන් තේරුම් ගත හැකි වේ. අපි ආනාපාන සති භාවනාවේ දී බොහෝ විට කරන්නේ ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් සිහි කිරීමයි.

නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ “සතො ව අස්සති සතෝ ව පස්සසති” සිහියෙන් හුස්ම ගනී. සිහියෙන් හුස්ම හෙළයි යනුවෙනි. එනම් ආශ්වාස ප්‍රශ්වාස දෙස සිහියෙන් බලා සිටීමයි. ආශ්වාස ප්‍රශ්වාස ලෙස සිහි කරන්නැයි දේශනා නොකළ සේක. එසේ ආශ්වාස ප්‍රශ්වාස දෙස බලා හිඳීමෙන් සිහිය දියුණු වේ.

සිහිය දියුණුවීමත් සමගම ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස්කම් තේරුම් ගත හැකි ය. අවසානයේ දී අනිත්‍ය වශයෙන් ම (අනිච්චානු පස්සී) දැක ගත හැකි වේ. මේ අනිත්‍ය දර්ශනය ඇසින් දකින දැකීමක් නොව ප්‍රඥාවෙන් දැන ගැනීමකි. අපි යමක් අනිත්‍ය වශයෙන් සිහි කරන්නේ එහි අනිත්‍ය බව නොදුටු නිසාමය. අනිත්‍ය වශයෙන්ම දකී නම් නැවත අනිත්‍යයැයි සිහි කිරීමක් අවශ්‍ය නොවන බව ඉතාම පැහැදිලිය. අනිත්‍යය අරමුණු වන්නේ දියුණු කළ සිහියටයි. සිහිය දියුණු නො කොට අනිත්‍ය දර්ශනයට පැමිණිය නො හැකිය.

බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානය දේශනා කොට වදාළේ සිහිය දියුණු කර ගැනීමටයි. සිහිය දියුණු වීමත් සමඟ අනිත්‍ය දර්ශනය ලැබීමට, නම් ඒ අනිත්‍ය බව පිළිබඳව ධර්මානුකූලව නුවණින් විමසා බලා තිබිය යුතු ය.

අනිත්‍ය බව පිළිබඳව බහුශ්‍රැත භාවය සිහිය දියුණු වූ විට අනිත්‍ය දර්ශනය පිණිස උපකාර වේ. බුදුරජාණන් වහන්සේ ආර්ය ශ්‍රාවකයා හඳුන්වාදෙන සෑම විටම ‘ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා’ වශයෙන් ශ්‍රැතවත් බව දේශනා කොට වදාළේ මේ නිසා විය හැකිය.

සතර සතිපට්ඨානයෙහි සෑම භාවනා කමටහනක් අවසානයේ දී ‘සමුදය ධම්මානු පස්සි වා වය ධම්මානු පස්සී වා’ යනුවෙන් හට ගැනීම හා නැතිවීම පිළිබඳව දේශනා කොට ඇත. එයින් පැහැදිලි වන්නේ ඒ අරමුණෙහි අනිත්‍ය බව දකිමින් වාසය කිරීමයි. මෙහිදී ද හට ගැනීම හා නැතිවීම සිහි කිරීමට නොව දකිමින් වාසය කිරීමට උපදෙස් දී ඇත. ප්‍රායෝගික භාවනාව තුළින් අප කළ යුත්තේ අනිත්‍ය දර්ශනය පිණිස බලවත් ව සිහිය දියුණු කිරීමයි. අපේ කැමැත්ත පරිදි සිහි කිරීමෙන් අනිත්‍ය දර්ශනය වූ මාර්ගඵලයට පත් විය නොහැකි බව ඉතාම වැදගත් ය.

සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අරිහත්වයට පත් වූයේ බුදුරජාණන් වහන්සේට පවන් සලමින් ‘දීසනඛ’ පරිබ්‍රාජකයාට දේශනා කොට වදාළ ධර්මයට සවන්දීමෙනි. නාගසමාල ස්වාමීන් වහන්සේ, නාටිකාංගනාවකගේ නැටුමක් දැකීමෙන් අරිහත්වයට පත් වූ බව ථෙර ගාථාහි සඳහන් වේ. පටාචාරා තෙරණින් වහන්සේ රාත්‍රියේ කුටියට පිවිස පහන නිවීමට තිරය අදිනවාත් සමඟම අරිහත්වයට පත් විය. ආනන්ද ස්වාමීන් වහන්සේ සතර ඉරියව්වෙන් තොරව සැතපීමට සූදානම් වන විට අරිහත්වයට පත් විය. මෙවැනි කරුණු වලින් පැහැදිලි වන්නේ අනිත්‍ය දර්ශනය වූ මාර්ගඵල සිතා මතා ලබා ගත නොහැකි දෙයක් බවයි. නමුත් එයට අවශ්‍ය වන අයුරින් සිහිය දියුණු කිරීම කළ හැකිය. මෙහි දී අනිත්‍ය පිළිබඳව නුවණින් සලකා බලා ලත් බහුශ්‍රැත භාවය ද උපකාරී වේ.

මේ කරුණ පිළිබඳව තවදුරටත් විමසා බැලීමට සුදුසු සූත්‍ර දේශනා කීපයක් ද ඇත. සංයුත්ත නිකාය පස්වන කොටසට අයත් “උණ්ණභ බ්‍රාහ්මණ” සූත්‍රයේ දී ඇස, කන, නාසය, දිව, කය යන ඉන්ද්‍රියයන්ට මනස පිළිසරණ බවත්, මනසට පිළිසරණ සිහිය බවත් දේශනා කොට වදාළ සේක. එහි තවදුරටත් සිහිය විමුක්තියට පිළිසරණ බවත් විමුක්තිය නිවනට පිළිසරණ බවත් දේශනා කොට වදාළ සේක.

මජ්ඣිම නිකායට අයත් “මහාවාලුංක්‍ය” සූත්‍රයේ ද ඉතාම වැදගත් කරුණක් සඳහන් වේ. මෙහි දී දැක්වෙන්නේ සමාධිය විදර්ශනා කරන ආකාරයයි. ඔහු උපදවා ගත් සමාධිය පංචඋපාදානසිකන්ධය ලෙස දැන එය අනිත්‍ය වශයෙන් සලකා බලයි (සවනුපස්සති) ඉන්පසු එයින් සිත බැහැර කොට (චිත්තං පටිවාපේති) නිවන කෙරෙහි සිත නැඹුරු කරයි.

(අවකාය ධාතුයා චිත්තං උපසංහරති) දීඝ නිකායට අයත් සාමඤ්ඤ ඵල සූත්‍රය ආදී බොහෝ සූත්‍ර වල සඳහන් වන්නේ, සතර වන ධ්‍යානයෙන් සිත පිරිසුදු බවට පත් වූ පසු ආස්‍රව ක්‍ෂය කිරීමට සිත යොමු කරන බවයි. (චිත්තං අභිනීහරති අභිනින්නාමේති) සිහිය පැවැත්වීමත් සිහි කිරීමත් යන දෙකෙහි වෙනසක්, සිහිය දියුණු කිරීමෙන් අනිත්‍ය දර්ශනයට පැමිණීමත් පිළිබඳ ව තේරුම් ගැනීම මේ සූත්‍ර දේශනා ද උපකාරී විය හැකි ය.

(මීගලෑව, කුඩාකන්නෝරුව මුදියන්නෑගම නිබ්බුතාරාම ආරණ්‍යයේ, පොතුහැර විපස්සී හිමි)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: