Posted by: lrrp | October 16, 2011

උඩු සුළඟට දැමූ දූවිලි තමා වෙතට එන්නාසේ අනුන් පෙළන අයට විපාකද ලැබේ

පසුබිම් කතාව

 

ඒ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙරෙහි වැඩ වෙසෙන සමයෙකි. දිනක් පිඬු පිණිස වඩින බුදුරජාණන් වහන්සේට මහ මඟ තැතිගැන්මෙන් හා නොසන්සුන්ව, හැසිරෙන ළමයින් කණ්ඩායමක් දකින්ට ලැබුණහ. එක් ළමයකු අත දඬු මුගුරු ය. තවත් ළමයකු අත ගල් මුල් ය. ගල් මුල් අතින් ගත් දරුවන් කිසියම් සතකුට හිංසා කරන බව දුටු බුදුරජාණන් වහන්සේ ඔවුන් අමතා මෙසේ විමසූහ.

“දරුවනි! දඬු මුගුරු අතින් ගෙන ඔය සතාට හිංසා කරන්නේ කුමක් නිසා ද?”

“ස්වාමිනි, මේ සර්පයෙකි. ඌ දෂ්ට කළේ නම් විස පත්තු වී අප මිය යාමට පුළුවනි.”

ළමයි පිළිතුරු දුන්හ.

එවිට බුදුරජාණන් වහන්සේ මේ අහිංසක සතාට හිංසා නොකොට නිවෙස් බලා යන ලෙස දරුවන්ට පැවසූ හ. ළමයි ඒ ගැන නොකැමැති වූහ. එවිට බුදුරජාණන් වහන්සේ ඒ දරුවන් අමතා ‘දරුවනි! ඔබට කිසිවෙක් දඬු මඟුරුවලින්, කැට කැබිලිතිවලින් පහර දෙනවාට කැමති දැයි ඇසූහ.

‘නැත ස්වාමිනී!’

දරුවෝ එක හඬින් පිළිතුරු දුන්හ.

එවිට බුදුරජාණන් වහන්සේ;

දරුවනි, ඔබ කාගෙන්වත් හිංසා පීඩා විඳින්නට කැමති නැත. දඬු මුගුරුවලින් පහර කෑමට ද කැමති නැත. ඔබ මෙන් ම මේ සතා ද වේදනා විඳින්නට, දුක් විඳින්නට කැමති නැත. ඔබ වගේ ම සියලුම සතුන් ගේ බලාපොරොත්තුව සැපය ම ය. දරුවනි, නුඹ සැපයට කැමති නම්, දුක් පීඩා විඳින්න කැමති නොවේ නම් අන් සතුන් ද ඔබ වැනිම යැයි සිතා කටයුතු කරන්න. තමා උපමා කොට අනුන්ට හිංසා කිරීමෙන් වළකින්න. කුලුණු සිතින් මෙත් වඩන්නයි, යථෝක්ත ගාථා ධර්මයත් මතු සඳහන් ගාථා ධර්මයත් දේශනා කළහ.
“සුඛකාමානි භූතානි

යො දණ්ඩෙන න හිංසති

අත්තනො සුඛමෙසානො

පෙච්ච සො ලභතෙ සුඛං”

යම් පුද්ගලයෙක් තමාට සැප බලාපොරොත්තුවෙන් සැප කැමති සත්ත්වයන් දණ්ඩෙන් නො පෙළයි ද ඔහු පරලොව දී සැප ලබන්නේ ය යන්න මෙහි අර්ථයයි. මේ ගාථා රත්නයන් ගෙන හැර පාමින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් ශ්‍රවණය කළ දරුවෝ සන්සුන්ව, ඒ අවවාදයෙහි පිහිටා සෝවාන් වූ හ. බුදුරජාණන් වහන්සේ දරුවන් පිරිසක ගේ ක්‍රියාකලාපයක් අරබයා දේශනා කොට වදාළ මේ ගාථා ධර්මයන් වත්මන් සමාජයට ඉතා වටිනා මඟ පෙන්වීමකි.

අනුන් කරන කියන දේ නිසා, අනුන් ගේ හිංසාවට පීඩාවට ගොදුරු වීම නිසා ජීවිතය දුකට පත් වූ පිරිස් මේ සමාජයේ බොහෝ වෙති.

තමන් ගැන මෙන් ම අනුන් ගැන ද සිතා කටයුතු කරන පුද්ගලයන් සිටියා නම්, කෙනෙක් ඉතා සුවසේ, සැපයෙන් කල් ගෙවන අතර තවත් කෙනෙක් දුක් පීඩාවන්ගෙන් පිරුණු දුක්ඛිත ජීවිත ගත කරන්නේ නැත. මේ ගාථා ධර්මයට අනුව ‘සුඛ කාමානි’ යන්නෙන් කායික සුවය හා මානසික සුවය යන දෙඅංශය පිළිබඳවම කියැවේ.

අපි ජීවත්වන සමාජය දෙස බලමු. තමන් ගේ, තම අඹු දරුවන් ගේ සුවය, සැපය වෙනුවෙන් අනුන් පෙළන අය කොතෙකුත් සිටී ද? ඇතැම් විට තමන්ට හෝ තම ඥාතින්ට කිසිදු ඵල ප්‍රයෝජනයක් නොමැතිව තවත් කෙනෙක් පීඩාවට පත් කරන අය කොතෙකුත් සිටී ද?

මදක් සිතන්න. ඔබ සමඟ එකම පාසලේ ඉගෙන ගන්නා, එකට වැඩ කරන, එකට ජීවත් වන අය කොපමණ දෙනෙක් ඔබ සමඟ සිත් අමනාපයෙන් සිටී ද? දෙවරක්, තුන්වරක් නොව එක වරක් හෝ සිතා නොබලා ඔබ කළ ප්‍රකාශයක් නිසා ඔවුන් වේදනාවට පත්ව ඔබ සමඟ අමනාප වූවා වීමට පුළුවන. කෙනකු ගේ සිත රිදවීම, පීඩාවට පත් කිරීම ඒ පුද්ගලයාට දඬු මුගුරුවලින් පහර දෙනවා හා සමානම, පාප කර්මයක් බව අප තේරුම් ගත යුතු ය.

තමන් අතින් ඉටුවිය යුතු වැඩ රාශියක් තිබිය දී ඒ සියල්ල කල් දමා නිකරුණේ කාලය නාස්ති කරන අය ඔබ ජීවත්වන සමාජයේ කොතෙකුත් සිටී ද? බොහෝ විට මේ පිරිස් නිකරුණේ ගෙවන කාලය යොමු කරන්නේ තවත් කෙනකුට පීඩා වන ලෙස කටයුතු කිරීමට පුළුවන. එකිනෙකා ගේ ඕපා දූප සොයමින් වැරැදි සොයමින් තැන තැන ඇවිදින, අනුන් ගේ මානසික නිදහස, මානසික සුවය නැති කරන මේ පිරිස් අමතක නොකළ යුතු කරුණකි. එනම් තමන් කරන වරදෙහි විපාකය කවර මොහොතක හෝ තමන් පසුපස පැමිණෙන බවය.

එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ වැරැදි කරන පුද්ගලයන් පසුපස එහි විපාක පැමිණෙන බව පෙන්වා දීමට මේ ගාථා රත්නය දේශනා කොට වදාළහ.
යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති

නැලිගම ශ්‍රී ශෛලාසන්නාරාමාධිපති, අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික මහා නිකායේ කොළඹ පළාත් අධිකරණ සංඝනායක
මහර ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපති මාකුරේ පියනන්ද නා හිමි

සුද්ධස්ස පොසස්ස අනඩ්ගණස්ස

තමෙව බාලං පච්චෙති පාපං

සුඛුමො රජො පටිවාතංව ඛිත්තො

දුහුවිලි ටිකක් ගෙන උඩු සුළඟට වීසි කළේ යැයි සිතන්න. ක්ෂණයකින් ඒවා ඔබ වෙතම ආපසු පැමිණේ. අනුන්ට ද්වේෂ නො කරන, අනුන්ට වරද නොකරන පිරිසුදු පුද්ගලයකුට යම් තැනැත්තෙක් අපරාධයක් කරයි නම් එහි විපාක ඒ පුද්ගලයා වෙත පැමිණෙන්නේ උඩු සුළඟට දැමු දුහුවිලි ආපසු තමා වෙතම පැමිණෙන්නා සේ ය. මේ ගාථා රත්නයේ අර්ථය එයයි. කරන ලද පාපයන් ගේ විපාක තමන්ටම විඳින්නට සිදුවන බව මේ අනුව පැහැදිලිය. අප ජීවිතය සකස් කර ගත යුතු වන්නේ මේ ධර්මතාවයන් අනුවය. එසේ නොකොට අනුන්ට හිංසා පීඩා සිදුවන සේ කටයුතු කළේ නම් තමන්ට මෙලොව පමණක් නොව පරලොව ද සැනසීමක් අත් නොවන බව වටහා ගත යුතු ය.

යම් පුද්ගලයෙක් කරුණා, මෛත්‍රී ආදි ගුණාංගයන්ගෙන් යුතුව මම කවර ලෙසකින් සැප කැමැත්තේ වෙම් ද, කවර ලෙසින් දුක පිළිකුල් කරන්නේ ද? ලෝ වැසි අන් සියලු දෙනා ද එසේ වෙතියි සිතා කටයුතු කරන්නේ නම්, එසේ සිතා, කිසිවෙක් දණ්ඩනයෙන් නොපෙළෙයි ද, නොතලයි ද හේ මනුෂ්‍ය වූයේ මිනිස් සැප ලබන්නේ ය. දෙවි වූයේ දෙව්සැප ලබන්නේ ය. ඒ දෙකම ඉක්ම වූයේ නිර්වාණ ගාමී මාර්ගයට ළඟා වන්නේ ය.

යම් පුද්ගලයෙක් ජීවිතයේ සැප කැමති නම් මෙසේ කල්පනා කළ යුතු ය. මා මෙන් ම මේ ලොව සියලුම සත්ත්වයෝ දණ්ඩනයෙන් තැති ගනිති. මා මෙන් ම මේ ලොව සියලු සත්ත්වයෝ ජීවිතයට පි‍්‍රය ය. ඒ නිසා මම කිසිවෙකු ගේ ජීවිතයට හානියක් නොකරමි. කිසිවකුගේ කායික, මානසික සුවය නැතිවන ආකාරයේ ක්‍රියාවක් නොකරමි. මේ ලොව සියලු දෙනාටම මෙත් සිත් පතුරුවමි යනුවෙනි.

තමන්ට මෙන් ම අනුන්ට ද මෛත්‍රීය කිරීමේ අනුසස් රැසක්, තථාගතයන් වහන්සේ මෙත්තානිසංස සූත්‍රයේ දී පෙන්වා දුන්හ. කුඩා දරුවකුට පවා උදේ සවස පුරුදු පුහුණු කළ යුතු මෛත්‍රී භාවනාව සියලු සත්ත්වයින් වෙත මෛත්‍රිය පැතිරවීමට මහෝපකාරී වන උතුම් භාවනාවකි.
“මම නිදුක් වෙම්වා

මම නිරෝගී වෙම්වා

මම සුවපත් වෙම්වා…”

ආදී ලෙසින් ආරම්භ කොට

මා මෙන් ම සියලු සත්ත්වයෝ

නිදුක් වෙත්වා

නිරෝගී වෙත්වා

සුවපත් වෙත්වා…

ආදි වශයෙන් මෛත්‍රී භාවනාව වඩන පුද්ගලයා තමන්ට මෙන් ම සියලු ලෝක සත්ත්වයා ගේ සැප කැමති පුද්ගලයෙක් බවට පත් වේ.

දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය සතර අපාය ආදී කොතැන උපත ලැබුවත් නිර්වාණ මාර්ගයට ප්‍රවිෂ්ට නොවූ පුද්ගලයෝ නැවත නැවත උපදිති. අනාදිමත් කාලයක් ඉපදෙමින්, මැරෙමින් යන මේ සංසාර ගමනේ දී අපට මව, පියා, සැමියා, බිරිය, දුව, පුතා ආදි ඥාතීත්වයන්ගෙන් සසරේ දී හමු නොවූ කිසිදු සත්ත්වයෙක් නොමැත. සියලු සත්ත්වයෝ විවිධ ආත්මයන් හිදී අප ගේ ඥාතීහුය. අනාගතයේ දී ත් එසේමය. නිවන් ලබනාතුරුම එසේම ය.

තමන්ට වඩා කුලයෙන්, ධනයෙන් බලයෙන් අඩු යැයි කිසිවකුට තලා පෙළා හිංසා කිරීමේ අයිතියක් කිසිවකුට නැත. මේ ලොව ජීවත් වීමේ පොදු අයිතිය සෑම දෙනාටම එක හා සමානය. අප ජීවිතය හසුරුවා ගත යුතු වන්නේ කිසිවකුට හිංසාවක් පීඩාවක් නොවන ලෙසටය.

ධර්මයෙන් ජීවත්වන පුද්ගලයා ධර්මයෙන් ම ආරක්ෂා කරන බව දහමේ සඳහන් ය. අනුන්ට හිංසා පීඩා නොකරන පුද්ගලයාට අනුන්ගෙන් සිදුවන හිංසා පීඩා අවම ය. අනුන් තලා පෙළා හිංසා කරන, අනුන් ගේ දේ පැහැර ගෙන, එසේත් නැතිනම් අවමන් කොට සිත් වේදනා ගෙන දෙන අය පරලොව දී පමණක් නොව මෙලොව දී ද දුකට, පීඩාවට, වේදනාවට පත්වන බව අමතක නොකළ යුතු ය.

බෞද්ධ සාහිත්‍යයේ එන කෝක නම් වැද්දාගේ කතාව එය තේරුම් ගත හැකි සරල උදාහරණයකි.

කෝක නම් වැද්දා දිනක් දඩ බල්ලන් පිරිවරා දඩයම් පිණිස යන්නේ ය. යන මඟ ඉදිරියේ පිඬු සිඟා වඩින භික්ෂුන් වහන්සේ නමකි. උන්වහන්සේ දුටු වැද්දා ‘අද නම් මට හිස් අතින් ආපසු එන්නට වේ ය’ යි සිතන්නේ ය.

වැද්දා සිතු ලෙසම එදින කිසිදු දඩයමක් කර ගන්නට නො හැකි වූයේ ය. රෑ බෝ වී ආපසු එන ගමනේ ද ඒ භික්ෂුන් වහන්සේ හමු වුණි. වැද්දා ගේ කෝපය ඉහ වහා ගියේ ය. කිසිදු වරදක් නොකළ භික්ෂුන් වහන්සේ වෙත දඩ බල්ලන් මෙහෙය වූයේ ය.

බල්ලන්ගෙන් බේරෙන්නට මඟක් නොවූ උන්වහන්සේ ගසකට නැඟ ගත්හ. වැද්දා උන්වහන්සේ ගේ කකුලට ඊතල විදින්නේ ය. වේදනාවටත්, කලබලයටත් පත් භික්ෂුක් වහන්සේ ගේ සිවුර ගස පාමුල සිටි වැද්දා ගේ හිස මත වැටුණේය. භික්ෂුන් වහන්සේ ගසින් බිමට වැටුණෙ යැයි සිතූ දඩ බල්ලෝ වැද්දා සපා කා ජීවිතක්ෂයට පත් කළහ.

තමන් කළ පවෙහි විපාකය මේ වැද්දාට ඒ මොහොතේ දී ම විඳින්නට සිදුවිය. අනුන්ට හිංසා පීඩා නොවන ලෙස කටයුතු නොකිරීමට, එසේ අනුන් වේදනාවට පත් කිරීමේ විපාක තමන්ටම විඳින්නට සිදුවන බව වටහා ගැනීමට මේ කතා පුවත ම ප්‍රමාණවත් ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: