Posted by: lrrp | October 16, 2011

ගිරේට අහුවුණු දෙහි ගෙඩිය හරියට කැපුවොත් කැපුවාමයි

“… ගිරේට දෙහිගෙඩිය හිර කරගෙන කැපිච්ච පණුවෙක් වගේ නටනවා. ඊළඟට උණ විකාරෙන් වගේ ටකස් ටකස් ගාලා දෙහි ගෙඩි පනහක් හැටක් කපනවා. තවත් සමහරුන් ආතුරයව පුදුම කරවන්න දෙහි ගෙඩිය මැද ලේ ගලන හැටිත් පෙන්වනවා. මේක සම්පූර්ණ බොරුවක්.

ඉදුණු නිවිති ඇටයක් හෝ වදමල් පෙති හෝ ගිරේ දෙපැත්තේ තවරලා අව්වේ වේලා ගත්තම කිසිම වෙනසක් නෑ. ඒ ගිරේ අරගෙන දෙහි කැපුවම අර වර්ණය දියවෙලා දෙහි බෑයේ තැවරෙනවා. ලේ කියලා පෙන්වන්නේ ඒකයි. දෙහි කපද්දී කවදාවත් ලේ දකින්න ලැබෙන්නේ නෑ. නමුත් කපන දෙහි වතුර භාජනයට දැම්මහම පෙරළෙන පැත්ත අනුව නිමිති කියන්න පුළුවන්. සමහරු ඇස්බැන්දුමක් බවට පත්කර ගත්ත දෙහි කැපිල්ල නියම ශාස්ත්‍රානුකූලව කළොත් අත්දුටු ප්‍රතිඵල ලැබෙන ශාන්තිකර්මයක්…”

දෙහි කැපීම හා ශාන්තිකර්ම ආශ්‍රිතව පවතින මිථ්‍යාව හා යථාර්ථය පිළිබඳව මෙවරත් අදහස් පළ කරනුයේ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී හා පාරම්පරික ගුප්ත විද්‍යා ශාස්ත්‍රඥයකු වන මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතාය.

”…. කෙනෙකුගේ සිරුරේ තිබෙන දොස් ඇද ගැනීමේ පුදුමාකාර බලයක් දෙහි ගෙඩිවල තියෙනවා. පිරිසුදු කිරීමේ ගුණය, කිළි නොවැදීමේ බලය හා විෂබීජ නාශක ගුණය අතින් ගත්තත් දෙහි සුවිශේෂයි. දෙහිවල ගුප්ත බලයක් තියෙන බව පුරාණ කාලයේ සිටම එන පිළිගැනීමකි. ආතුරයකුගේ දොස් සමනය කරන්න දෙහි කපනවා නම් ඒක විශේෂ ගිරයකින් ම කරන්න ඕනේ. පිහිවලින් දෙහි කපලා වැඩක් නෑ. භාවිතා කරන ගිර වර්ග කිහිපයක් තියෙනවා. දෙහි කපන ගිරය වෙනත් කිසිම කටයුත්තකට යොදා නොගැනීම අනිවාර්ය නීතියක්. ඒ වගේ ඒ ගිරය තැන්පත් කරන්නත් වෙනම තැනක් තියෙන්න ඕනේ.”

”… තව වැදගත්ම කාරණයක් තියෙනවා. නිකං දෙහි කැපුවාටම දොස් දුරු වෙන්නේ නෑ. දෙහි තීන්දුවක් ගන්න ඕනේ. මහා සම්මත රජුගේ මැණික් පාල බිසවුන් වහන්සේට වසවර්ති මාර දිව්‍ය පුත්‍රයා කාම ක්‍රෝධයෙන් කළ අණ වින සූනියම් දෝෂාන්ධකාර එදා ඔඩ්ඩිස නරේන්ද්‍රයා විසින් දෙහි තීන්දුවක් තීන්දුවකට කපා දුරු කළා වූ සත්‍ය තේජානුභාවයෙන් යනාදී හැටියට එන දෙහි තීන්දුවක් ඇතිවයි ඒ සෙත් ශාන්තිය කළ යුත්තේ. දැන් කෙනෙක් අහයි දෙහි තීන්දුව කියන්නේ මොකක්ද කියලා.

පංචෝපකාර මල් තට්ටුවක් හදන්න ඕනේ. දෙහි මැතිරිම ක්‍රම පහකට කරන්න ඕනේ. දිෂ්ටි, ජීවම්, මන්තර, ප්‍රාණ කිරීම්, පලිප්පු – සිද්ධි යනාදී වශයෙන් අවසානයේදී ඒ කටයුත්ත ස්ඵුට කර ගන්නත් ඕනේ. එළඹ සිටි සිහියෙන් මේ කටයුත්ත කරන ඇදුරා පිරුවටයකින් සැරසිය යුතුය. ඊළඟට නියමිත මන්තර ජප කරමින් සිරුරේ උචිත නිල ස්ථානවල ස්පර්ශ කරමින් චාරිත්‍රානුකූලව දෙහි කැපීම කළ යුතු වෙනවා…”
”ළකුණු බලේ උඩ කෙළවර බලාපන්

මැදඟිල්ලෙන් එක් පුරුකක් තබාපන්

තදින් ගසා මරුවට අඬගසාපන්

ගිරේ තබා දොස් හැර දෙහි කපාපන්”

ඒ කවියෙන් කියවෙන්නේ එක විදිහකි. නියමිත නිලස්ථානය හඳුනාගෙන නියත පරිදි දෙහි කැපුවොත් සැණෙකින් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒත් ඒ ශරීරස්ථානය මොකක්ද කියලා බාහිර කිසි කෙනකුට දැන ගන්න ඉඩ නොතැබීමත් වැදගත්. මේ දෙහි කැපීමේ ශාන්තිකර්මය හරියට කළොත් කළාමයි. හරියට නොකළොත් ගඟට ඉනි කැපුවා හා සමානයි.

”… තවත් සමහරුන් කුඩා දරුවන්ට නපුරු මන්තරවලින් දෙහි කපනවා. එය නොකළ යුතුයි. ගර්භණී මාතාවන්ටත් දෙහි කැපීම් නොකළ යුතුයි. ශාස්ත්‍රය නොදැන කරන්නන් වාලේ දෙහි කපන්න ගියොත් දොස් සමනය වීම කෙසේ වෙතත් සිද්ධ වෙන්නේ තවදුරටත් දොස් උග්‍රවීමයි.”

”… දෙහි යාග ශාන්තිය කරත්දී කපන දෙහි මැටි කොරහකට දාන්න ඕනේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. දෙහිවලට ඇද ගන්න සිරුරේ දෝෂයන් ජලයට දියවෙලා යනවා. ඉන්පසුව ඒ දෙහි බෑ සහිත ජල කොරහ ගලාගෙන යන දිය පහරකට දාන්න ඕනේ. එක එක තැන්වලට ඒවා වීසි කිරීම නොකළ යුතුයි. හරියට කළොත් ආතුරයාට ඉක්මනින් සුව වෙනවා.

”මේ දෙහි කැපීමේදී සමහරුන් අහිංසක මිනිස්සු මුළා කරනවා. දෙහි කපලා අණවින කොඩිවිණ දුරු කරන්න බෑ. නමුත් විශාල ගුණයක් ලබන්න පුළුවන්. ඇස්වහ කටවහ දෝෂ දුරු කරන්නත් දෙහි කැපීම හොඳයි. දෙහි කැපීම භෞතිකව වගේ මනෝ චිකිත්සාවක් හැටියටත් ක්ෂණික ගුණ දෙන ශාන්තිකර්මයක්. මාරාන්තික රෝගියෙකුට දෙහි කැපීම ඒ තරම් ප්‍රතිඵල දෙන කටයුත්තක් නෙවෙයි. බෝවන රෝග තියෙන අයටත් දෙහි කැපීම යෝග්‍ය නෑ. නමුත් තුන් දොස් කිපීම, තනිකං දෝෂ, වගේ අවස්ථාවලදී නම් දෙහි කැපීම ගුණදායකයි. දෙහි ශාන්තියෙන් පසුව අඹ අත්තෙන් කරන ශාන්තියත් ඉතා වැදගත්. ඒ වගේම අජීර්ණ වගේ රෝගවලින් පෙළෙන කෙනෙකුට දෙහි කැපීමෙන් සෙතක් වෙන්නේ නෑ. දෙහි මතුරා බීමට දීම යම් තරමක් හොඳයි.”

”.. මා කලින් කී පරිදිම දෙහි ශාන්තිය ඉතා පුරාණ කාලයේ සිට එන අත්දුටු යාග කර්මයක්. දෙහි කැපීමට පෙර අදාළ මන්තරවලින් ජප කිරීම අනිවාර්යයි. එහෙම නැත්තං කෙරෙන්නේ බොරුවක්. නින්ද නොයෑමේ රෝගයන්ගෙන් පෙළෙන අයට දෙහි ශාන්තියෙන් පසුව සැණෙකින් ගුණ අත්දෙනවා. මම මේ දෙහි යාග ශාන්තිය ගැනත් කියන්නේ එය ඉතා ගුණ දෙන ශාන්තිකර්මයක්. නමුත් දෙහි යාග ශාන්තිය දැනගෙන කරන්න ඕනේ. එහෙම නැත්නං බොරු කාරයන්ට අහුවෙලා බොරු සෙත් ශාන්ති කොයිතරම් කළත් ගුණ දෙන්නේ නෑ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: