Posted by: lrrp | October 17, 2011

ජීවිතයට පරිපූර්ණ ආරක්ෂාව සලසා ගනිමු

පසුගිය ලිපියෙන් මේ පින්වතුන්ට කියා දුන්නා සම්මා දිට්ඨිය උපදවා ගැනීමට සිත පිරිසිදු විය යුතු බවත් සිත පිරිසිදු වෙන්ට නම් සීලය පරිපූර්ණ විය යුතු බවත්. සීලය පරිපූර්ණ වෙනව කියල කියන්නේ සීලය පිරිහෙන් නැති විදිහට දියුණු කර ගැනීමටයි. ඒ විදිහට සීලය පරිපූර්ණ කරගන්ට නම් සේඛ බල පරිපූර්ණ කරගත යුතු ආකාරයත් විස්තර කරල දුන්න. එතකොට මේ සේඛ බල කියන උතුම් ගුණයන් මිනිසකුගේ ජීවිතයට කොතරම් රැකවරණයක් ආරක්ෂාවක් උපදවල දෙනවද කියල මේ පින්වතුන්ට දැන් වැටහෙනව ඇති.

ඒ සේඛ බල වලින් තමයි සියලු ම කුසල් ඇති කර ගන්ට අපිට බලය ඇති කරල දෙන්නේ. හරියට ගොඩනැගිල්ලක පදනම වගේ. විශාල ගොඩනැගිලි ඉදිකරල තියෙන්නේ පදනම මත. නමුත් ඒක පිටතට පේන්නේ නෑ. පේන්නෙ නැති එක ගැන නොසලකා හැරියොත් අපිට දිගු කල් පවතින ගොඩනැගිල්ලක් හදාගන්ට බෑ. ඒ විදිහට ඒ වඩා වටින දේ, ඉතාම වටිනා දේ නොසලකා අපි පෙනෙන දේ විතරක් කරන්ට ගියොත් මොකක්ද වෙන්නේ? එයා ටික කලක් හදයි. බලන අයත් හිතයි මෙයා නම් ලොකු ගොඩනැගිල්ලක් හදන්නයි සූදානම කියල. නමුත් හදාගෙන යන අතරම ඒක කඩාගෙන වැටෙනවා. ඇයි ඒ? ඒ බර උහුලන්ට බලයක් නෑ. අන්න ඒ වගේ අපට පිටතට පෙනෙන දේ ගැන යම් සැළකිල්ලක් දක්වනවා නම් ඊට වඩා ලොකු සැළකිලිමත් බවක් අපි ඇතිකරගත යුත්තේ නොපෙනී තිබෙන දේ ගැනයි.

කෙනෙකුට පෙනෙන දේ තමයි අපි ඉඳගෙන භාවනා කරනවා. එහෙම නැත්නම් අපි දේශනා ගොඩාක් ඉගෙනගෙන තියෙනවා. සමහර විට අපිට ධර්ම කථාවකට ගියාම විවිධ විදිහට කරුණු දක්වමින් කියන්ට පුළුවන්කම තියෙයි. කෙනෙක් යමක් ඇහුවොත් ‘අර දේශනාවේ මෙහෙමයි තියෙන්නේ, මේ දේශනාවේ මෙහෙමයි තියෙන්නේ’ ආදී වශයෙන් අපට සමහර විට කියන්ටත් පුළුවන් වෙයි. නමුත් ඒක පිටතට පෙනෙන දෙයක්. එපමනකින් අපි සෑහීමකට පත් නොවිය යුතුයි. පෙනෙන දෙයින් විතරක් සෑහීමකට පත් වුනොත් අපි අර නොපෙනෙන දේ නොසලකා හැරල. නමුත් අපේ මුලු ප‍්‍රතිලාභයම සුරැකෙන්නේ දියුණු වෙන්නේ කුමක් මතද? අර ලෝකයට නෙපෙනෙන පෙන්වන්ට බැරි අභ්‍යන්තරයේ පවතින බලය මත. ඒ මත ම යි අපේ අධ්‍යාත්මික ජීවිතය මුළුමනින්ම ගොඩ නැගෙන්නේ. කුමක්ද ඒ බලය? ශ‍්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥා කියන සේඛ බල. මෙය එතරම්ම වැදගත් දෙයක් නිසා තමයි බහුළ වශයෙන් මේ ගැන සඳහන් කළේ.

ගොඩනැගිල්ල හදන්ට කලින් හොඳට පදනම දමා ගත්තොත් බය නැතුව ඒක උඩට ඕනැ තරම් උස ගොඩනැගිල්ලක් හදන්ට පුළුවන්කම ලැබෙනවා. අපිට දහම් දැනුම ලැබුනහම ඒ දහම් දැනුම අපේ ජීවිතයට සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? සේඛ බලවලින්. දහම් දැනුමෙන් අපේ ජීවිතයට ලබාගත යුතු උපකාරය කුමක් ද? මොකට ද මේ දහම් දැනුම අපි රැස් කරන්නේ? අපි තුළ යම් තාක් අකුසල් තියනවා නම් ඒ අකුසල් ඔක්කොම බැහැර කරන්ටත් යම් කුසල් තියෙනවා නම් ඒ කුසල් පුරුදු කරගෙන පරිපූර්ණ ගන්ටත් තමයි දහම් දැනුම තියෙන්නේ. එහෙනම් අපි ධර්මය ඉගෙන ගත්ත පමණින්ම අකුසල් ප‍්‍රහාණය වීමත් කුසල් උපදවා ගැනීමත් ඉබේ සිදු වෙන්නේ නෑ. අකුසල් ප‍්‍රහාණය වෙලා, කුසල් උපදවා ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ මොකෙන් ද? සේඛ බල පුරුදු කර ගැනීමෙන්. එහෙනම් සේඛ බල උපදවාගෙන සේඛ බල පුරුදු කර ගත්තොත් සේඛ බල පරිපූර්ණ කර ගත්තොත් අන්න එතකොට එයාට සීලය රැක ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණ කර ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණ වුන කෙනා තුළ පසුතැවෙන ස්වභාවය නෑ. සිත පිරිසිදු වෙනවා.

අන්න ඒ පිරිසිදු සිතෙන් ‘මේ තමයි දුක‘ කියල අවබෝධ කරන්ට පුළුවන්.‘මේ තමයි දුකට හේතුව‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. ‘මේ තමයි දුකේ නැතිවීම‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. ‘මේ තමයි දුක නැතිවෙන මාර්ගය‘ කියල අවබෝධ කරගන්ට පුළුවන්. එතකොට ඒ පිරිසිදු සිතින් ආර්ය සත්‍යය විමසන කොට යම් කල කදී එයාට වැටහීමක් ඇතිකර ගන්ට පුළුවන් දුක කියන්නේ ආර්ය සත්‍යයක්ම යි, දුකේ හට ගැනීමත් ආර්ය සත්‍යයක් මයි, දුක නැති වීමත් ආර්ය සත්‍යයක් මයි, දුක නැති කිරීමේ මාර්ගයත් ආර්ය සත්‍යයක්ම යි කියල.

සිත පිරිසිදු නැති වුනත් ආර්ය සත්‍යය ඉගෙන ගන්ට අපිට පුළුවන්. පාඩම් කර ගන්ට අපිට පුළුවන්. පාඩම් වූ පමණින්ම ඒක අවබෝධය නොවෙයි. සමහර අයට පාඩම් තියෙන කොට ඒක අවබෝධය වගේ හිතෙන්ට පුළුවන්. රැවටෙන්න පුළුවන්. නමුත් අපිට සැබැවින්ම අවබෝධයක් ඇතිවෙනව නම් ඇතිවෙන්නේ සීලය පරිපූර්ණවෙලා සිත පිරිසිදු වීමෙන්. අපි මේ ආකාරයට මාර්ගය ගැන වැටහීමකින් කටයුතු කරන අය බවට පත් වෙන්ට ඕනැ. එතකොට අපි නොමග යන්නේ නෑ. එහෙම නැත්නම් අපි නොමගට වැටීමේ ඉඩකඩක් තියනවා. නොමගට ගියොත් මොකද වෙන්නේ? අපි ප‍්‍රමාදයට වැටිල නේද? අපිට ධර්ම අවබෝධයට තියෙන අවස්ථාව අහිමි වෙනවා. එතකොට අපි ගැටළුවක් නෑ කියල හිත හිතා ඉන්නවා. ඇත්තෙන්ම ප‍්‍රශ්නෙ විසඳිලා නෑ. එතකොට යම් කලකදී අකුසල් මතුවෙලා එනකොට අපිට ඒවාට මූණ දෙන්ට බැරුව යනවා. ඒවායෙන් ඇතිවන දුක් පීඩා උහුල ගන්ට බැරුව යනවා. ප‍්‍රමාදයට ඇදගෙන වැටුනොත් අපිට වෙන්නේ ඒකයි. එතකොට ප‍්‍රමාදය වළක්වගන්ට නම් අපි මේ නිවන් මාර්ගය පුරුදු වෙන ආකාරය ගැන හොඳ දැනුමක් ඇතිකර ගන්ට ඕනැ.

හොඳට මතක තියා ගන්න සේඛ බල පුරුදු කර ගැනීමෙන් සීලය පරිපූර්ණ කර ගන්ට පුළුවන්. සීලය පරිපූර්ණවීමෙන් සිත පිරිසිදු වෙනවා. සිත පිරිසිදු වීමෙන් සම්මා දිටිඨිය උපදිනවා. ඒකයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ සීලය පිරිසිදු වීමෙන්මයි සිත පිරිසිදු වෙන්නේ, සිත පිරිසිදු වීමෙන්මයි දැකීම වඩා හොදින් පිරිසිදු වෙන්නේ. ඒ කියන්නේ සීල විසුද්ධිය ඇතිවීමෙන් තමයි චිත්ත විසුද්ධිය ඇතිවෙන්නේ. චිත්ත විසුද්ධිය ඉපදුන කෙනාට තමයි දිට්ඨි විසුද්ධිය ඇතිවෙන්නේ. ඒ විදිහටයි මාර්ගය දියුණු වෙන්නේ. එහෙනම් අපි ගොඩාක් උනන්දුවෙන් සීලය පිරිසිදුකර ගැනීම පිණිස සේඛ බල පුරුදු කරගත යුතුයි. සේඛ බල ඇති කර ගන්න කෙනා සිල්පද හොදින් රැක ගන්ට මහන්සි වෙනවා. සිල්පද පරිපූර්ණ වශයෙන් හොඳට රැක ගන්ට නම් අපි තුළ ඉන්ද්‍රිය සංවර සීලයත් ඒ වගේම සති සම්පජඤ්ඤ සීලයත් හොඳින් පුරුදු කර ගන්ට ඕනැ. සිල් පද ටික සමාදන් වෙලා රැක ගන්ට ඕනැ.

එතකොට සමාදන් වූ සිල් පදවලට කියනව ආර්ය වූ සීලස්කන්ධය කියල. සති සම්පජඤ්ඤයට කියනවා ආර්ය වූ සතිසම්පජඤ්ඤ සීලය කියල. ඉන්ද්‍රීය සංවරයට කියනවා ආර්ය වූ ඉන්ද්‍රිය සංවර සීලය කියල. මෙන්න මේ තුන් ආකාරයෙන්ම සීලය පුරුදු කරන කෙනා තුළ තමයි සිල්පද ටික ආයෙ බිඳ වැටෙන්නේ නැති විදිහට පරිපූර්ණ දෙයක් බවට පත් වෙන්නේ. එසේ සීලය පරිපූර්ණ වෙන්ට කාරණා කීයක් සම්පූර්ණ වෙන්ට ඕනැද? සිල්පද රැකෙන්ට ඕනැ. සිල්පද සමාදන් වෙලා පුරුදු කර ගන්ට ඕනැ. සති සම්පජඤ්ඤය පුරුදු කර ගන්ට ඕනැ. ඉන්ද්‍රිය සංවරය පුරුදු කර ගන්ට ඕනැ. හොදට මතක තියා ගන්න එතකොට මේ තුන් ආකාරයටම සීලය ආරක්ෂා කර ගන්නට ඕනැ. එතකොට මේ අංග තුනම හොඳට පරිපූරණ කර ගත්තොත් එයා තුළ සීලය පරිපූර්ණයි. අන්න ඒ විදිහට සීලය පරිපූර්ණ වුන කෙනා පසුතැවෙන කෙනෙක් නෙමේ. එයාගෙ සිත පිරිසිදුයි. සම්මා දිට්ඨිය උපදවා ගන්ට එයාට පුළුවන්.

එතකොට බලන්න ඉන්ද්‍රීය සංවරය ඇති කර ගන්නටත්, සති සම්පජඤ්ඤය ඇතිකර ගන්නටත් බැරි නම් එයා තුළ සිල්පද ආරක්ෂා වෙයිද? ආරක්ෂා වෙන්නේ නෑ. ඉන්ද්‍රීය සංවරය උපදවා ගන්ට අපට උපකාර වෙන්නේ කුමක්ද? දැන් ආපහු සේඛ ධර්ම සිහි කර ගන්න. සේඛ ධර්ම වල තිබෙනවා ශ‍්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥාව. ඉන්ද්‍රිය අසංවරයි කියල කියන්නේ ඇහැට පි‍්‍රය මනාප රූපයක් දැක්කොත් ඒව බලල ඒ සටහන් නිමිති මතක තියා ගන්නවා. ඒව සිහි කර කර ඉන්ට පුරුදු වෙනවා. එතකොට අසංවර වූ ඇසක් එයාට තියෙන්නේ. ඊළගට ප‍්‍රිය මනාප ශබ්ද අහල එහි සටහන් නිමිති සිහි කර කර ඉන්නවා. අසංවර වූ කණක් තියෙන්නේ. එතකොට ඒ විදිහට ප‍්‍රිය මනාප රූප, ශබ්ද, ඝන්ධ, රස, පහස මේවා අහල දැකල ඒ සටහන් මතක තියාගෙන ඒව සිහි කර කර ඉන්න කොට හිතේ රාගය උපදිනවා. හිතේ රාගය ඉපදුනාට පස්සේ එයාට සුව පහසුවක් තියනව ද? නෑ. ඉතාම අපහසුවෙන් වාසය කරන්නේ. රාගයෙන් මත්වුන කෙනා සිල්පද රැක ගන්නේ කොහොම ද? එයාට සිල්පද රැක ගන්ට අමාරුයි. සිල්පද පරිපූර්ණ කර ගන්ට බෑ. බොහෝ වෙලාවට සිල් බිඳිල යනවා. එතකොට ඒ සිල්පද ආරක්ෂා නොවෙන්න මොකක්ද හේතු වුනේ? ඉන්ද්‍රිය අසංවරවීම නේද? ප‍්‍රිය මනාප රූප බලන්න එයා කැමතියි. බලල සටහන් මතක තියාගෙන ඉන්නවා. එක සිහි කර කර ඉන්නවා. ඊළගට ඒ හිතට ආපු අරමුණු ඔස්සේ එයා හිත හිතා ඉන්නවා. දැකපු දේ ගැන, කනට ඇහුන ශබ්ද ගැන හිත හිතා ඉන්නවා. ගද සුවද පි‍්‍රය දේවල් ගැන හිත හිතා ඉන්නවා. පි‍්‍රය මනාප රස ගැන හිත හිතා ඉන්නවා. එතකොට එයා යම් කටයුත්තක් කළත් ඒ කරන කටයුත්ත ගැන නෙමේ එයාට කල්පනාව තියෙන්නේ. අර තමා ප‍්‍රිය කළ දේවල් හිත හිතා ඉන්නවා. එතකොට එයාගෙ හිත පිරිසිදු වෙනව ද? පිරිසිදු වෙන්නේ නෑ. හිතේ රාගය බලවත් වෙනවා. රාගය බලවත් වුන කෙනාට සිල්පද රැක ගන්ට බැරුව යනවා.

ඒ වගේම තමයි ද්වේෂය බලවත් වුනොත් ඒත් සිල්පද රැක ගන්ට බැරුව යනවා. මෝහය බලවත් වුනොත් ඒත් සිල්පද රැක ගන්ට බැරුව යනවා. එහෙනම් හිතේ උපදින ඒ රාගය, ද්වේෂය, මෝහය ඉපදිලා ඒව බලවත් නොවෙන විදිහට හිත සංවර කර ගන්ට උපකාර වෙන්නේ ඉන්ද්‍රිය සංවරය, සති සම්පජඤ්ඤය. අන්න ඒ සීලයන් පරිපූර්ණ කර ගන්න කොට සිල්පද ටික රැකෙනවා. එතකොට අපි තුළ ඉන්ද්‍රිය සංවරය පිරෙනවා. සති සම්පජඤ්ඤය පිරෙනකොට ඉන්ද්‍රිය සංවරය පිරෙනවා. එතකොට සිල්පද පරිපූර්ණ වෙනවා. සිල්පද බිඳෙන්නේ නෑ. සිල්පද බිදෙන්නෙ නැති වෙනකොට එයා පසු තැවෙන්නේ නෑ. දැන් පැහැදිලියි නේද? එතකොට ඒ විදිහට ඉන්ද්‍රිය සංවරය ඇතිකර ගන්ටත්, සති සම්පජඤ්ඤය ඇතිකර ගන්ටත් අපට උපකාර වෙන්නේ ශ‍්‍රද්ධාව, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥාව කියන සේඛ බල.

බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් වුන කෙනා කැමති වෙන්නේ නෑ ප‍්‍රිය මනාප රූප බලල එහි සටහන් මතක තියා ගෙන ඒවා සිහි කර කර රාගය ඇවිස්සිලා ඒ හීන හිතෙන් යුක්තව දුක් විඳින්ට. ඒ ශ‍්‍රාවකත්වයට කැමති කෙනා තුළ තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගත්ත කෙනා ඒ ගැන සිහි කරනවා. එතකොට එයා තුළ අර හීන ස්වභාවයට අකමැත්ත ඉපදෙනවා. එතකොට හිරි ඔතප් ඇතිවෙනවා. අන්න ඒ පි‍්‍රය මනාප රූප බලල ඒ සටහන් මතක තියා ගන්න ස්වභාවයට අකමැතියි. එයා හිතනවා මට මේක ගැලපෙන්නේ නෑ කියල. මේ හිත හීන විදිහට හිත ලාමක ස්වභාවයට ඇද වැටෙන හීන දේ මට ගැලපෙන්නේ නැ කියල කල්පනා කරනවා. එයා ඒ ප‍්‍රිය රූප බලල නිමිති මතක තියා ගන්න ස්වභාවය අතහැරල දානවා. එතකොට එයාට සිහි කර කර ඉන්න ප‍්‍රිය නිමිති නෑ. දැන් යම් කෙනෙක් ප‍්‍රිය රූප බලල නිමිති හිතේ තිබුනොත් එයාට සිහි කර කර ඉන්ට දෙයක් තියනවා නේද? එසේ ප‍්‍රිය නිමිති සිහි වෙන්ට වෙන්ට එයා තුළ රාගය ඉපදෙනවා. අතිශය දුක්පීඩා විඳින කෙනෙක් බවට පත් වෙනවා. සැපසේ ඉන්ට බෑ. ඒ වගේ දුක් විදින කෙනා ප‍්‍රමාදය තුළ වාසය කරන කෙනෙක්.

නමුත් භාග්‍යවතුන් වහන්සේගේ ශ‍්‍රාවකත්වයට කැමති කෙනා ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ශ‍්‍රද්ධා බලය උපදවා ගන්නවා. එයා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරමින් වාසය කරනවා. එයා ඒ හිතේ හීන ස්වභාවය ඇතිකරවන ඒ ලාමක දේට අකමැත්ත උපදවාගන්නවා. ලැජ්ජාව උපදවා ගන්නවා. භය උපදවා ගන්නවා. එයා හිතනවා මම වගේ කෙනෙකුට මේක ගැලපෙන්නේ නෑ. දුක් විඳින දෙයක්, අපිට අදාල නැති දෙයක් දැකල, ප‍්‍රිය දේ බල බලා නිමිති තියාගෙන මේ ලාමක දේකට අපේ හිත ගොදුරු වෙන්නේ කියල එයා කල්පනා කරනවා. එයා ප‍්‍රිය නිමිති අතහරිනවා. කළක් මෙහෙම පුරුදු කරන්ට කරන්ට එයාගෙ හිතේ ප‍්‍රිය නිමිති නැති ස්වභාවයක් ඇති වෙනවා. ප‍්‍රිය නිමිති නැත්නම් සිහි කරන්න දෙයක් තියනවද? නෑ. එතකොට රාගය බලවත් වෙනවද නෑ. දැන් සිල්පද ආරක්ෂා වෙයිද නැද්ද? ආරක්ෂා වෙනවා. ඇයි එයාගෙ හිතේ ප‍්‍රිය නිමිති නැත්නම් එයාට පාරෙ ගියත් වටපිට බල බලා යන්න ඕනද? එයා දැන් ප‍්‍රිය නිමිති වලට අකමැතියි.

ශ‍්‍රද්ධාව හිරි ඔතප් උපදවා ගත්තොත් එයාට ඉන්ද්‍රිය සංවරයයි, සම්පජඤ්ඤයයි දෙක හොඳට පුරුදු වෙන්ට පුළුවන්කම තියනවා. එයාට වීරිය ඉපදෙනවා. ඒ වීරිය ඉපදීමෙන් තමයි ඉන්ද්‍රිය සංවරයත් සම්පජඤ්ඤයත් ඇති කර ගන්නේ. වීරිය නැති කෙනාට ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්ට බෑ. ඇයි එයාගෙ හිත දුවන්නේ පි‍්‍රය මනාප දේවල්වලට. ප‍්‍රිය මනාප දේ බලන්න අහන්න ඒ නිමිති මතක තියා ගන්ට කැමතියි. නමුත් ශ‍්‍රද්ධාව හිරි ඔතප් තියන කෙනා තුළ දුෂ්චරිතයට අකමැත්ත තියන නිසා ඒ දුෂ්චරිතය උපදවල දෙන්න හේතුවෙන පි‍්‍රය නිමිති ගන්ට එයා කැමති නෑ. එයා තමා තුළ නොතිබූ කුසල් ඇතිකර ගන්ට කැමතියි. නොතිබූ කුසලය තමයි ඉන්ද්‍රිය සංවරය. තියන අකුසලය එයා බැහැර කරන්ට කැමතියි. අකුසලය මොකක්ද ඉන්ද්‍රීය අසංවරය. ඉන්ද්‍රීය අසංවරය බැහැර කරනවා ඉන්ද්‍රිය සංවරය පුරුදු කරනවා. ඒකට වීරිය එයාට උපදින්නේ ශ‍්‍රද්ධාව හිරි ඔතප් ඉපදීමෙන්.

එහෙනම් හොඳට මතක තියා ගන්න ශ‍්‍රද්ධා, හිරි ඔතප්, වීරිය, ප‍්‍රඥා කියන මේ සේඛ බල අපි උපදවා ගත්තොත් අපේ ජීවිතය පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කර ගන්න අපට පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට ජීවිතය පරිපූර්ණ වශයෙන් ආරක්ෂා කර ගන්ට නම් අපි මේ මොහොතේ පටන්ම ශ‍්‍රද්ධා, හිරි ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥා කියන ඒ උතුම් සේඛ ධර්ම පදවා ගන්ට මහන්සි වෙන්ට ඕන. ඒ උතුම් සේඛ බල උපදවගෙන, බලවත් බවට පත්කරගෙන, බලවත් පුරුෂයන් බවට පත්වීමේ දුර්ලභ භාග්‍යය සියලු දෙනාටම උදාවේවා!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: