Posted by: lrrp | October 17, 2011

දුක..: ප්‍රේමෙතෝ ජායතී සෝකෝ . . . ප්‍රේමෙතෝ ජායෙතී භයං . . . !

පේමතෝ ජායති සෝකෝ
පේමතෝ ජායති භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්හි සෝකෝ කුතෝ භයං

“ජීවිතය නම් දුකක් බැව් දැන..
එහිම ඇලෙනා මිනිස් ගතියට..
ගෙවන වන්දිය මෙයයි මිතුරනි..
නොවව් කිසිදා පෙමෙහි වහලෙක්…”

“ පේ‍්‍රමයෙන් ශෝකය ඇති වන බවත්, බිය ඇති වන බවත් පේ‍්‍රමයෙන් වෙන්වූ විට ශෝකයක් හෝ බියක් හට නොගන්නා බවත් දේශනා කොට ඇත.මෙවැනි වටිනා ඔවදන් බොහෝ දෙනා අසා දැන තිබූනද, ඔවූහු මේරු  මෙන් අලෝකය / ගින්න දෙසටම ඇදෙති. ඒ ගින්නෙහිම පැටලෙති. ලෝක ස්වභාවය  එයම වෙයි.

උද්දාල ජාතකය

තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක් වංචාසහගත භික්‍ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

ඒ භික්ෂුව සිව්පසය නිසා තුන් වැදෑරුම් වූ කුහකගුණ පුරන්නේ ය. මේ ගැන දිනක් දම්සභා මණ්ඩපයෙහි උපන් කථාවක් අරභයා එහි වැඩි බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා මහණෙනි, පෙරත් ඔහුගේ පවත් එසේම වේදැයි ඉකුත් වත වදාළ සේක.

පෙර බරණැස බ්‍රහ්මදත්ත නම් රජකෙනෙක් රාජ්‍ය කරන කල්හි එරජුට ඉතා පණ්ඩිත ව්‍යක්ත පුරෝහිතයෙක් සිටියේය. ඔහු දිනක් උයන් කෙළියට ගියේ මනා රූපත් වෛශ්‍යාවක් දැන ඈ සමඟ එරහැන්ද ගසක් යටදී ලෝකාස්වාද රතියෙහි යෙදුනේ ය. මේ නියායෙන් දින දෙකතුනක් කල් යැවූයේ ඈට දරුගැබක් ඇති විය. ඒ බව දැන ස්වාමීනී, මට දරු ගැබක් පිහිටි කල කෙසේ වූ නමක් තබම්දැයි විචාළී ය. පුරෝහිත බමුණා වෛශ්‍යාවන්ට උපන් දරුවන්ට කුලගොත් අනුව නම් තැබිය නොහැකැයි සිතා එරහැන්ද ගසට වාතගත වෘක්‍ෂයයි කියන හෙයින් මේ ගස යටදී ගැබ්ගත් දරුවාට උද්දාල යයි නම්තබවයි කියා ඇඟිල්ලෙහි වූ පේරැස් මුද්ද දී දුවක් නම් මෙය විකුණා පෝෂ්‍ය කරව. පුතෙක් නම් වැඩිවිය පැමිණි පසු මා ලඟට එවන්නැයි නියම කොට යැවීය. ඈ නොබෝ දිනකින් පුතණු කෙනෙකුන් වදා උද්දාල යන නම තබා වැඩිවිය පැමිණි පසු ශිල්ප ශාස්ත්‍ර උගන්වා පේරැස් මුදුව දී තොපගේ පියා අසවල් පුරෝහිත බමුණායයි හඳුන්වා දී යැව්වාය. ඔහු ප්‍රඥාවෙන් අග්‍රව පිරිවර තාපසයන් පන්සියයක් ඇතිව ක්‍රමයෙන් පියා සිටන නුවරට පැමිණ එම රජ උයනෙහි රඳා නිදා උදය ගම දොරකට සිඟාවන්හ. මනුෂ්‍යයෝ බොහෝ දන් දුන්හ. උද්දාල තාපසයෝ පැමිණි ජනයාහට අනුමෙවෙනි දම්දෙසති. මොහුගේ පණ්ඩිත බව මුළු නුවරව පැතිරගියේ රජතුමා ද පුරෝහිත බමුණා සමඟ උයනට අවුදින් තැන තැන හිඳ කුහක තපස්කම් කරන්නා වූ ඔහුන් දැක පැහැදී මොහු අපාය භයින් මිදී ගියෝවනැයි සතුටුව උද්දාල තපස්වීන් කරා ගොස් පිළිසඳර කථා කොට එකත්පසව හිඳ සතුටු සිතින් පුරෝහිතයන් සමඟ කථා කරන්නේ පුරෝහිතයෙනි, ඒකාන්තයෙන් මොවුන් සසර දුකින් ගැලවෙන්නාහයි කීහ. එපවත් අසා පුරෝහිත බමුණා මේ රජ අස්ථානයෙහි ප්‍රසාදයට පත් විය. මෙහිද නිහඬවීම යුක්ති නොවෙයි සිතා රජතුමෙනි ත්‍රිවේදය හැදෑරිමෙන් සසර දුකෙන් ගැලවිය නොහැක. සසරින් ගැලවීමට නම් මේ මිත්‍යා තපස් හැර පංචාභිඥා අෂ්ටසමාපත්ති ගුණයන් පුරුදු කළහු නම් සසරින් එතෙර විය හැකියි කීහ. උද්දාල තාපසයෝ මේ අසා රජතුමා අප කෙරෙහි පැහැදුනමුත් මේ බමුණා ඒ වලකාලීය. මොහු සමඟ කථාකර බලමියි පුරෝහිත බමුණා අමතා ආචාරිනි, මේ හදාරණ ලද වේද ශාස්ත්‍රයෙන් ප්‍රයොජනයක් නොවේයයි ඔබ කියන්නෙහිදැයි ඇසීය. එවිට පුරෝහිත බමුණා තපස්වීනි, එසේ නොකියමි. වේද ශාස්ත්‍රයෝ නිෂ්පල නොවන්නේ ය. ඒ වේද ශාස්ත්‍රය කරන කොටගෙන මෙලොව කිර්තියට හා යසසට පැමිණෙන්නාහුය. එනමුත් ශීල සංයමය හා නොවරදවා දැන කරන කසින පරිකර්මාදී භාවනා මනස්කාරයෙන් ඇතිව ඉක්මුණා වූ සත්වතෙම නිවන් පුරයට පැමිණෙන්නේ යයි කීහ. එපවත් අසා උද්දාල තාපසයෝ සිතන්නාහු මොහු සමඟ කථාකොට ජයගත නොහැක්ක. දරුවෝයයි කී කල ඔවුන් ස්නේහ නොකරන්නාහු යමෙක් නැත. එබැවින් මුන්ගේ දරුනියාව කියමියි පේරැස් මුදුව පෙන්වා එරහැන්ද සෙවනැල්ලේදි තොප නිසා උපන් මම තොපගේ කුලවංශය පාලනය කරන්ට යෝග්‍ය වූ පුත්‍රයෙක්මියි කීහ. එවිට පුරෝහිත බමුණා ඔහුට බ්‍රාහ්මණ ධර්මය කියා අවවාද කොට තවුස්වෙස් අස්කොට උපපුරෝහිත තනතුරෙහි තබා අනෙක් හොර තවුසන් පන්සියයට කඩු පලිහ දී රාජ්‍ය සේවයෙහි යොදවා ගත්හ.

එකල උද්දාල නම් දැන් මේ මහණය. රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථරවිරයෝ ය. පුරෝහිත බමුණා වුයේ බුදුරජාණන් වහන්සේය.

(http://www.jathakakatha.org)

ප්‍රේමයේ නිසි අරුත – එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී

Pemeto jayati Soko

 

“පෙමතො ජායතී සොකො
පෙමතො ජායතී භයං,
පෙමතො විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

ප්‍රේමය නිසා ශෝකය උපදී ප්‍රේමය නිසා භය උපදී. ප්‍රේමයෙන් වියුක්ත වූ කල්හි පුද්ගලයාට ශෝකයත්, භයත් හට නොගනී. ප්‍රේමයෙහි ස්වභාවය ඇතැඹුලක් සේ වටහා ගන්නට බුදුරදුන් තරම් සමත් වූවෙකු තවත් නැත.

ප්‍රේමය නිසාම විරහව උපදින බව පැහැදිලි සත්‍යයකි. මේ බව බුදුරදුන් වදාළේ, “පියෙහිවිප්පයෝගෝ දුක්ඛෝ”යනුවෙනි. එනම් පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකක් බවයි. සිය වේදනාව ප්‍රකාශ කරගත නොහැකිව ප්‍රේමයෙන් මත්ව සිදු කරගන්නා ස්වයං විනාශකාරී ක්‍රියා බුදුදහමෙහි අනුමත නොකෙරේ. ජනපද කල්‍යාණියගේ රූපයෙන් මත් වූ නන්ද කුමාරයාට පෙනෙන සේ රුවැති ස්ත්‍රී රූපයක් මවා නවදැලි හේනක දැවී යන වැඳිරි රුවක් බවට පරිවර්තනය කරමින් බුදුරදුන් ජීවිතයේ යථාර්ථය පසක් කළේ එහෙයිනි.

ප්‍රේමය හා විරහව යන කාරණා පෘථග්ජන සමාජයකට අස්වාභාවික නොවේ. උත්පත්තියේ සිටම ඇලීම්, බැඳීම් හා ගැටීම් සමඟ දවස ගෙවන පුද්ගලයාට ප්‍රේමය මූලිකාරම්මණයකි. බුදුදහම හා සබැඳි ජාතක කතා සාහිත්‍යයේ දී ද බුද්ධකාලීන සමාජයේ ඓතිහාසික පුවත් වලද ප්‍රේම පුරාණ පිළිබඳව අඩුවක් නැතිව සඳහන් වන්නේ එය ස්වභාවික මනුෂ්‍ය අවශ්‍යතාවයක් වන නිසාම ය. නමුත් ප්‍රේමය රාගයටත් පරාර්ථය ආත්මාර්ථයටත් පෙරළා ගත් අද්‍යයතන ලාංකේය තරුණ පරපුරේ භූමිකාව ප්‍රශ්නකාරී වී ඇත.

මනරංජිත වන ප්‍රේමයෙන් දිවිතොර කරගන්නා පිරිස් නිසා ප්‍රේමය කුමක් සඳහාද කවුරුන් වෙනුවෙන් ද යනාදි ලෙස සමාජයෙන් ප්‍රශ්න කෙරේ. නමුත් ප්‍රේමාතූරව දිවි තොර කරගත්තෝ සිටියේ අද පමණක් නොවේ. මාන්නක්කාර සැඩොල් දූ ස්වර්ණ තිලකාවගේ රූපයට ලොල් වූ උද්දාල බමුණාගේ කතාව ඊට මනාව දෙස් දෙන්නකි. ලෝකාස්වාදයට ලොල් වූ උද්දාල බමුණාගෙන් ශිල්ප ලබාගැන්ම අසීරු බව වටහා ගත් සිසු පිරිස එක් වී සිය ගුරුන්ගේ අඹුව වූ ස්වර්ණ තිලකාව පණපිටින් පුළුස්සා මරා දමයි. මේ පුවත කන වැකුණු උද්දාල බමුණා, ස්වර්ණ තිලකා දවාහල ගින්නටම පැන සිය දිවි තොර කරගනියි. ප්‍රේමය රාගයට හරවාගත් කල ඇවිලුණු ගින්නෙන් වටිනා ජීවිත දෙකක් අහිමි විය. වර්තමාන හා අතීත සිදුවීම් අතර ඇති ඒකරූපතාවට උද්දාල බමුණාගේ කතාව කදිම නිදසුනකි.

ප්‍රේමය හේතුකොට ගෙන ඇති කරගන්නා ස්වයං විනාශය ප්‍රතික්‍ෂේප කළ ද විරහවෙන් ජනිත වන ආත්ම ප්‍රකාශනය සෞන්දර්ය ඉමකට ගෙනයාම බුදුදහම අගය කරයි. විරහ වේදනාවෙන් පෙළුණු පංචසිඛ නමැති දෙව්ලොව වීණා වාදකයා වරෙක බුදුරදුන් හමුවට පැමිණ වීණා වාදනයක යෙදුණ බව සක්ක පඤ්හ සූත්‍රයෙහි සඳහන් වෙයි. පංචසිඛගෙ හදවතේ නැඟුණ පෙම්වතිය වෙන්වීමේ වේදනාව එහිදී ප්‍රකාශ විණි. සංගීතය අසා සිටි බුදුරදුන්,

“සන්සන්දන්ති වො පංචසික
තන්තිස්සරෝ ගීතස්සරේන
ගීතස්සරෝ තන්තිස්සරේන”

පංචසිකය, ඔබගේ වාදනය සමඟ ගායනය ඉතා හොඳින් ගැළපෙයි යනුවෙන් ඔහුගේ බෙර වැයුම අගය කරයි. බෝසතුන් කුස රජුව ඉපිඳ සිටි ආත්මභාවයේ පබාවතිය දිනාගැනීමට විඳි දුක්ගැහැට මෙහිදී අපට සිහිපත් වේ. ප්‍රේමය රාගයට හරවාගත් ජීවිතයේ යථාව පසක් කළ ද ප්‍රේමවන්තයන්ට ප්‍රතිපක්ෂව කරුණු දැක්වූ අවස්ථා බුද්ධ චරිතය තුළ දී හමු නොවේ.

සිඟාලෝවාද සූත්‍රයේ දී බුදුරදුන් පෙන්වාදෙන ස්වාමි – භාර්යයා යුතුකම් ලෝකයක් සුවපත් කරලීමට ඉවහල් වෙයි. නිවැරැදි යුවති පති බන්ධනය බුදුරදුන් උපමාකර ඇත්තේ දෙවියෙකු හා දේවතාවියකගෙ එක්වීමකට ය. මේ බව සංවාස සූත්‍රයෙහි පැහැදිලිව සඳහන් කරන්නේ, “දේවෝ දේවියා සද්ධිං සංචසති” යනුවෙනි. වරෙක බුදුරදුන් හමුවට පැමිණෙන ‘නකුල’ අඹු සැමි යුවළ පිළිබඳව බුදුරදුන් දේශනා කළ ප්‍රශංසාත්මක දහම් කරුණු ඕනෑම ප්‍රේමවන්තයෙකුට හෝ ප්‍රේමවන්තියකට මහඟු උපදේශයකි.

අද වන විට ගෝලීයකරණය නමැති මනුදම් බිඳ දමන ආර්ථික මිථ්‍යාවෙහි ගොදුරක්් බවට ප්‍රේමය පත්ව තිබේ. අනෙක් සෑම දෙයක් සේම ප්‍රේමයෙහි වින්දනයද ආකාස්මික දෙයක් බවට පත්ව ඇත. අතීත පෙම් හසුන ජංගම දුරකතනයෙන් යවන කෙටි පණිවුඩයක් තරමට කෙටිවීම අහම්බයක් නොවේ. තාක්ෂණයේ දියුණුවත් සමඟ පුද්ගලයින් යන්ත්‍ර බවට පත්ව ඇත.

පුද්ගලයාට විවේකීව ස්වකීය ජීවිතය විඳගැනීමේ අවකාශය ගෝලීය රාමුව තුළ ඇහිරී ගොස් ය. බහුතරයක් පිරිස් ජීවිතය විඳවන්නේ එහෙයිනි. කාර්යබහුල දිවිගෙවන පුද්ගලයින්ගේ සිත් සතන් බෞද්ධ දර්ශනයෙන් දුරස්වීම සිදුවන්නේ නිරායාසයෙනි. පුද්ගල ජීවිතය ප්‍රේමය තුළින් යථාර්ථවාදීව දැකීමට සම්බුදු දහම මනා තෝතැන්නක් ලබාදෙයි.

ප්‍රේමය සාමූහික පුද්ගලයින්ට අනිවාර්යය සාධකයකි. ප්‍රේමයෙන් වෙළී සිටින පෙම්වතුන් තම තමන් සිතන පතන අයුරින් ඔවුන්ගේ එක්වීම සිදුනොවුන විට ජීවිත වලට විනාශකාරී දේ සිදු කර ගැනීම වර්තමානයේ සුලභ කරුණක් බවට පත් වී ඇත.

පුද්ගලයා තුළ තණ්හාව ජනිත වන්නේ ප්‍රේමය නිසාවෙනි. ජීවිත පිළිබඳව, පි‍්‍රය වස්තූන් කෙරෙහි ඇතිකරගන්නා දැඩි ආශාව නැතිනම් ලොල්බව පුද්ගලයා විනාශය කරා යොමුකරවයි. සම්බුද්ධ දර්ශනයේ සඳහන් වන්නේ,

“තණ්හාය ජායතී සෝකෝ
තණ්හාය ජායතී භයං
තණ්හාය විප්පමුත්තස්ස
නත්ථි සොකො කුතො භයං”

තණ්හාව නිසා ශෝක, භය හටගනී. තණ්හාව නැති කල්හි ශෝකයත්, භයත් නූපදී, ලෞකික ජීවිතය තුළ ආශ්වාදය සොයා ඇදෙන පුද්ගලයින්ට තණ්හාව ප්‍රහාණය කළ නොහැකි බව සැබෑ ය. තණ්හා මූලයෙන් අන්ධ නොවී කල්ගෙවීමට ජීවිත පවත්වාගෙන යාමට, ප්‍රේමය වටහා ගැනීමට සම්බුද්ධ දේශනාවේ සඳහන් දහම් කරුණු ඉවහල් වෙයි.

පෙම්වතුන් තුළ ප්‍රේමයෙන් බිඳුනු කළ සිය දිවි තොර ගැනීම්, ප්‍රකෝපකාරී සිත් පහළ වීම නිසා අනෙකා මරා දැමීමට පෙළඹීම ආදී විනාශකාරී ක්‍රියා සිදුවෙනු ඇත.

දිනපතා ප්‍රවෘත්ති පත්‍රයක් බැලූ කළ ඇතැම්විට වැඩිවශයෙන් මනුෂ්‍ය ඝාතන සිදුකර ඇත්තේ ප්‍රේමය නිසා මුලා වූ පිරිස් බව පෙනේ.

ප්‍රේමයට ශෝචනීය ඉරණමක් අත් වී ඇත්තේ පුද්ගල අනුවණ ක්‍රියාකලාපයන් නිසා ය.

ජීවිතය පිළිබඳව හරි දැනුමක් ගැඹුරු පරිඥානයක් නොමැතිකම නිසා අකාලයේ සිය ජීවිත විනාශ කර ගැන්මට තරුණ පරපුර යොමු වී තිබීම අභාග්‍යකි.

තරුණ පරම්පරාව ප්‍රේමයේ නිසි අරුත වටහා ගතයුතු කාලය පැමිණ ඇත. ප්‍රේමය පළිගැනීමක් නොවිය යුතු ය. ප්‍රේමය කළ යුත්තේ නිසි අවබෝධයෙන් ය. තාවකාලික නවාතැන් පොළක රැඳී සිටින සියලුදෙනාටම මතු යම් දවසක සියලු දෙය අතහැරයන්ට සිදුවේ. සඳහම් දේශනා අනුව ප්‍රේමය පසුතැවිල්ලට සාධකයක් කරනොගෙන තම තමන්ගේ ලෞකික ජීවිත ආලෝකවත් කරගැනීමේ පහන් සිළුවක් බවට පත් කර ගත යුතු ය.

ප්‍රේමය නමැති උතූමි මිනිස් ගූණය – කොලොන්න දිසා රෝහලේ වෛද්‍ය නිලධාරි, විද්‍යාවේදී, ශාස්ත්‍රපති වෛද්‍ය ආර්. එම්. එම්. කේ. නාමල් රත්නායක

ප්‍රේමය, උතුම් මානුෂික ගුණාංගයකි. බුදුසමයේ එය හුදෙක් ස්ත්‍රී – පුරුෂ පේ‍්‍රමයෙන් ඔබ්බට ගිය උත්තරීතර සංකල්පයකි. බුද්ධ දේශනයට අනුව ලොවෙහි ස්ත්‍රිය දැකීමට ආසා කරන එකම රූපයක් වෙතොත් එය පුරුෂ රූපය යි. පුරුෂයාට ද මෙලෙසින්ම ස්ත්‍රී රූපය වේ. එය දැක්වෙන්නේ

‘මහණෙනි, යම් රූපයක් මේ අන්දමට මේ පුරුෂ රූපය මෙන් ස්ත්‍රියගේ සිත ඇඳ බැඳගෙන සිටීනම්, එසේ වන එවැනි වෙනත් එකම රූපයක් මම නොදකිමි’ යනුවෙනි.

ස්ත්‍රියක විසින් පුරුෂයකුගේ පේ‍්‍රමය ද පුරුෂයා විසින් ස්ත්‍රියකගේ පේ‍්‍රමයද දිනා ගැනීම සඳහා ඔවුනොවුන් භාවිතා කරන ක්‍රම අටක් බුදුහිමියෝ ගෙනහැර දක්වති.

01. හසිතේන – සිනහව මගින්
02. භණිතේන – කතාවෙන්
03. රුක්ණේන – හැඬීමෙන්
04. ගීතේන – ගායනයෙන්
05. වන බන්ධෙන – වන ඵල කඩාදීමෙන් (බුදුන් දවස ඉන්දියානු සමාජයේ පැවති චාරිත්‍රයකි.
06. ආකප්පේන -ඔමරි ඉරියව් මගින්
07. රූපේන – පෙනුමෙන්, රූපයෙන්
08. ඵස්සේන – ස්පර්ශය මගින්

මේ අතරින් වඩාත් ප්‍රබල වන්නේ ‘ඵස්සේන’ හෙවත් ස්පර්ශය බව බුදුරජාණන් වහන්සේ විසින් තවදුරටත් පෙන්වා දී ඇත.

බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි සිදුහත් යශෝදරා පේ‍්‍රම වෘත්තාන්තය අතිරමණීය ය. සිදුහත් කුමාරයා තමන් හා රාහුල පුතු තනිකර ගිහිගෙය හැරදමා ගිය විට එනම් අභිනිෂ්ක්‍රමණය කළ විට යසෝදරා ඔහුට වෛර කරන්නේ නැත. ඔහුගේ සැපම ඇය එදා ප්‍රාර්ථනා කළේ මෙලෙසිනි.

කැලේ තිබෙන කොයි දේවත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇතිවේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩුවේවා
ගව්වෙන් ගව්ව දිව මාළිග සෑදේවා

මෙම සිදුහත් යසෝදරා පේ‍්‍රමය සසර බොහෝ කලක සිට පැවැති එකකි. පෙරුම් පිරූ සමයේ, වෙස්සන්තර ජාතකයේ දැක්වෙන පරිදි වෙස්සන්තර රජු හා මන්ත්‍රී දේවියද, කුස ජාතකයේ කුස රජු හා පබාවතී චරිතයද සඳකිඳුරු ජාතකයේ යුවළ ඊට උදාහරණය ය. වෙස්සන්තර ජාතකයේ වෙස්සන්තර රජු තම දරුවන් ජූජක බමුණාට දන් දුන් පසු යශෝදරාව ඒ ගැන ඇතිවෙන්නේ මහත් කම්පාවකි. නමුත් එය ඇය විසින් විඳ දරා ගන්නේ මතු බුදුවන බෝසතුන්ගේ දාන පාරමිතාව එයින් සම්පූර්ණ වන බැවිනි. මෙසේ කිසි කලෙක යසෝදරා චරිතය බෝසතුන් දෙස ද්වේෂයෙන් බලා නැති බව පෙනේ.

වරක් බුදුරජාණන් වහන්සේ වෙත එළැඹුණ නකුල මාතා හා නකුල පිතා යන වියපත් අඹුසැමි යුවළ උන්වහන්සේගෙන් විමසන්නේ මේ භවයේදී මෙන් සසර පුරා ද තමන්ට පේ‍්‍රමයෙන් හමු වී කල් ගෙවිය හැකි ද යන්න යි. එහිදී උන් වහන්සේ පවසන්නේ, ශ්‍රද්ධා , සීල ත්‍යාග ප්‍රඥා යන ගුණාංග සතර ඔවුන් දෙදෙනා තුළ සමාන ලෙස වැඩී ඇත්නම් තම පැතුම මතු සසරෙහි ද අඹුසැමියන් ලෙස පේ‍්‍රමයෙන් හමුවීමට ඔවුනට හැකිවන බවයි.

පුළුල් අර්ථයෙන් විග්‍රහකළ විට පේ‍්‍රම කිරීම හා මෛත්‍රී කිරීම යනු දෙකක් නොව එකක් හැටියට සැලකිය හැකි ය. ඒ අනුව මුළු විශ්වයටම පේ‍්‍රම කිරීම, මෛත්‍රී භාවනාවෙන් ඉගැන්වෙයි. එය තවදුරටත් විග්‍රහ කර දැක්වෙන්නේ කරණීය මෙත්ත සූත්‍රයෙනි.

උද්ධං අධෝව තිරියංච

අසම්බාධං අවේරං අසපත්තං’ යනුවෙන් එම සූත්‍රයේ මෛත්‍රීය වඩන අයුරු දැක්වෙයි. තමන් ජීවත්වන පරිසරය දෙස වෛර සහගත සිතිවිල්ලෙන් නොබලන්නට මෙයින් ඉගැන්වෙයි. දිග, මහත, කෙටි, දෘශ්‍යමාන- අදෘශ්‍යමාන, උපන් – නූපන්, වංචල ස්ථාවර, ළඟ – දුර යන මෙකී නොකී සකල ජීව වර්ගයාට ම මෙත් වැඩීමට මෙත්ත සූත්‍රය මගින් ඉඩ ප්‍රස්ථාව ලබා දෙයි. බුදු සමයෙන් ඉගැන්වෙන පේ‍්‍රමය, සමාජ සදාචාරය හා සෘජුව සම්බන්ධ වන ඉගැන්වීමකි. එහිදී ‘හිරි ඔතප්’ යන ලෝක පාලක ධර්මතා දෙක වැදගත් තැනක් ගනියි. ‘හිරි’ යනු පව් කිරීමට ඇති ලැජ්ජාවයි. පව් කිරීමට ඇති බිය ‘ඔතප්’ ලෙස සැලකෙයි. පුද්ගලයකුගේ හික්මීම හෙවත් ශීලය කෙරෙහි මෙම ධර්මතා දෙක බලපාන බව පෙනෙයි.

බුදු දහමේ ඒවා දේව ධර්ම නමින් හැඳින්වෙයි. බුදු සමයෙන් හෙළි කැරෙන පේ‍්‍රමය සදාචාරවත් ලෝකයකට පුද්ගලයා රැගෙන යනු ලබන්නේ ‘හිරි – ඔතප්’ යන දේව ධර්ම ද හේතුකොට ;ගන ය.

මේ අනුව පැහැදිලි වන්නේ බුදු සමය මගින් පේ‍්‍රමය නමැති සංකල්පයට නව අරුතක් එක් කර ඇති බවයි. එය සමාජයේ එකිනෙකා අතර පැවතිය යුතු දෙයකි. එහෙත් ධම්ම පදයේ එන

පේමතෝ ජායති සෝකෝ
පේමතෝ ජායති භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං’

යන ගාථාවෙන් “ පේ‍්‍රමයෙන් ශෝකය ඇති වන බවත්, බිය ඇති වන බවත් පේ‍්‍රමයෙන් වෙන්වූ විට ශෝකයක් හෝ බියක් හට නොගන්නා බවත් දේශනා කොට ඇත.

ඒ අනුව ධර්මසිරි ගමගේ ශූරීන් විසින් ‘හුලවාලි’ චිත්‍රපටය සඳහා රචිත පදමාලාවක් මෙහිදී සිහිපත් කිරීම සුදුසු ය. එයින් කියැවෙන්නේ බුදු සමයෙන් හෙළි කෙරෙන පේ‍්‍රමයේ ස්වභාවය ගැන යි.

ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි

රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙකි සකි

ආලෙ බිඳුන දා කුමකට කඳුළු සලනු සකි

ආලවඩන යන තේරුම බෝසත්කම සකි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: