Posted by: lrrp | October 17, 2011

සේඛ බල උපදවා ගනිමු

අපි පසුගිය ලිපියෙන් ඉගෙන ගත්තා අපට භාවනා කිරීමට කාලය මදි, වෙලාව නෑ කියන කාරණය සාධාරණ, නිවැරදි හරි කරුණක් නෙමෙයි කියල. මොකද ඒ විදිහට වෙලාව හොය හොය ඉන්ට ගියොත් අපිට වැඩිවෙලාවක් අකුසල විතර්ක පවත්ව පවත්ව ඉන්ට වෙනවා. යමෙක් කල්පනා කළොත්, භාවනා කිරීම, ධර්මය පුරුදු කිරීම වාඩිවෙලා පමණ මයි කරන්නේ කියල, වැඩිවෙලාවක් වාඩිවෙලා ඉන්ට පුළුවන් වෙලාවක් එයිද? එන්නේ නෑ. ඇයි වැඩිවෙලාවක් අපිට වෙනත් කටයුතු කරන ගමන් තමයි ඉන්ට වෙන්නේ. වාඩිවෙලා භාවනා කරන්ට වෙන්නේ පොඩි වෙලාවක්. සමහර උපාසක උපාසිකාවන්ට වාඩිවෙලා භාවනා කරන්ට ලැබෙන්නෙම නැති වෙන්ටත් පුළුවන්. ඇතැම් පින්වතුන්ට එතරම්ම කටයුතු බහුලයි. බලන්න අපිට කටයුතු කොච්චර බහුල වුනත් අකුසල විතර්ක තියනවා. ඒව ඉබේ බැහැරවෙලා යන්නේ නෑ. එහෙනම් අපිට කටයුතු බහුලව තිබෙද්දීම වුනත් තේරුම් ගත්තොත් අපි කළ යුත්තේ කුමක්ද කියල, අපිට අකුසල විතර්ක බැහැර කරගන්නා ආකාරයට හිත හදාගන්ට පුළුවන්කම තියනවා. අන්න එදාට අපි කෙලෙස් තවන වීරියෙන් යුක්ත කෙනෙක් බවට පත් වෙලා. පටන්ගත් වීරියෙන් යුක්ත කෙනෙක් බවට පත්වෙලා. පවට බය ඇති නිවන කෙරෙහි යොමු වූ සිතින් යුක්ත කෙනෙක් බවට පත්වෙලා.

අපි ඒ විදිහට ඒ අකුසල විතර්කය දුරුකරන්ට පුළුවන් කෙනෙක් බවට පත් වෙන්ට නම් අපි තුළ තිබිය යුතු මූලිකම දේ මොකක්ද? කෙලෙස් තවන වීරිය ඕනැ, පවට බය තියෙන්ට ඕනැ. ඊලඟට ඇරඔූ වීරිය, කුසීත නැතිකම තියෙන්ටත් ඕනැ. අන්න එයා තමයි නිවනට යොමු වූ සිතින් යුක්තව වාසය කරන කෙනා. අපිට ඒ මූලික සුදුසු කම නැති නිසා තමයි එන අකුසල විතර්කය අඳුරගෙන ඒක බැහැර කරගන්ට බැරි? එහෙනම් ඒ මූලික සුදුසුකම අපි ලග තිබුනොත් එන අකුසල විතර්ක අඳුරගෙන ඒව දුරුකරගන්ට බැහැර කරගන්ට අපිට පුළුවන්කම උපදිනවා.

මොකක්ද ඒ මූලික සුදුසුකම? ඒ සඳහා අපි ලග තිබිය යුතු මූලික සුදුසුකම තමයි සේඛ බල. ශ‍්‍රද්ධාව, හිරි, ඔත්තප්ප, වීරිය, ප‍්‍රඥාව. අන්න ඒ සේඛ බල අපි ලඟ තිබුනොත් අපිට එමගින් බලයක් තියනව. හැකියාවක් උපදිනවා. හිතේ උපදින අකුසල විතර්කය අඳුරගෙන ඒක ඉවසන්නේ නැතුව බැහැර කරන්ට, දුරුකරන්ට, නැති කරන්ට හැකියාව උපදිනවා. මෙන්න මේ සේඛ බල අපි ලග තිබුන නම් කාම විතර්කයක් එනකොට ඒ කාම විතර්කයෙන් අපේ හිත යටවෙලා හිත අපිරිසිදු දෙයක් බවට පත්වෙන්ට දෙන්නේ නෑ. ඇයි එයා ලඟ තියනවා ශ‍්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප‍්‍රඥා බලය. ඒ තමයි කෙලෙස් නැසීම පිණිස අපි ලග තිබිය යුතු බලයන්.

ඒ බලයන්ගෙන් යුක්ත කෙනා හටගත්ත අකුසල විතර්ක දුරුකරන්ට සමත් කෙනෙක් බවට පත්වෙනවා. එහෙනම් අපිට බණ භාවනා කරගන්ට කාලය නෑ කියල කාලය සෙවීමද වැදගත් වෙන්නේ, මේ කෙලෙස් දුරුකිරීම පිණිස උවමනා කරන බලය උපදවා ගැනීමද වැදගත් වෙන්නෙ? බලය උපදවා ගැනීමයි වැදගත් වෙන්නේ. අපි දැන් දන්නවා කාලය සොය සොයා සිටීම අදාල වෙන එකක් නෙමේ. ඇයි හිටගෙන හිටියත්, වාඩිවෙලා හිටියත්, ඇවිදිමින් හිටියත්, නිදාගෙන හිටියත්, මේ සතර ඉරියව්වෙන් කුමන ඉරියව්වක හිටියත් අපිට අකුසල විතර්ක අඳුරගෙන බැහැර කිරීමේ හැකියාවක් උපදවගන්ට පුළුවන්. එහෙනම් අපි වාසය කරන ඉරියව්ව නෙමේ වැදගත් වෙන්නේ. කුමන ඉරියව්වක හිටියත් ඒ ඉරියව්ව තුලදී හටගත්ත අකුසලය බැහැර කරන්ට අපි ළග සුදුසු බලය උපදවා ගැනීම තමයි වඩා වැදගත් වෙන්නේ.

සේඛ බල උපදවා ගන්ට අපි බලවත් කැමැත්තක් ඇතිකරගත යුතුයි. නිවන් මගේ පදනම මේ සේඛ බලයි. ශ‍්‍රද්ධාව නැත්නම්, පවට බය, පවට ලැජ්ජාව නැත්නම්, වීරිය නැත්නම්, ප‍්‍රඥාව නැත්නම් ඒ සේක බලවලින් තොරව වාසය කරන කෙනා අකුසලය තුළ වාසය කරන ඉඩකඩ වැඩියි. කුසලයක් තුළ එයාට වාසය කරන්ට ලැබෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා සේඛ බල වලින් තොරව වාසය කරන තාක් කුසල් උපදවාගෙන වාසය කරන්ට එයාට ලැබෙන්නේ නෑ කියලා. සේඛ බල උපදවාගෙන වාසය කරන තාක් එයා කුසල් උපදවාගෙන වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. එයා තුළ අකුසල් ඉපදවීමක් සිද්ධවෙන්නේ නෑ. එතකොට යම් කෙනෙක් තුළ අකුසල් බැහැර වීමක් නැත්නම් අකුසල් ඉපදිලා අකුසලය තුලම වාසය කරනවා නම් එයාට මේ ජීවිතය සැපවත් බවට පත් කරගන්ට බෑ. මේ ජීවිතය තුළ එයාට ඉතාම දුක සේ වාසය කරන්ට තමයි වෙන්නේ. කාම විතර්ක වලින් වේවා ව්‍යාපාද විතර්ක වලින් වේවා විහිංසා විතර්ක වලින් වේවා එයාගෙ හිත අපිරිසිඳු වෙලා අතිශය දුක් විඳින්ට එයාට සිද්ද වෙනවා. එතකොට ඒ විදිහට අතිශය දුක්පීඩා විදින්න සිද්ධ වෙන කෙනා ඊලග ජිවිතය සැපවත් ජීවිතයක් ඇතිකර ගන්ට වාසනා වන්තයෙක් වෙයිද? එයාට ඊලග ජීවිතය සැපවත් කරගන්ටත් බෑ. මේ ජීවිතයේදී දුක් පීඩා රහිත විදිහට සිත පිරිසිඳු කර ගත්තොත් මේ ජීවිතේදී එයා ඉතාම සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න එයා කය බිදිල මලාට පස්සේ තවදුරටත් ඉපදීමේ ස්වභාවයෙන් යුතුනම් සුගතියේ ඉපදිලා සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වෙනවා.

එතකොට මේ ජීවිතය තුලදී ඒ සැප සහිත ජීවිතය උපදවා ගන්ට පුළුවන් වෙන්නේ මේ අකුසල ස්වභාවයන් බැහැර කරගන්ට දක්ෂ වුනොත් පමණයි. ඒ අකුසල ස්වභාවයන් බැහැර කරගැනීම පිණිස අපට උපකාර වෙන්නේ සේඛ බල. ඒකයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ යම් තාක් සේඛ බලවලින් බැහැර නොවී සිටිනවා නම්, ඒ තාක් ම අකුසල්වල ඉපදීමක් සිද්වෙන්නේ නෑ. කුසල්වල පිහිටා තිබීමක් මයි සිද්ධ වෙන්නේ. සේඛ බල වලින් බැහැර වෙන්නේ යම් වෙලාවකදීද, නැත්නම් සේඛ බල අතුරුදහන් වෙන්නේ යම් වෙලාවකදීද, අන්න ඒ වෙලාවෙදි එයා තුළ පවතින්නේ අකුසල්. කුසල් පිහිටීමක් ඒ වෙලාවෙදි සිදුවෙන්නේ නෑ. භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනවා සේඛ බල උපදවා නොගෙන වාසය කරන කෙනා අකුසල් උපදවගෙන පිරිහුන සිතින් වාසය කරල, කය බිදිල මලාට පස්සේ ගෙනා බර බිම තියන්නේ යම් සේද ඒ විදිහට එයා නිරයේ උපදිනවා කියල. ඒ වගේ ම සේඛ බල උපදවාගෙන අකුසලයන් බැහැර කරල කුසල් උපදවගෙන හිත පිරිසිදු කරගෙන වාසය කරන කෙනා කය බිදිල මලාට පස්සේ ගෙනා බරක් බිම තියන්නේ යම් සේද ඒ වගේ සුගතියක ඉපදෙනවා කියල භග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා.

බලන්න අපට කොතරම්ම රැකවරනයක් තියනවද මේ සේඛ බල උපදවා ගැනීමෙන්. සේඛ බල උපදවා ගත්තොත් එයා ගෙදරදී වේවා රාජකාරියේ යෙදී සිටින වෙලාවෙදි වේවා වෙනත් සමාජමය තලයකදී වේවා යන එන තැනදී වේවා පාරෙ තොටේ දී වේවා එයා සේඛ බල පුරුදු කරමින් වාසය කළොත් එයාට අකුසල් හට ගැනීමක් නෑ. එයා තුළ කුසල් ඉපදිලා තිබෙන්නේ. එහෙනම් එයා කොතන හිටියත් කොතනදි මලත් එයාට අනතුරක් නෑ. එහෙනම් අපි කල්පනා කළ යුත්තේ අන්න ඒ විදිහෙ ජීවිතයක් ඇතිකර ගන්ටයි. එතකොට අපිට පාරෙදි මැරුනත් බයක් නෑ, ගෙදරදී මැරුනත්් අපිට බයක් නෑ කියන මට්ටමට අපේ ජීවිතය හදාගන්ට පුළුවන් වුනොත් අපි බලවතුන් බවට පත් වෙලා නේද? එසේ ජීවිතය බලවත් බවට පත් වෙන්නේ සේඛ බල උපදවා ගැනීමෙන්.

ඒ නිසා මේ පින්වතුන් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම, ශ‍්‍රද්ධාව උපදවා ගන්න. ශ‍්‍රද්ධා බලය කියල කියන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජා චරණ සම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක අනුත්තරෝ පුරිසදම්ම සාරථී වනසේක, සත්ථාදේවමනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වන සේක කියල භග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගන්නවා නම් අන්න ඒකට කියනව ශ‍්‍රද්ධා බලය කියල. එතකොට ශ‍්‍රද්ධා බලයෙන් යුක්තව වාසය කළොත් අපේ සිතේ මොන වගේ අදහසක් ද නිතර තියෙන්නේ. ඒ භග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහස් අපේ හිතේ තියනව. එතකොට අපි පාරෙ ඇවිදගෙන ගියත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහස අපේ හිතේ තියනවා. නිවසේ සිටියත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහස අපේ හිතේ තියනවා. රාජකාරි කරන තැන සිටියත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහස අපේ හිතේ තියනවා. වෙනත් සමාජ කණ්ඩායමක් එක්ක වාසය කළත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන අදහස අපේ හිතේ තියනවා. මේ විදිහට බුදුගුණ ගැන අවබෝධය අපේ හිතේ තියනවා නම් අපි ශ‍්‍රද්ධා බලයෙන් යුක්තයි.

අපි ශ‍්‍රද්ධා බලයෙන් යුක්ත නම්, නිතර අපේ හිතේ ඒ ශ‍්‍රද්ධා බලය පවතිනවා නම්, අපේ හිතේ අකුසලයට ඉඩක් නෑ. හිතේ අකුසල් හට ගන්න ඉඩක් නෑ. අපේ හිතේ නිතරම කුසලයක් පවතිනවා. ශ‍්‍රද්ධා බලයෙන් සිටින තාක්කල් අකුසලයක පැවැත්මක් නෑ කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙනම් මේක කිසිසේතම සරල කරුණක් නෙමේ. අපේ ජීවිතය පරිපූර්ණ වශයෙන් ම සුමගට යොමු කරන, සුගතියට යොමු කරන, නිවනට යොමු කරන අතිශය බලවත් වූ දෙයක්.

ශ‍්‍රද්ධා බලය අපි ලඟ තියනවා නම් පවට ලැජ්ජාව උපදවා ගන්ට පුළුවන්. ශ‍්‍රද්ධාවෙන් යුක්තව භාග්‍යවතුන් වහන්සේ ගැන කල්පනා කරන කෙනාට පව් කිරීමට ලැජ්ජාව උපදවා ගන්ට පුළුවන්කම තියනවා. එයා සිහි කරනවා ”මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ඉගන ගන්න කෙනෙක්. ඒ ආර්ය මහා සගරුවන සරණ ගිය කෙනෙක්. තෙරුවන් සරණ ගිය කෙනෙකුට මේ කාය දුෂ්චරිතය ගැලපෙන්නේ නෑ. තෙරුවන් සරණ ගිය කෙනෙකුට වචී දුෂ්චරිතය ගැලපෙන්නේ නෑ මනෝ දුෂ්චරිතය ගැලපෙන්නේ නෑ” කියල එයා කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය ගැන සිහි කරනවා. එයා ඒ දුෂ්චරිතය ගැන ලැජ්ජාව උපදවා ගන්නවා.

එයා සිහි කරනවා භාග්‍යවතුන් වහන්සේ කාය දුෂ්චරිතය බැහැර කරල අපිටත් බැහැර කරන්ට කියල දුන්න. මේ දුශ්චරිතය හීන දෙයක් විදිහටයි අපිට පෙන්වා දුන්නේ. ලාමක දෙයක් විදිහටයි අපිට පෙන්වා දුන්නේ. ලෝකයා නිගා කරන දෙයක් විදිහටයි අපිට පෙන්වා දුන්නේ. මනුෂ්‍යයෙක් ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්ට උපකාර නොවන දෙයක් විදිහටයි අපිට පෙන්වා දුන්නේ කියල එයා සිහි කරනවා. ඒ නිසා මම වගේ තෙරුවන් සරණ ගිය කෙනෙකුට මේ දුෂ්චරිතය නම් ගැලපෙන්නේ නෑ. දුෂ්චරිතය කියන්නේ හීන දෙයක්. මේක ලැජ්ජා විය යුතු දෙයක්. කාය දුෂ්චරිතය ලැජ්ජා විය යුතු දෙයක්. වචී දුෂ්චරිතය ලැජ්ජා විය යුතු දෙයක් මනෝ දුෂ්චරිතය ලැජ්ජා විය යුතු දෙයක්. අපට ගැලපෙන්නේ නෑ. අපි දුෂ්චරිතය බැහැර කරල පිරිසිඳු ජීවිතයක් උපදවාගත යුතු අය. අපි මේ ලෝකයට ආදර්ශමත් ජීවිත ඇති කරගත යුතු අය. මේ සමාජයට අපි ආදර්ශයක් විය යුතුයි කියල හිතල තමා ගැන තමා ම වගකීම් සහිත ජීවිතයක් උපදවා ගන්නවා. ශ‍්‍රද්ධා බලයෙන් යුක්ත කෙනා මේ විදිහටයි කටයුතු කරන්නේ.

අපිට අපේ ජීවිතය ගැන වගකීමක් තිබිය යුතුයි. අපි මේ ලෝකයට හොඳ පූර්වාදර්ශයක් සපයා දිය යුතුයි. එය තමයි අපෙන් මේ ලෝකයට ඉටුවිය යුතු ලොකුම යුතුකම. අපි පුංචි දරුවන්ට පුංචි කාලෙම පෙන්වා දෙනවා විලි වසා ගැනීම පිණිස ඇදුම් අඳිනවා කියල. අපේ දරුවන් මේ ලෝකේ එළිය දකින මොහොතේ ඉඳන්ම අපි විලි වසාගෙන සිටිනව දැක්ක නිසා, ඒ ළමයින්ටත් අපි ඒක පුරුදු කළ නිසා ඒ ළමයිනුත් වස්ත‍්‍ර අඳින්ට පුරුදු වෙනවා නේද? වස්ත‍්‍ර නොඅදින කණ්ඩායමක් ලඟ ළමයි හට ගත්තොත් ළමයි වස්ත‍්‍ර අඳින්ට පුරුදු වෙනවද? ළමයි මේ ලෝකෙ එලිය දකින කොටම අපි ඒ ළමයින්ට පූර්වාදර්ශයක් සපයා දුන්න නේද? අපි හොඳ සංවරශීලී ඇඳුම් ඇන්දොත් ළමයිනුත් ඒව අඳින්ට පුරුදු වෙනවා. ඒ වගේ අපි කාය දුෂ්චරිතය බැහැර කරමින්, වචී දුෂ්චරිතය බැහැර කරමින්, මනෝ දුෂ්චරිතය බැහැර කරමින්, ඒ දුෂ්චරිතය කියන්නේ හීන දෙයක්, සමාජයට යහපත නොකරන, අපවත් නසල ලෝකයත් නසන අතිශයින් හීන දෙයක් කියල අපි කල්පනා කළොත් අපි ලෝකයට හොඳ පූර්වාදර්ශයක් සපයා දුන් අය බවට පත් වෙනවා. එය අපි විසින් ලෝකයට ඉටුකරන වගකීමක් බවට පත් වෙනවා. අපි කල්පනා කළොත් අපි බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයින්. ඒ නිසා අපි මේ දුෂ්චරිතය බැහැර කළ යුතුයි කියල එපමණකින්ම අපිට පුළුවන් දුෂ්චරිතය බැහැර කරගන්ට.

බලන්න, අපි බුදු රජාණන් වහන්සේ සරණ ගිහිල්ල අපි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහිම පිහිටා සිටියා නම්, පැහැදීමෙන් සිටියා නම්, අපි ඒ විදිහට කල්පනා කරල දුෂ්චරිතය බැහැර කරන්ට පුළුවන් විදිහෙ හිතක් හදාගනියි ද නැද්ද? හදාගන්නව. බලන්න අපි තෙරුවන් සරණ ගියා කියල ලෝකයට කියන කොට අපි අතින් දුෂ්චරිතය සිදු වුනොත් අපිට ලෝකයට මුහුණ දෙන්ට පුළුවන්ද? අපි තෙරුවන් සරණ ගිය ශ‍්‍රවක ශ‍්‍රාවිකාවන් විදිහට කටයුතු කරන කොට අපි අතින් ලෝකය නිගා කරන ඒ පාපී වූ හීන වූ දේවල් නොවෙන විදිහට හිත හදාගන්ට ඕනැ. අන්න ඒක අපේ වගකීමක්. ඒ් විදිහට අපිට කල්පනා කරන්ට පුළුවන් වෙන්නේ අපි ශ‍්‍රද්ධා බලය උපදවා ගත්තොත් නේද? භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්න කෙනා අන්න ඒ ශ‍්‍රද්ධාව මුල්කරගෙන පවට ලැජ්ජාව උපදව ගන්නවා. එයා හිතනව මම තෙරුවන් සරණ ගිය කෙනෙක්. ඒ නිසා මම ගෙදරදී වේවා, රාජකාරි කරන තැනකදී වේවා, මග තොටෙදී වේවා මේ හීන වූ දුෂ්චරිතය නොකළ යුතුමයි කියල. මේ දුෂ්චරිතය මනුෂ්‍යයා හීන තත්වයට ඇදල දාන දෙයක්මයි කියල හිතල ඒ පාපී ක‍්‍රියා ගැන ලැජ්ජාව උපදවගන්ට කල්පනා කරනවා. ඒ විදිහට කල්පනා කරන්ට කරන්ට පව් කරන්ට එයා අකමැති හිත උපදවා ගන්නවා. ලැජ්ජා වෙනවා.

එයා දැන් මේ විදිහට ශ‍්‍රද්ධාව උපදවාගෙන පවට ලැජ්ජාව උපදවා ගෙන ඉන්න අතර එයා හිටගෙන ඉන්නකොට වේවා ඇවිදිමින් ඉන්න කොට වේවා, ඉඳගෙන ඉන්න කොට වේවා, නිදාගෙන ඉන්න කොට වේවා, එයාට කාම විතර්කයක් එනවා. දැන් එයා මොකක්ද හිතන්නේ? එයා දැන් ඒ විතර්කයට යට වෙයිද නෑ. ඒ විතර්කයට එයා යට වෙන්නෙ නෑ. ඇයි විතර්කයට යට නොවෙන්නේ? එයා බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන අවබෝධය සිහි කරමින් වාසය කළ කෙනෙක්. එයා ඒ නිසා මේ දුෂ්චරිතය කෙරෙහි ලැජ්ජාව උපදවා ගනිමින් වාසය කරන කෙනෙක්.

ඒ විදිහට ඒ ශ‍්‍රද්ධා බලය හිරි බලය උපදවා ගනිමින් ඉන්න කොට එයා තුළ පාපී අකුසල විතර්කයක් එනකොට එයාට ඒක තේරෙනවා. ඇයි තේරෙන්නේ? කුසල් දහම් තුළ එයා ඉන්නකොට එයා තුළ විශේෂ දෙයක් ඉපදුනා. කුමක්ද ඉපදුනේ? ”සිහිය”. ඒ සිහිය ඉපදුනේ කුමක් මුල්වෙලාද? ශ‍්‍රද්ධාව මුල් වෙලා. ශ‍්‍රද්ධා බලය එයා පුරුදු කළා. ශ‍්‍රද්ධා බලය පුරුදු කරන්ට කරන්ට එයා තුළ හිරි බලය උපදව ගන්ට පුළුවන් වුනා. එතකොට එයා ඒ විදිහට ඒ බලයන් උපදව ගන්ට පුරුදු වෙන්ට වෙන්ට එයා තුළ විශේෂ වූ ප‍්‍රතිලාභයක් ඇති වෙනවා. ඒ විශේෂ වූ ප‍්‍රතිලාභය තමයි සිහිය. දැන් එයා තුළ අකුසල විතර්කයක් එනකොට සිහිය නම් වූ විශ්මිත වූ ඒ ප‍්‍රතිලාබය මුල්වෙලා එයාට තේරුම් ගන්ට පුළුවන් මා තුළ අකුසල විතර්කයක් හට ගත්තා. ඒ සිහියත් එක්ක එයා තුළ තවත් දෙයක් උපදිනවා. ඒ තමයි ”නුවණ”. එයා ඒ නුවණ කුමක් මුල්වෙලාද උපදවා ගත්තේ? ශ‍්‍රද්ධාව මුල්වෙලා. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය පිළිගැනීම නිසා එයා නුවණ උපදව ගන්නවා. මොකක්ද උපදව ගන්න නුවණ? මේ පාපී අකුසල විතර්ක පැවැත්වුවොත් මගේ හිත යට වෙනවා. මගේ හිත යට වුනොත් මේ අකුසල විතර්ක මඟින් මා තුළ කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය කියන පාපී අකුසල් ඇති වෙන්ට පුළුවන්. ඒ පාපී ක‍්‍රියා තුලින් මගේ ජීවිතය කෙලෙසනවා කියල එයා තේරුම් ගන්නවා.

එතකොට ශ‍්‍රද්ධා බලය, හිරි බලය තියන කෙනාට අකුසල විතර්කයක් ආවාම සිහිය ඉපදෙනවා, එයාට නුවණ ඉපදෙනවා. එතකොට සිහි නුවණින් යුක්තව එයා කල්පනා කරනවා, මේ අකුසල විතර්කය පැවතුනොත් මා තුළ දුෂ්චරිතය සිද්ධවෙයි. එහෙම වුනොත් මම මටම නින්දා කරන කෙනෙක් වෙයි කියල බය උපදවා ගන්නවා. ලෝකයා මට නින්දා කරයි කියල බය උපදවා ගන්නවා. දඬුවම් විඳින්න වෙයි කියල බය උපදවා ගන්නවා. නිරයේ ගිහින් දුක් විඳින්න වෙයි කියල බය උපදවා ගන්නවා. මේ විදිහට කල්පනා කරන කොට එයා තුළ දුෂ්චරිතය කෙරෙහි බය උපදිනවා. අන්න ඒකට කියන්නේ ඔත්තප්ප බලය කියල. දැන් බලන්න ශ‍්‍රද්ධා බලයෙන් යුක්ත කෙනා තුල හිරි බලය ඉපදුනා හිරි බලය ඉපදුන කෙනා තුල ඔත්තප්ප බලය එහෙම නැත්නම් පවට බය ඉපදුනා. ඒ පවට ලැජ්ජාව, පවට බය ඉපදෙන්ට මූලික වශයෙන් උදව්වුනේ මොකක්ද? ශ‍්‍රද්ධා බලය. ඒ ශ‍්‍රද්ධා බලය අප තුළ පුරුදු වීමත් සමගම අභ්‍යන්තරයේ අප තුළ හට ගත් සුවිශේෂ වූ හැකියාව මොකක්ද? සිහිය. සිහියත් නුවණත් අප තුළ ඉපදුනා. ඉබේ ඉපදෙනවද? ඉබේ ඉපදෙන්නේ නෑ. එහෙනම් සිහි නුවණ ඉපදුනේ කුමක් මුල්වෙලාද ශ‍්‍රද්ධා බලය මුල්වෙලා. ශ‍්‍රද්ධා බලය මුල්වෙලා හිරි බලය උපදින කොට සිහි නුවණ ඉපදිලා. අන්න ඒ සිහි නුවණත් ශ‍්‍රද්ධා බලයත් හිරි බලයත් උපයෝගී කර ගනිමින් ම එයා පවට බය කියන බලයත් උපදවා ගන්නවා.

දැන් එයා තුළ පවට ලැජ්ජාව තියනවා, පවට බය තියනවා. ඒ වගේම සිහි නුවණ එයා තුළ හොඳින් පවතිනවා. දැන් එයා අකුසල විතර්කයන් පවත්වන්ට කැමති කෙනෙක් ද? නෑ. ඇයි ඒ? දැන් එයා තුළ ශ‍්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය තියනවා. දැන් එසේ තිබූ පමණින් අකුසල විතර්කය බැහැර වෙලාද? නෑ. අකුසල විතර්කයෙන් එයා පීඩා විඳීද නැද්ද? පීඩා තියෙනවා. නැත්තේ මොකක්ද? දැන් එයා තුළ ඒ අකුසල විතර්කයෙන් හිත යට වෙලා නෑ. ඇයි දැන් හිත යටවෙලා නැත්තේ? සිහි නුවණ ඉපදිලා. සිහි නුවණ ඉපදිලා නිසා ඒ සිහි නුවණ නම් වු කුසලය මගින් අකුසල විතර්කය අඳුනගත් නිසා ඒ අකුසල විතර්කයට හිත යට වුනේ නෑ. දැන් අකුසල විතර්කය බැහැරින් තියෙන්නේ තාම යට වෙලා නෑ. ඒක හරියට එයාව යට කරගෙන යන්ට පෙරලි පෙරලි ආව ගල් පර්වතයක් මුක්කුවකට හේත්තු වුනා වගේ. එයාව යට කරගෙන යන්ට ලොකු ගල් පර්වතයක් එනවා. උදව්වට මොකුත් නැත්නම් ඒ ගල් පර්වතය එයාව යට කරල දානවා. යට කලාට පස්සේ ඒ පර්වතය අයින් කරන්ට එයාට පුළුවන්ද? බෑ. දැන් ඒ ගල් පර්වතය පෙරලි පෙරලි ඇවිදින් ඒ ආසන්නයේ තියන තව දේකට හේත්තු වෙනවා. දැන් එයා ඒ පර්වතයට යට වෙලාද ආරක්ෂිතයිද? නෑ. ඇයි යට වීමේ ඉඩකඩ තියෙනව. යට වෙලා නෑ. යට වෙලා නැති නිසා එයාට තියෙන වාසිය මොකක්ද? ඒක බැහැර කරන්ට එයාට පුළුවන්. ඇයි එයාට හයිය තියනවා. එයා නිරුපද්‍රිතයි. අකුසල විතර්කය ආවට එයා නිරුපද්‍රිතයි. උපද්‍රවයට ලක් වෙලා නෑ. දැන් බලන්න අපි යම් තාක් ධර්මය පුරුදු කළ නිසා අපි ධර්මයෙන් රැුකුන නේද? මොකක්ද ඒ ධර්මයෙන් රැුකීම පිණිස අප තුළ තිබුන ධර්මය. ශ‍්‍රද්ධා බලය තිබුන, හිරි බලය උපදවා ගත්තා, ඔත්තප්ප බලය උපදවා ගත්තා. ඒ වෙනකොට සිහි නුවණ අභ්‍යන්තරයේ හටගෙන. දැන් තේරුනාද ධර්මය පුරුදු කරන කෙනා ධර්මයෙන් රැුකෙනව කියල.

දැන් ඔය විදිහට ධර්මය පුරුදු කිරීම ගෙදර කටයුතු කරද්දී වුනත් කාර්යාලයේ කටයුතු කරද්දී වුනත් වෙනත් ස්ථානයක කටයුතු කරද්දී වුනත් අපිට පුළුවන් වෙයිද බැරි වෙයිද? පුළුවන්. අන්න ඒකටයි තියුණු නුවණක් උවමනා කරන්නේ. ඒකටයි කලබල නොවී පුරුදු කිරීමේ හැකියාව උපදවා ගත යුත්තේ. අන්න ඒ සඳහා තමයි පිරිසිදු දහම් දැණුම උවමනා කරන්නේ. පිරිසිදු දහම් දැනුමෙන් යුක්ත කෙනා තමයි බලවත් සොල්දාදුවා. එයාට අවි තියනවා. අවි හරඹය පිළිබද කලාව ඔහු දන්නවා. අවි තිබුනට අවි හරඹය පිළිබඳ කලාව දන්නේ නැත්නම් ආයුධ ගොඬේම ආයුධවලට යට වෙලා නැසුන කෙනෙක් බවට පත් වෙනවා. එයා නසන්ට හතුරො එන්ට වුවමනා නෑ. එයා ලග තියන අවි වලින් එයා නැසෙනවා. ඇයි අවි හරඹය පිළිබද කලාව නොදන්නා නිසා ආයුධ වැඩිවෙන්ට වැඩිවෙන්ට අනතුරු වැඩියි.

ඒ නිසා අපි මේ ධර්මය පුරුදු කරන ආකාරය ඉගෙන ගත යුතුයි. දැන් අපිට ඒ සඳහා කාලයක් පැමිණ තිබෙනවා කියල මේ අයට තේරෙනවා ඇති. බලන්න භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපේ හිතේ ඇතිකර ගන්නා වූ පැහැදීම, එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම කියන දේ මනුෂ්‍යයෙක් මොනතරම් බලවත් කෙනෙක් බවට පත්කර දෙන්ට සමත් වෙනවාද කියල. එතකොට ඒ ශ‍්‍රද්ධා බලය මගින් අප තුළ හිරි බලය උපදවා ගන්ට පුළුවන් වුනා. ඔත්තප්ප බලය උපදවා ගන්ට පුළුවන් වුනා. දැන් එයා තමන්් තුළ හට ගත්ත අකුසල විතර්කයට යට වෙලා නෑ. දැන් අකුසල විතර්කයට අපි කැමතිද අකමැතිද? අකමැතියි. ඇයි ඒ හිරි බලය තියනවා. ඔත්තප්ප බලයත් තියනවා. අපිට දැන් ලැජ්ජාව තියනවා බය තියනවා. ලැජ්ජාවත් බයත් මුල්වෙලා අපට ඇතිවෙනවා ඒ අකුසල විතර්කය කෙරෙහි අකමැත්ත. ඒ අකුසල විතර්කය කෙරෙහි අකමැත්ත මුල් වුනාම ඒ අකුසල විතර්කය පවත්වන්න අපි කැමති වෙන්නෙ නෑ. එහෙනම් ඒ අකුසල විතර්කය දුරු කිරීම පිණිස අපි කැමති වෙනවා. අන්න ඒ විදිහට කැමැත්ත ඉපදුනාම ඒ කැමැත්ත ඉපදුන කෙනා තුල වීරිය හට ගන්නවා. ”උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය ඡුන්දං ජනේති වායමති විරියං ආරඹති චිත්තං පග්ගන්හාති පදහති” කියල ධර්මයේ සඳහන් වෙනව නේද? එතකොට මුලින් ම මොකක්ද කරන්ට ඕනැ? උපන් අකුසල් දුරු කරන්න කැමැත්ත උපදවා ගැනීම. ඒ කැමැත්ත ඉපදුන කෙනා අකුසලය දුරුකරන්ට වෑයම් කරනවා. අන්න එහෙම වෑයම් කරද්දී තමයි එයාට වීරිය උපදවා ගන්ට පුළුවන්කම තිබෙන්නේ. ඒ විදිහට වීරිය කරන කෙනා සිත දැඩි කරගන්නවා. බලවත් සේ සිත දැඩිකරගෙන ඒ අකුසලය බැහැර කරන්ට දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. අන්න එතකොට එයා ඇරඹු වීරියෙන් යුක්ත සිතක් ඇති කෙනෙක් බවට පත් වෙනවා. එයා ආරද්ධ වීරිය තියන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එයා තුළ ශ‍්‍රද්ධා බලය තියනවා, හිරි බලය තියනවා, ඹත්තප්ප බලය තියනවා, වීරිය බලය තියනවා අන්න ඒ විදිහට කටයුතු කරන්ට පුළුවන්කම තියෙන්නේ ප‍්‍රඥා බලය උපදවාගත් කෙනාටයි.

ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන් විදිහට ආර්ය සත්‍යය ගැන ඉගෙනගෙන ඒ ආර්ය සත්‍යය තේරුම් ගැනීම පිණිස අනිත්‍යය තේරුම් ගැනීම පිණිස, සිහි නුවණ පුරුදු කරන කෙනා තුළ මේ ශ‍්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, වීරිය බලය කියන මේ බලයන් සියල්ලම උපදවා ගන්ට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට අපි මේ සේඛ ධර්ම පුරුදු කර ගත්තොත්, ඒ සේඛ ධර්ම නිතර පුරුදු කළොත් බහුළ වශයෙන් අපි පුරුදු කරනවා නම් අපි හිටගෙන හිටියත්, ඇවිදිමින් හිටියත්, වාඩිවෙලා හිටියත්, නිදියගෙන හිටියත්, අප තුළ ඒ සේඛ ධර්ම පුරුදු කරන ස්වභාවය, සේඛ ධර්ම වලින් යුක්ත බව තියෙනවා නම් අපි පාපී අකුසල ධර්මයන් බැහැර කරමින් වාසය කරන අය බවට පත් වෙනවා. කුසල ධර්මයන් තුළ හිත පුරුදු කරන අය බවට පත් වෙනවා. අන්න ඒ අය, පවට බය තියෙන, පටන් ගත් වීරියෙන් යුක්ත නිවන් මගේ සිටින නිවනට යොමු වූ සිතින් යුක්තව වාසය කරන අය බවට පත්වෙනවා.

දැන් මේ පින්වතුන්ට තේරෙනවා ඇති අපි ඉතාමත් ම ඉවසීමෙන් යුක්තව ධර්මය හොඳින් තෝර බේර ගත්තොත් අපිට ධර්මය පුරුදු කිරීමට කාල වේලාව නෑ කියන එක ලොකු අර්බුධයක් තබා පුංචි හෝ අර්බුධයක් නොවන බව. මේක ලේසි දෙයක් නෙමේ අතිශයින් ම අමාරු දෙයක්. නමුත් අපේ මේ ජීවිතයම මේ සඳහා අපි යොදා ගත්තොත් අපේ මුලූ ජීවිතේම මේ උතුම් ධර්මය උපදවා ගැනීම පිණිස අපි කටයුතු කළොත් අපට මේක කරන්ට පුළුවන් කම තිබෙනවා. ”සංසාර ගමන නතර කරනවා” කියන අතිශය දුෂ්කර කටයුත්ත දවසෙන් දෙකෙන් කරගන්ට පුළුවන් එකක්ද? කිසිවෙකුත් එහෙම කල්පනා නොකළ යුතුයි. මේ මුලූ ජීවිතයම ගත කරල හරි කමක් නෑ මේ දුෂ්කර කටයුත්ත පුරුදු කරගන්ට අපි මහන්සි විය යුතුයි. අපිට වෙලා ලැබෙනකම් හිටියොත් කවදාවත් අපි හොයන වෙලාව අපිට ලැබෙන්නේ නෑ.

දැන් අපිට තේරෙනවා අපි පාරෙ යනකොට හරි කමක් නෑ අපි විසින් කළ යුත්තේ කුමක් ද කියල. සේඛ බල පුරුදු කර ගන්ට මහන්සි වීම. ගෙදර සිටිද්දී අපි කළ යුත්තේ මොකක්ද? සේඛ බල පුරුදු කර ගන්ට මහන්සි වීම. රාජකාරි පොලේදී අපි මොකක්ද කළ යුත්තේ? සේඛ බල පුරුදු කරගන්ට මහන්සි වීම. වෙනයම් තැනකදී අපි කුමක්ද කළ යුත්තේ? සේඛ බල පුරුදු කරගන්ට මහන්සි වීම. ඇයි අපි කොතනදී වුනත් සේඛ බල පුරුදු කර ගන්න මහන්සි විය යුත්තේ? ඒ හැම තැනකදීම අකුසල සිතුවිළි අප තුළ හටගන්ට පුළුවන්. දැන් වැඩ වැඩියි පස්සේ එන්නම් කියල අකුසල සිතුවිළි වලින් අපිට බේරෙන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. අපි දන්නෙම නැතුව හිත යට කරල දානවා. ඒ නිසා අපි ශ‍්‍රද්ධා බලය උපදවාගෙන තිබුනොත් ඒ ශ‍්‍රද්ධා බලය මුල් කරගෙන අනෙකුත් සේඛ බල උපදවා ගන්ට අපට පුළුවන්කම තිබෙනවා. ඒ සේඛ බල මුල්කරගෙන අපේ හිතේ එන අකුසලයන් බැහැර කරල කුසල් සිතින් වාසය කරන්ට අපිට පුළුවන්කම තිබෙනවා. මේ විදිහට අපි ධර්මය පුරුදු කරගත්තොත් අපි කවුරුත් මේ ජීවිතේ අතිශයින් බලවත් අය විදිහට මේ ජීවිතේ දියුණු කරගත් අය බවට පත් වෙනවා.

ඒ නිසා අපි සියලු දෙනාටම ඉතාම සෙනෙහසින් යුක්තව සෙත් පතන්ට කැමතියි ආශිර්වාද කරන්ට කැමතියි අපගේ භාග්‍යවතුන් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් පෙන්වා දුන් මේ උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස උපකාර වන ඒ උතුම් බලයන් උපදවා ගැනීම පිණිස දුර්ලභ වූ භාග්‍යය උදාවේවා.

(‘රිවිර’ පුවත් පතේ පළ වූ ලිපියකි)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: