Posted by: lrrp | October 24, 2011

වැරැදි කරන අය තම වැරැදි සඟවාලීමට අන්‍යයන්ද වරදට පොලඔවති

පුද්ගලයා ගේ ජීවිතයේ දියුණුව සඳහාත්, සමාජයේ සාමකාමී බව සඳහාත් වටිනා ආදර්ශයක් ගෙන දෙන ගාථා රත්නයකි. බුදුරජාණන් වහන්සේ මිනිසා පිළිබඳව කළ ධර්මානුකූල විග්‍රහයක් ධම්ම පදයේ බාල වග්ගයේ දී හා පණ්ඩිතය වග්ගයේ දී පැහැදිලි වේ.

පසුබිම් කතාව

බාල වග්ගයේ එන යථෝක්ත ගාථා ධර්මයෙන් ඇසුරට තෝරා ගත යුතු වන්නේ කවර පුද්ගලයකු ද යන බව සඳහන් කරයි. බාලයා පිළිබඳ ඉතා සරල බෞද්ධ නිර්වචනය නම් හොඳ නරක තේරුම් ගැනීමේ ශක්තිය නොමැති පුද්ගලයා ය. අනුන් ගේ යහපත පිණිස නොව අයහපත පිණිසම කටයුතු කරන අඥානයා ය. අංගුත්තර නිකායේ බාලයා පිළිබඳ කරන අර්ථකතනයේ දී ඔහු නපුරක් ම සිතන අතර නපුරක් ම කරන බව සඳහන් වේ. යථෝක්ත ගාථා රත්නයට විස්තර වූ පසුබිම් කතාව කියැවීමෙන් එහි අර්ථය මනාව අවබෝධ කරගත හැකිය.

බුදු රජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි එක් අකීකරු භික්ෂුවක් අරභයා මේ ගාථා රත්නය දේශනා කොට වදාළහ. රජගහ නුවර වූ සිදුවීමක් එයට මුල් විය. රජගහ නුවර අසළ විහාරයක වැඩ විසූ මහා කස්සප තෙරණුවන්ට භික්ෂුන් වහන්සේ දෙනමක් උපකාර කළහ. ඒ අතරින් එක් භික්ෂුන් වහන්සේ නමක් ශ්‍රද්ධා සිතින් අවංකවම උපකාර කළ අතර අනෙක් භික්ෂුන් වහන්සේ පළමුවැන්නා කළ දේ තමන් විසින් කරන ලද සැටියෙන් පෙන්වූහ. තෙරුන් වහන්සේට මුවදෝනා, පැන්, දැහැටි පිළියෙල වී ඇති බව දැන වහා උන්වහන්සේ සමීපයට ගොස්

“ස්වාමීනි! මුවදෝනා සූදානම් ය. පැන් දැහැටි සූදානම් ය.” යි කීහ. පා දෝවන ස්නානය ආදි අවස්ථාවන් හි දී ද එසේ ම කියති.

අනෙක් භික්ෂුන් වහන්සේ මෙසේ සිතූහ.

“මුන් වහන්සේ සෑම දිනෙක ම මවිසින් කරන දේ තමන් කළ බව කියති. අඥාන කමක සැටිය. මොහුට කළ යුත්ත කරමි.”

පසුදින තමන් විසින් ඇප උපකාර කරන බව හඟවන අකීකරු භික්ෂුව සුපුරුදු ලෙස දන් වළදා සැතපී විවේක ගත්තේය. අනෙක් භික්ෂුන් වහන්සේ ද ස්නානය පිණිස ජලය උණුකොට වෙනත් සැළියකට වත්කොට එය සඟවා තැබූහ. වෙනදා උණු ජලය වත්කරන බඳුනට වතුර ටිකක් දමා පසෙකට වී සිටියහ.

වේයන්ගොඩ දඩගමුව රජමහා විහාරාධිපති
මැටිකොටමුල්ලේ පේමරතන හිමි

අනෙක් උපස්ථායකයා ද නින්දෙන් පිබිද උඳුනෙහි දුම් දමන සැළිය දැක වතුර උණුකොට ස්නානය පිණිස සූදානම් කර ඇතැයි සිතා තෙරණුවන් වෙත ගොස්,

“ස්වාමිනි! ජලය සූදානම් කොට ඇත. ස්නානය කරනු මැනවයි කීවේය. ඒ තෙරණුවන් ද සමඟම ස්නානය පිණිස පැමිණියේ ය. තෙරණුවෝ එහි ජලය නොදැක

‘ඇවැත්නි, ජලය කොහිද’ යි ඇසූහ. ගිනි ශාලාවට ගොස් බඳුනට හැන්දක් දමා සැළිය හිස් බව දැන

‘බලන්න මේ දුෂ්ඨයා ගේ වැඩ. හිස් බඳුන උඳුනේ තබා කොහේ ගියේ ද? මම කොටුවෙහි ජලය ඇතැයි සිතා දැන්වූවෙමි’ යි දොස් නගමින් කළය ද රැගෙන ජලය ගෙන එනු පිණිස තොටට ගියේ ය.

අනෙක් භික්ෂුව ද පසෙක සඟවා තැබු උණු ජලය ගෙන කොටුවෙහි බහාලීය. මේ දුටු තෙරණුවෝ,

“මේ බාලයා මා විසින් ජලය උණු කරන තබන ලදි. ස්වාමිනි නහනු මැනව‘යි කියා දැන් දොස් බස් පවසමින් කළයත් රැගෙන තොටට යයි. ‘මේ කිමෙක් ද?’ මොහු විසින් කරන ලද වතාවත් තමන්විසින් කළාක් මෙන් කීවේ ය.” යි සිතා සවස පැමිණි කළ ඔහුට මෙසේ කීහ.

“ඇවැත්නි, නොකළ දෙයක් නො කිව යුතු ය. අනුන් කළ වත් පිළිවෙත් තමා කළ සේ හැඟවීම නුසුදුසුය. නිවැරැදි පුද්ගලයකු සේ මහණ දම් රැකිය යුතු ය.”

මේ ඔවදන් ඇසූ අකීකරු අතවැසි නම මුළාවෙන් කිපුණේ ය. ඔවදන් නොපිළිගත්තේ ය. පෙරවරු දන් වළඳනු සඳහා පිඬු සිඟා ගොස් මහ තෙරුන් වහන්සේ අපහසුවෙන් වෙහෙර වැඩ සිටින බව දන්වා දන් ඉල්වා ගෙන ගොස් වළඳා නිසොල්මන්ව සිටියේ ය. දෙවන දිනයේ ද එසේම කළේ ය. මේ දැනගත් මහ කස්සප තෙරහු ඒ භික්ෂුව කැඳවා

“අවැත්නි! භික්ෂුන්ට පිඬු සිඟා ලද දෙය මිස ආහාර ඉල්ලා වැළඳීම නුසුදුසුය” යි කීහ. අකීකරු භික්ෂුව ඒ අසා තවත් කෝප විය. මහ කස්සප තෙරුන්ගෙන් පළි ගැනීමට සිතුවේය.

පසු දින තෙරුන් වහන්සේ කීකරු නම සමඟ පිඬු පිණිස වැඩියහ. එකල අකීකරු නම දඬු පොලු ගෙන පැන් බඳුන් බිඳ දමා තෙරුන් වෙසෙන වෙහෙරට ගිනි ලා පලා ගියේ ය. මේ පුවත නිමිති කොට බුදුරජාණන් වහන්සේ තමන් ගේ ඇසුරට, ගුණ දහමින් තමන්ට වඩා වැඩි වූ හෝ සමාන වූ හෝ කලණ මිතුරකු සොයා ගත නොහැකි නම් තනිවම විසීම යහපත් යැයි දේශනා කොට වදාළහ.

යම් පුද්ගලයකු ඇසුරු කිරීමේ දී ඉතා සිහි කල්පනාවෙන් ආශ්‍රය කළ යුතු බව මෙහි දී අපට උගත හැකි ඉතා වැදගත් පාඩමකි.

එදිනෙදා ජීවිතයේ දී අපට සමාජය සමඟ නිරන්තරයෙන් ගැටීමට සිදු වේ. එහි දී විවිධාකාර පුද්ගලයන් හමු වේ. මේ අය ගේ අදහස් උදහස් එකිනෙකාට සපුරා වෙනස් ය. චර්යා රටාවන් විවිධාකාර ය. කෙනෙක් එකක් කියා තවෙකක් කරති. තවත් කෙනෙක් කළ දේ නොව වෙනත් දෙයක් කියති. මෙවැනි සමාජයක ඉතා සිහි බුද්ධියෙන් හැසිරිය යුතු බව බුද්ධ දේශනාවේ සඳහන් වන්නේ ඒ නිසා ය.

එදිනෙදා ජීවිතයේ දී අපට බිය උපදවන කරුණු බොහෝ ය. සොර සතුරු බිය එහි දී ප්‍රධානය. එහෙත් මෙහි දී අප වඩාත් සිහි කල්පනාවට ගත යුතු කරුණක් තිබේ. එනම් මිතුරන් ලෙස පෙනී සිටිමින් අප ගේ ඇසුරට පත්වන සතුරන් නිසා වන විපත මහත් බව ය. කලණ මිතුරන් ලෙස සිතා සිටියත් ඔවුන් ධර්ම ග්‍රන්ථයන් හි සඳහන් වන ලෙස පාප මිත්‍රයන් ය. මේ පාප මිතුරන් තමන් වැරැදි කරනවා පමණක් නොව ඇසුරු කරන අය ද වැරැදිවලට පොළඹවා ගනී. නිතර සිහි කල්පනාවෙන් කටයුතු කළ යුතු වන්නේ මේ නිසාය. මනුෂ්‍යයකු වශයෙන් උපත ලැබීම ඉතා අපහසුය. ධර්ම ග්‍රන්ථයන්හි එන ලෙස එය කණ කැස්බෑවකු විය සිදුරකින් අහස බලනවා තරම් දුර්ලභ අවස්ථාවකි.

මැද සිදුරු විය දණ්ඩක් මහා සාගරයෙහි ඒ, මේ අත පාවෙමින් තිබෙනවා යැයි සිතන්න. අවුරුදු සියයකට වරක් ජලය මතුපිටට පැමිණ හිස ඔසවා බලන කණ කැස්බෑවකුට ඒ වියදඬු සිදුරෙන් ආලෝකය දකින්නට හැකිවීම මොනතරම් අපහසු, දුර්ලභ අවස්ථාවක් ද, එහෙත් මිනිසත් බව ලැබීම නම් ඊටත් වඩා අපහසු කරුණකි. මෙසේ අපහසුවෙන් ලැබුවා වූ මිනිසත් බව යහපත් කටයුතු සඳහා යෙදවිය යුතුය. මැරෙමින් උපදිමින් යන මේ සසර මග කෙටිකර ගැනීමට කුසල් රැස් කළ යුතුය.

අප ගේ ජීවිතය යහපතට හෝ අයහපතට මෙහෙය වීම සඳහා අප ඇසුරට පත්වන අය ගේ ක්‍රියා කලාප බොහෝ දුරට බලපායි. මේ ගාථා ධර්මයේ

‘සෙය්‍යං’ යන වදනින් අර්ථවත් කැරෙන්නේ ඉතා උතුම් පුද්ගලයකුය. සිල්වත්, සමාධි ගුණ වැඩුමෙන් යුතු උසස් පුද්ගලයකුය.

‘සදිසං’ යනු සමානයකු ය. සීල සමාධි ගුණයෙන් තමා හා සමාන වූවෙකු ය. අප ඇසුරට ළං කර ගත යුතු වන්නේ එවැනි පුද්ගලයකු ය. සිල්වත් පුද්ගලයා ගේ ඇසුරට පත්වන පුද්ගලයා ද සිල්වතකු වේ. එවැනි පුද්ගලයකු ගේ ඇසුරින් යහපතක් ම මිස අයහපතක් බලාපොරොත්තු විය නොහැකිය. කුඩා කල මවුපියන්ට කීකරු වන දරුවන් සමාජ ඇසුරත් සමඟ වෙනස් වන ආකාරය ඔබ දැක ඇත. දෙමවුපියන්ට, වැඩිහිටියන්ට කීකරුව හැදුණ වැඩුණ මේ දරුවන් සමාජ ගතවෙත්ම අකීකරු දඩබ්බර, තරුණ තරුණියන් බවට පත්වන්නේ ඇයි? අයහපත් මිතුරු ඇසුර නිසාය. දරුවන් යන එන තැන්, ඇසුරු කරන අය ගැන වැඩිහිටියන් නිරන්තර අවධානයෙන් සිටිය යුතු වන්නේ ඒ නිසා ය.

විවිධ අපරාධවලට සම්බන්ධ වූවන්, වැරැදි නිසා නීතියේ රැහැනට හසු වූවත්, සිරගත වූවන් වෙත අවධානය යොමු කරන්න. මේ අය මොනතරම් නම් දුක් පීඩා විඳිනවා ද? සමාජයේ අපවාදයට ගැරහීමට ලක්වනවා ද? ඇතැම් විට ඔවුන් ගේ ජීවිතයෙන් හරි අඩක්ම ගෙවී යන්නේ සිර මැදිරියක ය. ඒ ද බරපතළ වැඩ සහිතවය. සමීක්ෂණවලින් පැහැදිලි වන්නේ මෙසේ අපරාධවලට යොමුවන අයගෙන් සියයට අසූවකටත් වඩා ඒ වැරැදිවලට පෙළඹී ඇත්තේ මිතුරන් නිසා වන බව ය. පාප මිතුරන් නිසා වන බවය.

ගිහියා ගේ ජීවිතය සාර්ථක කර ගත හැකි ප්‍රතිපදාවක් බුදු දහමේ ඉගැන්වේ. අපි ඇසුරු කළ යුතු වන්නේ ඒ ප්‍රතිපදා මාර්ගයේ ගමන් කරන අය ය. මෙසේ සිතන්න. ඔබ ඇසුරු කරන කෙනෙක් සොරකමෙහි ලජ්ජා බය නොවේ නම් ඔහු ඔබ ද ඒ සඳහා පොළඹවා ගැනීමට පුළුවන. එසේත් නොවේ නම් කරන ලද සොරකමකට ඔබව පාවා දීමට පුළුවන. පවෙහි ඇළුණු පුද්ගලයාට ලජ්ජා බය නැත. තමන් කළ වරද වසා ගන්නට ඔහුට ඕනෑම දෙයක් කිරීමට පුළුවන. තමන්ට වරදින තැන හේ මිතුරුකම සලකන්නේ නැත. නිවැරැදි, ඔබ වරදට හසු කර ඔහු වරදින් ගැලවෙනු ඇත.

අධ්‍යාපනය ලබන යොවුන් දූ දරුවන්ට ද මේ ගාථා ධර්මය ඉතා වටිනා මඟ පෙන්වීමකි. ඉගෙනීම ලබන කාලයේ පෙම් සබඳතා ඇති කර ගැනීම නුසුදුසු ය. එවැනි සබඳතා ඇති මිතුරු මිතුරියන් ඇසුර ද නුසුදුසු ය. එවන් අය ඇසුරින් තමන්ද නොදැනුවත්වම එවැනි සබඳතාවලට යොමු වීමට ඉඩ ඇති බැවිනි. ඉහත දැක්වූ පරිදි වැරැදි කරන අය තම වැරැදි සඟවා ගැනීමට අන්‍යයන් ද වරදේ පොළඹවන බව දරුවන් වටහා ගත යුතු ය. ඉගෙනුමට දක්ෂ, ඉගෙනුමට මුල් තැන දෙන දරුවකු ඔබ ගේ ඇසුරට පත් වූයේ නම් ඔබ ද නොදැනුවත්වම අධ්‍යාපනයට මුල් තැන දී කටයුතු කරනු ඇත. අනාගතය සාර්ථක වන්නේ එවිට ය.

පංච ශීල ප්‍රතිපදාව බුදුරජාණන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ හ. ප්‍රාණඝාතයෙන් වැළකුණ, සොරකමින්, බොරුවෙන් වැළකුණ, කාමයෙහි වරදවා හැසිරීමෙහි ආදීනව තේරුම් ගත්, සුරාව ප්‍රතික්ෂේප කරන අය අපට ඔවුන් ගේ ක්‍රියා කලාපයෙන් වටහා ගැනීමට පුළුවන. අඩුම තරමේ එවන් සිල්වත් පුද්ගලයකු හෝ ඇසුරට තෝරා ගත්තේ නම් අප ගේ මෙලොව පරලොව ජීවිතය සාර්ථක කර ගැනීම අපහසු වන්නේ නැත.

About these ads

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

Follow

Get every new post delivered to your Inbox.

Join 110 other followers

%d bloggers like this: