Posted by: lrrp | November 21, 2011

ඉංගිරිසිකාරයාගෙ නීති අපට වලංගු නෑ

ඉඩම් කඩම් ගේ දොර දේපොළ පිළිබඳ වැඩි තණ්හාවෙන්, ඒවා පිළිබඳ ආශාව තදින් දැඩි සේ සිතින් අල්ලා ගෙන මිය යන පුද්ගලයෝ ඒ ඉඩම්වල ම ගෙවල්වල ම ගෙවල පේ‍්‍රතයන් වී උපදිති.

පාරම්පරිකව එම ඉඩම්වල අයිතිය උරුමය දැඩි සේ සිතින් අල්ලා ගෙන මිය යන පුද්ගලයෝ ඒ ස්ථානවල ම බහිරවයින් වී උපදිති. දුගතිගාමී වූ මෙවැන්නන් ඒ ස්ථානවලින් ඉවත් කිරීම ද පහසු නැත. මෙහි අයිතිකාරයා මම ය, හත්මුතු පරම්පරාවෙන් ආ අයිතියේ උරුමය මට ය.

එහෙයින් මේ ඉඩම මගේ ය. මගේ ස්ථානය අතහැර මා වෙනත් කොතැනකට යන්න ද? වෙනත් ස්ථානයක අයිතියක් ඔහුට හෝ ඇයට නැති බව ද ඔවුන් ගේ යටි සිත් දනී. මේ අය වෙනත් යහපත් තැනකට යවන්නට, සුගතිගාමී කරවන්නට එක දිනකින් හෝ දින දෙක තුනකින් නුපුළුවන.

ඒ සඳහා මේ භූතාත්මවල පවතින මානසික උපාදානයන් ක්‍රමයෙන් ලිහිල් කොට දැහැමි වැඩ පිළිවෙළකින් වෙනත් මානසික ඒකාග්‍රතාවයකට පත් කළ යුතුය.

මේ අගනුවරට තරමක් දුරින් පිහිටි කොළඹ දිස්ත්‍රික්කයේම නගරයකට සම්බන්ධ සිද්ධියකි. ඇය නමින් පුෂ්පා ය.

වයසින් හැට තුන් වියේ පසු වූවාය. ඇයට පැවති රෝගය රාත්‍රි නින්ද ගිය සැනින් ගැස්සී අවදි වීම ය. එයින් ඇය මහත් වේදනාවක් වින්දා ය. හරිහැටි නින්දක් කිසිම දිනයක ඇයට නොලැබිණි. උදේ අවදි වෙන්නෙ කායිකවත් මානසිකවත් මහත් අමාරුකම් දරාගෙන ය.

මේ පවතින තත්ත්වය නිසා නිවැසියන් සමඟ තරහ ගතියක් ද ඇය තුළ හට ගැනිණි. රාත්‍රියේ හරිහැටි නින්දක් නොලැබ, නිදි සුවය අහිමිව අවදි වන ඇයට, ඇය සමඟ කතා කරන්නන් පවා නුරුස්නා බවක් මතු විය.

වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලද අතර ඇයට රෝගයක් නැති බව ද වෛද්‍යවරුන්ගෙන් කියැවිණි. වසර ගණනාවකට පසු ‘සිළුමිණ’ – ‘පියවි ඇසින් ඔබ්බට’ ලිපි පෙළ කියැවූ නිවැසියෝ ඇය ප්‍රතිකාර සඳහා යොමු කළහ.

ගවේෂණයේ දී පුෂ්පා ප්‍රලය වූවා ය. නාගයෙකු මෙන් බිම දිගේ ඇදෙන්නට වූවා ය. නයෙකු සේ පිඹිනවා හැරෙන්නට කතා කළේ නැත. ඒ නිසා පිළිවෙත් කිහිපයක් නියම කොට දින දහ හතරක් බෝධි පූජා පවත්වා ඒ පුණ්‍ය ශක්තියෙන් ශක්තිමත්ව එන ලෙස නියම කැරිණි. එසේ නැවත පැමිණි දිනයේ ද ඇය ප්‍රලය වූ නමුත් නිසි ප්‍රතිකාර සඳහා සත්‍ය තොරතුරු ඇය තුළින් ප්‍රකාශ කරවා ගන්නට නොහැකි විය. ඊට හේතුව වූයේ බෝධි පූජා තබන අය චිත්ත ඒකාග්‍රතාවයෙන්, ශ්‍රද්ධාවෙන්, බෝධි පූජාව නොපැවැත්වීම යි. කරන්නන් වාලේ බෝධිය අසල මල් පහන් තබා, ගාථා කියූව ද “සිත” ඒ අරමුණෙහි තබා ගැනීමට උත්සාහ නොකිරීමයි.

මෙසේ සිව් වැනි වතාවේ බෝධි පූජා පවත්වා පැමිණි දිනයේ ඇය ප්‍රලයෙන් කතා කළා ය.

“මේ බිම දිගේ ඇදි ඇදී යන ඔබ කව්ද?”

“මම නාග කන්‍යාවක්” (ඇත්තට ම නාග පේ‍්‍රතියකි.)

“ඔබේ නම?”

“මම මැගිලින්”

“ඇයි මේ පුෂ්පාට හිරිහැර කරන්නෙ?”

“මගේ තැන මට නිදහසේ ඉන්න නොදෙන නිසා”

“මගේ තැන ය කීවේ?”

“මගේ තැන ය කීවේ මගේ ඉඩම”

“ඔබට කොහොමද මේ ඉඩම අයිති”

“මේ ඉඩම මම සල්ලිවලට ගත්තේ”

“කොයි කාලෙ ද?”

“හරියට දිනේ මතක නැහැ. 1977 ජේ. ආර්. මහත්තයාගෙ ආණ්ඩු කාලෙ”

“ඉතින්?”

“ඉතින් මම මළාට පස්සෙ මේ පුෂ්පා මගේ පුතාගෙන් සල්ලිවලට ගත්තා”

“ඉතින් දැන් අයිතිය පුෂ්පාගෙ“

“එහෙම වෙන්නෙ කොහොම ද? මම මළාට මෙතනම තමයි ඉන්නෙ. මගේ ඉඩමේ. මම වවාපු ඉඩම මගේනෙ. මගේ පුතාට පුළුවන් ද මගේ ඉඩම විකුණන්න. මම ඌට දීලා තිබුණේ නැහැනෙ?”

“ඉතින් අම්මා මළාට පස්සෙ පුතාට අයිති වෙනවනෙ”

“ඒ මහත්තයලගෙ ලෝකෙ නීති. තමන්ට අයිති දෙයක් තමන් කැමැත්තෙන් පුතාට නොදී ඒක පුතාට අයිති වෙන්නෙ කොහොම ද? ඔය ඉංගිරිසිකාරයා හදාපු නීති. මහත්තයල වගේ අයට වලංගු වුණාට අපට වලංගු නෑ. ඌ බේබද්දා. ඉඩම විකුණපු සල්ලි වලිනුත් බීල බීල මළා. මං මගේ ඉඩම දාල යන්නෙ නෑ.”

හරි හරි, ඉතින් පුෂ්පත් ඔහේ හිටියම මොකද?”

“එහෙම බැහැ මහත්තයා. මේ ගොල්ලො ආවට පස්සෙ කරදරයි. පුෂ්ප ගේ හදල පදිංචි වුණාම පුෂ්පගෙ තාත්තත් මේ ගෙදරට ආවා. දැනට අවුරුදු පහකට කලින් ඒ මිනිහ මළා. ඒ මිනිහ මැරිලත් මෙතනට ම ආවා. තනියම ;නාවෙයි. එයාගෙ මළගිය නෑදැ යාළුවොත් එක්ක. පුෂ්පා සාත්තර අහල කට්ටඩි ගෙනැල්ල තාත්තලව එළියට දැම්මා. මේවා කරන කොට මටත් දැනුණා. මටත් මගෙ ඉඩම අතහැරලා යන්න වේවි කියලා. මම කොහේ යන්න ද? අනුන්ගෙ තැන්වල මට ඉඩ දේවි ද? එදා ඇදුරො පුෂ්පට දාන්න යන්තරයක් ජීවම් කළා.

මම ඒ සුරය ඇතුළට රිංගා ගත්තා. මාව ඒ සුරය ඇතුළට බන්ධනය වුණා. මම ඒ සුරය හරහා පුෂ්පගෙ ඇඟට රිංගුවා. මේ බන්ධනය මටත් හිරිහැරයක්. ඒ නිසා ඒකෙන් ගැලවෙන්න පුෂ්පා නිදා ගන්නම බය කරලා අවදි කරනවා. මගේ වත්තට ඇවිත් මාව බන්ධනය කළාට මම තරහයි. මම දැන් පුෂ්පා උයන කෑම කාටවත් කන්න බැරි විදිහට පුෂ්පා ලවා ම අවුල් කරවනවා. පුෂ්පා හොද්දට ලුණු දමන කොට ලුණු වැඩි කරනවා. මිරිස් දමන කොට මිරිස් වැඩි කරනවා. ඉතින් ගෙදර අය පුෂ්පත් එක්ක රණ්ඩු කරනවා. මගේ ම තැනට ඇවිත් මාව බන්ධනය කළාට මම පළි ගන්නවා. නිදියන්න දෙන්නෙත් නෑ. හරියට කන්න දෙන්නෙත් නෑ.”

“හොඳයි, හොඳයි, දැන් ඔය බන්ධනයෙන් මිදෙන්න මම උදව් කරන්නම්.”

“අනේ! හොඳයි. ඒ කොහොමද මහත්තයා?”

“දැන් එහෙනම් ඔය හිතේ තියෙන තරහව, ඉඩම් අයිතිය ටිකක් හිතෙන් ඈත් කරන්න. මැගිලින් ජීවත්ව ඉන්දැද්දි කරපු පින්කම් සිහිපත් කරන්න.”

“ම්… ගමේ පන්සලට අඩුක්කු දානෙ දුන්නා”

“හොඳට මතක් කරන්න. ගමේ පන්සලට ගියා නේද? පහුගිය දවස්වලත් ගියා නේද?”

“ඔව්! බෝධි පූජාවට ගියා. එතැනට ගියාම නම් හරිම ශාන්තයි. නිස්කලංකයි. හිතට සනීපයි. මේ පුෂ්පා ගාථා කියන කොට මටත් ඒ ගාථා මතක් වුණා. පුෂ්පා වඳින කොට මමත් වැන්දා. බුදු පිළිම වහන්සේ දිහා බලා ගෙන ඉන්න කොට හරිම සතුටක් දැනෙනවා.”

“අන්න හොඳයි. එතනදි මැගිලින් පන්සිල් සමාදන් වුණා නේද?”

“ඔව් පුෂ්පා කියන කොට මමත් කීවා”

“බෝධි පූජාවට ගිය දවසේ ඉඳලා මැගිලින් ප්‍රාණඝාත කළේ නෑ. අනුන් සතු දේ සොර සිතින් ගත්තේ නෑ. කාමය වරදවා කටයුතු කළේ නෑ. බොරු කීවේ නෑ. සුරාපානය කළේ නෑ. ඒ නිසා දැන් මැගිලින් හොඳ උපාසිකාවක්. දැන් හිතන්න මේ දවස්වල පන්සිල් ආරක්ෂා කළ සත්‍යයේ බලයෙන් මම සුවපත් වෙම්වා. මගෙන් කෙනෙකුට හිරිහැර නොවේ. පස් පව් නොකරමි. ඒ සත්‍යයේ බලයෙන් මම සුවපත් වේවා. බන්ධනවලින් නිදහස් වෙම්වා කියලා හිතන්න.”

“ඔව්! මට දැන් පුදුම සුවයක් දැනෙනවා. හිතට නිදහසක් දැනෙනවා. මේ පුෂ්පගෙ කුණු ජරා ශරීරය ඇතුළට ආයෙත් රිංගන්න හිරිකිතයි. කියලත් දැනෙනවා.”

“හොඳයි හොඳයි. මැගිලින් දැන් තෙරුවන් සරණ ගිය උපාසිකාවක්. මම දැන් පුෂ්පාට කියනවා. දානයක් දීලා මැගිලින් උපාසිකාවට පින් අනුමෝදන් කරන්න කියලා. ඔය ඉඩමේ තියෙන දෙල් කොස් පොල්, කරපිංචා, වැනි දේවලුත් ඒ දානයට ගන්න කියලා. ඒ වෙනතුරු මැගිලින් බෝධින් වහන්සේ ළඟට ගිහින් පින් දහම්වලට හිත යොමු කරන්න.”

“හොඳයි මම දැන් ඉස්සර හිටියාට වඩා සැහැල්ලුයි. උසස්. මම කෝට්ටේ නා බෝධීන් වහන්සේ ළඟට යනවා.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: