Posted by: lrrp | November 21, 2011

කරුමක්කාර හූනියම්

“අණ – වින, කොඩිවින ගැන බොහෝ කතන්දර අහන්න ලැබෙනවා. සමහරුන් හිතන්නේ අණ – වින කොඩිවින කියන්නේ ගුප්ත ශාස්ත්‍රයට කියන තවත් නමක් කියලයි. මොකද ඒ තරමටම මේ කොඩිවින ගුප්ත ශාස්ත්‍රය එක්ක බැඳිලා තියෙනවා. කොඩිවින – අණ වින, වැල් පැන්නුම්, ඉරි පැන්නුම්, රූප කටු ගැසුම්, පැතලි ගිනියම්, අංගම්, පිල්ලු, භූමි පාළු, බහිරව පාළු, මළ යක්ෂ බාර, යනාදී වශයෙන් කොඩිවින කුල, එහෙම නැත්නම් ආකාර රාශියක් දකින්න ලැබෙනවා. හැබැයි මේ මොන ක්‍රමයට කළත් කොඩිවින කියන්නේ නිසැකයෙන්ම අපාගත වෙන දරුණු පාප කර්මයක්.”

මෙවරත් ගුප්ත ශාස්ත්‍රයේ යථාර්ථය හා මිථ්‍යාව පිළිබඳව අදහස් පළ කරනුයේ ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥ මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා ය.

“කෙනෙකු ගෙන් පළිගන්න ඕන වුණහම සමහරුන් තඹ තහඩුවක යන්ත්‍ර ඇඳලා ඒක රත් කරනවා. මේ ගිනියම් කිරීමත් එක්කම අදාළ පුද්ගලයාට උණ, උදර රෝග, හොරි දද, කුෂ්ඨ හැදෙනවා. තුන්දොස් කිපිලා අනේක දුක් විඳිනවා. හැබැයි මතක තියා ගන්න මේවා කරන අයත් කරවන අයත් ඊට වඩා අපා දුක් විඳිනවා. වැල් පැන්නුම් කියන්නේ තවත් පාප කර්මයක් වස – විෂ වැල් මතුරලා අදාළ පුද්ගලයාව ඊට උඩින් පන්නවලා ඉන් පස්සේ හූනියම් කරනවා.

කොඩිවින කියන්නේ නිසැකයෙන්ම කෙනෙකු ගේ මරණය අපේක්ෂාවෙන් කරන දෙයක්. නමුත් හූනියම් කියන්නේ ලෙඩ කරලා, වස්තු භංග කරලා, පණ පිටින් දුක් විඳින්නට සැලැස්වීමයි. සමහර කොඩිවිනවලින් මුළු පවුලක්ම කම්මුතු කරන්න පුළුවන්. වරිගයක්ම විනාශ කරන බලගතු කොඩිවින ගුප්ත ශාස්ත්‍රයේ සඳහන් වෙනවා. පේ‍්‍රතබාර කියන පාප කර්මය නිසා මුළු පවුලක්ම හිඟමනට පත් කරවන්න පුළුවන්. සමහර කොඩිවින – හූනියම් නිසා ඒ ගෙදරට විතරක් නෙවෙයි අසල්වාසීන්ටත් හානි ඇති කරවන්න පුළුවන්. ආගෝර පේ‍්‍රතබාර කියන ක්‍රමයේදී ගෙවල්වලට ගල් වදිනවා.”

“…ඉරි පැන්නුම් කියන්නේ තවත් කරුමක්කාර පාපයක්. සොහොන් අඟුරු අරගෙන පාරේ ඉරි අඳිනවා. ඒ උඩින් යන පුද්ගලයාගේ දෙපා කොර කරවන්නයි මෙහෙම කරන්නේ. රූප කටු කියන්නේ තවත් සමාවක් නැති පාපයක්. රූප ඇඳලා නිල බලා කටු ගහනවා. අල වර්ග අරගෙන සර්පයන් ගේ දළ පස් පැඟිරි කටු, පස්ලෝ කටු ගහලා ඒක හිර කරනවා. ඉටි රූප ගිනියම් කිරීම තවත් ක්‍රමයක්. මේ හැම දේකින්ම අරමුණු කරන්නේ කෙනෙකු ගේ විනාශයයි. රූපවලට කටු ගැහුවම සන්ධි ඉදිමෙනවා. නියමිත කාලයේදී නිසි ප්‍රතිකර්ම නොකළොත් ඉන් පස්සේ ගොඩගන්න අමාරුයි.”

…ගුප්ත ශාස්ත්‍රය භාවිත කරලා තහංචි දැමීම තවත් ආකාරයක්. ගං තහංචි, බිම් තහංචි, වගේ ආකාර ගණනාවක් තියෙනවා. පලදාව හොරුන්ගෙන් ආරක්ෂා කර ගන්නත් මේ තහංචි උපයෝගී කර ගන්නවා. නියම ගුප්ත ශාස්ත්‍රය අනුව තහංචි පැනෙව්වොත් යම් පලදාවක් අනවසරයෙන් භුක්ති වින්දොත් ඒ පුද්ගලයා දරුණු විදිහට ලෙඩ වෙනවා. අරමුණ මොකක් වුණත් මේකත් මහා පාප කර්මයක්. රැකියා තහංචි, මඟුල් තහංචි, විද්‍යා තහංචි වගේ තහංචි වර්ග රාශියක් තියෙනවා. මේ තහංචිය තියෙද්දී කොයිතරම් වෙහෙසුණත් තමන්ගේ ඉඩමෙන් පලදාවක් ගන්න බැරිව යනවා.”

“…පිල්ලු කියන්නේ පුරාණ ගුප්ත ශාස්ත්‍රයේ එන තවත් ක්‍රමයක්. මේක කරන්නේ තුන් කුළුඳුල් දරුවෙක් අරගෙනයි. හැබැයි මේක කරන හැටි මම විස්තර කරන්නෙ නෑ. මොකද මෝඩ වඳුරන්ට දැලි පිහි දීම අති භයානකයි. වඳුරන් ලවා සපා කෑම තවත් ක්‍රමයක්. ඉන් පස්සේ ජල භීතිකාව වගේ තත්ත්වයක් හට ගන්නවා. අංගම් යැවීම කෙනෙකුට ශාරීරිකව රිදවන්න කරන තවත් ගුප්ත ක්‍රමයක්. මේවා සවිස්තරව නොදක්වන්නේ ඒවා සමාජගත කිරීම භයානක නිසයි.”

“ගුරුකම් – හූනියම් නිසැකයෙන් ම පාප කර්ම වුණත් හාස්‍යය පිණිස ගුප්ත ශාස්ත්‍රය භාවිත කරන අවස්ථාවන් දකින්න ලැබෙනවා. පොදු ළිඳට නාන්න ගියහම ස්ත්‍රීන්ගේ රෙදි කඩා වැටෙන ගුරුකම් තියෙනවා. මඟුල් පෝරුවේදී දෙන්නා ටොකු ඇණ ගන්නා ගුරුකම් තියෙනවා. කක්කෝට්ටේ ගුරුකම කළහම එළියට බහින්න බෑ කපුටෝ කොටනවා. මෙන්න මේ වගේ විහිළු තරමක් අහිංසකයි. ඒත් නොහොබිනා වැඩ හැටියට අර්ථ දක්වන්නත් පුළුවන්.”

“…මේ විස්තර කියවන කොට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙනං අපිටත් කවුරුහරි මේ කොඩිවිනය කරලා ඇති. මේ හූනියම කරලා ඇති කියලා. සමහරුන් බොරුවට බය වෙලා රටේ ලෝකේ හැම තැනම ශාස්ත්‍ර බලන්න පේන බලන්න දුවනවා. ඒක තේරුමක් නැති වැඩක්. කොඩිවින – හූනියම් පටස් ගාලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මතක තියා ගන්න කෙනෙකුට කොඩිවින – හූනියම් කරන්න පුළුවන්නම් ඒවා කපන්නත් පුළුවන්. හොඳ ඇදුරෙකුට දූත ලකුණුවලින් කියන්න පුළුවන් මෙතන කොඩිවිනයක් හූනියමක් කරලා තියෙනව ද කියලා.

සමහර කොඩිවින – හූනියම් වැරදුණොත් ඒක කරපු කෙනාටම ආපහු කැරකෙනවා. එහෙම නැතත් මෙලොවදීත් එලොවදීත් පඩිසන් දෙනවා. මේ පාපයෙන් කවදාවත් ගැලවෙන්න බෑ. සමහරු ක්ෂණික කෝපයට කොඩිවින කරන්න යනවා. කෙනෙකුගේ දියුණුව දකින්න බැරිව හූනියම් කරනවා. මතක තියා ගන්න මේ අය කල්ප ගණන් සංසාරයේ පේ‍්‍රත ආත්ම ලබලා ගිනි වතුර ඇඟ වැටුණා වගේ දුක් විඳිනවා. කොඩිවිනයක් කළොත් මෙලොවත් පරාදයි. පරලොවත් පරාදයි.”

“…දැන් අපි මේ කතාවේ අවසානයට එමු. කොඩිවින – හූනියම් කරන්නත්, ඒවා කපන්නත් දක්ෂ අය ඉන්න වගට නොයෙක් ප්‍රචාර යනවා. මෙතන ලොකු මිථ්‍යාවක් තියෙනවා. කිසිමදාක තමන්ගේ ධනය – ශ්‍රමය – කාලය වැය කර ගෙන අනුන්ට හූනියම් – කොඩිවින කරන්න යන්න එපා. කොඩිවින – හූනියම් කරන තුට්ටු දෙකේ ඇදුරෝ දිහා බලන්න. ජීවත් වෙන්නේ පෙරේතයෝ වගේ. අතේ සතේ නෑ. ඒ අය මැරිලා ඉපදෙන්නෙත් පෙරේතයෝ හැටියටයි. එහෙනං හිතාගන්න සල්ලි දීලා කොඩිවින – හූනියම් කරවන අය ඊටත් වඩා දුක් විඳිනවා.

කල්ප ගණන් දුක් විඳිනවා. තවත් වංචාකාරයෝ නැති හූනියම් – කොඩිවින මිනිස්සුන්ගේ ඔළුවට දානවා. කොඩිවින – හූනියම් කපන්න කියලා සල්ලි ගසා කනවා. මේ වගේ වංචාකරුවන්ගෙන් පරෙස්සම් වෙන්න. හූනියම් – කොඩිවින කිය කියා හිත කරදර කරගන්න ඕනේ නෑ. අනුන්ට කොඩිවින කරන්න හිතන්න ඕනෙත් නෑ. එය හැම දේටම වඩා කර්ම විපාකය බලවත්. ඒ මහා බලවේගය යට කරන්න කිසිම ගුප්ත ශාස්ත්‍රයකට හැකියාවක් නෑ.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: