Posted by: lrrp | November 21, 2011

ජාතක පොත වත්මන් පරපුරට දිය යුතු අපේ මහා දායාදයයි – පණ්ඩිත සිරි තිලකසිරි

1938 වසරේ උපන් පණ්ඩිත සිරි තිලකසිරි දැනට මෙරට සිටින ප්‍රාචීන භාෂා පිළිබඳ ප්‍රාමාණික දැනුමකින් යුත් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල මෙහෙවරක් කරන නිහඬ විද්වතෙකි. හේ කිසි දිනක තම නම ඉදිරියෙන් සිය උපාධි නාම හෝ වෙනත් විශේෂණ කිසිවක් භාවිත නොකරයි. තමා කරන කාර්යයන්ගෙන් තමා පිළිබඳ ව අන් අය අවබෝධ කරගත යුතු විනා උපාධි පට්ටම් අනුව තමා කියවනු දැකීමට හේ පි‍්‍රය නොකරයි. සම්භාව්‍ය ගද්‍ය පද්‍ය සාහිත්‍ය කෙරෙහි අසීමිත ඇල්මකින් යුතු ඔහු, සිංහල පාඨකයා වෙත තිළිණ කළ සම්භාව්‍ය කෘති සංස්කරණ, පැරැණි සාහිත්‍ය පිළිබඳ නව පරපුරට දොරටු විවර කිරීමක් බඳු විය. සිරි තිලකසිරි විද්වතාගේ නවතම ප්‍රතිනිර්මාණ ප්‍රවේශය වන්නේ පන්සියපනස් ජාතක පොත සරල සිංහලයට නැඟීමේ මහඟු කාර්යයයි.

කාණ්ඩ 24 කින් යුතුව ගොඩගේ ප්‍රකාශනයක් ලෙස නිකුත් වූ එහි සංස්කාරක මණ්ඩලයේ ප්‍රධානියා වූයේ ඔහු ය. සිංහල සාහිත්‍යයට පමණක් නොව යුරෝපීය සාහිත්‍යයට පවා මහඟු තෝතැන්නක් වූ ජාතක පොත පරිවර්තනය කිරීමට මඟ සලසමින් මුද්‍රණය කිරීමේ වගකීමට උරදුන් සිරිසුමන ගොඩගේ මහතා ප්‍රමුඛ එහි කාර්ය මණ්ඩලයට අපි ස්තුතිවන්ත වන අතර ම, මේ සද්ක්‍රියාවට දායක වූ සංස්කාරක මණ්ඩලයට ද අපි ගෞරවය පුද කර සිටිමු. වත්මන් පරපුරට ජාතක පොත මඟින් ලබාගත හැකි ජීවන දර්ශනය මෙන්ම ඉසියුම් කලා ශක්‍යතාවයන් පිළිබඳ ව ද බෙහෙවින් සැලකිලිමත් ව කළ මේ පරිවර්තනය සිංහල සාහිත්‍යයේ නිම් වළලු පුළුල් කිරීමට දායක වනු නිසැක ය.

ජාතක පොත රචනා වෙන්නෙ කුරුණෑගල යුගයේ බවයි බොහෝ දෙනාගේ මතය. එහෙත් මා දන්නා තරමින් ඔබ දරන්නේ මීට වඩා වෙනස් මතයක්.

කුරුණෑගල යුගය කියන්නේ 14 වැනි ශතවර්ෂය. මේ 21 වැනි ශතවර්ෂය. එතකොට අවුරුදු 700 කට එපිට ජාතක පොත රචනා වුණා කියලා තමයි පිළිගැනීම. ජාතක පොත මුළුමනින් ම රචනා වුණේ කුරුණෑගල යුගයේ කියලා මම විශ්වාස කරන්නෙ නැහැ. සමහර ජාතක කතාවල අන්තර්ගත භාෂාවේ තිබෙන්නේ පොළොන්නරු යුගයේ භාෂා ලක්ෂණ.

අමාවතුරේ තියෙන දිට්ඨ මංගලිකා කතාව, මාතංග ජාතකය වගේ ඒවායෙත් බුත්සරණේත් ජාතක කතා සාරාංශ වශයෙන් තිබෙනවා. ඒ වගේම එහි අගට වන්නට වෙස්සන්තර ජාතකය සම්පූර්ණයෙන්ම සිංහලයට නඟලා තියෙනවා. දඹදෙණි කාලය වන විට මම හිතන ආකාරයට ‘දහම් සරණ’ කෘතියේ අඩංගු ජාතක කතා සියල්ල ම සාරාංශ කර දක්වලා තිබෙනවා.

බුත්සරණේ එන වෙස්සන්තර ජාතකය ජාතක පොතේ තියෙනවා මඳ වෙනස්කම් සහිතව. උම්මග්ග ජාතකය දඹදෙණි යුගයේ ලියැවුණා කියලා පිළිගැනීමක් තියෙනවා. මේක කුරුණෑගල යුගයේ නම් උම්මග්ග ජාතකය මේකට ඇතුළත් විය යුතුයි. එහෙත් උම්මග්ග ජාතකය වෙනම පොතක් වශයෙනුත් තියෙනවා.

උමංදාව කියලා උම්මග්ග ජාතකයේ ම තව පොතක් දඹදෙණි යුගයේ ලියැවුණා. පූජාවලියේ තියෙනවා සාරාංශගත ජාතක කතා 160 ක්. බෞද්ධ සාහිත්‍යයේත් සිංහල සාහිත්‍යයේත් හැම තැනම වගේ ජාතක කතා පැතිරිලා තියෙනවා. සමහර ජාතක කතා කුරුණෑගල කාලයේදී මෙයට ඇතුළත් කරන්න ඇති. කුරුණෑගල යුගයේදී තමයි හතරවන පැරකුම්බා රජ්ජුරුවෝ මේ කතා සම්පූර්ණයෙන් පරිවර්තනය කිරීමේ කාර්යය අරඹන්න ඇත්තේ.

මහාවංශයේ සඳහන් වෙනවා පැරකුම්බා රජ්ජුරුවෝ සෝලිය කස්සප කියලා හාමුදුරුවෝ කෙනෙකුගෙන් ජාතක කතා තුන්සැරයක් අහලා ඒවා සිංහලයට නැඟුවා කියලා. මහාවංශයේ තමයි මෙහෙම සඳහන් වෙන්නෙ. ඒ වුණාට ජාතක පොතේ කොහේවත් රජ්ජුරුවන්ගේ නම සඳහන් වෙන්නෙ නැහැ.

පරාක්‍රමබාහු රජුගේ නම සඳහන් නොවීමට හේතුව වශයෙන් ඔබ දකින්නෙ කුමක් ද?

ජාතක පොත අවසන් වන වකවානුව වෙනකොට මේ රජතුමා මියයන්නට ඇති. ගම්පළ යුගයේ මෙය නිමාවන්නට ඇති. නිමාවන කාලය වන විට පරාක්‍රමබාහු රජතුමා නොසිටිය නිසා නම සඳහන් නොකරන්න ඇති. හැබැයි පරාක්‍රමබාහු රජ්ජුරුවෝ මේ කාර්යය කරන්න පටන්ගත්තා කියන එකට සාධක තියෙනවා, දළදා පූජාවලියේ. දළදා පූජාවලිය ලියලා තියෙන්නේ හතරවන පරාක්‍රමබාහු රජුගේ දවසේ. මෙහි දැක්වෙනවා ජාතක කතාවන් ලියවාගෙන කියලා.

තත්කාලීන උගත්තු රාශියක් විසින් ලියවාගන්න ඇති කියලයි සඳහන් වෙන්නෙ. මහාවංශයේ සඳහන් වෙනවා පරාක්‍රමබාහු රජු මෙය ලියවාගෙන මේධංකර කියලා හාමුදුරු නමකට එය ආරක්ෂා කරගන්න පැවරුවා කියලා. ඒවා කොයිතරම් සත්‍යය ද කියලා කියන්න බැහැ. මොකද සියවස් ගණනාවක් ගිහින් තමයි මේවා වාර්තා වෙලා තියෙන්නෙ. එහෙත් අපිට දළදා පූජාවලිය විශ්වාස කළ හැකියි. ඒ අනුව මේ රජතුමා ජාතක කතා ලියැවීම අරඹන්න ඇති. ගම්පළ යුගය පමණ වන විට ජාතක කතා ලියා සම්පූර්ණ කරන්න ඇති කියලයි මම හිතන්නෙ.

මෙය රචනා කරන ලද යතිවරුන් පිළිබඳවත් ඉතිහාසයේ නිශ්චිත තොරතුරු සඳහන් වෙන්නෙ නැහැ. මේ ජාතක කතා නිර්මාණකරුවන් පිළිබඳ ඔබ කවර අදහසක් ද දරන්නෙ.

මෙය එකිනෙකට වෙනස් පිරිසක් විසින් කරන ලද්දක්. ජාතක කතාවල ශෛලීන් එකිනෙකට සන්සන්දනය කළ විට එය නිගමනය කළ හැකියි. සමහරුන්ගේ ජාතක කතා රචනය හරි සිත්ගන්නා සුලුයි. සමහරුන්ගේ අනුවාද ඒ තරම් සාර්ථක වී නැහැ. ඒක හොඳට පැහැදිලිව පෙනෙනවා පාලි ජාතක අටුවාව එක්ක සන්සන්දනය කරලා බලනකොට.

පසුගියදා ඔබේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් යුතුව පන්සිය පනස් ජාතක පොත සරල සිංහලයට නැඟුණා. එහිදී පාලි ජාතක අටුවාව හා සන්සන්දනාත්මක විග්‍රහයක් කිරීමට ඔබට හැකි වූවා ද?

මේ ජාතක කතා සංස්කරණය කෙරෙද්දි පන්සිය පනස් ජාතක පොතක් පාලි ජාතකට්ඨ කතාවත් සන්සන්දනය කරමින් තමයි මම ඒ කාර්යය කළේ. පාලි ජාතකට්ඨ කතාවේ තියෙන සමහර කතා වැරැදි විදියට පරිවර්තනය කරලා තිබුණා. සමහර ඒවා අත්හැරලා පරිවර්තනය කරලා තිබුණා. සමහර තැන් වඩා වර්ණනාත්මක ශෛලියෙන් කරලා තිබුණා. තවත් සමහර කතා පාලි ජාතකට්ඨ කතාවේ තියෙන විදියටම පරිවර්තනය කරලා තිබුණා. සමහර ජාතක කතාවල අවස්ථා, සිද්ධි, ගලා යාම අතර සබඳතාවක් නැහැ.

අපි ඒ කරුණු, මඟහැරීම් සොයා ගත්තේ පාලි අටුවාවෙන්. ජාතක පොතේ තියෙන සමහර වචන ශබ්දකෝෂයේ නැහැ. දෙමළ ජාතක අටුවා ගැටපදය ගැන රාහුල හාමුදුරුවෝ සඳහන් කරනවා පංචිකාප්‍රදීපයේ. එය පැරැණි දෙමළ භාෂාවෙන් ජාතක පොතට ලියන ලද ගැටපදයක්. පාලි ජාතක අටුවාවේ දෙමළ වචන ගොඩක් සඳහන් වෙන්න එය හේතුවක් වන්නට ඇති. දඹදෙණි යුගයට පස්සෙ දෙමළ ආභාසය සිංහල භාෂාවට ගොඩක් ලැබුණා. මේ සියල්ල පිළිබඳ අධ්‍යයනයකින් යුතුවයි අපි මේ කාර්යය කළේ.

ජාතක කතා ලංකාවට හඳුන්වා දෙන්නෙ ක්‍රි. පූ. 03 වැනි සියවසේ, මහින්දාගමනයෙන් අනතුරුවයි. එහිදී පාලි අටුවා කතා හෙළටුවා නමින් සිංහලයට නැඟුවා. ජාතක කතා ව්‍යාප්තියට එය බලපෑම් කළේ කවරාකාරයෙන් ද?

ජාතක කතා ලංකාවට එන්නේ මගධ භාෂාවෙන් කියලයි සැලකෙන්නෙ. මහාවංශයට අනුව මේවා සිංහලයට නඟන්නේ මිහිඳු හාමුදුරුවෝ. මුලින් මගධ බසින් තිබුණු ජාතක කතා සිංහලයට නඟා පස්වැනි සියවසේදී බුද්ධඝෝෂ හිමියන් පාලියට නඟනවා. ඒ තමයි පාලි ජාතක අට්ඨකතාව. එතකොට මේ කාලය ඇතුළත මුළු ලංකා සමාජයේම ජාතක කතා පැතිරී ගියා. එය පතුරුවා හැරියේ ජාතක භාණකයන්. සමහර ජාතක කතාවල ලංකාවේ සිටි භික්ෂුන් වහන්සේලාගේ නම් පවා ඇතුළත්.

පන්සිය පනස් ජාතක පොත සරල සිංහලයට නැඟීම ඉතා භාරදූර කාර්යයක්. මේ කාර්යයේ ව්‍යාවෘත වීමේදී ඔබ ඇතුළු සංස්කාරක මණ්ඩලයට මුහුණ පෑමට සිදු වූ ගැටලු කවරේ ද?

පන්සිය පනස් ජාතක පොතේ තියෙන පැරැණි සම්භාවිත භාෂාව රැකෙන අයුරින් මේ පරිවර්තනය කළ යුතු බව අපි තේරුම් ගෙන සිටියා. පැරැණි ගද්‍ය රචනා ශෛලිය තමයි අපි පරිවර්තනය සඳහා යොදා ගත්තෙ. මේ කාර්යය කරන්න ඕන කියලා සිරිසුමන ගොඩගේ මහතාට යෝජනා කළේ 2003 දී විතර මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරුයි.

ගොඩගේ මහතා මේ පිළිබඳ එක් එක් උගතුන් සමඟ සාකච්ඡා කළා. ඊට වසරකට විතර පස්සේ ගොඩගේ මහතා මේ කාර්යය කළ හැක්කේ කෙසේ ද යන්න සාකච්ඡා කරගැනීම සඳහා ලේඛකයන් 24 කින් සමන්විත වූ රැස්වීමක් කැඳවූවා. ඒ සභාවේදී ප්‍රධාන සංස්කාරක ධූරයට මගේ නම යෝජනා කළේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්. අනතුරුව මේ කාර්යය බාරගත් සමහරු යම් යම් හේතු නිසා අයින් වුණා. ඊට පස්සෙ 17 දෙනෙක් තමයි මේ කාර්යයට ඉතිරි වුණේ.

ඔවුන් ජාතක කතා සිංහලයට නඟා අත්පිටපත මට බාර දුන්නට පස්සේ මම එය පන්සිය පනස් ජාතක පොත හා පාලි ජාතක අටුවාව සමඟ සංසන්දනය කළා. එතකොට වෙනස්කම් ගොඩක් හමුවුණා. ඒවා මම සකස් කළා. එක එක අයගේ විවිධ භාෂා ක්‍රමවේද මම ඒකමිතියකට සැකසුවා.

මේ කාර්යය සඳහා කොපමණ කාලයක් වැය වූවා ද?

වසර 8 ක් පමණ වැය වුණා. ඇත්තෙන්ම ඒක පහසු කාර්යයක් නොවේ. මේ ජාතක කතා සිංහලයට පෙරළු අය විවිධ රැකියාවල නිරත, විවිධ වැඩ කටයුතුවල නිරත කාර්යබහුල පුද්ගලයන්. ඔවුන් ඒ සියලු කාර්යයන් අතර තමයි මෙයත් කළේ. අපේ අරමුණ වුණේ ජාතක කතාවේ අන්තර්ගතය සම්පූර්ණයෙන්ම පාඨකයාට ඉදිරිපත් කිරීමයි.

යුරෝපීය සාහිත්‍යයට ජාතක කතා බෙහෙවින් බලපෑ බව අප දන්නවා. පංචතන්ත්‍රය, අරාබි නිසොල්ලාසය, හිතෝපදේශය වැනි කෘති බිහිවීමට ජාතක පොතෙන් සිදුවූ බලපෑම පිළිබඳව කතා කළොත්.

විශ්ව සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨතම කතා වස්තු ඇත්තේ ජාතක පොතේ බව බටහිර පඬිවරුන් පවා පිළිගෙන තියෙනවා. ගිණිකොන ආසියාවේ සියලුම රටවල ජාතක කතා බෙහෙවින් ජනපි‍්‍රය වුණා. මෙය අප සතු විශාල දායාදයක්. මෙය වත්මන් පරපුර අතට දිය යුතුයි.

බටහිර ජාතිකයන් විවිධ අධ්‍යයන කොට ජාතක පොතේ අගය වටහාගෙන තිබුණත් අපේ ඇතැම් දෙනා මේ සාහිත්‍ය කෘතියේ තියෙන වටිනාකම ගැන දන්නේ නැහැ. වත්මන් පරපුර බටහිර මතවාද කරපින්නාගෙන විකාර ලියද්දි බටහිර ලේඛකයන්, නිර්මාණකරුවන් අපේ පැරැණි ගද්‍ය සාහිත්‍ය සොයාගෙන එනවා. ජාතක පොත ගැන නියමාකාර විග්‍රහයක් කළේ මාර්ටින් වික්‍රමසිංහයන් වැනි අයයි.

මේ කාර්යය සඳහා ප්‍රාචීන භාෂා පිළිබඳ ඔබේ දැනුමත්, දෙමළ හා ඉංගී‍්‍රසි භාෂා පිළිබඳ දැනුමත් බෙහෙවින් ඉවහල් වන්නට ඇති.

මම භාෂාත්මක වශයෙන් ගත් දැනුම මේ සඳහා ඉතා උපයෝගී වුණා. මේ තරම් ගැඹුරු එහෙත් රසයෙන් පිරුණු සාහිත්‍යයක් මට ස්පර්ශ කරන්න ලැබුණේ ඒ භාෂා දැනුම නිසයි. අද බොහෝ දෙනකුට ප්‍රාචීන භාෂා පිළිබඳ දැනුමක් නැහැ. එය කනගාටුවට කරුණක්. පිරිවෙන් අධ්‍යාපනය ලැබීම මේ භාෂා දැනුම ලබාගන්න මට බෙහෙවින් බලපෑම් කළා. විශ්වවිද්‍යාලයේදී මම කළේ සිංහල විශේෂවේදී උපාධියක්. ඒ සියල්ල මගේ භාෂා දැනුම වැඩෙන්න උපකාරී වුණා.

පිරිවෙන් අධ්‍යාපනය බිඳ වැටීම ප්‍රාචීන භාෂා උගත්තු අපට අහිමි වීමට ප්‍රබල හේතුවක් වුණා.

පැහැදිලිවම ඔව්. දැන් අද පාලි සංස්කෘත උගත්තු නැහැ. මලලසේකර, අධිකාරම්, සරච්චන්ද්‍ර, සිරි ගුනසිංහ, වගේ උගතුන්ගෙන් පස්සේ ප්‍රාචීන භාෂා උගතුන් ක්‍රමයෙන් අඩු වුණා. ඩී. ඊ. හෙට්ටිආරච්චි, ඇම්. බී. ආරියපාල, මහගමසේකර වගේ අය නිර්මාණ ලෝකය වෙනස් කරන්න දායක වුණේ මේ භාෂා දැනුම නිසයි. සිංහල භාෂාවෙන් වැඩ කරනවා පාලි සංස්කෘතත් ටිකක් හරි දැනගන්න ඕන.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: