Posted by: lrrp | November 21, 2011

මිථ්‍යා බලවේග පසුපස යමින් මානසික සුවය පැතීම නිරර්ථක වෑයමකි

සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුශාසක මහනුවර අස්ගිරි මහා විහාරවාසී

ශාස්ත්‍රපති මැදගම ධම්මානන්ද හිමි

 

සොබා දහමේ විපර්යාස නිසා සිදුවන විවිධ උවදුරුවලින් බේරීමට, ලෙඩ දුක්වලින් මිදීමට, අමනුෂ්‍ය බිය දුරු කර ගැනීමට ඈත අතීතයේ සිටම මිනිස්සු ගස්, ගල්, පර්වත, වනාන්තරවල, ආරාම හා චෛත්‍යයන් ගේ පිළිසරණ ප්‍රාර්ථනා කළහ. ඒවාට වැඳුම් පිදුම්, පුද පූජා කළහ. එහෙත් ඔවුන් ගේ ලෙඩ දුක් හෝ බිය දුරු නොවුණි.

ඒ සරණ යාම උතුම් නොවන බවත්, එවැනි දේ සරණ යාමෙන් කිසි කලෙක දුකින් නිදහස් විය නොහැකි බවත් තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළහ. යම් පුද්ගලයෙක් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයේ සරණ යයි ද, ඔහු, දුක යනු කුමක් ද? දුක ඇතිවීමේ හේතුව කුමක් ද? දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මඟ නුවණින් අවබෝධ කොට සියලු දුක් කරදරවලින් මිදෙන්නේ ය. තෙරුවන් සරණ යාම ඉතා උතුම් කරුණක් බව ධම්ම පදයේ බුද්ධ වග්ගයේ එන මෙහි සඳහන් ගාථා රත්නයෙන් අර්ථවත් කරයි.

මේ හා සම්බන්ධ තවත් ගාථා ධම්ම පදයේ සඳහන් ය. අග්ගිදත්ත නම් බමුණකු අරභයා බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයන් දේශනා කොට වදාළහ.

පසුබිම් කතාව

අග්ගිදත්ත බමුණු තෙමේ කොසොල් රජු ගේ පුරෝහිතය. සිය පිය රජුට ද රාජ්‍ය පාලනයෙහි අවවාද අනුශාසනා ලබා දුන් හෙයින් පුත් කොසොල් රජු ද මේ බමුණාට බොහෝ සැලකිලි දැක්වී ය. මහලු වයසට පැමිණි අග්ගිදත්ත බමුණු තෙමේ රජුගෙන් සමුගෙන තපසට යන්නේ ය. යහපත් හැසිරීම් ඇති නිසා බමුණා ගැන පැහැදුණු තවත් පිරිස් ඔහු සමඟ එක් වූහ.

අග්ගිදත්ත බමුණා ඇතුළු පිරිස තවුස් වෙස් ගෙන වනයේ අරමක වෙසෙති. ඔවුහු එක්ව එක් කරුණක් ගැන සම්මුතියකට එළඹුණහ. ඒ සිත කිළිටි කරන කෙලෙස් සිතිවිලි හටගත් සැණින් එය ඉවත් කර දැමීම සඳහා වැලි ගොටුවක් ගෙන ගොස් තෝරා ගත් ස්ථානයකට දැමීමට ය. කලක් ගත විය. වැලි ගොටුව බැගින් එක් වී එහි මහා වැලි ගොඩක් තැනුණි. ඒ වැලි ගොඩ වාසභවන කරගත් මහා නාගයෙකි. ඌ මහා තෙද බලැති නා රජෙකුයි සිතූ බොහෝ පිරිස් පැමිණ නාගයා පුදන්නටත්, පිහිට යදින්නටත් පටන් ගත්හ. අග්ගිදත්ත තවුස් තෙමේ ද බියෙන් තැති ගත් කල ඒ බිය දුරු කිරීමට, විපතින් ගැලවීමට පර්වත, ගස් ගල්, ආරාම සරණ යාම සුදුසු යැයි දෙසුම් කෙළේ ය.

අග්ගිදත්ත බමුණා ඇතුළු තවුස් පිරිසට ධර්මාවබෝධය කොට රහත්ඵල ලැබීමට පවා හේතු ඇති බව දුටු බුදුරජාණන් වහන්සේ එහි වැඩම කොට නා රජු දමනය කළහ. නාගයාගේ බුහුමන් ද ලැබූහ. මේ දුටු පිරිස් පුදුමයට පත්වූහ. ඒ අවස්ථාවේ අග්ගිදත්ත තවුසා ප්‍රමුඛ පිරිස අමතා පර්වත හා වනාන්තර ද, ආරාම ද සරණ යාමෙන් දුකින් හා බියෙන් මිදිය නොහැකි බවත්, බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් සරණ ගොස් චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමෙන් සියලු දුකින් මිදිය හැකි බවත් පැහැදිලි කරමින් යථොක්ත ගාථා රත්නයන් දේශනා කොට වදාළහ.

ඇතැම් දේශකයෝ මේ අදහස මතුපිටින් ග්‍රහණය කර ගනිමින් බුදුරජාණන් වහන්සේ විසින් චෛත්‍ය හා බෝධි වන්දනාව ප්‍රතික්ෂේප කරන ලදැයි පවසති. ඒ පිළිබඳ දේශන පවත්වමින් බෞද්ධයින් අතර මිථ්‍යා මත පතුරුවති. ඔවුන් උත්සාහ කරන්නේ දුරාතීතයේ පටන් බොදු ජනතාව ඉතා ශ්‍රද්ධාවෙන් සිදු කරන දාගැබ් හා සිරිමහ බෝ සමිඳුන් වන්දනා කිරීමේ සිරිතෙන් බෞද්ධයා දුරස් කිරීමටය. මේ දේශකයෝ බොහෝ විට සූත්‍ර ධර්ම මැනවින් කියවා නැති, ධර්මය ගැන මනා වැටහීමක් නැති ගිහි පුද්ගලයෝ වෙති. යථෝක්ත ගාථා රත්නයේ පර්වත, වන ලැහැබ් ආදියෙහි පිහිට පැතීම යන්නෙන් අදහස් කරන්නේ රජුන්ට හා සොරුන්ට බියෙන් ඒවා ආශි‍්‍රතව සැඟ වී සිටීමය. එසේත් නැතිනම් ඒවාට අරක් ගෙන සිටින බව විශ්වාස කරන දෙවියන් ගේ හා යකුන් ගේ පිහිට පැතීමය.

යථෝක්ත ගාථා රත්නයේ ‘රුක්ඛචේත්‍යානි’ යනුවෙන් අර්ථවත් කළේ අමනුෂ්‍යයන් අරක්ගෙන ඇතැයි සිතන පූජනීය වෘක්ෂයන් ය. නිධිකණ්ඩ සූත්‍ර අට්ඨ කතාවේ පැහැදිලි කර ඇති ආකාරයට ‘චේතිය’ යනු පූජා ලබන වස්තූන් ය. ශ්‍රද්ධාවත් බෞද්ධ ජනතාව ගේ ගරු බුහුමනට, වන්දනාමානයට පාත්‍ර වී ඇති ශාරීරික, පාරිභෝගික, උද්දේසික යන ත්‍රිවිධ චෛත්‍යයන් ද පිදුම් ලබන වස්තූන් යන අරුතින් ‘චේතිය’ වශයෙන් සැලකීමට පුළුවන. මෙහි දී අවධාරණයෙන් සිහිපත් කළ යුතු කරුණක් තිබේ. මේ ත්‍රිවිධ චෛත්‍යයන් දෙවියන් හෝ යකුන් අරක් ගත් පූජනීය වස්තූන් නොවන බවයි.

ඇතැම් අය බුදුරජාණන් වහන්සේ දාගැබ්, බුදු පිළිම හා බෝධි වන්දනාව ප්‍රතික්ෂේප කළ බව සඳහන් කරන්නේ මේ ‘චේත්‍යානි’ යන වචනය වැරැදි ලෙස අර්ථකථනය කර ගැනීම නිසා ය. මුලාවට පත් වීම නිසා ය. තථාගතයන් වහන්සේ නිරර්ථක බව පෙන්වා දුන්නේ බියෙන් හා තැති ගැන්මෙන් මිදීමට ගස් ගල් වනාන්තර ආදි පූජනීය වශයෙන් සලකන දේ සරණ යාම ය. මේ අසත්‍ය ප්‍රචාර පතුරුවා හරින දේශකයන් හා ඒ දෙසුම් ශ්‍රවණය කිරීමෙන් වැරැදි මග යන අය මෙහි දී හොඳින් මතකයේ තබා ගත යුතු කරුණක් වේ. බෞද්ධ ජනතාව ත්‍රිවිධ චෛත්‍යයන් වන්දනා කරන්නේ බිය හෝ තැති ගැන්ම නිසා නොවන බව ය. ඔවුන් ත්‍රිවිධ චෛත්‍යය වන්දනා කරන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි පවතින ශ්‍රද්ධාව වැඩි දියුණු කොට ඒ ඔස්සේ ජීවිතය යහපත් මාර්ගයකට යොමුකර ගැනීමේ අදහසිනි.

ග්‍රහ අපල දුරු කර ගැනීමට, විභාග ජය ගැනීමට ආදි වශයෙන් ජීවිතයේ විවිධ අවස්ථාවන්හි බෝධි පූජා පැවැත්වීමට බෞද්ධ ජනතාව පුරුදු වී සිටිති. එය අන්ධ විශ්වාසයෙන් නොව මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා කරනු ලබන පූජාවකි. උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙක සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධි අංකුරයක් ලක්දිවට රැගෙන වැඩියේ එකල ගස් ගල් ආදියට පූජා පැවැත්වූ අපේ සමාජය යහපත් දිශාවකට යොමු කිරීමේ අරමුණ ඇතිවය. වසර දෙදහසකට අධික කාලයක් තිස්සේ අපේ රටේ ශ්‍රේෂ්ඨ සංස්කෘතියක් නිර්මාණය වී තිබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසටය. බෝධි වන්දනාව නිසා අප ගේ ජනතාවට හා සංස්කෘතියට සිදු වූ යහපත අසීමිතය.

ත්‍රිවිධ චෛත්‍යය වන්දනා කරන බෞද්ධයාගේ සිතේ පවතින්නේ තථාගතයන් වහන්සේ අරමුණු කරගත් පිවිතුරු අදහස් ය. මෙනෙහි කරන්නේ උන්වහන්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයට සම්බන්ධ කරුණු ය. තථාගතයන් වහන්සේ උදෙසා මල් පහන් පූජා කරන බෞද්ධයා සිහි කරන්නේ ත්‍රිවිධ රත්නයේ ගුණයන් හා ජීවිතයේ අනිත්‍යභාවය පිළිබඳවය. මේ වත් පිළිවෙත් මිථ්‍යා ඇදහිලි ලෙස සලකන්නේ එහි අරුත නොදන්නා අය ය. බෞද්ධයන් ලෙස පෙනී සිටින සමහර දේශකයන් ජනමාධ්‍ය ඔස්සේ දාගැබ්, බුදු පිළිම හා බෝ රුක්වලට වඳින්නට එපා යැයි කියමින් විවිධ ප්‍රචාර ගෙන යති. එය අපගේ බෞද්ධ සංස්කෘතික අංගයන් වැනසීමට මිනිසුන් පෙලඹවීමකි.

එයින් සිදුවන්නේ කායික හා මානසික සුවය සඳහා පන්සලට නොගොස් මානසික සහනය ලබා දෙනවා යැයි කියන වෙනත් ආගමික මධ්‍යස්ථාන වෙත බෞද්ධයන් ඇදී යාමය. සමාජයේ සියලු දෙනාම එකම බුද්ධි මට්ටමේ අය නොවෙති. ජනතාවගේ මානසික මට්ටම හා අවශ්‍යතා තේරුම්ගෙන ක්‍රමානුකූලව ඔවුන් බුද්ධිමය පැත්තට යොමු කරවා ගැනීමට ධර්ම දේශකයා සමත් විය යුතු ය. පුද පූජා, පිංකම් ඒ සඳහා උපයෝගී කර ගැනීමට පුළුවන.

බුදුරජාණන් වහන්සේ සිහිපත් කරගැනීමේ පහසුව සඳහා වැලිවලින් දාගැබක් තනාගෙන වැඳුම් පිදුම් කළ පුලිනථුපිය නම් තෙර නමක් ගැන ථේරාපදානයේ සඳහන් වේ. ත්‍රිවිධ චෛත්‍යය වන්දනා කිරීමේ දී සිතෙහි තෙරුවන් පිළිබඳ ශ්‍රද්ධාව වර්ධනය වේ. තම ආගමික ශාස්තෘන් වහන්සේට ගරු බුහුමන් දැක්වීම, උන්වහන්සේ දේශනා කොට වදාළ ධර්මය පිළිපැදීම, සංඝයා වහන්සේගෙන් අවවාද, අනුශාසනා ලබන්නට අවස්ථාව උදාවීම යන කරුණු එම පුද පූජාවන්ට සහභාගි වීමෙන් ලැබෙන යහපත් ප්‍රතිඵලයන් ය.

එමෙන් ම වන්දනාමානවල නිරත වන පුද්ගලයා ගේ සිතෙහි නපුරු සිතුවිලි ඉවත් වේ. සිතෙහි සන්සුන් බව හා පිවිතුරු බව ඇති වේ. ඒ මානසික සැනසීම හේතුවෙන් ඔහු කෙරෙහි පවතින්නා වූ කායික රෝගාබාධයන් ද නිරායාසයෙන් සමනය වේ. එහෙත් නොපෙනෙන මිථ්‍යා බලවේග පසුපස යමින් මානසික සුවය අපේක්ෂා කිරීම නිරර්ථක වෑයමකි. බුදු දහමේ පුද පූජා චාරිත්‍රවල දී සිදුවන්නේ කායික හා මානසික සංවරය ඇතිවීමකි.

දරුණු ලෙඩ රෝග පවා සුව කරන බව ප්‍රචාරය කරමින් විවිධ ආගමික කල්ලි ගෙන ගිය වැඩ සටහන් නිසා පසුගිය කාලයේ සමාජයේ ආන්දෝලනයට තුඩු දුන් විවිධ සිදුවීම් වාර්තා විය. මෙවැනි කණ්ඩායමක හාස්කම් මෙහෙයුම් නිසා බෞද්ධ කාන්තාවන් දෙදෙනකු මරණයට පත්වීම පිළිබඳ කනගාටුදායක පුවත් ද අසන්නට ලැබුණි.

ඔවුන් අකාලයේ මරණයට පත්වූයේ ඇයි. රෝ දුක් පීඩා, බිය හා තැති ගැනීම නැති කර ගැනීමට, දෙවියන්ගේ පිහිට පැතීම පලක් නොවන ක්‍රියාවක් ය යන බුදුරජාණන් වහන්සේ යථෝක්ත ගාථා රත්නයෙන් දේශනා කොට වදාළ බුදු බණ පදය නොසලකා හැරීම නිසා ය. ඉහත ආගමික කල්ලියේ යාච්ඤාවට සහභාගි වී මියගිය එක් කාන්තාවක් පදිංචිව සිටියේ ගමේ පන්සල පේන තෙක් මානයේ ය. විසඳාගත නොහැකි ගැටලුවක දී ගමේ පන්සලේ හාමුදුරුවන්ගෙන් උපදෙස් ලබාගෙන එය නිරාකරණය කර ගැනීම අපේ බෞද්ධ සමාජයේ අතීතයේ සිටම පැවති යහපත් පුරුද්දකි. සංඝරත්නයේ පිහිට නොසොයා වංචාකාරී ආගම් කොල්ලකරුවන් සොයා යෑම නිසා ඒ කාන්තාව විපතට පත් විය. කායික හා මානසික සැනසීම ගෙන දෙන බෞද්ධ චාරිත්‍ර ධර්මවලින් බෞද්ධයන් දුරස් කරවන දේශනයන්ට සවන් දීමෙන් ඇය ගේ සිතෙහි තෙරුවන් කෙරෙහි වූ විශ්වාසය බිඳී ගොස් තිබුණ බවට පසුව අනාවරණය විය. අන්තවාදී ආගම් කල්ලි මඟින් සිදු කැරෙන යාච්ඤා කන්නලව්වේ දී සිදුවන ක්‍රියාදාමය ගැන මැනවින් වටහා ගන්නා පුද්ගලයා කිසි විටෙකත් ජීවිත හානියට හා මානසික විකෘතියකට හේතු වන රැවටිලිවලට ගොදුරු වන්නේ නැත. මේ මිථ්‍යාවන් හෙළිදරව් කරගැනීම බෞද්ධ, කතෝලික හා හින්දු ආගමික සැමදෙනාටම ප්‍රයෝජනවත් ය.

ලෙඩ සුව කරන පුද්ගලයන් සේ පෙනී සිටින අය මෙහි දී මූලිකව සිදු කරන්නේ තමන් ඉදිරියට පැමිණෙන අය මෝහනයට පත් කිරීමයි. අත් ඔසවා, දෙනෙත් පියා ගන්නා ලෙස ආතුරයාට නියෝග කරනු ඔහු කල්තියා සූදානම් කරගත්, වචන සමූහයක් නැවත නැවතත් මහ හඬින් කියන්නට පටන් ගනියි. ඒ අතර අධි ශබ්ද තරංග විහිදුවන සංගීතයක් ද පසුබිමෙන් ඇසෙන්නට සලස්වයි.

සිත බැහැරට යා නොදී කෑගසන හඬ සහ කන් දෙදරවන ශබ්ද ධ්වනියට යොමුවීම නිසා අදාළ කාර්යයට සහභාගි වන තැනැත්තා දැඩි මානසික කම්පනයකට ලක් වේ. එය ආගමික කල්ලිවල අයට උවමනා පරිදි ආතුරයා හැසිරවීමට ඉඩ ලැබෙන මානසික විකෘති ස්වභාවයකි. කන්නලව්වේ දී මානසික කම්පනයට පත්වන පුද්ගලයන් කෙරෙහි සිදුවෙන ආවේගී තත්ත්වයන් දැඟලීම් ආදිය හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට දැඩි හානි සිදු වේ. එයින් උමතුවට පත් ඇතැමුන් මුඛයෙන් රුධිරය වමාරන්නේ සියුම් ස්නායු, නහර, බඩවැල් ආදිය පිපිරීම හේතුවෙනි. බලි තොවිල් ආදිය සිදු කැරෙන විටත් ඇතැමුන් කෙරෙහි මෙවැනි ලක්ෂණ පහළ වේ. කුඩා අවධියේ සිට ම සමාජයෙන් මනසට කාවද්දන මහසෝනා, රීරි යකා, ආදි භූත බලවේග පිළිබඳ විශ්වාසයන් එවැනි අවස්ථාවන් හි ඉස්මතු වීමෙන් එසේ මුසපත් වීමක් හෙවත් පරල වීමක් සිදුවීමට පුළුවන.

පිරිත් දේශනාවල දී ඇතැමුන් පරල වන අයුරු අප දැක ඇත. එය සිදුවන්නේ ආටානාටිය වැනි සූත්‍ර දේශනාවල සඳහන් යකුන් ගේ නම් හා යක්ඛ යන වචනය ඇසීමෙන් චිත්ත අභ්‍යන්තරයෙ පැලපදියම් වී පවතින මිථ්‍යා විශ්වාසයන් අවදි වීමෙනි. දෙවියන් හා යකුන් අරක් ගත් බව කියන දේවාලයක දී හෝ වෙනත් තැනක දී කෙනකු පරල වන්නට ඉඩ ඇත. ඒ බය නිසා ය. එහෙත් බුදුරුවක් ඉදිරියේ දී එවැනි පරල වීමක් සිදුවන්නේ නැත. එයට හේතුව ධජග්ග සූත්‍රයේ දී සඳහන් වන ලෙස බුදුරජාණන් වහන්සේ වීතමෝහ තත්ත්වයට පත් උතුමකු වන බැවිනි. බුදුරදුන් ඉදිරියේ සිදුවන්නේ අපේ සිත පවතින මුලාවන් දුරු වීමකි. බියක් හා තැතිගැනීමක් ඇති වූ විටෙක අප සිහියට එන්නේ අම්මා ය. එසේත් නැතිනම් නව අරහාදී බුදු ගුණයන් ය. බියක් ඇතිවූ විට මා සිහිපත් කරන්න යැයි බුදුරජාණන් වහන්සේ ධජග්ග සූත්‍රයෙහි උපදෙස් දී ඇත්තාහ. එය මිථ්‍යා ආගමික කල්ලිවල සිදු කැරෙන ලෙස භය ගැන්වීමක් නොවේ. බුදු දහමේ සිදු කැරෙන්නේ බුද්ධිය මෙහෙයවා ජීවිතයේ ගැටලු විසඳා ගන්නට මිනිසුන් පෙලඹවීමකි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: