Posted by: lrrp | November 21, 2011

මිනිසා දුකට පත්වන්නේ තම සිත ගැන නොදන්නා නිසාය

පසුබිම් කතාව

කිඹුල්වත් පුර අමිතෝදන රජු දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන්නේ ය. රටවැසියන් කෙරෙහි කාරුණික සිත් ඇත්තේ ය. නිරන්තරයෙන් ම තෙරුවන් නමදින්නේ ය.

අමිතෝදන රජු ගේ එකම පුතු අනුරුද්ධ කුමරුය. දියණිය රෝහිණී ය. බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය කෙරෙහි පැහැදුණු අනුරුද්ධ කුමරු, බුදු සසුනේ පැවිදිව නොබෝ දිනකින්ම රහත් බව ලැබීය. උන්වහන්සේ දිවැස් ඇති රහතන් වහන්සේ අතරින් අග තනතුරට පත් වූහ.

අනුරුද්ධ රහතන් වහන්සේ දිනක් තවත් භික්ෂුන් වහන්සේ පන්සියය නමක් පිරිවරා කිඹුල්වත් නුවර වැඩියහ. ඒ බව දැනගත් නෑයෝ උන්වහන්සේ දැකීමට නිතර නිතර එහි පැමිණයහ. එහෙත් නැඟණිය වූ රෝහිණී කුමරිය රහතන් වහන්සේ දකින්නට එහි නොපැමිණියාය.

නෑයින්ගෙන් ඒ පිළිබඳ විමසු අනුරුද්ධ රහතන් වහන්සේ සිරුරේ හටගත් දරුණු දද රෝගයක් නිසා හටගත් ලජ්ජාවෙන් ඇය නොපැමිණෙන බව දැන ගත්හ.

නැඟණිය පිළිබඳ කුලුණු සිතින් ඇය අරමට ගෙන්වා ගත් අනුරුද්ධ තෙරහු නිරෝගී බව ලැබීම සඳහා අසුන් හලක් කරවා පූජා කරන ලෙස දැක්වූහ. රෝහිණී කුමරිය ද අලංකාර දෙමහල් අසුන් හලක් කරවා සියලු අංගෝපාංග සකසා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පූජා කළහ.

ඒ අවස්ථාවේ ධර්මය දේශනා කළ බුදුරජාණන් වහන්සේ, පෙර කළ කර්මයක් විපාක දීම නිසා රෝහිණී කුමරිය මෙසේ දද රෝගයකින් පීඩා විඳින බව පැහැදිලි කර දුන්න.

ඒ අතීත කතාව මෙසේ ය.

මෙ කල රෝහිණී කුමරිය පෙර බරණැස් රජු ගේ අග මෙහෙසියව සිටියාය. රජු ගේ එක් අන්තඞපුර ස්ත්‍රියක් සමඟ කෝපව වෛර සිත් ඇත්තී ඇය නිදන ඇඳෙහි කහඹිලියා ගෙඩි දැමීය. මේ නොදත් අර ස්ත්‍රිය ඇඳෙහි සැතපෙන්නීය. සිරුර පුරා කහඹිලියා ගෙඩි ස්පර්ශ වීමෙන් කැසීම් හට ගත්තේ ය. ගඩු නැඟී සිරුරේ පැහැය ද වෙනස් විය. උදෑසන නැඟිට විරූපී වී තම සිරුර දුටු ඒ ස්ත්‍රිය අතිශය ලජ්ජාවට පත්වූවාය. පසුගිය අත් බවෙක, රෝහිණී කුමරිය කෝප සිත් ඇතිව කළ ඒ පාප කර්මය නිසා මේ බවයේ දී මෙසේ දද රෝගයෙන් පීඩා විඳින්නීය. මේ ධර්ම දේශනාව අවසානයේ රෝහිණී කුමරිය ධර්මාවබෝධය ලැබ සෝවාන් ඵලයට පත්වූවාය. රෝග පීඩා ද දුරු විය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුර දී රෝහිණී කුමරිය උදෙසා දේශනා කළ මෙහි සඳහන් ගාථා රත්නයත්, එයට පසුබිම් වූ නිධාන කතාවත් වත්මන් සමාජයට ද වටිනා ආදර්ශයක් ගෙන දේ. අප නිරන්තරයෙන්ම දුකට පීඩාවට පත්වන්නෙ අප විසින්ම ඇති කරගන්නා අකුසල මූලික සිතුවිලි නිසා ය. විශේෂයෙන් ක්‍රෝධ සහගත සිතුවිලි අප දුකට පත් කරයි. බුදුරජාණන් වහන්සේ මේ ගාථා ධර්මයෙන් අපට අනුශාසනා කරන්නෙ ඒ ක්‍රෝධ සහගත සිතුවිලි දුරලා දුකින් තොරව සැහැල්ලුවෙන් ජීවත් වීමේ මාර්ගයයි.

මිනිසා දුකට පත්වන්නෙ තමන්ගේ සිත පිළිබඳ නොදන්නාකම නිසා ය. ඒ නිසා ම ඔවුන් පවට බර වේ. ඇතැම් කෙනකු ගේ සිත බොහෝ මෘදුය. තවත් කෙනකු ගේ බොහෝ රළුය. මානය වැඩෙන්නේ රළු බව වැඩි වූ විටය. තමන්ට සාපේක්ෂව අනෙක් අය දෙස බැලීම බොහෝ දෙනා ගේ ස්වභාවයයි. ඒ නිසාම අන් අය ඉක්මවා තමන් සිටිය යුතු ය යන සිතුවිලි ඇති වේ.

තමන්ගේ ජීවිතය ආපස්සට ඇද දමන්නෙ, පරිහානියට පත් කරන්නේ ද එවැනි සිතුවිලි බව අප අවබෝධ කරගත යුතුය. එසේ ජීවිතයේ දියුණුවක් නොලද තැන දී ද එහි වරද සමාජයට බැර කිරීම බොහෝ දෙනා ගේ පුරුද්ද ය. අනුන්ට වරද පටවමින් තමන් සාධාරණීකරණය කිරීමට උත්සාහ කරන තම නොහැකියාව සඟවා ගන්නා එබඳු පුද්ගලයෝ දස ආකාරයකට තම සිත රළු බවට පත්කර ගනිති.

මට වැරදුණේ අසවල් අය නිසා ය. ඔහු මට අවැඩක් ම කළේය. අතීතයේ මෙන් ම දැනුදු මට වරදන්නෙ මොවුන්ය. මා දියුණුවේ යැයි සිතා හදි හූනියම් කරන්නේය. වෙනස්කම් කරන්නේය. අනාගතයේ දීත් මේ අය නිසා මට දියුණුවක් නොවන්නේ ය.

මේ පළාතේ වෙසෙන තාක් මට නැඟිටිය නොහැකි ය. මට පමණක් නොවේ මගේ දරු පවුලට නිවෙසට වගතුවක් නොවන්නේ ද මේ අය නිසා ය. අපට නිරන්තරයෙන් ම මොවුන් ශාප කරන්නේ ය. මේ නිසා මතුවටත්, මගේ දරුවන්ට ඉදිරියට යා නොහැකි වනු ඇත. මගේ දරුවන් ඉගෙන ගන්නවාට, සමාජයේ ලස්සනට ඉන්නවාට මේ අය කිසි ලෙසකත් කැමැති නැත. ඒ නිසා විරුද්ධවාදීකම් ම කරන්නේ ය. මා කෙරෙහි ඇති තරහ සිතුවිලි නිසා මොවුන් මාගේ සතුරන්ටම උදව් කරන්නේ ය.

මේ ආදි වශයෙන් රළු සිතුවිලි ඇති කරගන්නා පුද්ගලයා කෝපය නිසාම බාහිර උපද්‍රවවලට ගොදුරු වේ. ගල්මුල්වල හැපේ. දෑස් මානයේ අනතුරු පෙනෙන්නට තිබියදීත් ඉන් ගැලවෙන්නට සිහි කල්පනාවක් නොවේ. ක්‍රෝධ සිතුවිලි නිසා ඔහු මායාවට පත් වූ ලොවක ජීවත් වේ. ඉදිරියේ ඇති අනතුර පවා නොදකී.

මෙසේ රළු සිතුවිලි නිසා ජීවිතයේ දියුණුව නොදකින්නේ තමන් කවුද යන අවබෝධය නොමැති පුද්ගලයා ය. තමන් ගේ හැකියාවන්, ශක්තීන් හඳුනා නොගත් පුද්ගලයා ය. ගමනක් බිමනක් ගිය තැන දීත්, ගෙදර දොරේ දීත්, රැකියා ස්ථානයේ දීත්, පන්සලේ දීත් හේ සිතට එක් කරන්නෙ අකුසල් වූත්, අවැඩක් වූත් ශක්තියයි.

බුදු දහමට අනුව ධර්මය තේරුම් ගත් පුද්ගලයා, ධර්මය පිළිබඳ අවබෝධයක් ඇති කෙනා පළමුව තමන් කවුද යන වග හඳුනා ගනී. එසේ හඳුනා ගනිමින් පවිත්‍රත්වයෙන් යුතුව ඉදිරි ගමන් මඟ සකසා ගනී.

විශේෂයෙන් සමාජයට පෙනෙන්නට, සමාජයේ කැපී පෙනෙන පුද්ගලයකු සේ සිටින්නට උත්සාහ කරන වැඩි පිරිසක් තම සිරුරේ බාහිර අලංකාරය පිළිබඳව වැඩි උනන්දුවක් දක්වති. ඒ අරමුණින් යුතුව ඔවුහු නිතර නිතර පිරිසුදු වෙති. ඇඳුම් පැලඳුම්වලට වැඩි පිරිවැයක් දරති. සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට කායික පිරිසුදු බව අත්‍යවශ්‍ය බව සත්‍යයකි. එහෙත් බොහෝ දෙනා කායික වශයෙන් පවිත්‍ර වුවද ධර්මානුකූලව මානසික වශයෙන් පවිත්‍රත්වයට පත් වීමේ වැදගත්කම නොදනිති.

මේ නිසා ජීවිත කාලය පුරාම අලංකාර ගේ දොර ගොඩ නඟා, ඒවායේ ලස්සන පරිසරයක් ගොඩ නඟා ලෝකයට පෙනෙන්නට ජීවත්ව වියපත් වී මරණයට පත් වේ. එහෙත් ධර්මානුකූලව කල්පනා කරන පුද්ගලයා බාහිර අලංකාරය පවත්වා ගන්නා අතරම, ඊට වඩා වැඩි වැදගත්කමකින් මානසික පවිත්‍රත්වය ගොඩ නඟා ගනී. අන්‍යොන්‍ය සුහදතාවය වර්ධනය කර ගනිමින් ගුණ ධර්ම සංවර්ධනය කරගනී. එවැනි අය ජීවිත කාලය පුරාම තෘප්තිමත් සිතින් ජීවත් වේ.

ඔබ ඇසුරු කරන හිත මිතුරන් ගැන සිතන්න. අසල්වැසියන් ගැන සිතන්න. එකට රැකියාව කරන අය ගැන කල්පනා කරන්න. ඔවුන් ගේ බාහිර ස්වරූපය, ඇඳුම් පැලඳුම් මොන තරම් පිළිවෙළ ද? මොනතරම් අලංකාර ද? උදේ පාන්දර අලංකාරව නිවෙසින් බැහැරට එන පුද්ගලයා මානසික වශයෙන් මොනතරම් පීඩාකාරී ජීවිතයක් ගෙවනවා ද? වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ආදි අකුසල් සිතුවිලිවලින් ඔහු මොන තරම් පීඩාවට පත් වී සිටිනවා ද? ඇතැම් විට මේ පිරිස් උදේ සවස පන්සල ඇසුරු කරන, ධර්ම ශ්‍රවණය කරන අය විය හැකිය. මොන තරම් බණ ඇහුවත් ඔවුන් ඒවා සිතේ ධාරණය කරගෙන නැත.

පන්සලට යන්නෙත්, ධර්ම ශ්‍රවණය කරන්නෙත් තමන්ගේ අධ්‍යාත්මික සංවර්ධනයට නොව ලෝකයට පෙනෙන්නටය. එසේ ජීවත්වන පුද්ගලයාට කිසි කලෙකත් මානසික තෘප්තියක් ලැබෙන්නෙ නැත. ඔහු නිරන්තරයෙන් ම අසහනකාරීය. අසහනකාරී සිතුවිලි ඇති තැනැත්තා තමාට පමණක් නොව සමාජයටම අවැඩදායීය. ඔහුගෙන් යහපතක් බලාපොරොත්තු විය නොහැකිය. සැප සම්පත් මත, භෞතික දේ මත නො ඇළී ජීවත්වන පුද්ගලයා තම ජීවිතයට දුක් කරදර ලැබුණ ද ඒවා දුකක් ලෙස නොසිතයි. කරදරයක් ලෙස නොදකියි.

දුකත්, සැපත්, සතුටත්, අසතුටත් ජීවිතයේ ස්වභාවය යැයි සිතා සතුටින් ජීවත් වෙයි.

මෙය අවබෝධ කරගෙන සෑම පුද්ගලයෙක්ම තමන් කවුද, තමන් ගේ ශාස්තෲන් වහන්සේ කවුද, ඒ ශාස්තෲන් වහන්සේ දේශනා කළ ජීවිත දැක්ම කුමක් ද යන නිවැරැදි අවබෝධයෙන් ජීවත්වීමට අදිටන් කරගත යුතුය. කුඩා දරුවකු දෙස බලන්න. බහ තෝරන දවසේ සිටම ඔහු සෙල්ලම් බඩු එකතු කරන්නට පටන් ගනී. කුඩා කල සිටම සිත යොමු වන්නෙ බාහිර දේ රැස් කිරීමටයි.

තුරුණු වියට එළඹෙන තුරුත්, වියපත් ව මරණයට පත්වන තුරුත් රැස් කරනවා හැර එහි තෘප්තියකට පැමිණෙන්නෙ නැත. ඒවායේ සීමාවක් දකින්නෙ නැත.

මේ අතෘප්තිකර ජීවිතය ගෙවා අවසානයේ මරණයට පත්වන පුද්ගලයාට ගෙන යා හැකි කිසිවක් නැත. වෙහෙස නොබලා හරි හම්බ කළ සියලු දේ අතහැර ඔහුට යන්නට සිදු වේ. ඔහු පසුපස යන්නෙ කළ පින් පව් පමණි. මේ නිසා අප හොඳින් තේරුම් ගත යුතු කරුණක් තිබේ. බාහිර දේ සමඟ ඇළී ගැලී ජීවත් වීමෙන් තමන් ගේ දෙලොව ජීවිතයම පරිහානියට පත්වන බවය.
කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
කොළඹ ශ්‍රී සම්බුද්ධාලෝක විහාර වාසී
ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: