Posted by: lrrp | November 21, 2011

යකුන් සමඟ සිදුකළ අනවින කොඩිවින ගනුදෙනුව

සිංහළයන්ගේ ඇදැහිලි හා විශ්වාස බොහෝමයකි. ඒවා කුලයෙන් කුලයට රැකියාවෙන් රැකියාවට ගමෙන් ගමට යනාදී කරුණු අනුවද වෙනස් වේ. මේ ප්‍රවේශය ඒ ගැන ය.

 

“මිථ්‍යා මතයන්හි ඇලී ගැලී සිටීම ඉන්දියානුවන්ට මෙන් ම ලාංකිකයනට ද පොදු දෙයකි. අසුබ යැයි සලකන ඉතා සුළු සිද්ධියක් නිසා වුව ඔවුහු තමන් යන්නට පිටත් වූ ගමන අත්හිටුවති. පටන් ගැනීමට උත්සහ කළ කාර්යය අතර මඟ නවතා දමති.” ස්වදේශිකයන්ගේ ඇතැම් විශ්වාස ගැන පිලීතියස් සිය A History of Ceylon

(පිලීතියස් දුටු ලංකාව – පරිවර්තනය – පාලිත ජයකොඩි) නැමැති ග්‍රන්ථයේ තබා තිබුණේ එවැනි සඳහනකි.

ලෝකයේ ඕනෑම ජන කොට්ඨාසයක අඩු වැඩි ප්‍රමාණයෙන් යම් ඇදහිලි විශ්වාස පවතින බව නොරහසකි. විශේෂයෙන් ම ආසියාකරයේ එබඳු විශ්වාස ඇදහිලි බහුල ය. සමහර ස්වදේශිකයන් ද එම විශ්වාස ඇතැම් විට බැහැරලූයේ උපහාසයෙනි. එහෙත් තවත් විටෙක ඒ සංස්කෘතිකාංග ද වින්දනය කළහ.

තවදුරටත් මෙරට වැසියන්ගේ විශ්වාස ගැන කතා කරන පිලීතියස් පවසන්නේ සිංහලයන් යන්ත්‍ර මන්ත්‍ර හා හදි හූනියම් පිළිබඳව මහත් බියක් පළ කරන බවය.

“හදි හූනියම් කිරීමට මෙන් ම ඒවා ඉවත් කිරීමේ ද හැකියාව ඇති පුද්ගලයෝ ද මේ සමාජය තුළ සිටිති. එමෙන් ම නැති වූ යම් වස්තුවක් සොයා දීමට ද ඔවුහු දක්ෂ වෙති. මේ ක්‍රමවේදයන් ඉන්දීය සමාජය තුළ තදින් මුල් බැස තිබේ. එහෙත් සමස්තයක් ලෙසින් මේ පෙරදිග රටවල් ඒවාට නැඹුරුවක් දක්වයි. ඊට හේතුව වන්නේ අවිද්‍යාවේ ගනදුර දුරලන්නට සමත් දර්ශනයක් ඔවුන් සතුව නොපැවතීමත්, මිථ්‍යා විශ්වාස නැමැති මුගුර බිඳ දමන්නට ඔවුන් තුළ ශක්තියක් නොතිබීමත් ය.

(පිලීතියස් දුටු ලංකාව)

එලෙස ස්වදේශිකයන් ගැන කතා කරන පිලීතියස් ලංකාවේ යක්දෙස්සන් ගැන ද කතා කරයි. යක්දෙස්සන් කටයුතු කරන්නේ භූත ආත්ම සම්බන්ධයෙනි. සිය නිවෙස ඉදිරිපිට කුඩා දේවාලයක් ඉදිකරගන්නා යක් දෙස්සන් එහි බිත්තිවල විවිධ වර්ණ රූප අදින අතර එම රූප බොහෝ විට බිය ජනක හැඟුම් ඇති කරන මුහුණු ය. යකුන්ගේ වාසස්ථානයක් මිස දෙවොලක් ලෙස නොහැඟෙන මේ ස්ථානවල පැවැත්වෙන ඇතැම් උත්සවයකදී හෝ ශාන්ති කර්මයකදී යක් දෙස්සා සිය යටි රැවුල මුඩු කරන්නේ ය. ඒ යකුන්ට කරන්නා වූ ගෞරවයක් ලෙසිනි.

“සිංහලුන් ගේ තවත් පිළිගැනීමක් වන්නේ එසේ යක්ෂ බැල්මකින් යමකු ආතුර වුවහොත් එයට වගකිව යුතු යක්ෂ ආත්මය නිවැරැදිව හඳුනාගත යුතු බව ය. මේ සඳහා ඔවුන් එක්තරා යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයක් අනුගමනය කරයි.”

බිලි පූජා පැවැත්වීම තවමත් ලංකාවේ සිදුවන්නක්. එකල යමකු යක්ෂ බැල්මකින් ආතුර වුවහොත් කුකුළකු කැප කරන්නට සිදු වූ බව කියැවේ.

කුකුල් බිල්ල ගැන පිලීතියස් තබන සටහන මෙවැන්නකි.

“එම බිල්ල සිය සුරතෙහි රඳවා ගන්නා යකැදුරු ආතුරයාගේ දුක් දුරු කර සෙත සලසා දෙන ලෙස යක්ෂයාගෙන් අයැද සිටී. අනතුරුව උදා වන්නේ බිලි පුද ඉෂ්ට කිරීමේ මොහොතයි. අවසන යම් මාර්ගයකින් එය මුදල් බවට හරවා ගන්නට ද ඔහු සමත් වෙයි.

යක්දෙස්සන් එකල මුදල් ගැරූ සැටිය ඒ. යම් කිසි රෝගයකින් හෝ වෙනත් උපද්‍රවයකින් පීඩා විඳි සමහරු මෙකල ද නිසි විසඳුම සොයා ගත නොහැකිව මං මුළා වී අතේ තිබෙන තුට්ටු දෙක ද එවැනි යක් දෙස්සන්ට පූජා කරති. එතෙකින් නොනැවතී රෝගය හෝ ගැටලුව ද තවත් වැඩි වර්ධනය කර ගන්නා අවස්ථා ද එමට ය.

එවැනි සිදුවීම් මෙරටට පැමිණි විදේශිකයන්ට වඩා හොඳින් තේරුම් ගත්තේ ස්වදේශික බුද්ධිමත්හු ය; “මා දුටු බින්තැන්න” නමැති කෘතියේ පියසේන කහඳගමගේ ජන ඇදහිලි හා විශ්වාස ගැන තැබූ ඒ සටහනක් වේ.

“ගෙදර දොරේ සිටියත්, පරිසරයේ ඇවිද්දත්, හේනට කුඹුරට ගියත්, ඇළෙන් දොළෙන් එතෙර වුවත් බින්තැන්නේ ජන ජීවිත හැසිරවෙන්නේ බිය හා සැකය හිසේ රුවාගෙන ය. ඔවුන් ජීවත් වන්නේ, වන තීරුවලින් යුත් පරිසරයකය. වන සතුන්ගෙන් ද, විෂඝෝර උරගයන්ගෙන් ද මැසි මදුරු ආදීන්ගෙන් ද ඔවුන්ට නිතර විපත් පැමිණෙයි. …………… එහෙයින් පරිසරයට මහත් බියක් දැක්වූ ජනතාව එකී විපත් දේව කෝප, යක්ෂ, භූත, ප්‍රේත, අනවින කටවහ හා ග්‍රහ අපල ආදියේ බලපෑමෙන් සිදුවේ යැයි විශ්වාස කළහ. ඒ නිසා දෙවියන්ගෙන්, යකුන් ගෙන් හා ග්‍රහයන්ගෙන් ආරක්ෂාව පතන ඇදහිලි පද්ධතියක් නිර්මාණය වී යයි සිතිය හැකියි.

බින්තැන්නෙ ජනතාවගේ ඇදහිලි හා විශ්වාස බිහි වන්නට ඇත්තේ ඔවුන්ට බලපෑ පාරිසරික තත්ත්වයක් සමාජීය මට්ටමත් නිසා යැයි සිතීම සාධාරණය. එහෙත් මෙරට අග නගරය වූ කොලොම්පුරයේ දී එවැනි ඇදහිලි හා විශ්වාස එමට ය.

කෙබඳු දියුණු තාක්ෂණික ක්‍රම සමඟ ජීවත් වුව ද කොළඹ අද පිරී සිටින්නේ පාරම්පරික කොළඹ වැසියන්ට වඩා ඈත ගම් දනව්වලින් පැමිණි එකී ජනයා ය. එබැවින් ඔවුන් කොළඹට සංක්‍රමණය වන්නේ ද තමාටම උරුම සිතැඟි පිළිවෙත් හා විශ්වාසයන් සමඟය. අධ්‍යාපන මට්ටම ඉහළ යාම සමඟ එකල තරමට ම මෙකල එවැනි විශ්වාස හා ඇදහිලි බහුල නැතත් බටහිර සම්ප්‍රදාය ගරු කරන්නකු පවා අදටත් අපල දුරු කරන ගල් කැටයක් ඇල්ලූ මුද්දක්, නැතිනම් සුරයක් පලඳිනු දැකීම විරල සිදුවීමක් නොවේ.

මායා රංජන්ගේ දිගාමඩුල්ලේ ආශ්චර්ය නමැති කෘතියේ එන ජන ඇදහිලි හා විශ්වාස බොහොමයකි. උසස් අධ්‍යාපනයකින් තොර ගැමියන්ගේ ජීවන රටාව ගැන ඔහු තබන සටහන් අපූරු ය. වරෙක ඔහු ලියන්නේ එහි ජනයාගේ දිවි පෙවෙත ගැන ය; ඇදහිලි ගැනය; විශ්වාස ගැනය. එම ජනතාව වටකරගෙන සිටින මනරම් පරිසරය ගැන ය. ඔහු ‘මන්තර’ ගැන තබන සටහන මෙබන්දෙකි.

“මන්තර මෙහි ගැහැනු පිරිමි කවුරුත් පාහේ දනිති. කවුරුත් මන්තර දැනීම අගය කොට සලකති. ලෙඩ දුක් දුරු කර ගැනීම පමණක් නොව අතර මග හදි අනතුරු වළකා ගැනීමත් මන්තරවල පිහිටෙන් ම වෙයි. අතර මග හමු විය හැකි අලියාට, වලහාට… වෙන වෙන මන්තර ඔවුන් වෙත ඇත්තේ ය. එහෙයින් හැම ආපදාවකදීම කව්රුත් දන්නා මන්තරවල පිහිට ලැබෙයි.”

ගුරුවරයකු වූ මායා රංජන් නමින් පෙනී සිටි රාජපක්ෂ මහතා මන්තර පිළිබඳ තබන්නේ මෙවැනි සටහනකි.

“මේ මන්තරත් ඒවායේ පිහිටත් කෙතෙක් දුර සැබෑ දැයි නිශ්චය කිරීමට මට නුපුළුවන. එහෙත් ඒවා කෙරෙහි විශ්වාසය තබන ඔවුනට ප්‍රත්‍යක්ෂයෙන් ම පිහිට ලැබුණ බව සැබෑවකි. ඔවුන්ගේ හැම ලෙඩ දුකක් ම දුරුවුණේ මන්තරවලින් බව ඔවුන්ගේ විශ්වාසය වෙයි. මැදිහත්ව සිටින කෙනෙකුට මෙහි සත්‍යාසත්‍යතාවය ගැන යමක් සිතීමට ඒවායේ ස්වභාවය ගැන සෙවීම සුදුසු ය.”

මායා රංජන් පවා ගැමියන්ගේ ඇතැම් ඇදහිල්ලක් හෝ විශ්වාසයක් එක්වර ප්‍රතික්ෂේප නොකරයි. ඔහු පවසන්නේ මැදිහත්ව සිතන කෙනෙකුට මෙහි ඇත්ත නැත්ත සෙවිය හැකි බවකි.

මන්තර ගැන ලියන විට සිහියට නැඟෙන්නේ ලෙනාඩ් වුල්ෆ් ය. ඔහු සම්බන්ධයෙන් අපූරු තොරතුරු ගවේෂණය කර වුල්ෆ් දුටු රුහුණ නමින් ග්‍රන්ථයක් සම්පාදනය කළ විජේසිංහ බෙලිගල්ල වුල්ෆ් සිංහලයන්ගේ මන්තර අත්දුටු ආකාරය ගැන අපූරු සඳහනක් කර තිබේ.

“……. මහ පොළොව පහුරු ගා ගුගුරවමින් හොඬය ඔසවා හබා එන වල් අලින්, අතට මතුරා අප්පුඩි ගසා පළවා හරින ගොවියන් දැක ලෙනාර්ඩ් වුල්ෆ් පුදුමයෙන් බලා සිටියේ ය.

දැලි කොටේ චිඞ යයි මතුරා අසුර ගසා වලසුන්ද වැලහින්නියන් ද පන්නා දමන ගොවියන්ගෙන් උඹලාගේ මන්තරවල ඇති බලය කුමක්දැයි ඔහු ඇසුවේ ය.”

මෙතෙක් කතා කළ විශ්වාසවල ඉතිහාසයට වඩා බොහෝ ඈත ඉතිහාසයක විශ්වාසයන් ගැන කතා කළ අයෙකි රොබට් නොක්ස්. දෙවියන් පිළිබඳ විශ්වාස තබන ගැමියකු තම ඉල්ලීම ඉටු නොවුණු තැන දෙවියන් හෙළා දකිමින් කතා කළ බවකි ඔහු පවසන්නේ.

ගම්වාසීන්ට යම් විපතක් වූ විට දේවාලය වෙත යන ඔවුහු තම කරදරය සවිස්තර ලෙසට දෙවියන්ට දන්වති. එසේ කොට පිහිට පතති. තම කරදරයෙන් මුදා ගන්නට දෙවියන් සමත් වෙතොත් ඉඩමක්, වහලෙක්, හරකෙක් මුදලක් හෝ වස්ත්‍රයක් යනාදියෙන් පූජාවක් ඔප්පු කරන බවට ඔවුහු භාර වෙති.

ගැමියන් ගේ ඉල්ලීම ඉටු වූයේ නම් පොරොන්දු වූ පරිද්දෙන් භාර හාර ඉටු කෙරේ. එහෙත් එසේ නොවුණහොත් සිදුවන්නේ කුමක්ද යන්න නොක්ස් රචනා කර ඇත්තේ මෙසේ ය.

“ඉදින් දෙවියන් ප්‍රතිඥාව භංග කළහොත් භාර ඔප්පු කරනු වෙනුවට තිත්ත කතාවෙන් බැණුම් අසන්නට දෙවියන් හට සිදු වන්නේ ය. “දෙවියෝ අප මුළා කළාහු යැ’යි ගම් වැසියෝ දෙවියන් හට ශාප කරති.

තමන්ගේ භාර හාර ගැන දෙවියන් සමඟ පමණක් නොව බුදු හාමුදුරුවන් සමඟ ද උරණ වූ ඇතැම් ගැමියකු සිටි බව සැබෑවකි. කේ. ජයතිලකයන් සිය පුංචි පැලේ ගස වෙනා කෘතියෙහි වරක් ඒ ගැන සඳහනක් කර තිබිණි. ඉන් අදහස් වන්නේ එකල මෙකල ඇදහිලි හා විශ්වාසවල මෙන් ම ඒ වෙනුවෙන් දක්වන ප්‍රතික්‍රියා වල ද වැඩි වෙනසක් නැති බව ය. එකල මෙන් ම මෙකල බහුල නොවුව ද පෙනෙන්නට මෙන් ම නොපෙනෙන්නට ද මේ විශ්වාසවල බොහෝ දෙනා ඇලී ගැලී සිටිති.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: