Posted by: lrrp | November 22, 2011

ඉතා පැරැණි සිංහල බණ කතා – කුන්ත රන්කරුගේ කතාව

රුහුණු දනව්වෙහි මහාගාම නම් පෙදෙසක් විය. ඒ කාලයේදී සද්ධාතිස්ස රජ මෙලක්දිව රාජ්‍යය කෙළේය. (2) ඒ මාගම ආශ්‍රය කොට “ලෝකුරු කුන්ත” නමින් ප්‍රකට රන්කරුවෙක් විය. (3) රජතුමා ඔහු ගෙන්වා මේ රන් තළා මට තලියක් සාදව“ යි කියා ඔහුට රන් ප්‍රමාණයක් දුණි. (4) රන්කරුවා යහපතැයි කියා එය බාරගෙන ඒ රන් විකුණා මත්පැන් බී සියල්ල විනාශ කෙළේය. (5) එක් දිනක් රජතුමා “කඹුරා වෙත ගොස් ඒ තලිය ගෙනෙව්” යයි කියා මිනිසුන් යැවීය. (6) ඔවුන් දැක බියපත් කඹුරා බිරිඳ අමතා “මට වහා බත් සම්පාදනය කරව; මම රන් සොයා ගෙනෙන්ට යන්නෙමි” යි කීය.

(7) හෙතෙම කලින්ම නැගිට ඒ ආහාරය අතේ තබාගෙන සූවර්ණභූමියට යන අදහසින් බටහිර දොරටුවෙන් නික්ම ගියේය. (8) වේගයෙන් යන හෙතෙම මග අසළ ගසක් දැක ආහාර අනුභව කරනු කැමතිව ඒ ගස යටට ගොස් වාඩිවිය. (9) වනයෙහි නිරෝධයට සමවැදී විසූ තෙරනමක් එයින් නැගිට පිඬු සිඟා ගමට ඇතුල්වීමට යන්නේ ඔහු ඉදිරියෙහි නැවතුණේය. (10) තෙරුන් දැක සතුටු වූ හෙතෙමේ ඇඳිලි බැඳ වැඳ මහත් පැහැදීමක් ඇතිව මෙසේ සිතී: (11) “සූවර්‍ණභූමියට ගොස් රන් ලබා ගැනීමේදී නොයෙක් අන්තරායෝ පැමිණෙති; මේ මහතෙරනම මා ඉදිරියට පැමිණ සිටියි. එබැවින් මා විසින් මේ ආහාරය තෙරුන්ට පිළිගැන්වීම වටී” යයි සිතා සිත පහදාගෙන ඒ ආහාරය පිරිසිදු සිල් ඇති ඒ තෙරනමට දුණි.

(13) තෙරනම භික්ෂාව පිළිගෙන එතැනදීම වළඳා ඉතිරි අහර ඔහුට දෙනු කැමතිව (14) “උපාසකය, මේ විලට බැස විලමැද තිබෙන විශාල නෙලුම් කොළයක් කඩා ගෙනවුත් මේ ඉතිරි ආහාරය අනුභව කරව“ යි කීය. (15) ඒ කීම ඇසූ රන්කරුවා විලට බැස මැදට ගොස් නෙලුම් කොළයක් දණ්ඩෙන් කඩා ගත්තේය. (16) එය කැඩූ කෙණෙහි පැහැ විහිදුවන මනහර රන්තලියක් විය. (17) ඒ තලිය ගෙන හෙතෙම තෙරුන් වෙතට ආවේය. තෙරනම ඉතිරි අහර ඒ භාජනයෙහි දමා “තගේ පිනින් හට ගත් මේ තලියෙන් පළමුව අනුභව කොට සෝදා එය බැඳගෙන සියගෙට යව“ යි කීය.

(19) හෙතෙම ගෙදර ගොස් අස්නක හිඳගෙන සිදු වූ සියලු දෙය බිරිඳට කීය. (20) ඕ තොමේ තුටු පහටු වී “මේ තලිය රජුට දෙව; එවිට දඬුවමින් මිදිය හැකැ” යි හිමියාට කීය. (21) රන්කරුවා එය වස්ත්‍රයක ඔතාගෙන ගොස් රජුට වැඳ තලිය දැක්වීය. (22) දිලිසෙන ගින්න මෙන් රැස් විහිදුවන ජාම්බෝනද රන්වල පැහැති ඉතා වටිනා ඒ තලිය දැක රජතුමා (23) “මෙය මා දුන් රන් නොවේ: තටත් මෙවැනි රන් නැත; මෙය කොතැනින් ලද්දේ දැයි මම විස්මයට පත්විමි” යි රජතුමා කීය. (24) රජු විසින් එසේ විචාරන ලද හෙතෙම බිය සැක නැතිව සිදු වූ සියලු ප්‍රවෘත්තිය කීය.

(25) “එය තට මෙලොව විපාක වශයෙන් ලැබුණකි. මම තට පැහැදුනෙමි. ඇත් අස් රථයන් ද ගමක් හා ජනපදයක්ද තවත් ධනය ද තට දෙමි” යි රජ කීය. (26) මෙසේ රජුන් දෙන ධනය ද හිමියන් නැති නිධාන ද මුහුදෙහි පාවෙන බඩු ද පින් කළහුගේ ගෙට පැමිණෙති. (27) ගුණවතුන්ට දන්දීම මෙසේ නොසිතිය හැකි විපාක ගෙන දෙයි. එය මෙලොව සැප ගෙන දී පරලොවදීත් විපාක දෙයි. (28) බුද්ධිමත් ජනයා විසින් මෙය අසා දැක තමන් වෙත පැමිණි දක්ෂිණාර්හයන්ට පරිත්‍යාග කිරීම යෙහෙකි.

හෙතෙම එතැන් පටන් මහාදානපතියෙක් විය. ඔහු විසින් මහා විහාරයක් කරවන ලදී. එහි දොළොස් දහසක් භික්ෂූහු විසූහ. හෙතෙම ඒ සියලු භික්ෂූන්ට සිවුපසයෙන් උපස්ථාන කෙළේය. තෙවරක් හැම සංඝයාට තුන් සිවුරු දුණි. ඒ ලෝකුරු කෙළෙඹියාගේ පූර්ව කර්මය මෙසේ දත යුතු: හෙතෙම පෙර ජාතියදී පැවිද්දෙක් වී මිදුල අමදින්නේ පිට වැටී තිබුණු වැලි ඇතුළට දමා හැමද කසල ඉවත දැම්මේය. ඒ කුශලයෙන් හිමියන් නැති ධනය ලබන්නෙක් විය.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: