Posted by: lrrp | November 22, 2011

ඉතා පැරැණි සිංහල බණ කතා – භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව

අතීත කාලයෙහි හෙළදිව රම්‍ය වූ අනුරාධපුරයෙහි ධනයෙන් ආඪ්‍ය වූ පවුලක් විය. (2) ඒ පවුලෙහි මහත් බලැති පුත්‍රයෝ සත්දෙනෙක් ද එක් දුවක්දැයි දරුවෝ අට දෙනෙක් වුහ. (3) දුක්භික්භයාදී භය තුනක් හටගත් කල්හි ඒ පවුලේ මවුපිය දෙදෙනද මිත්‍රයෝද අඳුනන්නෝ ද පරලොව ගියහ. (4) ගෝපනය කළ සිතැති පි‍්‍රයශීලී වූ එක් තෙර නමක් නිතර ඒ පවුල වෙත අවුත් දන් වැලඳී. (5) ඒ කුලය ඒ තෙරුන්ට බොහෝ කලක් සංග්‍රහ කෙළේය. කාලවිපත්තිය නිසා රෝග – දුර්භික්ෂාදී භය තුනක් හටගත් විට සැටයොදුන් දිගැති මේ සිංහල ද්වීපය බොහෝ සේ පීඩිත විය.

(7) රටේ මිනිසුන් වෙත තිබුණු ධාන්‍ය අවසන් වූ විට ඔවුහු ආහාර සොයමින් කඳුරටට ගියහ. (8) යටකී පවුලේ දරුවෝ අටදෙන ද සාගතයෙන් පීඩිත වූවාහු තෙරුන් පෙරටු කොටගෙන මහවනයට පිවිසියහ. (9) එහි ගොස් ශාලාවක් සාදා තෙරුන්ගේ වාසයට දී තුමු ගස්මුල්වල විසූහ. (10) වනයෙහි මුල් ගෙඩි ආදිය සොයා ගෙනවුත් පළමුකොට තෙරුන්ට දී පසුව ඔවුහු අනුභව කළහ.

(1) මෙසේ වසන ඔවුන්ට අවුරුදු දොළසක් ගතවිය. ඔවුන්ගේ ආහාරය අල ගෙඩි ආදියක් විය. දිරාගිය වැරහැලි ඇඳගෙන උන්හ. (12) දික් වූ නියපොතු ද ලොම් ද ඇති, කෙට්ටු වු සුදුමැලි වූ සිරුරු ඇති ඔවුහු පේ‍්‍රතයන් මෙන් භයානකව පෙනුණාහ. (14) එක්තරා මිනිසෙක් එහි ගොස් ඇවිදිනේ පේ‍්‍රතයන් වැනි මොවුන් දැක බියපත්ව තමාගේ වස්ත්‍රයද බිම දමා දිව්වේය. (15) ඔවුහු ඒ වස්ත්‍රය ගෙන “කඩමාලු හැඳගත් නොවැසුණු ශරීර ඇති ස්ත්‍රිය නොහොබනේය” යි කියා සිය සොහොයුරියට දුන්හ. (16) ඇය එය හැඳගෙන ගෙයි සිටින විට තෙරනම පිඬු පිණිස අවුත් ගෙය ඉදිරියෙහි සිටියේය. (17)

තෙරුන් දුටු ඒ තරුණිය නැවත කඩමාලු හැඳගෙන ඒ අලුත් වස්ත්‍රය තෙරුන්ට දුණි. (18) එය දී සොහොයුරන්ගේ තර්ජනයට බියෙන් ගෙයින් පිටවී ගොස් පඳුරු අතරෙහි සැඟවි සිටියාය. (19) තෙරනම ඒ වස්ත්‍රයෙන් සිවුරක් කොට එය හැඳගෙන මෙසේ කල්පනා කෙළේය. (20) “වනය මැද වසන දිළිඳු උපන් මේ දැරිය අද සොහොයුරන්ටත් නොකියා දුෂ්කර දෙයක් කළාය. (21) පෘතග්ජන වූ මා විසින් මේ වස්ත්‍රය පරිභෝග නොකළ යුතුය. ආශ්‍රවක්ෂයට නොපැමිණ මම මේ ආසනයෙන් නොනැගිටින්නෙමි” යි (22) මෙසේ සිතූ ඒ තෙරනම තමාගේ ශීලශුද්ධිය බලා පිරිසිදු සිල් ඇතිබව දැක බවුන් වඩා රහත් විය.

(23) සක්දෙව් රජ මේ කාරණය දැක මනොඥවූ දිව්‍ය වස්ත්‍රයක් පසුම්බියක දමා ගෙනවුත් එය ඈ නිදන තැන හිස පැත්තේ තබා හැරී ගියේය. (25) නැගණිය නොදක්නා ඒ සොහොයුරෝ ඒ මේ අත ඇවිද පඳුරු අතරේ සිටි ඇය සොයා ගත්හ. (26) එවිට ඔවුහු “ නැගණියෙනි, කුමකට භය වුවාද ? සැඟවුණේ කුමකට දැ”යි ඇසූහ. (27) ඈ නිදාගත් තැනින් නැගිට සිදුවූ සියල්ල සිය සොහොයුරන්ට විස්තර ලෙස කීය. (28) එයසා සතුටු සිතැති ඒ සියලුදෙන සාධුකාර දී ඒ පසුම්බිය දැක එය කුමක්දැයි විමසා බැලූහ. එය ලිහා බැලූ ඔවුන්ට වස්ත්‍රයක් දකින්ට ලැබී එය ඈ අතට දුන්හ. (30) එය ඈට ලැබුණු පසු ඒ වස්ත්‍රය ක්ෂය නොවන්නක් යයි ඕ දැනගති.

(31) එවිට සතුටට පත් සොහොයුරෝ “එය කවුරුන් දෙන ලද්දක් ද? මේ පසුම්බිය කොහෙන් ලැබුණා දැයි ඇගෙන් විමසූහ. (32) “තෙරුන්ට වස්ත්‍රය දී මම බියපත්ව නිදා ගත්තෙමි. දැන් මම මෙය දකිමි. මාගේ කීම පිළිගත මැනවැ”යි ඕ කීය. (33) “සොඳුර, ඒකාන්තයෙන්ම මෙය දෙවියන් විසින් දෙන ලද්දකි. මෙය තී දුන් දානයේ මෙලොව විපාකයකි. (34) ඔවුහු තෙරුන්ට තුන් සිවුරු පිණිස එයින් වස්ත්‍ර දී තුමූද ඒ කඩමාලු ඉවත දමා දිව්‍ය වස්ත්‍ර ඇඳ ගත්හී (35) මෙසේ දිව්‍ය වස්ත්‍ර හැඳගත් ඒ අටදෙන තෙරුන් ඉදිරිකොට ගෙන නගරයෙහි වූ තමන්ගේ ගෙය කරා ආහ.

(36) මේ දුර්භික්ෂ කාලයේදී ම එක් භික්ෂුනමක් මුළු අනුරාධපුරයෙහි ඇවිද කිසි අහරක් නොලද්දේය. (37) තිස්ස නැමැති තරුණයෙක් ඒ භික්ෂු නම දැක තමාගේ ගෙට දුවගොස් සොහොයුරිය අමතා “ඉදින් මේ ගෙයි කැඳ බත් ආදී යම් කිසිවක් ඇත්නම් වහා සොයා ගෙනෙව; මම කාලදානයක් දෙන්නෙමි” යි කීය. (39) “සොහොයුර, දහසක් වටිනා මැණිකක් මිස අන්කිසි ආහාරයක් මේ ගෙයි නැතැ” යි තරුණිය කීය. (40) පින් කැමති ඒ තරුණයා දහසක් වටිනා ඒ මැණික ගෙන ගෙයින් ගෙයට ගොස් යම්කිසි ආහාරයක් ලබාගෙනවුත් එය ඒ භික්ෂුවට පිළිගැන්වීය. (42) ඒ භික්ෂාව පිළිත් වැඩූ ශ්‍රද්ධාදී ඉන්ද්‍රියයන් ඇති ඒ භික්ෂුනම ඒ ආහාරය වලඳන්ට පෙරම උත්සාහ කොට රහත් බවට පත් විය.

(43) ඒ කාරණය දුටු රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සතුටුව සාධුකාර දුණි. (44) සද්ධාතිස්ස රජ ඒ සාධුකාරය අසා “දේවතාවෙනි, කවරෙකුට සතුටු වූවෙහිද ? කවරෙකුට ප්‍රශංසා කෙරෙහිද ?” යි විචාළේය. (45) “මහරජ, මේ නුවර තිස්ස නමැති තරුණයෙක් දහසක් වටිනා රත්නයක් විකුණා භික්ෂුනමකට දානයක් දුණි. (46) ඒ පිණ්ඩපාතය ලැබූ භික්ෂුනම සංවේගයට පත්ව රහත් ඵලයට පැමිණියේය. (47) ඔහුගේ දානානුභාවයෙන්ද තෙරුන්ගේ වීර්යයෙන්ද සතුªටු වූ මම ඒ දෙනට සාධුකාර දුනිමි” යි දේවතාවා කීය.

(48) එයැසූ රජතුමා නුවණැති මිනිසකු අමතා “ඒ තිස්ස තරුණයා සොයා මා වෙත ගෙනෙව“ යි නියම කොට යැවීය. (48) ඒ මිනිසා වහාගොස් ඒ තරුණයා ;සායාගෙන ආවේය, රජතෙම ඔහු දැක: (50) තිස්ස, තෝ කළ පිනැත්තෙහි, මට ඒ පිනෙන් කොටසක් දෙව. මාගේ භාණ්ඩාගාරික තනතුරද දරව“ යි කීය. (52) ඔහුට සතුටු වූ මහරජ ඇත්අස්රිය ආදි නොයෙක් දේ ද මහත් ධනයක් ද දුණි.

(53) මෙසේ තනතුරු ලැබූ තිස්ස ඇමතියා එක් දිනක් නහනු කැමතිව නුවරින් පිටත ගොස් නාන තොටකට පැමිණියේය. (54) අර කී කැලේ විසු සොහොයුරෝ සත්දෙන මේ අවස්ථාවේදී නැගණිය සමග නගරයට ආහ. (55) එන්නාවූ ඒ තරුණයා දුටු තිස්ස ඇමතිතෙමේ පිළිබඳ සිතැතිව ඇය තමාගේ බිරිඳ කරගනු කැමතිව (56) “සියල්ලන්ට පසුව යන සර්වාංගසුන්දර වූ මේ තරුණිය අස්වාමික නම් මට දෙව්” යයි කීය. (57) සොහොයුරෝ යහපතැයි කියා හොබනා සිරුරු ඇති ඒ තරුණිය භාණ්ඩාගාරික තිස්ස ඇමතියාට දුන්හ.

(58) මෙලොවදීම ලත් විපාක ඇති ඒ දෙදෙන තමන්ගේ ගෙයි වරින්වර නොයෙක් පින්කම් කළහ. (59) ඒ දෙදෙන මහසෑයට පූජා පිණිස ගැල් සැටක් බර වස්ත්‍රවලින් කොඩි සාදා නැංවූහ.

(60) මෙසේ ඔවුහු ත්‍රිවිධරත්නයන් නොයෙක් ආකාරයෙන් පුදා කුණුකය හැරදමා දිව්‍ය ශරීර ලබාගත්හ. (61) එබැවින් රත්නත්‍රය හැමදෙන විසින්ම පිදිය යුතුය. යමෙක් එසේ පුදයි නම් හෙතෙම තිස්ස ඇමතියා මෙන් වන්නේය.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: