Posted by: lrrp | November 22, 2011

මළවුන්ට පිදෙන මතක තටුව


මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනය සිදු වී වසර 2317 ක්‌ සම්පූර්ණවීම මෙම පොසොන් පුර පසළොස්‌වක පුන් පොහෝදිනට සිදුවිය. එතැන් සිට මෙරට පැතිරීගිය බෞද්ධ සංස්‌කෘතිය සිංහල ජාතිය ඉතා හරවත් ජාතියක්‌ බවට පත් කළහ. මෙමගින් ගොඩ නැඟුණ දේශීය ජීවන රටාව හරසුන් දේ ඉවත් කළ අරුත්බර දේ උකහා ගත් ජාතියක්‌ නිර්මාණය කළහ. නමුත් අද ද මහින්දාගමනයට පෙර මෙරට තිබූ යකුන් භූතයන් පිදීමේ පිදවිළි ක්‍රම තවමත් අපි සමාජයෙන් මුළුමණින්ම දුරුවී නොමැති බව අමුතුවෙන් කිවයුතු නැත. පුදුමය එම භූත පිසාච යක්‌ෂ ඇදහිලිවල මධ්‍යස්‌ථාන ලෙස අද සමහර බෞද්ධ පන්සල් ආරාම පත්ව ඇති අතර එම යකැදුරුකම්වල යෙදෙන්නෝ මහා මහින්ද භික්‌ෂු වංශයේ ඇතැම් ස්‌වාමීන් වහන්සේලා වීමයි.

මිහිඳු මා හිමියන් වැඩම කරවීමට පෙර මෙරට තිබූ ප්‍රාථමික ඇදහිලි විශ්වාස බොහෝමයකි. ගස්‌, ගල්, ජලය, ඉරහඳ, ගින්න, සුළඟ ආදියට වන්දනා කිරීම පුද පූජා පැවැත්වීම. චිත්‍රරාජ, කාලවේල යන යක්‌ෂ වන්දනාව, සංඛ ආදී බහිරවයනට වන්දනා කිරීම, පුද පූජා පිරිනැමීම, දේව වන්දනාව, මළ යකුන් පිදීම, ප්‍රේත, භූත ආදීන්ට පිදවිලි, බිලි පූජා, බහිරව පූජා දේව තොවිල් යක්‌ නැටුම් ආදියද ජෛන, හින්දු බ්‍රාහ්මණ ආගමික දර්ශන පිළිපැදීම්ද සිදුවිය.

අද ද මේවා අඩු වැඩි වශයෙන් ගම්බිම්වල සිදු වේ. බෞද්ධයන් අතර මේවා වඩාත් ප්‍රචලිත වීම සඳහා වජ්‍රයාන බුදු දහමේ ආභාෂයද ලැබෙන්නට ඇත. අද ඉතා ප්‍රසිද්ධියට පත්ව ඇති රත්නමාලා බන්ධන යන්ත්‍රය සහ ගාථාවන්ද බෞද්ධ ඌරුවක්‌ ගත් යන්ත්‍ර මන්ත්‍රද මෙම වජ්‍රයාන ධර්මයෙන් මෙරටට ලද දායාදයන් බව පෙනී යයි. මේවායේ යම් බලයක්‌ ශක්‌තියක්‌ නැති බවක්‌ නොකියමි. නමුත් සියලු දෙනාම බුදු දහම ලෙස මේවා පිළිගෙන ඒවා තුළ නැවතී සිටියහොත් මිනිසාට බුදු දහමෙන් ලබාදෙන ප්‍රබල පණිවිඩය විකෘති වන අතර අර්ථය ශූන්‍ය භාවයට පත්වෙනු ඇත. නිවන පරම සැපත කරගත් දහමක මෙලොව පරලොව සුගතිය පතා පින් රැස්‌ කරගැනීම අර්ථවත් නම් නොවේ. මේ අදහස පැත්තක තබා මුල්ම යුගයේ මිථ්‍යා දෘෂ්ඨි සමාජයට ගෙන යන වන්දනා සහ පූජා ක්‍රමද අප තවමත් කරපින්නාගෙන අනුගමනය කරමු. ඒවායෙන් දැනටත් සිදු කරන පූජාවකි මළවුන් සඳහා මතක තටුවක්‌ පිදීම.

මෙම මතක තටු පිදීමේ සිරිත මහින්දාගමනයට පෙර සිට පවත්වාගෙන පැමිණි පූජාදියෙන් තවමත් අවසන් නොවී තිබෙන ශේෂ වූ සිරිතකි. බෞද්ධ නිවෙස්‌වල වඩාත් මැනවින් සිදු කරන මෙම පූජාව සත්දිනයේ දානය තරමටම ගෞරවාන්විතව සැලකිලිමත්ව සිදු කරන අවස්‌ථාවන් දැකගන්නට පුළුවන්ය.

යමෙකු මියගොස්‌ සත්වන දිනයට එළිවෙන රෑ යාමයේ පවත්වන මෙම පූජාව මෙසේ සකස්‌ කරනු ඇත. යමෙකු මියගිය පසු විශේෂයෙන්ම ඔහු සිටි නිවසේදී සිදු කරන මෙම සිරිත අනුව එම නිවස පිටුපස අඳුරු තැනක. ගොක්‌කොළවලින් සකස්‌ කරන පහන් පැළ වල්බෙලි ලී සිටුවා එම බෙලි පට්‌ටාවලින් බැඳ තනා ගනිති. එදින අලුතෙන් ගෙනා වළංවල මියගිය අය ආහාරයට ගන්නට කැමැති දේවල් යොදාගෙන සකසන ආහාර ව්‍යංජන ආදිය ඉතා පිරිසිදුව ඉඳුල් නොකර නිවැසි කාන්තා පිරිස විසින් උයා පිහා සකසයි. මේවා සියල්ලම අලුතෙන්ම ගෙනා පිඟානකට බෙදන අතර මස්‌ මාළු ව්‍යාංජන ආදිය ද එම පිඟානට පිළිවෙළකට තබා සකසනු ඇත. ඔහු දුම්වැටි මත්පැන් ආදිය පාවිච්චි කළා නම් ඒ සියල්ලමද බුලත් විටත්, වතුර කෝප්පයකුත් සමග රැගෙන ගොස්‌ අර අඳුරු තැනක තැනූ පැලේ තබා පන්දමක්‌ ද දල්වා එහි ගසා එළිය ආලෝකය ලැබීමට සලස්‌වා මළගිය අයගේ සහෝදරයකු එසේ නැතිනම් පුතෙකු, එසේත් නොමැති නම් ළඟම ඥතියකු විසින් වාක්‍යයක්‌ කියා මියගිය අයට පැමිණ මෙම තටුව භාරගන්නා ලෙස ආයාචනය කරයි. එය තුන් පාරක්‌ කියනු ඇත. මියගිය අයට කතා කරන පුද්ගලයා ඔහුට අමතන්නේ තමාට ඇති නෑකම කියාය. මියගිය අයගේ නම කියන විට ඔහුගේ වාසගම සමග නම කියා ඇමතීම සිරිතයි. මෙය මියගිය කාන්තාවන් වෙනුවෙන්ද තැබූවත්, එම ආමන්ත්‍රණය කිරීමට කාන්තාවක්‌ සහභාගි නොවීම විශේෂ සිද්ධියකි. උදාහරණයක්‌ වශයෙන් මියගිය අයෙකුගේ සොහොයුරෙකු තම මියගිය සහෝදරයා වෙනුවෙන් මතක තටුව තබා ඔහුට ඇමතීම උදාහරණ වශයෙන් මෙසේද දැක්‌විය හැක.

සල්පදෝරු ලියන කංකානම්ලාගේ ගුණරත්න පෙරේරා අයියේ… මේ තබා ඇති ආහාර තටුව භාර ගන්න… යනුවෙන් තෙවරක්‌ අවට පරිසරය දෙවනත් වන පරිදි පාන්දර දෙකට පමණ පවසා පූජාව කැපකරයි. ඊට පසු කිසිවෙක්‌ එම තටුව තැබූ පැත්ත පළාතටම නොයන අතර සමහරු ගෙයින්ද එළියට නොබැස සියලු කටයුතු නිවස තුළම සිදු කර ගනී. මෙම පූජාව මතක තටුව ලෙසද සමහරු පෙරේත තටුව ලෙසද සමහරු මළ තටුව ලෙසද හඳුන්වයි. මෙම තටුව තබන දින රාත්‍රි ස්‌වාමීන් වහන්සේ නමක්‌ වඩමවා මතක බණ නැතිනම් සත් දවසේ බණ දේශනා කිරීම සිදුවෙන අතර ඊට පසුදින සත් දවසේ දානමය පින්කම ස්‌වාමීන් වහන්සේලාට පූජා කිරීම සිරිතයි.

මීට වසර දහයකට පහළොවකට පෙර මෙය මුහුදුබඩ ප්‍රදේශවල බොහෝ නිවෙස්‌වල සිදුවුණු සිරිතක්‌ වූ අතර දුප්පත් පොහොසත්, උගත් නූගත් බොහෝ නිවෙස්‌වල සිදුවිය. ඒ අතර ඇතැම් නිවෙස්‌වල මෙම සිරිත නොකළ අතර කරනු ලබන්නන්ද හෙළා දුටුහ. තමා මියගිය පසු මතක තටුවක්‌ නොතබන ලෙසත් මියගොස්‌ පෙරේතයෙක්‌ නොවන බවත් සිය අන්තිම කැමැත්තෙන්ම ලියා තබන ලද අයෙකි. සුප්‍රකට ලේඛකයකු වශයෙන් දිවි ගෙවූ විදුහල්පති දො. වි. දෙ. කො. දසනායක මහත්මාණන් ඒ අනුව එතුමා මියගිය පසු මළ තටුව තැබීම සිදු නොවිණි. වර්තමානය වන විට බොහෝ ස්‌වාමීන් වහන්සේලා සිය ධර්ම දේශනාවන් තුළින් මෙම සිරිත පිළිකෙව් කළ නිසා බොහෝ අය මෙය තැබීම නවතා ඇත. විශේෂයෙන්ම මෙම සිරිතට සිය ධර්ම දේශනාවලින් පහරදුන් හිමි නමකි අපවත් වී වදාළ බැණ්‌ඩියමුල්ලේ විපස්‌සි තිස්‌ස නායක මාහිමිපාණන් වහන්සේ.

අද ක්‍රමයෙන් අභාවයට යමින් පවතින මෙම මතක තටුව තැබීම කොතරම් බලවත් වූ යුගයක්‌ අප රටේ තිබුණ ද යත් ඕලන්ද ආණ්‌ඩුව විසින් සිය පාලන යුගය ගෙන ගිය මෙරට මුහුදුබඩ පළාත්වල මෙම සිරිත ඇතුළත් තොවිල්, යකුම් යක්‌ෂ පුද පූජා සියල්ල තහනම් කරමින් 1711 ජුනි මස 06 වැනි දින මීට වසර 299 කට ඉහතදී අති විශේෂ නීතියක්‌ පනවා එසේ කරන්නවුන් ශාරීරික වධ බන්ධනයට යටත් කර ඇත.

නමුත් නීතියෙන්ද ඒවා තහනම් කිරීමට නොහැකි වූ ජන ඇදහිලි විශ්වාස ලෙස සමාජගත වූ ඉදිරියට පවත්වා ගෙන පැමිණි අතර මෙම සියවසේදී මෙම සිරිත බොහෝ දුරට අප සමාජයෙන් මඟහැරී යන්නට ඉඩ ඇතැයි බොහෝ දුරට සිතිය හැක. ඒ මන්ද යත් නීතියට වඩා බුද්ධියට තැනක්‌ ලැබෙන්නට අද සමාජය තුළ තිබෙන ඉඩකඩ වැඩි වෙමින් පවතින නිසාය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: