Posted by: lrrp | November 22, 2011

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – හේරඤ්ඤකානි රහතන්වහන්සේ

 

කළ පවෙහි ඵල ඔහු විඳින්නේ සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.
ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”
මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.
නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

සොරුන් ඝාතනය කිරීම සඳහා කොසොල් රජතුමා විසින් පත් කරනු ලැබූ සුප්පිය මැදිවියේ දී ම මිය ගියේය.
“සුප්පියට සවිබල ඇති පුතකු ඉන්නවා. චෝර ඝාතකයා වශයෙන් ඔහු පත් කරන්නැ”යි පුරෝහිත බමුණා රජුට උපදෙස් දුන්නේ ය.
හේරඤ්ඤකානි ඒ පුතාගේ නමය.

චෝරඝාතක තනතුර ඔහුට ලැබිණ. කොසොල් රට ඈත ගමක සොරමුළක් පිළිබඳ රජවාසලට ඔත්තුව ලැබෙයි. හේරඤ්ඤානි තරුණයන් කීප දෙනකු සමග වෙස්වළාගෙන ඒ ගමට යයි. සොරුන්ට දිවි අහිමිවෙයි. නැතිනම් කඹවල බැඳී රජවාසලට එන්නට සිදුවෙයි.
හේරඤ්ඤකානි කොසොල් රජුගේ සිත් ගත්තේය.

සොරකම් පිළිබඳව අසන්නට නැති දිනවල ඔහු සැවැත්නුවර සිය නිවසට වී ඔත්තුවක් එනතුරු බලා සිටියේය. එදා ඔහුට ලැබුණේ කදිම ඔත්තුවකි. එය ගෙන ආවේ ඔහු සමග තීර්ථක ආරාමවලට දන් පැන් පිළිගැන්වූ නිසාය ය.
“ඔබ ළඟදී ජේතවනය පැත්තේ ගියේ නැද්ද ?” තිස්ස ඇසීය.

“ජේතවනය ? අර ජේත කුමාරයාගේ ඉඩම ?”
“ඔව්. ඒ ඉඩමදැන් සුදන්ත සිටුවරයාගේ. එහි විශාල ආරාමයක් හදනවා.”
“ආරාමයක් ? තීර්ථක ආරාමයක් ?”
“නැහැ – බුදුරජාණන් වහන්සේ නමින් හැඳින්වෙන අලුත් ශාස්තෘවරයෙක් පහළවෙලා. එතුමා රජගහනුවර සිට හෙට අනිද්දාම ජේතවනයට වඩිනවා. උන්වහන්සේ පිළිගන්න මුළු සැවැත්නුවරම සූදානම් වෙනවා.”
“එතකොට අපේ ආගමට මොකද වෙන්නේ”

“මට නම් තීර්ථක ආගම අත ඇරල හුඟක් කල් බුදුරජාණන්වහන්සේ දේශනා කරන දේ මොනවාද කියලා අහලා මට ගැළපෙනවා නම් මව ඒ ධර්මය පිළිගන්නවා.
“මාත් එක ගමක දී බුදුරජාන්වහන්සේ ගැන ඇසුවා. මා ඒ ගැන ;සව්වේ නැහැ. මා සොයන්නේ සොරුන් ගැන නේ.”
තිස්ස සමග හේරඤ්ඤකානි ජේතවනයට ගියේ ය. මහ මැදුරු රැසක් ඉදි වී තිබිණ. පටු පාරවල්, තුරු ගොමු, සක්මන් මුළු,, පොකුණු දක්නට ලැබිණ. සුදන්ත සිටුවරයා සිය සේවකයන් සමඟ දින කීපයක්ම නොනිදා ඒ මහ පින්කමට සැරසුණේය.

හේරඤ්ඤකානි, බුදුරජාණන්ගේ ජේතවනයට වැඩම කළ දා ද පැමිණියේය. රන් පැහැති ඒ රුව ඔහුට බොහෝ දුර සිට පෙසින. මේ රුව පසුපස තවත් රන් රූ රැසක්!බුදුරජාණන්වහ්නසේ මහ සඟරුවන සමඟ ජේතවනයට වඩිති. වීදි දෙපස මහ පිරිසගෙන් සාදු සාදු හඬ නැඟින. සුදන්ත සිටු ද, කොසොල් රජු, ජේත කුමරු ද පෙරමඟට ගියහ. බුදුහිමි පිළිගත්හ. ඒ දෑසෙහි වූ මහා කරුණාව, හේරඤ්ඤකානි ගේ සිත සසල කෙළේය. මගේ අතින් සොරුන් කී දෙනකු පරලොව යන්නට ඇද්ද. මා රැකියාවට ගැළපෙන සේ සිත දැඩි කරගත්තා. කරුණාවට ඉඩක් මගේ සිතේ තිබුනේ නැහැ. මා දැන් දකින මේ දෑසේ උතුරන්නේ මා ළඟ නැති ඒ කරුණාවයි.

එදා හැන්දෑවේ ඔහුට බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවකටද සවන් දීමට ලැබිණ. මුල – මැද – අග යහපත්, මට මගේ ජීවිතය ගැන ම කියා දුන් මට මා ගැන ම සිතන්නට මඟ පාදා දුන්, පෙර කිසි කලෙක මා නොඇසූ ධර්මදේශනාවක් මේ.ඔහුට ඔහුගේ සිත තුළ මහ වෙනසක් ඇතිවනු දැනින.අනිත්‍ය ලෙස නිත්‍ය ලෙසත්, දුක් දෙය සැපය ලෙසත්, අනාත්මක දෙය ආත්ම ලෙසත් දකිමින් මහ මුළාවක වැටී සිටි අයුරු ඔහුට පෙනෙන්නට විය.
ලොව ම දුක් ගුළියක්,!මට එයින් මිදෙමි. මම බුදු සසුනට එකතුවෙමි. පැවිදිවෙමි. ඔහු සිතුවේය. සිය නිවසට ගිය හේරඤ්ඤකානි, බාල සොයුරා සමග රජමාළිගයට ගියේය.
“රජතුමනි, මම බුදු සසුනේ පැවිදිවෙමි. මගේ තනතුර චෝරඝාතක තනතුර මේ සොයුරාට පවරනු මැනවි.”
රජු ඒ ඉල්ලීම ඉටු කෙළේය.

ජේතවනාරාමයට ගොස් පැවිදි වූ හේරඤ්ඤකානි,  විදසුන් වඩන්නට විය. වැඩි කලක් නොගොස් හේරඤ්ඤකානි හිමියෝ් රහත් බව ලැබූහ.
තමා ලැබූ නිවන් සුවය සොයුරාට අත්කැරදීම සඳහා හේරඤ්ඤකානි රහතන්වහන්සේ වෙහෙසුනහ. එහෙත් සොයුරා ගිහිගෙයට තදින් ඇලී සිටියේය. ඔහුට අවවාද කරමින් උන්වහන්සේ මෙසේ වදාළහ.

“රෑ වෙනවා. දවල්වෙනවා. කාලය බොහෝ ඉක්මනින් ගෙවෙනවා. දොළ පාරක ගලන වතුර ටිකක් වගේ සත්ත්වයාගේ ආයුෂත් ගෙවීයනවා. පාපයේ යෙදෙන අඥානවන්තයාට මෙය වැටහෙන්නේ නැහැ. කරන පව්වල දුක් විපාක ඔහුට විඳවීමට සිදුවෙනවා.

මෙයට සවන් දුන් බාල සොයුරා ද කොසොල් රජුට දන්වා තනතුරෙන් ඉවත්විය. බුදුසසුනේ පැවිදිවිය. විදසුන් වඩා රහත්විය. පසුකලෙක හේරඤ්ඤකානි රහතන්වහන්සේ සිය උදානය වශයෙන් පළ කළේ ද සොයුරාට දුන් අවවාදයමය.

රැය ගෙවී දහවල ලබන්නේ
දහවලින් පසු රැයයි එන්නේ
ජීවිතය මේ ලෙස ගෙවෙන්නේ
කුඩා නදියක දිය පරිද්දෙන්
ඔබේ ආයුෂ ගෙවී යන්නේ
පවේ පැටලුණ බාලයාහට
මෙය මෙසේ යයි නැත දැනෙන්නේ
ඔහුට දුකමය උරුමවන්නේ
කළ පවෙහි ඵළ ඔහු විඳින්නේ


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: