Posted by: lrrp | November 22, 2011

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – සෝණ සේලිස්සිරිය රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

කෙලෙස් මරුට පැරැදීමට වඩා මරණය උතුම් !

කිඹුල්වත් පුර සේලිස්සරිය ගම්පති ගේ පුතු සෝණ භද්දිය රජුගේ සේනාධිපතිවරයා ය.

ඈත ප්‍රදේශවල කැරලිකරුවන්ට එරෙහිව ඔහු රජු වෙනුවෙන් මහ සටන් හි යෙදුණේය. වරක් ඔහු රණබිමේ දී ඇතු පිටින් වැටුණේය. ඇතුගේ පයට යටවන්නට ඔන්න මෙන්න කියා තිබිය දී ඔහු බේරුණේ ය. රජුත්, රටත් වෙනුවෙන් කළ හැම සටනක දී ම ඔහු ජය ලබා ගත්තේ රජු ගේ සිත් ද දිනා ගත්තේ ය.

කිඹුල්වත් පුර රජ පවුලේ නෑයන් වැඩි දෙනෙක් බුදු සසුනේ පැවිදිව සිටියහ. භද්දිය රජු ද පැවිදි විය.

“රජතුමාත් ගිහිගෙය හැර ගියා. ඉතින් මා කුමට ද සේනාධිපති තනතුරේ රැඳෙන්නේ. මාත් එතුමා අනුව බුදු සසුනට එකතු වෙනවා…” සිතු සෝණ ජේතවනාරාමයට ගොස් පැවිදි විය.

අනෙක් භික්ෂුහු කමටහන් ගෙන විදසුන් වැඩීමේ යෙදුණහ.

සෝණ හිමියෝ සිය කුටියට වී අලස ලෙස කල් ගෙවූහ. දානය සඳහාද නෑම සඳහා ද පිටතට පැමිණෙන සෝණ හිමියෝ අනෙක් කාලය මුළුමනින්ම ගත කළේ නින්දට ය.

බුදු රජාණන් වහන්සේ අනුපිය අඹ වනයේ වැඩ විසූ දිනෙක උන් වහන්සේට සෝණ හිමි නින්දටම කාලය ගෙවන ආකාරය පෙනිණ.

ආලෝක ධාරාවක් සෝණ හිමියන් වෙත යැවූ බුදුරජාණන් වහන්සේ මෙසේ අවවාද කළහ.

“න තාව සුපිතුං හෝති රත්ති නක්ඛත්තමාලිනී
පටිජග්ගිතු මේමේසා රත්ති හෝති විජානතා”

(මේ තරු පිරුණු රාත්‍රියේ නිදා ගැනීම නුසුදුසුයි. නුවණැති පුද්ගලයා නිවන ලැබෙන තෙක් ම නොනිදා පිළිවෙත් පුරනවා. මිනිසුන් ද සතුන් ද නිදන මේ රාත්‍රිය නිශ්ශබ්දයි, නිශ්චලයි. නුවණැත්තෝ මේ ශාන්ත පරිසරයෙන් ප්‍රයෝජනය ගෙන නිවන් ලබනවා)

සෝණ හිමියෝ මෙය අසා ලජ්ජාවට පත් වූහ.

නිවන් අවබෝධ වන තුරු නොනිදමි යි අදිටන් කොට විදසුන් වැඩීම අරඹමින් මේ ගාථාව කිහ.

“හත්ථික්ඛන්ධාවපනිතං කුඤ්ජරෝ චෙ අනුක්කමේ
සංගාවේ වේ මතං සෙය්‍යෝ යං චෙ ජීවේ පරාජිතෝ”

(එදා සටන් බිමේ දී ඇතු පිටින් වැටී ඇතුට පෑගි මිය ගියේ නම් ඒ මරණය මට උතුම් ය, කෙලෙස් මරුට පරාජය වී ජීවත් වෙනවාට වඩා ඒ මරණය මට උතුම් ය)

මේ ගාථාව දේශනා කරන අතර ම විදසුන් වැඩූ සෝණ හිමියෝ රහත් බව ලැබූහ.

සෝණ සේලිස්සිරිය රහතන් වහන්සේ සිය උදානය පළ කළේ බුදු රජාණන් වහන්සේ වදාළ ගාථාවට සිය ගාථාව ද එක් කරමිනි.

“තරු වැලින් පිරි මෙ රැය
නිදන්නට නිසි නොවෙයි
පිළිවෙත්හි යෙදෙන්නට
සුදුසු මේ කාලයයි
රණ බිම දී ඇතු පිටින්
වැටී ඇත් පයෙන් මා
වැටී මිය ගියේ නම්
එය උතුම් කොට සිතමි
කෙලෙස් මරු හට යට ව
දිවි ගෙවනුවට වඩා”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: