Posted by: lrrp | November 22, 2011

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – ඛිතක රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

කොතැනින් දැයි දුක එන්නේ ?

කොසොල් රට බමුණු තරුණයකු වූ ඛිතකට බමුණු දහම පිළිබඳ පැහැදීමක් නොවීය. එහි ඉගැන්වීම් පිළිබඳව නැඟූ ප්‍රශ්නවලට වහා බමුණන්ගෙන් බමුණු පඬිවරුන්ගෙන් ලැබුණු පිළිතුරු වලින් ඔහු සෑහීමකට පත්වූයේ නැත.

අප අපගේ විමුක්තිය ලබා ගත යුත්තේ නොපෙනෙන කෙනකුගේ අද්භූත දයාවෙන්ද ? යාග හෝම වලින්, ස්තෝත්‍රවලින් ඒ නොපෙනෙන බලවතා මහා බ්‍රහ්මයා දිනා ගත යුතුලු ? මේ මත සමග මට එකඟ වෙන්නට බැහැ. ඛිතක වැඩිහිටියන්ගේ අප්‍රසාදයට ලක් විය.

මගේ ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු කොතැනක හෝ ඇති. කවදා හෝ මට ඒ පිළිතුරු ලැබේවි. ඔහු සිතුවේය.

කලෙකට පසු ඔහුට පිළිතුරු ලැබිණ.

ඒ ජේතවනාරාමයේ වැඩ විසූ බුදුරජාණන් වහන්සේ ගෙන්ය. උන් වහන්සේ සමග කළ සාකච්ඡාවෙන් පසු ඛිතක ගේ සියලු ප්‍රශ්න විසඳින.

“තමාගේ විමුක්තිය ලැබිය යුත්තේ තමාගෙන් මය. නොපෙනෙන බලවතුන්ගෙන් විමුක්තිය යැදීමෙන් පලක් නැත. විමුක්තිය සඳහා තමන්ගේම වීර්යයෙන් ගමන් කළ යුතු මාර්ගයක් තිබේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි”

ඛිතක බුදු හිමි පාමුල වැටී වැඳ “මා පැවිදි කර ගන්නැ” යි ඉල්ලුවේය. පැවිද්ද ලැබිණ.

ඛිතක හිමියෝ කමටහන් ගෙන වනාන්තරයට වැඩම කොට විදසුන් වඩන්නට වූහ. මද කලකින් රහත් බවට පත් වූහ.

ඛිතක රහතන් වහන්සේ සිටි තැනට දිනක් වෙනත් භික්ෂූන් වහන්සේ නමක් වැඩියහ. උන් වහන්සේ එහි වැඩ වසන භික්ෂූන් පිළිබඳව මෙසේ විමසූහ.

“මෙහි වැඩ වෙසෙන අයගෙන් කාගේ සිත ද පර්වතයක් මෙන් නොසැලෙන්නේ ? ඇලුම් කටයුතු වස්තුවල ද නොඇලෙන්නේ කාගේ සිත ද ? කෝපයට පත් විය යුතු අවස්ථාවක වුවද කෝප නොවන්නේ කාගේ සිත ද? යම් ආර්ය පුද්ගලයකුගේ සිත මේ ආකාරයට දියුණු වී ඇත්නම් ඔහු ගේ සිතට දුකක් කෙසේ පැමිණේද ?”

මේ අසන්නේ කුමක්දැයි ඛිතක රහතන් වහන්සේට වැටහිණ. මේ තමාගේ රහත් බව පිළිබඳ විමසීමකි. උන්වහන්සේ පිළිතුරු දුන්හ.

“මාගේ සිත පර්වතයක් මෙන් අටලෝ දහමෙහි නොසැලෙයි. ඇලුම් කටයුතු වස්තුවල ද නොඇලෙයි. කෝපයට පත් විය යුතු අවස්ථාවලදීද කෝප නොවෙයි. මේ ආකාරයට දියුණු වී ඇති මගේ සිතට දුකක් නම් කෙසේ වත් පැමිණෙන්නේ නැත”

මේ ප්‍රශ්නය හා පිළිතුරු එක්කොට ඛිතක රහතන් වහන්සේ සිය උදානය පසු කලෙක පළ කළහ.

කාගේ සිත ද ගල් කුළ මෙන් නොසැලෙන් නේ ?
කාගේ සිත ද ලොව කිසිවක නො ඇලෙන්නේ ?
කාගේ සිත ද මහ ගැටුමෙන් නො කිපෙන්නේ ?
එබඳු සිතට කොතැනින් දැයි දුක එන්නේ ?

මාගේ සිත ද ගල් කුළ මෙන් නොසැලෙන්නේ
මාගේ සිත ද ලොව කිසිවක නොඇලෙන්නේ
මාගේසිත ද මහ ගැටුමෙන් නොකිපෙන්නේ
එබඳු මසිත වෙත දුක නැත ළංවෙන්නේ


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: