Posted by: lrrp | November 23, 2011

ඉතා පැරැණි සිංහල බණ කතා – චුල්ලී උපාසිකාවගේ කථාව

මෙසේ අසන්නට ලැබේ. (1) මෝරුන්ට වාසස්ථාන වූ සාගරය මැද සක්දෙව් රජු විසින් මවන ලද පියංගුදීප නැමති උතුම් දිවයිනක් ම වේ. (2) ෂඩභිඥාලාභී වූ මහත් සෘධි ඇති කනපියපුත්ත – තිස්ස තෙරනම දහසක් තරුණයන් විසින් පරිවරන ලදුව එහි වාසය කරයි. (3) ඒ තෙරුන් සමීපයෙහි චුල්ලනාග නමැති කීකරු හෙරණ නමක් පැවිදි විය.

(4) ඒ කාලයේදී තාම්‍රපර්ණි ද්වීපයෙහි සුලුගමේ උපන් බැවින් චුල්ල නමැති උපාසිකාවක් (5) රත්නත්‍රයෙහි ප්‍රසන්න වූවා බුදුසස්නෙහි ශ්‍රද්ධා ඇත්තී මැඩ දැමූ පිදුරු ගොඩවල් අවුස්සා ධාන්‍ය රැස්කරයි. (6) ඕ තොමෝ ඒ ධාන්‍ය ස්වකීය ගෙට ගෙන ගොස් සංඝයාගෙන් නමක් ඉල්වාගෙන සුලුකැඳක් ද බතක් ද දුන්නීය. (7) ඒ කාලයේදී තිස්ස තෙරුන්ගේ කුසයෙහි වාතයක් හට ගත් බැවින් උපස්ථායක සාමණේරයන් අමතා මෙසේ කීය. (8)

”සාමණේරය, තෝ සිංහල ද්වීපයෙහි * චූලකාලගමෙහි චුල්ලී උපාසිකාව සමීපයට යව.” (9) මහත් සෘÿ ඇති චුල්ලනාග තෙමේ යහපතැයි කියා අහසට නැග හෙළදිව සංඝාරාමයෙහි ගොඩ බැස්සේය.

(10) සංඝයාට සලාක බෙදන කල්හි වැඩිමහලු පිළිවෙළින් බෙදූ බැවින් ඕ හට සුලු කැඳ සලාකය ලැබුණි. (11) ඉක්බිති නුවණැති ඒ හෙරණනම සඟළ සිවුර පොරවා පාත්‍රය අතින් ගෙන යට බැහූ ඇස් ඇතිව සිහියෙන් යුක්තව ගොස් චුල්ලිය ඉදිරියෙහි සිටියේය.

(12) ඒ උපාසිකාව උපශාන්ත වූ දිනූ ඉඳුරන් ඇති ඒ හෙරණ නම දුටු පමණින් සතුටුව පහන් සිතැතිව ආසනයක් පැන වීය. (13) මොහොතක් වැඩහිඳ පා සෝදාගත් හෙරණ නම ඒ කැඳ උපාධ්‍යය තෙරුන් සඳහා ගෙන යන්නෙමියි කීය. (14) “ස්වාමීනි, මේ කැඳ වළඳා ඉතිරි කැඳ ගෙන යනු මැනවි.

දුගී වූ මට අනුකම්පා කොට මෙය වළඳනු මැනව“ යි උපාසිකාව කීහ. (15) හෙරණ නම ඒ කැඳ වළඳා පාත්‍රය සෝදා ඇයට දුනි. ඕ තොමෝ පාත්‍රය නැවත පුරවා දී දොරටුව කරා පැමිණියාය. (16) ඒ ප්‍රාඥා තෙමේ බමරෙකු වැනි පාත්‍රය ඉදිරියෙන් යවා අහසෙහි යන හංසරාජයෙකු මෙන් එය පස්සෙන් ගියේය. (17) මිනිසුන් බලා සිටියදීම පුවඟු දිවයිනට පැමිණි හෙරණ නම ඒ කැඳ ගෙනවුත් තෙරුන්ට පිළිගැන්වීය. (18) කනපියතිස්ස තෙරනම ඒ කැඳ දසදහස් නමකට බෙදා දී පසුව තෙමේ වැළඳී. (18) එය බී කෙණෙහි තෙරනම සුවපත් විය. එය දුටු (ලක්දිව) රජුගේ ඡත්‍රයෙහි අධිගෘහිත වූ දේවතාවා සාධුකාර දුණි.

එය ඇසූ රජතෙම දේවතාව අමතා (19) ඔබ මාගේ දානයත් සෘධියත් දැනගත්තේ දැන් ද? කුමක් හෙයින් දැන් සතුටු සිතැතිව සාධුකාර දෙන්නෙහිදැයි විචාළේය. (20) මහරජ, මම ඔබට සාධුකාර නොදෙමි. මම චුල්ලී උපාසිකාවට සාධුකාර දෙමි.

ඕ දක්‍ෂිණාර්හ වූ තාදී ගුණ ඇති රහතන්ට දනක් දුන්නී යයි දේවතාවා කීය. (21) එය සා සතුටු සිතැති රජ ඇය සොයා ගෙනව; ඕ මාගේ දුවක් වන්නී යයි කියා ඈ ගෙන ඒම පිණිස ඇමතියකු යැවීය. කථා වස්තුව විස්තර කළ යුතුය. ඕ තොමෝ ඒ ඇමතියාගේ භාර්යාව විය. ඇගේ මරණ කාලයෙහි සදෙව් ලොවින් රථ පැමිණියාහ.

ඇය රථවල සිටියන් හා කථා කරන විට ඇතැම් කෙනෙක් ඇය දොඩවන්නී යයි කීහ. (22) මම ප්‍රලාප නොදොඩමි; දේවතාවෝ අවුත් ඔවුන්ගේ රථවලට මා කැඳවමින් මා ඉක්මන් කරවතියි භික්ෂූන්ට කී ඕ මෙසේද කීය. (23) හෙළදිව යම් පමණක් භික්ෂූන් වෙසෙත් නම් ඒ සියලු භික්ෂූන්ට තුන් වරක් තුන් සිවුරු දුනිමි. (24) පහන් දහස බැගින් දහස් වරක් මා විසින් දල්වන ලදහ.

අකාලධර්ම ශ්‍රවණ දහසක් ද මා විසින් පවත්වන ලදී. (25) මී පැණි, ගිතෙල් තෙල් පැණි යන මේවා බොහෝ වාරවලදී බොහෝ සේ දෙන ලදී.

මම දැන් කුමකට ප්‍රලාප දොඩවම් ද? (26) අවසන් කාලයෙහි කළ දේ දෙන්නාගේ සිත පී‍්‍රතිමත් කරවයි. බුද්ධ ධර්ම සංඝ යන රත්නත්‍රය ආශි‍්‍රත වූ බොහෝ පින් කොට ශාක්‍යසිංහයන්ගේ ශාසනයෙහි මට පී‍්‍රතියක් ද සොම්නසක් ද ඇති විය. මට තැති ගැන්මක් නැත.

(28) දෙව්ලෝවලින් උතුම් රථ ඇවිත් මා ඉදිරියෙහි සිටිත්. ඒ දෙව්ලෝවලින් කවර එකක් යහපත් ද ප්‍රශස්තදැයි මට කියනු මැනවි. (භික්ෂූහු මෙසේ කීහ) (29) රහතන් වසන නුවරක් මෙන් අප්‍රමාදීන් වසන්නා වූ ඉතා යහපත් වූ තුසිත දෙව්ලොවැ ධර්ම කථාව හැම කල්හි බහුලයෙන් පවත්නේය. අජිත නම් පැවිදි වී සිටි මෙතේ බෝසත් තෙමේ ද එහි වෙයි.

(30) මෙසේ බොහෝ පින් කළ බුද්ධ වචනයෙහි පැහැදීම ලැබූ ඕ තොමෝ තුසිත පුරයෙන් ගෙනා රථයෙහි නැඟී අහසින් යයි. (31) යම් කෙනෙක් දශකුසලයන්හි හැසිර සර්වඥ දේශිත වූ ධර්මය පිළිපදින්නාහු නම් ඔවුහු පින්පල ලැබීමට ක්ෂේත්‍රයක් වූ ස්වර්ගයට උතුම් රථවලින් යති.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: