Posted by: lrrp | November 23, 2011

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – පච්චය රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

වීර්යයේ මහිමය

ඔහු රෝහිණී නුවර රජතුමා ය. පච්චය නමින් හැඳින්වුණු ඒ රජතුමා සිය පරපුරෙන් පැවැත ආ මහා රාජ බලි යාගය පැවැත්වීමට සූදානම් විය. මුළු රෝහිණී නුවර ම අලංකාර සැරසිලිවලින් වැසිණ. දුර බැහැර පෙදෙස්වලින් පවා මහ පිරිස් යාගය නැරඹීම සඳහා පැමිණියේය.

රජතුමා සිය මැදුරෙන් බිමට බැස්සේය. යාග ඇදුරෝ වේදිකාවට ගොඩවන්නට සැරැසෙන විට ම අහස විසිතුරු පැහැයෙන් බැබළිණ. ඒ පැහැයත් සමග මහ සෙනඟ අතරට උස් වේදිකාවට බුදු රජාණන් වහ්සේ වැඩම කළහ.

මහ සාදු කාර හඬක් නැඟිණ. බුදු රජාණන් වහන්සේ දහම් දෙසන්නට පටන් ගත්හ.

යාගය වෙනුවට දහම් දෙසුමක්:

පච්චය රජතුමා විස්මයෙන් බලා සිටියේය. මද වේලාවකට පසු දෑස පියා ගත්තේය.

බොහෝ කලෙකට පෙර ඇසූ දහමක් ඇසෙන්නාක් මෙන් ඔහුට දැනිණ. මේ භවයේ දී නම් නොවේ.

දුක්ඛං දුක්ඛ සමුප්පාදං
දුක්කස්සව අතික්කමං
අරිය වට්ටංගකං මග්ගං
දුක්ඛුපසගාමිනං

දුක, දුක ඇති වීම, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මග වූ ආර්ය අෂ්ටාංගික මාර්ගය යන චතුරාර්ය සත්‍යය යමෙක් දනී ද ඔහු ම දුක නැති කැරැ ගනී.

බුදු රජාණන් වහන්සේ එය විස්තර කළහ.

සැප මැද ම ජීවත් වූ පච්චය රජුට සැපෙහි ඇති අනිත්‍යය වැටහිණ. අනිත්‍යය දුක ම ගෙනේ. ඔහු ඇස් හැර බැලුවේය.

දස දහස් සංඛ්‍යාත මහා ජනකාය සමාධියේ ය. බුදු රජාණන් වහන්සේ දේශනය හමාර කොට ඉවතට වඩින්නට සැරැසී සිටිති.

රජතුමා උන් වහන්සේ අසලට ගියේ ය.

“ස්වාමීනි, මහාරාජ බලි යාගය ට සැරැසුණු අපට ඔබ වහන්සේගෙන් ලැබුණේ යාගයට වඩා වටිනා මහා ශාන්තියකි.

මට තවදුරටත් මේ රජ සැප අවශ්‍ය නැත. මම බුදු සසුනේ පැවිදි වෙමි.”

පච්චය රජු පැවිදි විය. පැවිදි වී දින පහකට පසු පච්චය හිමියෝ මෙසේ අදිටන් කළහ.

“මම දැන් මෙහි හිඳ ගනිමි. රහත් නොවී නොනැගිටිමි.”

විදසුන් වැඩීම ඇරැඹූ උන් වහන්සේ මද වේලාවකින් රහත් බව ලැබූහ.

කාශ්‍යප බුදුන් සමයේ තමා විදසුන් වැඩූ සැටි උන් වහන්සේට සිහි විය. දැඩි අදිටනින් විදසුන් වැඩුව ද නුවණ මුහුකුරා නොතිබුණු හෙයින් රහත් වීමට නොහැකි විය.

පසු කලෙක පච්චය රහතන් වහන්සේ සිය උදානය මෙසේ පල කළහ.

පැවිදි වී පස් දිනක් ගත විණි
රහත් බව නැති කෙනෙක් වෙමි මම
වහා මගෙ කුටියට වැදී මම්
කළෙමි මේ අන්දමට අදිටන්
“සැනින් තණ්හා හද විදින තෙක්
අහර පැන් මේ කයට නොගනිමි
නොවැතිරෙමි එක් ඇළයකටවත්
නිදි වරමි. සුව නොදෙමි සිරුරට.
මගේ අදිටන් සරුව ගිය හැටි
බලනු වීර්යය පරාක්‍රම ගැන.
ත්‍රිවිද්‍යාව ස ලැබිණ. මා හට
බුදු ඔවා තුළ පිහිටියෙමි මම.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: