Posted by: lrrp | December 5, 2011

අවසාන මෙහෙයුම

නිවන් අවබෝධය ලබාගැනීම සඳහා සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මෙමින්, තුන් සිව්රත්- පාත්‍රයත් දරමින් හුදෙකලාව නිවන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව ලෝකයේ ස්‌වභාවය අවබෝධකර ගැනීම, එසේ නොමැතිනම් නිවීම, එක ක්‍ෂණයකින් ලබන අත්දැකීමක්‌ නොවේ.

එය මෙහෙයුමක අවසාන ප්‍රතිඵලයයි.

මෙම මෙහෙයුමට යන කාලය ඔබගේ දක්‍ෂතාව මත, ඔබගේ අතහැරීම මත තීරණය වන්නකි. ඔබ අවසාන නිවන් මෙහෙයුමට අවතීර්ණ වන්නේ අවසාන තීරණයක්‌ අරගෙනය. එම තීරණය “එක්‌කෝ නිවීම, නැතිනම් මරණය” යන්නයි. මෙම අධිෂ්ඨානය ඔබ ගතයුතු වන්නේ අවංකවමය. එම බලාපොරොත්තු දෙකෙන් තොර වෙන බලාපොරොත්තුවක්‌ භික්‍ෂුවට නොමැත. තම අරමුණ සහ සටන ලෝකයාට සඟවමින් ක්‍රියාත්මක විය යුතුය. තුන් සිව්රත්, පිණ්‌ඩපාතයෙන් ලබාගන්නා ආහාර වේලත් හැර, පැරසිටමෝල් පෙත්තක්‌වත් කුටිය සමීපයේ නොමැත. “එක්‌කෝ නිවීම, එක්‌කෝ මරණය” නැමැති අධිෂ්ඨානය පැහැදිලිය. අවසන් මෙහෙයුමේ යෙදෙන භික්‍ෂුව යුද බිමේ සටන් කරන සෙන්පතියෙක්‌ වැනිය. ඔහු සෙන්පතියෙක්‌ වුවද පසුපස සැඟවී සටන මෙහෙයවන්නෙක්‌ නොව, මහා සංග්‍රාමයක, සටන් පෙරමුණේම සිටින්නෙකි.

ඔබ මෙසේ සිතන්න. උතුරු – නැගෙනහිර යුද මෙහෙයුම් ඔබට මතකයි නේද? විවිධ නම් වලින් මෙම මෙහෙයුම් පටන් ගැනීමට පෙර, සේනාවිධායකයා කරන්නේ අවශ්‍ය යුද ආම්පන්න සියල්ල රැස්‌කරගන්නා එකයි. ආයුධ, ගුවන් යානා, බෝම්බ, කාලතුවක්‌කු, පාබල හමුදා, මිසයිල, යුද නැව්….

මේ සියල්ල යුද්ධය පටන්ගත් සැනින්, සුදුසු තැන්වල සුදුසු ආකාරයෙන් යොදවලා සතුරු බලමුළු බිඳ දැමීමයි කළේ. යුද ගුවන්යානයෙන් ගහන්න අවශ්‍ය තැන්වලට, යුද ගුවන් යානයෙන් ගහනවා. මිසයිලයෙන් ගහන්න අවශ්‍ය තැනට මිසයිලයෙන් ගහනවා. බෝම්බ අවශ්‍ය තැනට බෝම්බ දමනවා….

මේ වගේම තමයි මෙහෙයුමත්. අවසන් නිවන් මෙහෙයුමට අවතීර්ණවූවාට පසු ඔබ හරියටම සෙන්පතියෙක්‌ වගෙයි. පරම සතුරා වන ඔබව සසරට බැඳ දමන සිත ගැන අවධානයෙන්මයි සිටින්නේ. සිතට එන සෑම සිතිවිල්ලක්‌ම ඔබ අනිත්‍ය වශයෙන් දකිනවා. ඇතිවන සෑම සිතකටම ඔබ පහරදෙනවා. මොන ආයුධයෙන් ද ඔබ පහරදෙන්නේ. “අනිත්‍යය” කියන ආයුධයෙන්. අනිත්‍යයෙන් පහරදෙන විට ඔබ තුළ වැඩෙන්නේ හා අවබෝධවන්නේ සතර සතිපට්‌ඨානයයි. පටිච්ජසමුප්පාදයයි. චතුරාර්ය සත්‍යයයි. පංච උපාදානස්‌කන්ධයමයි. සප්ත බොඡ්ජංග ධර්මථාවයනුයි. මේ ආයුධ ඔබ අමුතුවෙන් රැස්‌කළ යුතු නැහැ. ඔබට වැඩෙන ප්‍රඥාව තුළ මෙම ආයුධ ඔබ තුළ රැස්‌වෙනවා. ඔබ සමාධියේ ඉහළම තලයකදී, ප්‍රඥාව විසින් ලබාදෙන ඥාන දර්ශනයන් නුවණින් යුතුව දකිමින් අවබෝධය ලබනවා. සෑම සිතක්‌ම අනිත්‍ය වශයෙන් දකිනවා. විවෘත කොට බලනවා. අවබෝධය ලබනවා. ප්‍රඥාවෙන් මුවහත් වෙමින් ඉදිරියට යනවා. මේ වන විට ආහාර, නින්ද, කයේ පහසුව ආදී මේ අවශ්‍යතා ඔබගෙන් ගිලිහිලා. ඔබ “එක්‌කෝ නිවීම. නැතිනම් මරණය” කියන අධිෂ්ඨානය කරාම යනවා. නිවන් මෙහෙයුම දැඩිව ක්‍රියාකාරී වෙන්නේ රාත්‍රී, උදය කාලයට. නින්ද එන්නේ නැහැ. නින්දත්, නොනින්දත් අතර ස්‌වභාවයක්‌ තිබෙන්නේ. ඇවිදිමින්, හිඳගනිමින්, සැතපෙමින්… මේ ආදී සෑම ඉරියව්වකදීම සිත තම පාලනයෙන් ඉවතට යන්න දෙන්නේ නැහැ.

මේ වන විට මාරයා විවිධ උපක්‍රම යොදනවා. තමා ගිහි ජීවිතයේදී ආශා කළ රූප,රස,හැඩ රුව මවලා පෙන්නනවා. සුරුපී රූප කාය වල්, බ්‍රහ්ම සංඥා.. මහා රාත්‍රියේ සිතට ගේනවා. ඒත් දැන් ඔබ දක්‍ෂයි මාරයා හඳුනාගන්න. ඔබ මෙහිදී මාරයා රැගෙන එන රූප “අසුභය” නැමැති ආයුධයෙන් සුනුවිසුණු කර දමනවා.

අවසාන මෙහෙයුමේදී මාරයා ඔබට ඔබ ආසා කළ කාන්තා රුවක්‌ සිහිගන්වනවා යෑයි සිතන්න. සමහරවිට ඇය සුරූපී නිළියක්‌ විය හැකියි. එවිට ඔබ එම රූපයට මෙහෙම කරනවා. මනසින් ඇයව නිරුවත් කරනවා. ඇයගේ ශරීරය කපාගෙන, විනිවිදයමින් මනසින් එය විවෘත කරනවා. ඇගේ ශරීරය තුළ තිබෙන සම්, මස්‌, බොකු, බඩවැල්, අසුචි, මුත්‍ර, රුධිරය, සෙම්, සොටු, වමනය, මනසින් පොලිතින් උරයක දමා ඇගේ ඇටසැකිල්ල මත එල්ලනවා. මෙසේ එල්ලා ඇයව මනසින් ඇවිද්දවනවා. පෘථග්ජන සිත කාමයට ගාල්කරන සුරුපී රූපයක යථාර්ථය හොඳින් දකිමින් ඇටසැකිල්ල තව තවත් මනසින් ඇවිද්දවනවා. මාරයාව කම්පා කරවනවා. මේ වන විට ඔබට අට්‌ඨික සංඥාව හොඳින් අවබෝධයෙන් වැටහෙනවා. ඔබට පුළුවන්කම තියෙනවා ඕනෑම රූපයක්‌ අට්‌ඨික සංඥාවෙන් දකින්න. එනිසා ලෝකයේ සුරුපීම රූපය සිතට අවාද, එය අත හරින ස්‌වභාවයේ ඔබ සිටිනවා. මේ වන විට මාරයා දන්නවා ඔහුට ඔබව අතහැරෙන්නයි යන්නේ කියලා.

ඔබ ගිහි ජීවිතය තුළ සිටියදී ඔබ ප්‍රිය කළ මනුෂ්‍ය ලෝකයේ ස්‌වභාවයන් පිළිබඳ රූප දැන් ඔබේ සිතට එනවා. ඔබ මේ සිතිවිලි විවෘතකර අනිත්‍ය වශයෙන් දකිනවා. ඔබට මෙහෙම සිතක්‌ ඇතිවන්න පුළුවන්. මේ රටේ පාලකයා වුණොත් මහා සැපයක්‌ බව. ඔබ එසේ නොවන බව අනිත්‍ය වශයෙන් දකිනවා. හිටපු පාලකයන් මියගිය අසරණ ස්‌වභාවය, අවසාන කාලයේදී ඔවුන් පත්වූ රෝගී ස්‌වභාවය, බලය පිරීහී ගිය පසු ඔවුන් අත්විඳි මානසික වේදනාවන්, බලය අහිමිවූ පසු ජනතාව ඔවුන්ගෙන් ඈත්වූ අයුරු. බෝම්බවලට අසුවී විනාශවී ගිය පාලකයන්….

අනාගතයේ පාලකයන්ටද ඉහත ස්‌වභාවයන් පොදුය යන්න ප්‍රඥාවෙන් දකිනවා. ලෝකයේ බලවත්ම පාලකයා දක්‌වාද, ලෝකයේ විශාලම ධනපතියා දක්‌වාද, ලොව සුරූපීම කාන්තාව, පිරිමියා දක්‌වාද, අතීත-අනාගත-වර්තමාන වශයෙන් දකිමින් අවබෝධය ලබනවා. ඔබට වැඩෙන ප්‍රඥාව විසින් ඔබට මේ අනිත්‍යාවබෝධය ලබාදෙමින් නිවන් මෙහෙයුමේ පෙරට යවනවා. මෙහෙම ඔබ අවබෝධය ලබනකොට මනුෂ්‍ය ලෝකයට ඇති කැමැත්ත පිළිබඳ සංඥා ඔබෙන් බැහැර වෙනවා. ඔබ තුළ මේ අවබෝධාත්මකව වැඩුණේ ධම්මානුපස්‌සනාවයි. සතර සතිපට්‌ඨාන ධර්මතාවයන් වැඩීමෙන් මුවහත්වන ඔබේ ප්‍රඥාව විසින් ඔබට පෙනෙන දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක අනිත්‍ය වශයෙන් විනිවිද දකිනවා. මේ වන විට ඔහුට දෙවියෝද, බ්‍රහ්මයෝද වඳිනා බව ඔහු සමාධිය තුළින් දකිනවා. දෙවියන්ද, බ්‍රහ්මයන්ද ඔහුට වඳින්නේ ඔහු දෙවියන්ද බ්‍රහ්මයන්ද ඉක්‌මවා ගිය කෙනෙක්‌ නිසා බව ඔහු දැනගන්නවා. ඔහු එහිදී දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක මනසින් පීරමින් එහි නිත්‍යවූ සැපයක්‌ ඇතැයිද යන්න සොයනවා. ඔහු පැහැදිළිවම දකිනවා දිව්‍ය, බ්‍රහ්ම සැපද අනිත්‍ය බව. ඔහු බොහොම සියුම්ව දිව්‍ය ලෝක නිරීක්‍ෂණය කරනවා. මනසින් ඔහු දකිනවා, කාම සම්පත් විඳින දෙවියන්, දිව්‍යාංගනාවන්. සැප පිරිහී, පිං පිරිහී අපාගාමී වන දෙවියන්, දිව්‍ය ලෝකයේ දිව්‍ය තලවල කළ පිං වල ස්‌වභාවය නිසා ඇති පංති පරතරය. දිව්‍ය සැපයට ගිජුවී, දිව්‍ය ලෝකවලින් චුතවීමට සිදුවූ විට දෙවියන් ශෝකවන, හඬා වැටෙන ස්‌වභාවය. සක්‌දෙව් රජුද පිරිහී නැවතත් සතර අපායට වැටෙන ස්‌වභාවය ප්‍රඥාව තුළින් ඔහු දකිනවා. එවිට දිව්‍ය ලෝකයට ඇති කැමැත්ත, ආශාව පිළිබඳ සංඥා ඔහුගෙන් බැහැරවෙනවා.

ඊළඟට ඔහු බ්‍රහ්ම ලෝකයට සිත මෙහෙයවමින් බලනවා. ඔහු දකිනවා ප්‍රභාශ්වර සුදු සිල් ඇඳුමෙන් සැරසුණ, උතුරු සළුවක්‌ පොරවාගත් බ්‍රහ්මයන් එකලාව සක්‌මනේ යෙදෙමින් එරමිනියා ගොතාගෙන සමාධිය වඩන ස්‌වභාවය. ඒ අයත් දුක තුළ සිටිමින් සැප සොයනවා. බ්‍රහ්මයින්ද සැපයි කියමින් විඳින්නේ අනිත්‍යභාවයට පත්වන සමාධි සැපය බව ඔහු ප්‍රඥාවෙන් දකිනවා. බ්‍රහ්ම ලෝකයේ ඉහළම තලයක්‌ තිබෙනවා, එහි බ්‍රහ්මයින් කල්ප ගණන් එකම ස්‌වභාවයෙන්, එකම ඉරියව්වෙන් එරමිණිය ගොතාගෙන සමාධිය වඩනවා. ගල් රූප වගෙයි. ඉඳිකටු තුඩක්‌වත් ගැසීමට තරම් ඉඩක්‌ නොතබා බ්‍රහ්ම ලෝකය පීරා බලනවා එහි නිත්‍ය වූ කිනම් හෝ සැපයක්‌ පවතිනවාද කියා. බ්‍රහ්ම ලෝකයේ අනිත්‍ය ස්‌වභාවයද දැකීම නිසා එයට ඇති කැමැත්ත සහ සංඥා ඔහුගෙන් ඉවත් වෙනවා.

මේ සියල්ලම රූපවාහිනී තිරයක රූප ඇතිවෙමින් දිවෙන ආකාරයට පෙනි පෙනී ඔහුට අවබෝධය ලබාදෙනවා. දැන් ඔබ ආයාසයක්‌, වෙහෙසක්‌ ගතයුතු නැහැ. ප්‍රඥාඟෙ ත්‍රීව්රභාවය නිසා මේ සියල්ල සිද්ධවෙනවා. මෙය අත්විඳීමෙන්ම ඔබ දැකීම ආශ්චර්යයක්‌.මේ සියල්ලම ඔබට පහලවෙන ඥානයන් විය යුතුය. මෙම ඥානයන් විසින් මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල ස්‌වභාවය ඔබට අවබෝධකොට දෙනු ඇත. නිවන් මෙහෙයුමේ ඔබ දැන් සිටින්නේ දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම ලෝකවලට ඇති කැමැත්ත. ඒවායේ බැසගැනීමට ඇති තෘෂ්ණාව සහමුලින්ම ඔබෙන් ඉවත්වෙලාය. රූපවාහිනී තිරයක රූප පහලවන්නා සේ ඔහුට ඔහුගේ අතීත ජීවිතවල ස්‌වභාවයන් සතර අපායට වැටී විඳි දුක්‌ පීඩාවන්, තිරිසන් සතුන් ලෙස ඉපිද විඳි අනන්ත අප්‍රමාන දුක්‌, අතීත ජීවිතවලදී ලැබූ රාජරාජ මහාමාත්‍ය අනුභව කළ සැප සම්පත්, දිව්‍ය සැප…. මේවා ඔහුට ද+ර්ශනය වනු ඇත. මේ ඔහු දකිමින් සිටින්නේ අවසාන දර්ශනපෙළයි. දැන් ඔබට මෙතෙක්‌ ජීවිතයේ නොලද දෙයක්‌ දැනෙනු ඇත. මහා වෙනසක ඉවක්‌ දැනෙනවාය. මේ හැම අදියරකදීම ඔබට සප්ත බොඡ්ජංග ධර්ම වැඩෙනවාය. ඉහත ධර්මයන් වැඩෙන්න වැඩෙන්න ඔබ තව තවත් ජව සම්පන්න වන්නේය. වීර්යයෙන් පෙරට යන්නේය. මෙලොව ජීවත්වන සතවයෙක්‌ ඉලක්‌කය කරා හඹා යැමේ වීර්යය, වේගය, උපරිමයෙන් ක්‍රියාත්මකවන අවස්‌ථාව තමයි නිවන් මෙහෙයුමේදී නිවීම උදෙසා හඹා යැමේ ස්‌වභාවය. මරණයටවත් ඔහුව නවත්වන්න බැහැ. මොකද ඔහු මේ වන විට දන්නවා තමන් මේ මෙහෙයුමේදී මැරුණහොත් තමා මැරෙන්නේ ධර්මය අවබෝධ කරගත් අරිහත් උත්තමයෙක්‌ වශයෙන් බව. ඔහුට මේ සංඥාව නිවනේ අවසාන මෙහෙයුමට අවතීර්ණවීමේදීම දැනෙනවා. ඒකයි ඔහු “එක්‌කෝ නිවීම, නැති නම් මරණය” කියන අධිෂ්ඨානයට දැඩිව එන්නේ. ඔහු දන්නවා මේ දෙකෙන් කොයික සිදු වුණත් ඔහු සසර දුක නිවාගන්නා බව. එය ඔහු දකින්නේ ප්‍රඥාඟෙ ත්‍රිවුරභාවය නිසාය. හැබැයි ඔහු දෙස බලා බාහිර කිසිවෙකුටවත් ඒ ගැන සිතාගන්න බැහැ. හොඳයි, එම භික්‍ෂුව නිවන් මෙහෙයුමේදී හුදෙකලා කුටිය තුළදීම අපවත්වුවහොත් මිනිසුන් කියාවී එම භික්‍ෂුව මානසික රෝගියෙක්‌, ගුරුවරයෙක්‌-පන්සලක්‌-ආරණ්‍යයක්‌ නොමැති අනාථයෙක්‌, අහිගුණ්‌ඨකයෙක්‌……. කියලා. ලෝකයේ ස්‌වභාවය මෙහෙමයි. ලෝකයා එහෙම කිව්වත් උන්වහන්සේ අපවත්වූයේ නැත. පිරිනිවන්පෑවාමය. පිරිනිවීගියාමය. එය දන්නේ පිරිනිවී ගිය උන්වහන්සේ පමණක්‌මය. ලෝකයා කුමන අදහසක්‌ දැරුවද උන්වහන්සේට ඉන් ඵලයක්‌ නොමැත. ලෝකයාගේ ස්‌වභාවය අදහස්‌ ප්‍රකාශ කිරීමයි. උන්වහන්සේ මරණය වන විට මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝක සංඥා අනිත්‍ය වශයෙන් අවබෝධකර එම ලෝකවලට බැසීමට ඇති තෘෂ්ණාව නිරුද්ධ කරදමා තිබුණ නිසා නැවත උපාදානයක්‌ කරගැනීමට තෘෂ්ණාවක්‌ නොමැත. අවසාන සිතට අල්ලාගැනීමට, බැසගැනීමට තැනක්‌, කැමැත්තක්‌ නොමැති නම් එම සිත නිවී යැම ස්‌වභාවයයි. ආශ්චර්යමත් ධර්මයක අවසාන ඵලය ලෝකය අතහැරීමය. ලෝකයෙන් මිදීමය. ලෝකයෙන් එතෙරවීමය. ඔබට ලොව දරුණුතම යුධ බිමේ නිරායුධ සෙන්පතියෙක්‌ ලෙස ලෝකය ජයගන්න. ඔබ දිග්විජය කළ ලෝකය, ගෙල එතුන සර්පකුණක්‌ සේ විසිකර දමන්න. ලෝකය බදාගත් ලෝකයාට ඔබ පරමාදර්ශයක්‌ වන්න. බදාගත් තැන, රැස්‌ කළ තැන, ගොඩ ගසාගත් තැන ඇත්තේ සැපක්‌ නොව දුකක්‌ම බව දකින්න. එම දුකේ නිර්මාණකරු අනිකෙකු නොව, තමාගේ සිතම බව දකින්න. නිර්මාණකරු ඔබ නම් එහි ප්‍රදර්ශකයාද, ප්‍රතිචාර ලබන්නාද, ප්‍රතිලාභ ලබන්නාද ඔබම විය යුතුය. දුක නිර්වානය කරන සිත අවබෝධයෙන් හඳුනාගෙන තන්හාව නිරුද්ධකර දුකෙන් ඔබ අත්මිදෙන්න. නිවීමේ මෙහෙයුමේ යෙදෙන විට ඔබට දැනේවී මේ අතහැරීම නිසා ඔබව රෝගියෙක්‌ වන බව, ආහාර මද බව, ලේ අඩුවීම, ක්‌ලාන්තය, ඇස්‌ පෙනීම දුර්වල වීම, වළඳන කිවුල් ජලයේ හුණු මිශ්‍රවීම නිසා ඇති වන වකුගඩු මුත්‍රා රෝග, දත් මුල් දියවීම, සන්ධි වේදනා…… ඔබ මේ හැම සිතක්‌ම අතහරින්න. මේවායින් තොරව ඔබට කවදාකවත් නිවීම ලබන්න බැහැ. කුණුවෙන, මැරෙන, ගඳගහන කය මරාදමා ඔබ නිවීයන්න. මැරෙන කය අයිති සතරමහා ධාතුර්න්ට නිසා එය කුණුවෙමින්, ගඳගසමින්, සතුන්ට අහරක්‌ වෙමින් සතරමහා ධාතූන්ටම එකතුවේවි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: