Posted by: lrrp | December 28, 2011

පන්සලේ නිස්කලංක බව බිඳින්න එපා

පන්සල, විශේෂයෙන් ම බෝමළුව කියන්නේ බැතිමත් හැඟීම් ඇති කරන ශාන්තදායක ස්ථානයක්. නිහඬ බව, පිවිතුරු බව, මල්, පහන්, සුවඳ දුම් අතරේ ඕනෑම කෙනෙකු ගේ හිත නිවෙනවා. මේ වගේ තැනක දෙවියන් බුදුන් වැඳලා, දෙවියන්ට පින් පෙත් අනුමෝදන් කරලා යහපත් සිතින් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බෝධීන් වහන්සේට පුද පූජා පවත්වලා ග්‍රහ අපල දුරු වෙන්න. කරදර අඩු වෙන්න සතුට සැනසුම ලබන්න යහපත් සිතින් ප්‍රාර්ථනා කරනවා.

නිහඬ දැහැමි පරිසරය මේ ආධ්‍යාත්මික ශක්තීන් පුබුදුවන්න විශාල පිටිවහලක් වෙනවා. කෙනෙකු පන්සලට – බෝධි මළුවට යන්නෙත් ඒ දැහැමි සාමකාමී පරිසරය නිසයි. එහෙම නැතිව මහ පාරේ, කඩපොළේ කච – බචය මැද්දේ බෝධි පූජා කරන්නේ නෑ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ ඇතැම් තැන්වල පන්සල හා බෝ මළුව කච-බචය, යාදිනි, විලාප සහ කන්දොස්කිරියාව පිරුණු බස් රථයක සද්දේ මැද්දේ කඨෝර හඬින් කවි කොළ කියන තැනක් බවට පත්වෙලා. මෙහෙම තැන්වලට දෙවියන්ගේ බැල්ම වැටෙන්නේ නෑ. ඔය විලාප ඇහෙන කොට දෙවි දේවතාවුන් නාන්සේ නොපිටයි බලන්නේ. මේකට හේතුව පන්සලේ ගෝෂාව කියලයි මම කියන්නේ.”

”පන්සලේ ඝෝෂාව“ ගැන ආන්දෝලනාත්මක හා කාලෝචිත අදහස් පළ කරනුයේ; ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී, පාරම්පරික ගුප්ත ශාස්ත්‍රඥ මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතාය.

”… අද බොහෝ දෙනෙක් බෝධි පූජාවට යොමු වෙලා. ඒක හොඳයි. ඒත් නො දන්නා කමට බෝධි පූජා කරන්න ගිහිං බොහෝ දෙනා ඇති කර ගත්තේ සෙත් නෙවෙයි විපත්. තමන්ට වගේ ම අනුන්ටත් කරදරයක් වෙන විදිහටයි සමහරුන් පන්සලේ බෝමළුවේ හැසිරෙන්නේ.

ගාථා – කවි කොළ, පොත් අරගෙන එනවා. බෝ මළුව අවහිර වෙන්න තැන තැන වාඩි වෙලා අර පොත්වල තියෙන ගාථා – කවි මහා හයියෙන් කියවන්න ගන්නවා. එකම කන්දොස්කිරියාවක්. තමන් කෑ ගහලා කියන ගාථාවේ තේරුම වත් සමහරු දන්නේ නෑ. ඔහේ සද්දෙට කියවනවා. මේක දැන් නපුරු වසංගතයක් වෙලා. බෝධි වෘක්ෂයට අරක් ගත් වෘක්ෂ දේවතාවුන්නාන්සේටත් මේක වදයක් වෙලා ඇති.

මතක තියා ගන්න කිසිම දවසක සෙතක් – ශාන්තියක් අත් වෙන්නේ නෑ. මේ වගේ වැඩ නිසා දෙවියොත් කෝප වෙනවා. ශනිගේ අපලේ දුරු කර දෙන්න කියලා කෑ ගහලා බෝධිය ඉදිරිපිට කීවාට බලන්න ඊළඟ දෙන්නා තුන්දෙනා පොදියට ඉඳගෙන අහල පහලට ඇහෙන්න ගාථා. මේ වගේ දෙතුන් පිරිසක් බෝ මළුවේ සද්ද කරන්න ගත්තම ඒක එකම කෝලම් මඩුවක් නෙවෙයිද? බෝ මළුව කියන්නේ ශාන්ත දායක තැනක්. දෙවියෝ පවා පි‍්‍රය කරන ඒ නිස්කලංක සාමකාමී පරිසරය සද්ද කරලා දූෂණය කරත්දී දෙවියො කෝප වෙනවා. මතක තියා ගන්න මේක අනෙක් අයට කරන හිරිහැරයක්.”

”බෝධි පූජාව කරන්න කලින් බුදු ගෙට ගිහිං මල් – පහන් පූජා කරලා තෙරුවන් වැඳලා චෛත්‍ය රාජයාණන් වහන්සේ වන්දනාමාන කරලා හිත පහදව ගන්න ඕනේ. ඉන් පසුවයි බෝමළුවට යන්නේ. තමන් ගේ ප්‍රාර්ථනා, අදහස් හිතේ දරා ගෙන ඒක සඵල වෙන්න කියලා හිතාගෙන බෝධි පූජාව කළ යුතුයි. බෝධිය අසල පහන් පත්තු කිරීම, සුවඳ කූරු දැල්වීම නුසුදුසුයි. ගාථා පාඨ කියනවා නම් එය තොල් මතුරා තමාට පමණක් ඇසෙන මානයට කිරීම හොඳටම ප්‍රමාණවත්. එහෙම නැතිව ගායනා තරගයකට ගියා වගේ සමූහ ගායනා ඉදිරිපත් කිරීම අර්ථ ශුන්‍යයි.

තමන් ගේ ප්‍රාර්ථනය හොඳින් හිතේ දරා ගෙන බෝධි පූජාව කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්නෙත් හිතේ ශ්‍රද්ධාවෙන්. එහෙම නැතිව ලෝකෙට ඇහෙන්න කෑගහලා නෙවෙයි. මේ විදිහට පන්සලේ ඝෝෂා කරන්නේ අනුවණයින් ශ්‍රද්ධාව විතරක් නෙවෙයි ප්‍රඥාවත් අවශ්‍යයි. තවත් අය බෝධිය නාවන්න වෙළෙඳපොළෙන් නොයෙක් කුඩු වර්ග, දියර වර්ග, සුවඳ වර්ග අරගෙන එනවා. මේවායේ තියෙන රසායනික ද්‍රව්‍යවලින් සමහර විට බෝධි වෘක්ෂයට හානි වෙන්නත් පුළුවන්. මිනිස්සු මේවා ගැනත් කල්පනා කරන්න ඕනේ.”

”… බෝධිය, බෝ මළුව කියන්නේ කෙනෙකු ගේ ගත සිත දෙකම සුවපත් කරන පූජනීය ස්ථානයක්. හිතන්න ඒ ස්ථානය පොදු ස්ථානයක් බව. දුවන්න – පනින්න – හිනාවෙන්න – විහිළු කරන්න – කෑගහලා ගාථා දොඩවන්න සුදුසු තැනක් නෙවෙයි. බෝමළුව කෝලම් මඩුවක් බවට පත් නොකළ යුතුයි. නමුත් බොහෝ දෙනෙක් එහෙම කරන්නේ නොදන්නා කමටයි. සමහරුන් හිතන්නේ බෝමළුවට ගිහිං තාලෙට ඇදලා පැදලා සද්දෙට කවි – ගාථා කීවා ම අපල දුරු වෙනවාය කියලයි. ඒක ලොකු මිථ්‍යාවක්. ‘දන්නෝ දනිති. නො දන්නෝ බණිති’ කියන්නේ මෙන්න මේ වගේ වැඩවලටයි. මා දැකලා තියෙනවා තවත් අය නුග කොළ අරගෙන ගිහිං බෝමළුවේ ඒ මත පහන් පත්තු කරනවා සෙනසුරු අපල දුරු කරන්න හිතාගෙන. ඒක පරිසර විනාශයක්. සෙනසුරු අපලේ නෙවෙයි නැති ලෙඩත් ඇති වෙන්න පුළුවන්.

බෝ මළුව ඇමදීම, පිරිසිදු කිරීම, පරමල්, කසළ බැහැර කිරීම දෙලොවටම වැඩ සිද්ධ වෙන කුසල්. පන්සලේ පහන් වැට ළඟට ගියහම හොඳින් බලන්න පහන් තිරය දැල්වෙන එහෙත් තෙල් මදි නිසා නිවෙන්න ආසන්න පහන්. අන්න ඒවාට නැවත තෙල් පුරවලා ඒ පහන මුලින් දැල් වූ කෙනා ගේ යහපත් ප්‍රාර්ථනය ඉෂ්ට සිද්ධ වෙන්න කියලා හිතන්න. සමහර විටෙක තෙල් ඇති පහනක තිරය නිවී තියෙන්න පුළුවන්. ඒ පහන් නැවත දල්වන්න. තමන්ටත් අලුත් ම පහන් දල්වන්න පුළුවන්. මෙතන වැදගත් වෙන්නේ සිතේ හට ගන්නා භක්තිය සහ ශ්‍රද්ධාවයි.

නිවුණු – පිරුණු – සංයමයෙන් යුක්ත හිතකින් කරන ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙනවා. නිශ්කලංකව සිත එක අරමුණකට යොමු කර ගෙන බෝධීන් වහන්සේ වන්දනාමාන කරන්න. දෙවියන්ට – මළගිය ඇත්තන්ට පින් අනුමෝදන් කරන්න. එහෙම නැතිව බොරු සද්දෙට ඇදලා පැදලා ගාථා – කවි කියන්න ගිහිං පන්සලේ – බෝමළුවේ සාමය බිඳින්න එපා. ඔය වගේ දඩි – බිඩි වැඩවලට දෙවියොත් මනාප නෑ. මා පුන පුනා කියන්නේ ඒකයි.

ගෞතම බුදුන් වහන්සේ දසමාර සෙන් පරාජය කරලා සම්මා සම්බුද්ධත්වයට පත් වුණේ ඇසතු වෘක්ෂය සෙවණේ. බුදුන් වහන්සේ අනිමිස ලෝචනයෙන් ඒ වෘක්ෂයට කෘතගුණ සැලකුවා. බෝධිය අනුහස් ඇති පූජනීය ස්ථානයක් බවට පත් වුණා. දෙවි දේවතාවුන් පවා රැස්වන ශුද්ධ ස්ථානයක් වුණා. මෙන්න මේ සත්‍යය තමා සිතේ ධාරණය කර ගත යුත්තේ. ඒ අනුහසින් – ඒ ආනුභාවයෙන් අපිත් යම් ප්‍රාර්ථනා කරනවා. ග්‍රහ අපල දුරුවේවා කියා පතනවා. සද්දෙට වඩා ඉතා බලවත් වෙන්නේ තැන්පත් සිතෙන් කරන ප්‍රාර්ථනයයි. සිත සමාධි කර ගන්න බෝධිය, බෝමළුව ඉතා උචිත තැනක්. නමුත් සද්ද නිසා අනිත් අයගේ චිත්ත සමාධිය බිඳලා ඒ පාප කර්මයටත් දායක වෙනවා. මේ ගැන වරක් නෙවෙයි; දෙවරක් තුන් වරක් හිතලා තමන් ගේත් පන්සලේත් ගෞරවය රැකෙන විදිහට හැසිරෙන්න කියලයි මතක් කරන්නේ.”

”සද්දෙට කියන කවි – ගාථා කෙළ කෝටියකට ලබා දෙන්න බැරි සහනයක් තැන්පත් සිතින් සමාධිගත වුණහම ලබා ගන්න පුළුවන්. බෝමළුව එක්තරා ආකාරයකින් භවනාමය සිතකට උචිත පූජනීය ස්ථානයක්.

දැනුම් තේරුම් තියෙන මිනිස්සු පන්සලේදී – බෝමළුවේදීවත් එළඹ සිටි සිහියෙන් කටයුතු කළ යුතු බවයි මා අවධාරණය කරන්නේ. අනිත් අතට පන්සල පොදු ස්ථානයක්. අඩුම තරමින් අනිත් බැතිමතුන්ට හිරිහැරයක් නොවන හැටියට හැසිරෙන්න හිතට ගැනීම හොඳ සිරිතක්.”


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: