Posted by: lrrp | January 18, 2012

රහතන් වහන්සේගේ කතා සහ උදාන ගීත – යසෝජ රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.

ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

රණ බිම ඇත් රජකු වගේ

අචිරවතී ගඟ අසබඩ ධීවර ගම්මානයක් විය. ඒ ගමේ නායකයාගේ පුතා යසෝජ ය.

ඔහු සිය මිතුරන් සමග ලොකු දැලක් ගෙන ගඟට ගියේය. දැලක් දමා බලා සිටියේය. මොහොතකින් දැලට මහා බරක් දැනිණ. යසෝජ සහ ඔහුගේ මිතුරෝ දැල ගොඩට ඇද ගත්හ. එහි මහා මාළුවෙක් විය. ඌ රන් පැහැතිය. රන් රැස් යසෝජලාට පෙනිණ.

“මෙහෙම මාළුවෙක් අපි කවදාවත් දැකලා නැහැ. අහලාත් නැහැ.”

යසෝජ විස්මයට පත් විය.

“මේ මාළුවාට අපි මොකක්ද කරන්නෙ?”

මිතුරෙක් යෝජනාවක් කළේය.

“මේ අපූරු මාළුවා අපි කොසෙල් රජතුමාට පෙන්නමු”

සියලු දෙනාම ඊට එකඟ වුහ.

“මෙහෙම මාළුවෙක් ජීවිතේට දැකලා නැහැ.” රජු ද කීය.

“මේ මාළුවා ගැන විස්තර දැනගන්න පුළුවනි බුදු රජාණන් වහන්සේගෙන්. අපි ජේතවනාරාමයට යමු.” රජු යසෝජට කීය.

ඔවුහු රජු සමග ජේතවනාරාමයට ගියහ.

බුදු රජාණන් වහන්සේ මාළුවා දැක මෙසේ වදාළහ.

“මොහු කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනය පිරිහෙන කාලේ පැවිදි වුණා. සිල් රැක්කේ නැහැ. වැරැදි පිළිවෙත් අනුව ජීවත් වුණා. ඔහුගේ කටයුතු නිසා සංඝයා පිරිහුණා. දායකයන්ගේ අපහාසයට ලක් වුණා. ඔහු මරණයෙන් පසු නිරයේ උපන්නා. ඉන් පසුව අචිරවතී ගඟේ මාළුවකු වශයෙන් ඉපදුණා. ඒ භික්ෂුවගේ සහෝදරියක් ද නිරයේ ඉපදුණා.”

මේ කතාව ඇසූ යසෝජ මහත් කම්පාවට පත් විය.

“සසර ගමන බිහිසුණුයි. අනතුරු සහිතයි. වැරැදි හැසිරීමෙන් අපාගත වෙනවා. දැක්කනේ ඉස්සර භික්ෂුවක්. දැන් මාළුවෙක්. දැලට හසුව මිය ගියා. ඉක්මනින් මේ සසර ගමන නතර කරන්න ඕනෑ. බුදු රජාණන්වහන්සේ අපට හමුවුණා. සසරෙන් මිදෙන මග අපට සොයා ගැනීමට උන් වහන්සේ උදව් කරනවා.”

මෙසේ සිතූ යසෝජ ජේතවනාරාමයේදී පැවැදි විය. ඔහුගේ මිතුරෝ ද පැවිදි වූහ.

යසෝජ හිමි සහ මිතුරු හිමිවරු මහණ දම් පුරමින් එක් ආරාමයක විසූහ. දිනක් යසෝජ හිමියෝ මිතුරු හිමිවරුන් පිරිවරාගෙන බුදු රජානන් වහන්සේ දක්නට වැඩියහ.

ඒ භික්ෂූන්ගේ පැමිණීමත් සමගම ආසන පැනවීම් ආදි කටයුතු නිසා ජේතවනාරාමයේ මහා ඝෝෂාවක් ඇති විය.

ඒ ඇසූ බුදු රජාණන් වහන්සේ යසෝජ හිමි ඇතුළු පිරිසත් සමග මහත් සංවේගයෙන් යුතුව වග්ගුමුදා ගං තෙරට වැඩියහ.

ගංතෙර ආරාමයක නැවතී විදසුන් වඩන්නට වූ යසෝජ හිමියෝ වැඩි කලක් නොගොස් ෂඩ් අභිඥාාලාභීව රහත් බවට පත්වූහ. සියලුම ධුතාංග ධර්ම සමාදන්ව සිටි උන් වහන්සේ ඒ නිසාම ඉතා කෘෂ අඳුරු පැහැති රළු සිරුරක් ඇත්තෙක් විය.

දිනක් බුදු රජාණන් වහන්සේ යසෝජ රහතන් වහන්සේ ඇතුළු පිරිස ජේතවනාරාමයට කැඳවූහ.

යසෝජ හිමියන්ගේ පරම අල්පේච්ඡතාවය ඇගයීමට ලක් කළ බුදු රජාණන් වහන්සේ ගාථා දෙකක් දෙසූහ.

පසු කලෙක යසෝජ රහතන් වහන්සේ සිය උදානය පළ කළේ ඒ අදහස් වශයෙන් පල කළේ ද ඒ ගාථා දෙක ම ය.

කෙට්ටුයි ඔහු ඔහුගේ අත් පා
කළුවැල් පුරුක් වගෙයි
නහර වැල් ද ඉල්පී ගොස්
සිය අහරේ පමණ දන්න
ඔහු අදීන පුරුෂයෙක්ය

බවුන් වඩද්දී අරණේ
මදුරු පිරිස් වට කැරගෙන
ලේ බොන විට ඉවසයි ඔහු
රණ බිම ඇත් රජකු වගේ

තනිව වෙසෙන විට බඹකු වගේ වෙයි
දෙදෙනෙකු වූ විට දෙවියන් මෙන් වෙයි
තිදෙනකු වී විට ගමක් වගේ වෙයි
ඊට වැඩිවුණොත් එතැන සටනමයි


Responses

  1. Europa rataka thanivi inna apata godaak wedagath… me wage sri saddharmaya apata kiyawanna salaswana obalata aneka warayak pin…


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: