Posted by: lrrp | February 7, 2012

කය ගිලන් වුවත් සිත ගිලන් කරනොගන්න

යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය ඉවත්ව යනු ඇත. තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් වපුරාගෙන දිගු සසර ගමනෙහි තව තවත් දුක් විඳීමට සැරසීම කුමන නම් අඥාන බවක් ද?

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස

ඒවමේතං ගහපති, එව මේතං ගහපති, ආතුරෝ භයං ගහපති, කායෝ අණ්ඩභූ®තෝ පරියෝනද්ධෝ යො හි ගහපති ඉමං කායං පරිහරන්තෝ මුහුත්තම්පි ආරෝග්‍යං පටිජානෙය්‍ය, කිමඤ්ඤත්‍ර බාලයා, තස්මාතිහ තේ ගහපති, ඒවං සික්ඛිතබ්බංඞ ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සතීති ඒවංහි තෙ ගහපති සික්ඛිතබ්බන්ති

“ගෘහපතිය, එය එසේමය. මේ කය රෝග ඇත්තේමය. මේ කය දුබල බැවින් රෝගයනට බීජයක් වැන්න. සියුම් සිවියෙන් වැසුනේය. ගෘහපතිය, යමෙක් මේ කය පරිහරණය කරමින් මොහොතකුදු නීරෝගි බවක් පිළිගන්නේ හෝ අපේක්‍ෂා කරන්නේ නම් ඒ බාලබව හැර අන් කුමක්ද? එහෙයින් ඔබ විසින් මෙසේ හික්මවිය යුතුයි. “ මාගේ කය ගිලන් වුවත්, සිත නම් ගිලන් නොවේ.” යනුවෙනි. කාරුණික වූ පින්වත්නි, තථාගත බුදුරජාණන් වහන්සේ භග්ග දනව්වෙහි සුං සුමාරගිරි නුවර සමීපයෙහි “භේසකලා” නම් මිගදායෙහි වැඩ වසති.

මේ අවස්ථාවෙහි නකුලපිතා නම් වූ ගෘහපති තෙමේ තථාගත බුදුරජාණන් වහන්සේට මෙසේ පවසයි. ගුණබර වැඩිහිටි පියාණන් කෙනෙකුගේ කාරුණික හඬ මෙම වදන් ඔස්සේ ඔබටත් දැනේවි. “ භාග්‍යවතුන් වහන්ස, ජරා ජීර්ණ වූයෙමි. වයසට ගොස් ඇත්තෙමි. මහලු වුයෙමි. ජීවිතේ අවසන් කාලයට පැමිණ ඇත්තෙමි. ගිලන් වූ ශරීරයක් ඇත්තෙමි. නිතර ඇතිවන ලෙඩ රෝග ඇත්තෙක් වෙමි. මේ නිසා භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ සිත සනහන භික්‍ෂූන් වහන්සේ නිතර දකින්නට අපහසුයි. ස්වාමීනි! යම්සේ බොහෝ කලක් හිත සුව පවතින දහමක් වේ නම්, එවැනි දහමකින් මට අවවාද කරන්න.

අනුශාසනා කරන්න. “ මේ අවස්ථාවෙහිදී මහා කාරුණික වූ තථාගත බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් කළ පාලි පාඨ පෙළ අනුව අවවාද කෙරෙති. එහි අවසන් කොටස නැවත සිහිපත් කරමු. “ ආතුරකායස්ස මේ සතෝ චිත්තං අනාතුරං භවිස්සති” කය ගිලන් වුවත් සිත නම් ගිලන් කරගන්න එපා යන අදහසයි.

මෙම උතුම් අවවාදය අප සෑම කෙනෙකුටම එකසේ ගැළපෙයි. කය නීරෝගීව තබා ගැනීම අවශ්‍යයය. එනමුත් පඨවි (තදගතිය) ආපෝ (වැගිරෙන ස්වභාවය) තේජෝ (උෂ්ණය) සහ වායෝ (සුළඟ) නම් වූ සතර මහා භූත ධර්මයන් ගෙන් නිර්මිත වූ මෙම කය දිරීමද, බිඳීමද ලෙඩ දුක්වලට භාජනය වීමද උරුමකොට ඇත්තේය. හැබැවින්ම එම වෙනස්වීම්වලදී තමාගේ යයි සම්මුතියෙන් සිතාගත් ශරීරය වුවද තමාටම පාලනයක් නැත්තේය. එබැවින් දිරීම,, ගිලන්බව ඉදිරියේ මානසිකව ඇතිවන සෝක, සන්තාප, දුක්ඛ දෝමනස්සයන්ගෙන් බැහැරව ජීවිතය පවත්වා ගැනීම මානසික සැනසිල්ලකි.

යම් ආකාරයකින් එම මානසික ඒකාග්‍රතාවය කායික නීරෝගී භාවය පවත්වා ගැනීමට උපකාරයක්ද වනු ඇත. සත්‍ය වශයෙන්ම සම්මුතියට මේ ශරීරය මගේ යැයි පැවසුවද පරමාර්ථ ධර්මය අනුව තමාට අයත් නැත. අප විසින් සිදු කරන්නේ සෝදා පිරිසුදු කොට, නහවා, කවා පොවා ඇඳුමින් සරසා පවත්වා ගැනීමය. යම් දිනක මෙම ශරීරය මෙහි තබා විඤ්ඤාණය ඉවත්ව යනු ඇත. තබා යා යුතු මේ දිරන, ලෙඩ වෙන ශරීරය නිසා ලෝභ, දෝස, මෝහ ආදි කෙලෙස් වපුරාගෙන දිගු සසර ගමනෙහි තව තවත් දුක් විඳීමට සැරසීම කුමන නම් අඥාන බවක් ද?

නකුල පිතු භාග්‍යවතුන් වහන්සේට වැඳ නමස්කාර කොට සතුටු වු සිතින් යුතුව සාරිපුත්ත මහරහතන් වහන්සේ වෙතට පැමිණියේය. “ ගෘහපතියෙනි නුඹගේ මුහුණ ප්‍රසන්නය. ඉන්ද්‍රියයෝ පැහැපත්ය. පිරිසුදුය. අද භාග්‍යවතුන් වහන්සේ වෙතින් දැහැම් කතාවක් ඇසුවේදැයි “ සාරිපුත්ත මහ රහත් තෙරහු විමසූහ. “එසේය! භාග්‍යවතුන් වහන්සේගේ දහම් කතා නමැති අමාවෙන් අභිෂේක වූයෙමි, යි නකුල පිතු සඳහන් කළේය. තමා භාග්‍යවතුන් වහන්සේගෙන් අසන ලද ප්‍රශ්නයත්, එම පැනයට භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබුණු පිළිතුරත් නකුල පිතු සැරියුත් මහ රහත් තෙරණුවන්ට පැවසීය. අනතුරුව භාග්‍යවතුන් වහන්සේ වදාළ දහමෙහි අරුත, විස්තර කොට පැහැදිළි කරන්නැයි නකුල පිතු විසින් සැරියුත් මහ රහත් තෙරුණුවන්ගෙන් ඉල්ලීය. ඒ මෙසේය.

කෙසේ ගිලන් වු කය ඇත්තේත් ගිලන් වු සිත ඇත්තේත්වේද? කෙසේ නම් ගිලන් වු කය ඇත්තේ නොගිලන් වු සිත ඇත්තේවේද? යනුවෙනි. සැරියුත් මහ රහතන් වහන්සේ අරුත් ගළපා දේශනා කරති. “ගෘහපතිය , නුවණැසින් ආර්යන් නොදක්නා වූ ආර්ය ධර්මයෙහි අදක්‍ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු අශ්‍රැතවත් පෘථජ්ජන තෙමේ රූපය ඇත්මය යැයි හෝ ආත්මය රූප ඇත්කෙැයි හෝ ආත්මයෙහි රූපය පවතී යැයි හෝ රූපයෙහි ආත්මය පවතී යැයි හෝ දකී. රූපය මමය, මාගේය යනුවෙන් රාගාදි අරමුණු ඔස්සේ දැඩි ව සිතින් අල්ලාගෙන සිටියි. රූපය මමය, මාගේය කියා සිතින් දැඩිව අල්ලාගෙන සිටින ඔහුට හෝ ඇයට රූපය, ජරා , මරණ, දිරන, වෙනස්වීම් ආදියට පෙරළෙන විට සෝකය, හැඬීම දොම්නස, ලතැවීම ආදි දුක් උපදිති.

මේ ආකාරයෙන් වේදනාවද ඔහු හෝ ඇය විසින් වේදනාව ආත්මය යැයිද ආත්මය වේදනාව යැයිද ආත්මයෙහි වේදනාව පවතී යැයිද වේදනාවෙහි ආත්මය පවතී යැයිද දකී හෝ සිතයි. වේදනාව මම මාගේ යැයි සිතින් දැඩිව ගෙන සිටී. වේදනාව වෙනස් වන විට හෝ අන්‍ය ස්වභාවයකට පත්වන විට ඔහුට හී ඇයට සෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස උපදිති. මෙහි වේදනාව යනු රිදීමම නොව සුඛ, දුක්ඛ සහ මධ්‍යස්ථ ලෙසින් ඇස ආදි ඉන්ද්‍රියන්ගෙන් රූපාදී අරමුණු ගැනීමේදී ඇතිවන හැඟීමය. එමෙන්ම සංඥාව ආත්මය යැයි හෝ ආත්මය සංඥාව යැයි හෝ ආත්මයෙහි සංඥාව පවතී යැයි හෝ සංඥාවෙහි ආත්මය පවතී යැයි හෝ දකී. සංඥාව නම් වූ අරමුණු හඳුනාගැනීම මමය මාගේය කියා රාගාදී අරමුණු වලින් සිතින් අල්ලාගෙන සිටින ඔහුට හෝ ඇයට සංඥාවෙහි විපරිණාමය හෝ අන්‍ය ස්වභාවයට පත්වීම සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස හට ගැනීම පිණිසම හේතුවෙයි.

ඒ අයුරින්ම සංස්කාර ආත්මය යැයි හෝ ආත්මය සංස්කාර යැයි හෝ ආත්මයෙහි සංස්කාර පවතී යැයි හෝ සංස්කාරයන්හි ආත්මය පවතීයැයි හෝ දකී. සංස්කාර මමය මාගේය කියා දැඩිව සිතින් අල්ලාගෙන සිටින ඔහු සංස්කාරයන්හි වෙනස්වීම සෝක පරිදේව ආදි දුක් දොම්නස් පිණිසම හේතුවෙයි.

එමෙන්ම විඥානය ආත්මය යැයි හෝ විඥානය ආත්මය යැයි හෝ ආත්මයෙහි විඥානය පවතී යැයි හෝ විඥානයෙහි ආත්මය පවතී යැයි හෝ දකී. විඥානය මමය මාගේ කියා උපාදානය කරගෙන සිටින ඔහුට හෝ ඇයට විඥානය වෙනස් වන විට අන්‍ය ස්වභාවයකට පත්වන විට සෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස සහ උපායාස උපදිති. ගෘහපතිය! මෙය ගිලන් වු කය ඇත්තේ මෙන්ම ගිලන් වූ සිත් ඇත්තේ වෙයි. ගෘහපතිය, කෙසේ නම් ගිලන් වූ කය ඇත්තේ නමුදු ගිලන් වූ සිත් ඇති නොවන්නේ කෙසේද?

ගෘහපතිය, කෙසේ නම් ගිලන් වු කය ඇත්තේ නමුදු ගිලන් වූ සිත් ඇත්තේ වෙයි. ගෘහපතිය කෙසේ නම් ගිලන් වූ කය ඇත්තේ නමුදු ගිලන් වූ සිත් ඇති නොවන්නේ කෙසේද?

ගෘහපතිය, ආර්යන් දක්නා වූ ආර්ය ධර්මයෙහි දක්‍ෂ, ආර්ය ධර්මයෙහි හික්මුණු සත්පුරූෂයන් දක්නා වූ සත්පුරුෂ ධර්මයෙහි දක්‍ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා රූපය ආත්මය යැයි නොදකියි. ආත්මය රූපය යැයි නොදකියි. ආත්මයෙහි රූපය පවතී යැයි නොදකියි. රූපයෙහි ආත්මය පවතී යැයි නොදකියි. රූපය මම මාගේය ලෙසින් තෘෂ්ණාවෙන් හෝ වැරැදි වූ ආත්ම දෘෂ්ඨියෙන් අල්ලාගෙන නොසිටියි. මේ නිසා ඔහුගේ හෝ ඇයගේ රූපය ජරා හෙවත් දිරාගෙන යාම සහ ව්‍යාධිය හෙවත් ලෙඩ දුක් පත්වෙමින් වෙනස්වන විට ඔහුට හෝ ඇයට සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාස ආදි දුක්ඛයෝ නූපදිති.

මේ අකාරයෛන්ම වේදනාව, සංඥාව, සංඛ්‍යාර සහ විඤ්ඤාණය කෙරේ දකින්නට ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා දක්‍ෂ වෙයි. හික්මෙයි. මම මාගේය කියා තණ්හා දෘෂ්ටියෙන් නො අල්ලා ගනියි. මේ නිසා වේදනා, සංඥා , සංඛ්‍යාර සහ ෂඤ්ඤාණයේ වෙනස්වීමේදී හෝ අන්‍ය ස්වභාවයට පත්වීමේදී ඔහුට හෝ ඇයට සෝක, පරිදේව, (වැළපීම) දුක් දොම්නස්, උපායාස (බලවත් සිත් තැවුල) නූපදිති. ගෘහපතියනි, මෙම ආකාරය නම් ගිලන් වූ කය ඇත්තේ නමුත් ගිලන් නොවු සිත් ඇත්තේ වෙයි. සැරියුත් මහරහතන් වහන්සේගේ පැහැදිළි කිරීමේ මෙම දේශනාව ශ්‍රවණය කළ නකුල පිතු ගෘහපති ගිලන් වු කය ඇත්තේ වී නමුත් ගිලන් නොවු සිත් ඇත්තේ මහත් ප්‍රසාදයට පත්විය.

මෙම උතුම් ධර්ම අවවාදය ඔබ අප සෑම අයෙකුටම අපමණ වූ සහනය ගෙන දෙන්නකි. උපන් සත්වයාට ජරා,ව්‍යාධි, මරණයෙන් බේරීමක් හෝ ගැලවීමක් නැත. භව චක්‍රය හෙවත් සසර ගමනෙහි සිටිනා තෙක් මෙම ජරා ව්‍යාධි මරණයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම යථා ස්වභාවය නුවණින් දකින්නට ඉහත සඳහන් දේශනාව මහත් උපකාරයකි. අප සියලු දෙනා මම, මාගේය කියා සම්මුතියෙන් (ලෝක ව්‍යවහාරයෙන්) නමුත් හඳුන්වන මෙම කය පඤ්ච ස්කන්ධයන්ගේ එකතුවකි. එනම් රූප, වේදනා, සඤ්ඤා, සංඛාර විඤ්ඤාණ නම් වූ ස්කන්ධ යනුයි. ඉහත පැහැදිළි කළ අයුරින් එක් එක් ස්කන්ධයක් මමය, මාගේය කියා තණ්හා, මද, මාන ආදී දෘෂ්ඨීන්ගෙන් සිතින් උපාදානය හෙවත් ග්‍රහණය කර ගැනීමේදී සිදුවන්නේ සෝක, පරිදේව දුක්ඛ දෝමනස්සයන්ට පත්වීම පමණකි. හේතුව නම් ඒ රූප ආදි ස්කන්ධයෝ නිරන්තර විපරිනාම හෙවත් වෙනස්වීමකට භාජනය වන බැවිනි. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම් වදන් පෙළක් මෙහිදී සිහිපත් කරමි. “ නාහං ආනන්ද ඒකරූපම්පි සමනුපස්සාමි යත්ථාහි රත්තස්ස රූපස්ස විපරිනාමඤ්ඤතා භවා නඋප්පජ්ජෙය්‍යුං සෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසා “ “ආනන්ද ! කිසියම් රූපයක ඇලී රාගාදි බැදීමක් ඇතිකර ගන්නේ නම්, ඒ සිතින් අල්ලාගත් රූපය වෙනස් වන විට හෝ නැසෙන විට ඔහුට හෝ ඇයට සෝක, පරිදේව, දුක් දොම්නස් නූපදින්නේ යයි පැවසිය හැකි කිසිදුරූපයක් මෙම භව පැවැත්මෙහි මම නොදකිමි.

(මහ සුඤ්ඤත සූත්‍රය) ආර්ය ධර්මයෙහි පිහිටා, දක්‍ෂව ඉන්ද්‍රියන්හි මනා හික්මීමකින් යුතුව, යෝනිසෝමනසිකාරයෙන් යුතුව පඤ්ච උපාදානස්කන්ධයන් කෙරේ දකින්නට අපට හැකිවන්නේ නම් මේ උතුම් දහම අප සඳහාමය. මේ මොහොතේ වෙන්නට පුළුවනි. ඉදිරියේ වෙන්නට පුළුවනි. අපත් ව්‍යාධියට පත්වේවි. බෙහෙත් ගැනීම සහ සුවපත් කරගැනීමක් ඇති කර ගනිමු.

එනමුත් ඒ සියලු දෑ තාවකාලිකය. එසේ දිරීම , ව්‍යාධිය සහ වෙනස්වීමට පත්වන විට නොගිලන් වූ සිතක් ඇතිකර ගැනීම මෙලොව ජීවිතයට මෙන්ම මරණින් මතු අවස්ථාවට ද සුවදායකය. සිත ගිලන්වීම යනු සිතෙහි මම මාගේ යන තෘෂ්ණාවය. එය සසරෙහි දුක්ගත පැවැත්මට හේතුවෙයි. ඉහත අනුශාසනා කළ සංයුත්ත නිකායේ ඛන්ධ සංයුත්තයේ නකුලපිතු සුත්‍රයේ පරම වු දහම් අවවාදය ඔබ සහ අපට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිසම වේවා ! උතුම් නිවනින් නිවීමම වේවා.

(බත්තරමුල්ල, පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක,
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි)


Responses

  1. me uthum dharma awbodaya apa siyalu denatama mahath senasimaki.sariraya gilanvi giyath sitha sakthimathvi apa siyalu denatama chathurarya sthya awaboda kara genimata hethu wasana lebewaa!!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: