Posted by: lrrp | February 14, 2012

කර්මය

කර්මය

මේ ජීවිතයේ දී රැස් කරන කර්මයන්ගේ කොටසක් මේ ජීවිතයේ දී ලැබෙනවාමයි. එයට “දිට්ඨධම්මවේදනීය” කියා හඳුන්වනවා. එය ද විපාක නොදුනහොත් අහෝසි වෙනවා. උපපජ්ජවේදනීය කර්ම කියන්නෙ දෙවෙනි ආත්මයේ නියත වශයෙන් ම විපාකයට පැමිණෙන කර්ම. අපරාපරිය වේදනීය කියන්නේ තුන්වෙනි ආත්මේ සිට නිවන් දකිනතුරු අතරතුර විපාකයට පැමිණෙන කර්ම කොටස.

යම් කර්මයක් විපාක දීමෙන් අවසන් වූවා නම් සහ විපාක දීමට අවස්ථාව නොලැබුණා නම් එබඳු කර්ම සහ රහත්වීමෙන් අවසන් වන කර්ම අහෝසි කර්ම නමින් හඳුන්වනවා. අපි මුලින් කීවනෙ ජවන් සිතේ කර්මයයි විපාක දෙන්නෙ කියල. ජවන් සිතේ පේළියට තියෙනවා ජවන් වාර 7 ක්. එයින් පළමු ජවන් හිතේ කර්ම විපාකය මෙලොව දී ලැබෙනවා. අවසාන ජවන් සිතේ විපාකය ඊළඟ භවයේ දී ලැබෙන්නෙ. (උපපජ්ජ වේදනීය) මැද තිබෙන ජවන් පහේ මතු භවයන්හි පටිසන්ධිවාර ලැබෙන්න පුළුවන් ප‍්‍රවෘත්ති විපාක නම් අප‍්‍රමාණ ජාතිවලදී ලැබෙන්න පුළුවන්.

අභිධර්ම පිටකයේ කර්මය 16 ආකාරයට බෙදෙන අයුරු. එය බෙදාගන්න හරිම පහසුයි.

ගති සම්පත්ති
උපධි සම්පත්ති
කාල සම්පත්ති
ප‍්‍රයෝග සම්පත්ති යනුවෙන් සම්පත්ති 4 යි.

ගති විපත්ති
උපධි විපත්ති
කාල විපත්ති
ප‍්‍රයෝග විපත්ති යනුවෙන් විපත්ති 4 යි.

(කුසල පැත්තෙන් 8 යි. අකුසල් පැත්තෙන් 8 යි. සියල්ල 16 යි.)

නා උයනේ අරියධම්ම හිමි

ගති සම්පත්ති කියන්නේ මනුලොව, දෙව්ලොව සහ බඹලොවයි. මනුලොව දෙව්ලොව උපන්නම බොහෝ විට විපාක දෙන්නේ කුසල විපාකයි. ගති සම්පත්තියේදී කුසල විපාක මතු වෙනවා. අකුසල විපාක යටපත් වෙනවා.

උපධි සම්පත්ති කියන්නේ රූප සම්පන්නව ඉපදීමයි. මනුලොව කෙනෙක් බොහොම රූප සම්පන්නව ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුතුව දැකුම්කළු රූප සම්පත්තියක් ඇති ජීවිතයක් ලැබුණම ඒ පුද්ගලයා හැමෝටම පි‍්‍රය මනාප වෙනවා. අවම වශයෙන් තිරිසන්ගත සතුන් පවා ලස්සන වී උපන්නම ඔහුට වඩාත් සැලකිලි ලැබෙනවා. මෙබඳු අවස්ථාවලදී අකුසල විපාක යටපත් වී කුසල විපාක මතු වී සැපවත් වෙනවා.

කාල සම්පත්ති යනුවෙන් හඳුන්වන්නේ ධාර්මික රජවරු රාජ්‍ය පාලනය කරන කාල, සක්විති රජවරු ඉන්න කාල, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ලොව පහළ වෙන කාල, කාල සම්පත්තියයි. එබඳු අවස්ථාවල දී අකුසල විපාක යටපත් වී කුසල් විපාක මතු වෙනවා.

ප‍්‍රයෝග සම්පත්ති කියන්නේ යම් කිසි කෙනෙක් නිතර නිතර කුසල් කරනවා. දන් දෙනවා, සිල් රකිනවා, භාවනා කරනවා. පස් පව් දස අකුසල්වලින් ඈත් වී දස පාරමී ගුණ දියුණු කරනවා. අප‍්‍රමාණ කුසල් කරනවා. එය ප‍්‍රයෝග සම්පත්තියයි. ප‍්‍රයෝග සම්පත්තියේ දී අකුසල් යටපත් වෙනවා. කුසල් විපාක මතු වෙනවා.

මීළඟට විපත්ති 4 විමසා බලමු.

ගති විපත්තිය කියන්නේ සතර අපායේ යම් තැනක ඉපදීම. එබඳු අයෙකුට අකුසල කර්ම ඉදිරියට එනවා. කුසල විපාක යටපත් වෙනවා. උපධි විපත්තිය කියන්නේ මනුලොව යමෙක් ඇහැක් අන්ධව ගොළුවෙලා විරූපිව ඉපදීමයි. එබඳු ඇත්තන්ට කොච්චර පින් තිබුණත් ඒ කුසල විපාක යට වී අකුසල් විපාක මතුවෙනවා. රාජ්‍ය ලබන්නට සිටියත් එබඳු උපධි විපත්තියේ දී රාජ්‍ය පවා අහිමි වෙනවා.

කාල විපත්තිය අධාර්මික රජවරුන්ගේ රාජ්‍ය පාලන අවස්ථාවල සහ දුර්භික්ෂ වැනි කර්කශ කාලවල උප්පත්තිය ලැබුවම එයයි කාල විපත්තිය කියන්නේ. එබඳු අවස්ථාවලදී කොච්චර පින් ඇති කෙනෙකු වුවත් එම කුසල විපාක යට වී අකුසල විපාක මතුවෙනවා.

ප‍්‍රයෝග විපත්තිය පාපමිත‍්‍ර ආශ‍්‍රය නිසා අයහපත් උපදේශ නිසා තුන්දොරින්ම පව් කරනවා. පස්පව් දස අකුසල්හිම ඇලී ගැලී ජීවත්වෙනවා නම් එයයි ප‍්‍රයෝග විපත්තිය. ප‍්‍රයෝග විපත්තියේ දී පින් ඇති කෙනෙකුට වුවත් කුසල විපාක යට යනවා. අකුසල විපාක මතුවෙනවා. මෙසේ අභිධර්ම පිටකයේ කර්මය 16 ආකාරයට දේශනා වී තිබෙනවා.

ප‍්‍රශ්නය – කර්මය හටගන්නේ කෙසේද?

පිළිතුරු: කර්මය කියන එක සෑම චිත්තක්‍ෂණයකම තියෙනවා. විපාක දීමේ කර්මය තමයි කුසල් අකුසල් චිත්තවීථිවල පහළ වෙන්නේ. මුළු ජීවිතයේම සැම චිත්තක්‍ෂණයක් පාසා කර්මය පවතිනව. එහිදී කර්මයක් කුසල හෝ අකුසල බවට පත්වෙන්න මනෝද්වාරයට හෝ චක්ඛුද්වාරයට අරමුණක් සම්මුඛ වන්නට ඕනෑ. ඒ සම්මුඛ වීමේදී දැන් අපි හිතමු චක්ඛුද්වාරයට රූප අරමුණක් සම්මුඛ වෙනව. සම්මුඛ වූ පමණින් කුසලයක් හෝ අකුසලයක් සම්පූර්ණ වෙන්නෙ නෑ. එතනදී මුලින්ම සිද්ධ වෙන්නෙ භවංගයෙන් සිත අවදිවීමයි.

නිදාගත්තාක් මෙන් පවතින අකී‍්‍රය සිත අවදි වෙනවා. ඒකට කියනව භවංග චලන භවංග උපච්ඡේද කියල. ඒ දෙකම විපාක සිත් දෙකක්. ඊළඟට චක්ඛුද්වාරයට අරමුණු වූ බැවින් කොයි දොරටුවට ද මේ අරමුණ ඇතිවුණේ කියල විමසීමේ කි‍්‍රයා සිතක් ඇතිවෙනව. එයට කියන්නෙ පඤ්චද්වාරාවජ්ජන සිත කියල. ඒ සිතින් හරියට දැනගන්නව අසවල් දොරටුවයි මේ අරමුණ සම්මුඛ වුණේ කියලා. එතැනදි චක්ඛුවිඤ්ඤාණ සිත පහළ වෙනව. එයත් විපාක සිතක්.

ඒ අරමුණු වූයේ අනිෂ්ඨ අශුභ අරමුණක් නම් අකුසල විපාක සිතක් ඒ චක්ඛු විඥාන සිත. ඉෂ්ඨ වූයේ නම් කුසල විපාක සිතක් ඒ චක්ඛු විඥාන සිත. ඒ චක්ඛු විඤ්ඤාණ සිතෙන් කෙරෙන්නෙ ඊළඟට ඒ චක්ඛු විඤ්ඤාණයෙන් ගත් අරමුණු පිළිගන්න ආකාරයෙන් තව විපාක සිතක් පහළ වෙනවා. ඒකට කියන්නේ සම්පටිච්ඡන සිත කියලා. ඊළඟට පහළ වෙනව සන්තීරණ කියල සිතක්. අරමුණ ඉෂ්ඨාරම්මනයක් නම් සෝමනස්ස සහගත සන්තීරණ සිතක් පහළ වෙනවා. එසේ නැතිනම් උපේක්‍ෂා සහගත සන්තීර්ණ සිතක් පහළ වෙනවා. ඒ අවස්ථාවේදීත් කුසල් හෝ අකුසල් නෑ. මීළඟට ඇතිවෙනව වීථියට හරවන වොත්ථපන කියන සිත.

වොත්ථපන සිතෙන් තමා කුසල් පැත්තට හෝ අකුසල් පැත්තට හරවන්නෙ. සිත පුරුදු කරල යෝනිසෝමනසිකාරයට නම් යෝනිසෝ මනසිකාරය නිසා වොත්ථපන සිතේ කුසල චිත්තවීථියක් පහළ වෙනව. දුටු අරමුණු ශුභ හෝ වේවා අශුභ හෝ වේවා එකෙන් කුසල චිත්ත වීථියක් පහළ වෙනවා. ඒ කුසල චිත්ත වීථියට කියනව වර්තමාන රූපාරම්මන චිත්තවීථිය කියල. ඒකෙ කුසල සිත බලගතු නැහැ. ඊළඟට ඇතිවෙනවා මනෝද්වාරික චිත්ත වීථියක්. ඒකට කියනවා අතීතාරම්මන මනෝද්වාරික චිත්තවීථිය කියල. එතනත් කුසල් චේතනා හතක් ඇතිවෙනව. ඒකත් බලගතු නෑ. ඊළඟට ඇතිවෙනව මේ දෙකෙහි නම තේරුම් ගැනීමේ චිත්තවීථියක්. ඒකත් මනෝද්වාරිකයි. ඒකත් අර වගේ ජවන් සිත් බලගතු නෑ. ඊළඟට ඇතිවෙන්නේ ඒ ගත්ත අරමුණේ ප‍්‍රයෝජනය සලකන සිත.

ඒ සිතෙන් මනෝද්වාරික ජවන්වීථියක් ඇතිවෙනව. එයත් බලගතු නෑ. ඊළඟට යෝනිසෝ මනසිකාරය පුරුදු පුහුණු කළ සිතක් නිසා කුසල වීථියක් පහළ වෙනව. ඒ කුසල ජවන් වීථිය තමයි බලගතු කුසලයක් බවට පත්වෙන්නෙ. ඒ බලගතු සිත්වල මතු පිටිසන්ධිවාර ලබාදීමේ ශක්තියක් තිබෙනව. ඉන් එහාට තව ඕන තරම් ඒ අරමුණු කරගෙන ජවන් වීථි ඇතිවෙන්න පුළුවන්. ගරු කටයුතු කුසල කර්මයක් නම් නැවත නැවත බොහෝ කුසල් අරමුණු රාශියක් පහළ වෙනව. නිදසුනක් කියනව නම් මේ දේශනාවෙත් සඳහන් වෙලා ඇති එක මලක් පූජා කරල ආත්ම භාව අසූකෝටියක් සුගතියේ උපන්න චරිතයක් ගැන. එවිට එතැනදි සිදුවුණේ එය ගරු කටයුතු කුසලයක් නිසා නැවත නැවත කුසලය අරමුණු කරගෙන චිත්තවීථි ඇතිවීමයි.

ප‍්‍රශ්නය – කර්මය පවතින්නේ කොහේද?

පිළිතුර: කර්මය පවතින ආකාරය මෙහෙමයි. එහිදී කර්මය නවතින තැනක් නැහැ. චිත්තක්‍ෂණයෙන් චිත්තක්‍ෂණයට කර්මප‍්‍රත්‍ය උපනිශ‍්‍රය ප‍්‍රත්‍ය යන දෙක මුල්කොට ඇති අනත්තර, සමනන්තර, අනන්තර උපනිශ‍්‍රය නත්ථි, විගත කියන සෑම සිතකම තියෙන ශක්ති විශේෂ සිතක් නිරුද්ධ වීමේදී අනිත් සිතට භාරදීලයි නිරුද්ධ වෙන්නෙ.

සිතට රැඳෙන්න තැනක් නෑ. සිතෙන් සිතට සිතෙන් සිතට මාරු වෙමින් ප‍්‍රත්‍ය වේවී තමා කල්ප ගණන් මේ කර්ම ශක්ති විශේෂ පවතින්නෙ. යම්කිසි ආරක්‍ෂක නිලධාරියෙකු තමාගේ දවසේ සේවා කාලයෙන් සමුගන්නෙ ඒ වෙනුවට තවත් අයෙකු සේවයට වාර්තා කිරීමෙන් පසුව ඒ කටයුතු ඔහුට පැවරීමෙන් අනතුරුවනෙ. ඒ වගේ එක සිතක් නිරුද්ධ වෙන්නෙ ඒ සිතේ පවතින කර්ම ශක්ති අතින් සිතට භාරදීමෙන් පසුවයි. මේ ජීවිතයේ සිතෙන් සිතට සම්බන්ධ වූ කර්ම ශක්ති අනතුරුව පටිසන්ධි සිතට ලැබීමෙනුයි ඊළඟ භවයට කර්ම ශක්ති ගමන් කරන්නෙ.

මරණයට පත්වීමේදී රූපකාය මෙහි රැඳුනට නාමකාය රැඳෙන්නෙ නෑ. නාමකාය අවසන් වෙන්නෙ රහත්වෙලා පිරිනිවන් පෑමෙන් පස්සෙ. ඒ තාක් මේ චිත්ත චෛතසික පරම්පරා නොසිඳී පවතිනව. එසේ හෙයින් අහසේ හෝ වෙනත් තැනක මේ කර්මය රැස්වී පවතිනව නොව තම තමන්ගේ චිත්ත සන්තානයේය කර්මය රැස්වෙන්නෙ. සිතෙන් සිතට ප‍්‍රත්‍ය වේවී පැවතීම නිසයි කර්ම ශක්ති ඉදිරියට ගොස් සසරට ගමන් කරන්නෙ.

ප‍්‍රශ්නය – කර්මය ක්‍ෂය වන්නේ කවදාද?

පිළිතුර: කර්මය ක්ෂය වීමේ ක‍්‍රම දෙකක් තියෙනවා. යම්කිසි කර්මයක් විපාක විඳ අවසන් නම් ඒ කර්මය ක්ෂය වෙනවා. එහෙම නැත්නම් රහත්වෙලා අරහත් මාර්ග සිත පහළ වීමේදී මතු භවයක ප‍්‍රතිසන්ධි ප‍්‍රවෘත්ති විපාක දීමේ කර්මක්‍ෂය වෙනව. රහත්වූවත් පිරිනිවන්පානතුරු යම් යම් කර්මවලට මුහුණ දෙන්න සිදුවෙනව. පිරිනිවන් පෑමේදී සියලු කර්ම ක්ෂය වෙනවා.

ප‍්‍රශ්නය – වඩා ප‍්‍රබල වෙන්නෙ දැන දැන කරන කර්මය ද නොදැන කරන කර්මය ද?

පිළිතුර: මෙය කුසල් ද අකුසල් ද කියා නොදැන කරන කර්මයේ බරපතළකම වැඩියි. මේකෙන් පාපයක් නෑ කියල හිතල පාපයක් කිරීමේදී එතැන දිට්ඨිය නිසා පාපයෙ බරපතලකම වැඩියි. වරදක් වෙනව කියල දැන දැන කරන කොට කර්මය ටිකක් දුබලයි. අනික කර්මය සඳහා යෙදෙන චේතනා මහන්තතාවය අනුව කර්මය බරපතල වෙනව.

මැස්සෙක් මදුරුවෙක් මරණ විට ඇතිවෙන අකුසල චේතනා බොහොම කෙටි වෙලාවයි. අලියෙක් ඇතෙක් මිනිසෙක් මරණකොට චේතනා ගොඩක් ඇතිවෙනව. එතකොට පාපය මහාසාවද්‍ය වෙනව. පිනත් වුවත් එහෙමයි. අපි මලක් පූජා කරනව. කෙටි වෙලාවනෙ ගතවෙන්නෙ. ඊට වඩා දීර්ඝ වේලාවක් භාවනා කිරීමේදි පෙරට වඩා මහා සාවද්‍ය කුසලයක් වැඩෙනවා. වැඩි චිත්ත චෛතසික පරම්පරාවක් ඇතිවූවා නම් ඒක තමා බරපතළ වෙන්නෙ.

කුසල පක්‍ෂය දැන දැන කිරීමේදී ආනිශංස වැඩියි. අකුසල පැත්තෙ නොදැනෙ කරන කොට අකුසලය වැඩියි. දැන් අන්‍යාගමික කෙනෙක් කර්මඵලය පිළිගන්නෙ නැහැනෙ. එය නියත මිථ්‍යා දෘෂ්ඨියක්. ඒ නියත මිථ්‍යා දෘෂ්ඨියේ සිට කරන පාපය බරපතළයි. කර්මය කර්ම ඵලය පිළිගන්න කෙනෙක් අත්වැරැද්දකින් නැත්නම් හදිසි කෝපයකින් ප‍්‍රාණ ඝාතයක් කරනව. නමුත් ඔහු මිත්‍යා දෘෂ්ඨියෙ පිහිටල නැහැ. ඒ නිසා ඔහුගෙ කර්මය අච්චර බරපතළ නැහැ.


Responses

  1. kusal akusal pilibadawath, karmaya pilibadawath ithama sarralawa katath awabodawena paridi me desanawa idiripathkala oba wahanseta me bhawayedima siyalu karma kshyavi nrwana awbodayama lebewaa!!!


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: