Posted by: lrrp | February 14, 2012

චිත්ත විපත්ති

චිත්ත යනු සිත හෙවත් මනසයි. විපත්ති යනු විපත, අනතුර, නොහොත් වෙනස් තත්ත්වයට පත්වීමයි. මේ අනුව චිත්ත විපත්ති යනු සිත විපතකට හෝ වෙනත් තත්ත්වයකට පත් කිරීම යැයි සැලකිය හැකිය. මෙසේ වෙනස් තත්ත්වයට පත් කරන ලද සිත පුද්ගලයාට දුකක් දොම්නසක් වේදනාවක් හෝ අලාභයක්ම හිමි කරයි. එ නිසා එයින් මිදිය යුතු බව බුදු රඳුන්ගේ අදහසයි.

“පභස්සරමිදං භික්ඛවේ චිත්තං “ යනුවෙන් බුදුන් වහන්සේ පෙන්වා දෙන පරිදි, පුද්ගලයකු උපත ලබන විට ඔහුගේ සිත ඉතාමත් ප‍්‍රභාස්වර හෙවත් පිරිසුදු වෙයි. එය කිලිටි වන්නේ බාහිරින් සිතට ඇතුළු වන විවිධ කෙලෙස් නිසාය.(ආගන්තුකෝහි උපක්කිලිට්ඨෙහි උපක්කිලිටඨං) චිත්ත විපත්තිය ඇති වන්නේ මේ අනුවය.

චිත්ත විපත්තිය නිසා සිදුවන්නේ සිත වැරැදි පැත්තට යොමු වීමයි. එහි යහපත් වූ කි‍්‍රයාකාරී ස්වරූප වෙනස් වී, අයහපත් කි‍්‍රයාකාරිත්වයක යෙදීම මේ අනුව සිදුවේ. මෙය ඉමේ සිදුවන්නක් නොව පුද්ගලයා විසින්ම සිදු කරන්න කි.

එය සිදු කරන්නන් අධික වූ තෘෂ්ණාවෙන් යුතුව පසිඳුරන් මගින් විවිධ අරමුණු ගැනීම මගිනි. එනම් තෘෂ්නා සිතින් ඇසින් රූප බලා ඒවායෙහි ඇලීමෙන් ද, කණින් ශබ්ද අසා ඒවායෙහි ඇලීමෙන් ද, නාසයෙන් ආඝ‍්‍රාණය කොට ඒවායෙහි ඇලීමෙන්ද, දිවෙන් රස බලා ඒවායෙහි ඇලීමෙන් ද, කයින් ස්පර්ශය ලබා ඒවායෙහි ඇලීමෙන් ද සිතෙහි වෙනස් වීම ඇති වෙයි.

ඒ නිසා තෘෂ්ණාවෙන් ඒ ඒ අරමුණෙහි නොඇලී කි‍්‍රයා කිරීමෙන්ම, මේ විපත නැති කරගත හැකි වෙයි. ඒ සඳහා දැකීම , හුදු දැකීමක් පමණක් ලෙසද (දිට්ඨෙ දිට්ඨමත්තං) ඇසූ දෙය ඇසීම් මාත‍්‍රයක් පමණක් ලෙස ද (සුතේ සුතමත්තං) ආදී වශයෙන් සැලකිය යුතුය.

සිතට විපත් ඇති කරන ප‍්‍රධාන බලවේග වන්නේ ලෝභ, ද්වේශ, මෝහ, කාම, රාග ආදී බලගතු ක්ලේශ ධර්මයන්ය. ලෝභය සිතෙහි කි‍්‍රයාත්මක වීමෙන්, දාන සිතුවිල්ලෙන් සිත මුදවා දුකට මග පාදයි. ද්වේශය පහළ වීමෙන් ද කරුණා ආදී සිතුවිලි යටපත් කොට, සිතෙහි ප‍්‍රකෝප සහිත වූ ස්වරූපයක් ඇති කරයි.

මෝහයෙන් කෙරෙන්නේද යහපත් දෙයකට සිත යොමු වීමට ඇති ඉඩකඩ වළකා නරක දේශවලට සිත පොළඹවයි. එසේම කාම රාග නිසා ඉතා බරපතළ ලෙස සිතට විපත් ඇති වේ. මේ නිසා එවැනි දේවලින් සිත රැක ගැනීම පිණිස නිතර සිහි නුවණින් කටයුතු කළ යුතු වෙයි.

අද වන විට ලෝක වාසීන් බලවත් ලෙස චිත්ත විපත්තියට මුහුණ දී ආකාර දක්නට ලැබේ. තෘෂ්ණා ආශාවල පැටලුණු මිනිස්සු විවිධ වූ දේවල් ලබා ගැනීම පිණිස මහත් වූ ව්‍යායාමයක යෙදී සිටිති. ඇතැමෙක් බලය ලබාගැනීමට වෙර දරන අතරේ තවකෙක්, ධනය ලබා ගැනීමට වෙහෙසෙති. ඒ අතර තවෙකෙක් විවිධ වූ වස්තු සම්පත් වෙනුවෙන් මහා අරගලයක පැටලී සිටිති.

මෙසේ තම තමන්ගේ නොයෙක් අරමුණු සපල කර ගැනීමට වෙර දරන ඇතැමෙක් සොරකම් කරති. තවෙකෙක්, මං පහරති. තවෙකෙක් මිනී මරති. පරාර්ථය පසෙකට දමා ආත්මාර්ථයම ජය ගැනීමට වෙහෙසෙති. මෙසේ මුළු සමාජ පරිසරයම මහත් වූ ව්‍යසනයට ලක් කරති.

සිත වෙනස් වූ පුද්ගලයාට, ජාතියක්, ආගමක්, භාෂාවක්,සංස්කෘතියක් කියා දෙයක් නැත. එසේම මවක පියෙකු හෝ වැඩි හිටියකු ගුරුවරයකුද නැත. මේ සියල්ල තඹයකට මායිම් නොකරන ඔවුහු තම හිතේ මනාපය පරිදි ඕනෑම දෙයක් කරති. එයින් තමාට හෝ අනුන්ට හෝ නරක විපාකයක් ලැබුණා කියා ඔවුන්ට ගැටලුවක් නැත.

අද වනවිට ලෝකය පුරා සියලු ආකාරයේ කලකෝලාහල යුද්ධ, හටගෙන තිබෙන්නේ ද මෙකී චිත්ත විපත්තිය නිසාමය. ද්වේෂ සිත් ඇති මිනිසුන් වෙතින් අයහපතක් මිස යහපතක් අපේක්ෂා කළ නොහැකි බැවින් යුද්ධ, කෝලාහල ආදියම බලාපොරොත්තු විය යුතුය.

චිත්ත විපත්තියෙන් ගැළවීම සඳහා තමාම කල්පනාකොට සිතා බලා තම සිත පාලනය කරගත යුතුය. වෙන කෙනෙකුට එය කළ නොහැකිය. පුද්ගලයා පාපියකු හෝ යහපත් කෙනෙකු කරන්නේ විපතට පත් හා නොපත් සිත විසින්මය. අනෙකකු විසින් නොවේ.

පහත දැක්වෙන බුදු වදන ඒ බව තහවුරු කරයි.

නතං මාතා පිතා කයිරා
වේරීවා පන වේරිනං
මිච්ඡා පණිහිතං චිත්තං
පාපියෝ නං තතොකරේ

මෙයින් කියැවෙන පරිදි පුද්ගලයා පාපකාරී කෙනෙකු බවට පත් කරන්නේ මව හෝ පියා හෝ වෙනත් කෙනෙකු හෝ නොව වැරැදියට යෙදවූ තමාගේම සිතය. ඒ නිසා සිතට, විපත් සිදු වීමට ඉඩ නොවේ. චිත්ත සම්පත්තියක්ම ඇති කර ගැනීමට අප වෑයම් කළ යුතුය.

(තිහගොඩ ජාතික පාසලේ නියෝජ්‍ය විදුහල්පති,  බෙංගමුවේ නාලක හිමි.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: