Posted by: lrrp | February 14, 2012

දිට්ඨි විපත්ති

දිටඨි’ යන වචනයෙහි සාමාන්‍ය අර්ථය වන්නේ ‘දෘෂ්ටිය ඇදහීම විශ්වාසයයි හෙවත් දැකීමයි. විපත්ති යනු විපත, අනතුර නොහොත් නොමග යාමයි. මේ අනුව දිටඨි විපත්ති ලෙස සලකනු ලබන්නේ දෘෂ්ටියෙන් නොමග යාම හෙවත් බලවත් ලෙස වැරදි දෘෂ්ටි ගැනීමයි. දෘෂ්ටි ගැනීමෙන් විපතට හෙවත් අනතුරට පත්වීම ලෙසද මෙය සැලකිය හැකිය.

‘දිටඨි’ යන්නෙන් අදහස් කෙරෙන දෘෂ්ටි ගැනීම, හෝ ඇදහීම බුදු දහමින් ප‍්‍රතික්ෂේප කෙරේ. මෙය මිනිසාගේ ඉදිරි ගමනට මහත් බාධකයක් වන බව බුදු දහමේ අදහසයි. ඒ අනුව ‘දිටඨි විපත්ති’ යනුවෙන් සැලකෙන බලවත් ලෙස දෘෂ්ටි ගැනීම බලවත් ලෙසම ප‍්‍රතික්ෂේප කෙරේ. මන්ද යත් එය බලවත් ලෙසම මිනිසාට හානි පිණිස දුක පිණිස බාධා පිණිස හේතු වන බැවිනි.

බුදුන් වහන්සේ ඉපදුණු කි‍්‍ර. පු. හයවන සියවස භාරතීය සමාජය දෘෂ්ටි ගබඩාවක් බව (දිටඨි කත්තාරං) සඳහන් වෙයි. මේ හේතුව නිසා මිනිස්සු අප‍්‍රමාණ දුක් දොම්නස් වල පැටලී ඒවාට නිසි පිළියමක් සොයාගත නොහැකිව ලත වූහ. තම තමා විසින් ග‍්‍රහණය කර ගෙන සිටින දෘෂ්ටිය නිවැරැදි යැයි ද අනෙක් සියල්ල වැරැදි යයිද ඔව්හු සිතූහ.

එනිසා ඔවුනට ඒවායින් ගැළවුමක් නොවූයේය. තව තවත් දුක් දොම්නස්ම වැඩිවූවා මිස යහපතක් ඇති වුයේම නැත. මේ තත්වය මැනවින් වවටහා ගත් බුදුන් වහන්සේ මුළුමනින්ම දෘෂ්ටියද දෘෂ්ටි විපත්තියද ප‍්‍රතික්ෂේප කරමින් ප‍්‍රත්‍යක්ෂ ඤාණය ලබා ගැනීම සඳහාම මිනිසුන්ට දහම් දෙසූහ.

තමා විසින්ම උපකල්පනය කරන ලද දෙය නිවැරැදි යැයි කල්පනා කිරීම දෘෂ්ටි විපත්තියෙහි ස්වභාවයයි. එසේ දෘෂ්ටි විපතට හසු වූ පුද්ගලයා කිසි ලෙසකින් හෝ වෙනත් මගකට යොමුකිරීමට නොහැකිය. එනිසා විපතටම ඇදී ගොස් දුකම හිමි කර ගනී.

බුදුන් වහන්සේ තම පළමු දම් දෙසුම වූ දම්සක් පැවතුම් සුත‍්‍රයේදී අත් හල යුතු අන්ත දෙකක් පෙන්වා දෙති. එනම් අත්තකිලමථානුයෝගය හා කාමසුඛල්ලිකානු යෝගයයි. මෙය පෙන්වා දීමේ මූලික අරමුණ වන්නේද දෘෂ්ටි විපතින් මිනිසුන් බේරා ගැනීමයි.

දෘෂ්ටි විපත කෙතරම් බලවත් ලෙස මිනිසුන්ට බලපෑම් කරන්නේද යත් ඇතැම් විට මිනිසුන්ගේ උගත්කම් පවා යටපත් කරගෙන මෙයම මතු වී එයි. සිද්ධාර්ථ බෝසත්තුමා දුෂ්කර කි‍්‍රයාව අත් හැර මධ්‍යම ප‍්‍රතිපදාවට යොමු වූ විගස කොණ්ඩඤ්ඤ ඇතුළු පස්වග තවුසන් බෝසතුන් අත් හැර දැමුවේද මේ නිසාමය. ඔවුන්ගේ එකම කල්පනාව වූයේ විමුක්තිය ලැබිය හැක්කේ අන්ත දෙකින් එකක් මගින් පමණක් බවයි.

එනිසා සිදුහත් කුමරුට නම් තබන දින එක් ඇඟිල්ලක් ඔසවා සිදුහත් කුමරු නිසැකයෙන්ම බුදු වන බව ප‍්‍රකාශ කළේ කොණ්ඩඤ්ඤ තවුසාය. එහෙත් බෝසතුන් දුෂ්කර කි‍්‍රයාව අත් හළ විගස ඔහු ද බෝසතුන් අත්හැර දැම්මේය. එයට හේතු වූයේ ඔහුගේ උගත්කම දෘෂ්ටියට යටවී යාමයි. ඔහුගේ බලවත් දෘෂ්ටිය වූයේ දුෂ්කර කි‍්‍රයාවෙන් මිස අන් ක‍්‍රමයකින් විමුක්තිය ලද නොහැකි බවය.

වර්තමානය වන විටද බොහෝ මිනිසුන් දෘෂ්ටි විපතට හසුවී සිටිනු පෙනේ. ඒ හේතුව නිසාම මුළු ලෝකයම අවුල් ජාලයක පැටලී ඇති අයුරුද දැකිය. විශේෂයෙන්ම දේශපාලනමය වශයෙන් විවිධ පක්ෂ වලට බෙදී සිටින අය බහුල වී ඇත. තමාගේ පක්ෂයම නිවැරැදි යයිද අනෙක් සියලු පක්ෂ වැරැදි යයිද කියා කල්පනා කිරීම ඔවුන්ගේ ලක්ෂණයයි. මේ හේතුව නිසා නිවැරැදි දෙය වටහා ගැනීමට ඔවුන්ට කිසිදාක නොහැකි වෙයි. අද ලෝකයේ ඇතිවී තිබෙන බොහෝ යුද ගැටුම් වලට ප‍්‍රධාන වශයෙන් බලපාන හේතුව වන්නේද දෘෂ්ටි විපතමය.

මෙසේ දෘෂ්ටි විපත්තිය සැම අයුරින්ම හානිකර ලෙස මිනිසාට බලපෑම් කරන නිසා බුදුරදුන් දේශනා කරනු ලැබුවේ දෘෂ්ටිවලට කිසිසේත් නොපැමිණ කටයුතු කරන ලෙසයි. ‘දිටඨිංච අනුපගම්ම’ යනුවෙන් කරණීය මෙත්ත සුත‍්‍රයෙහි දැක්වෙන්නේ ඒ කරුණයි. මින් කියැවෙන පරිදි අප කිසිදු ආකාරයක හෝ දෘෂ්ටියක් නොගත යුතුය. මන්දයත් දෘෂ්ටි ගත් පුද්ගලයා කිසි ලෙසකින් හෝ ඉන් ගැළවිය නොහැකි යයි බුදු රදුන් දේශනා කරන බැවිනි.

අද වන විට බුදුරදුන්ගේ යම් යම් ඉගැන්වීම්ද දෘෂ්ටි වශයෙන් ගනිමින් යම් යම් පුද්ගලයන් එයම තමාට විපතක් කරගෙන සිටින අයුරු දැකිය හැකිය. එනිසා දෘෂ්ටි නොගැනීම සඳහා ම දෙසු බුදු දහම මැනවින් වටහාගෙන දෘෂ්ටි විපත්තියෙන් මිදී තමාටද අනුන්ටද යහපතක්ම සිදු කිරීමට සියල්ලන් වෑයම් කළ යුතුය.

(කපුදුව ශ‍්‍රී මහා බෝධි විහාරාධිකාරී තිහගොඩ ශා. බ. ම. ලේඛකාධිකාරී මාතර ශ‍්‍රී සුදර්ශි පිරිවෙනේ ආචාර්ය පනාමුරේ තපස්සි හිමි)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: