Posted by: lrrp | February 14, 2012

ශ‍්‍රද්ධා සංකල්පය

ශ‍්‍රද්ධාව සම්බන්ධව අපේ දෙසවනට වැකෙත්ම, නෙතට ලක්වෙත්ම ඇතිවන පහන් හැඟුම් නිර්වචනය කරන්නට විශ්ලේෂණය කරන්නට, විමර්ශනය කරන්නට ශබ්දකෝෂයේ වදන් නොමැති තරම්ය. එතරමට ම එම වදනේ පවත්නා සුගැඹුර, පහන් සංවේග දැනවීම, විශ්මයාර්ථභාවය, ධ්වනිථාර්ථ සංවේදිභාවය මෙන් ම, චමත්කාර ස්වරූපය ආත්මය කෙටිකර ගැනීමට අතිශය කඩ ඉමකි.

මේ ශ‍්‍රද්ධාව ද්විභේද වේ. එය අමූලිකා ශ‍්‍රද්ධාව හා ආකාර්තිකා ශ‍්‍රද්ධාව වශයෙනි.

ශ‍්‍රද්ධාව වැඩීමට විඥානය ද, පරිඥානය ද අතිශයින් ම ඉවහල් වේ. පුහුදුන් සිතක මේ ශ‍්‍රද්ධාව යට සඳහන් පරිදි දෙආකාරයෙන් මතු වේ. ඥානය පරිපාකයට පත් නොවූ සිතක නියත වශයෙන් ම පහළ වන්නේ, ජනිත වන්නේ අමූලිකා ශ‍්‍රද්ධාවයි. යමක් දැකීමෙන් මතුවන ශ‍්‍රද්ධාව අමූලිකා ශ‍්‍රද්ධාව වශයෙන් හැඳින්වේ. බෝරුක, බුදුරුව, දාගැබ ආදී යම් යම් සංකේත දැකීමෙන් ඇතිවන ශ‍්‍රද්ධාව එක පැත්තකි.

පාර අද්දර බුදුරුවක් දැකීමෙන් ඇතිවූ ශ‍්‍රද්ධාව හේතුකොටගෙන එයට වැඳීම, එසේ නැත්නම් බසයක, දුම්රියක ගමන් ගන්නා විට නැගිට වැඳීම අමූලිකා ශ‍්‍රද්ධාව වශයෙන් හැඳින්විය හැකිය.

පාර දිගටම මෙසේ බුදු රූ තනා ඇත්නම් බසයේ හෝ දුම්රියේ හිඳගෙන යාමට අපහසු තත්ත්වයක් මතු වේ. ඒ නැගිට වැඳීම හේතු කොටගෙනය. මෙය අප හඳුන්වන්නේ අමූලිකා ශ‍්‍රද්ධාව ලෙසය.

කළුතර බෝධිය සමීපයෙන් යන විට එයට නමස්කාර කිරීම, පඬුරු දැමීම තවදුරටත් අමූලිකා ශ‍්‍රද්ධාව මතුවන තැනකි. මෙය වැරැදි නිගමනයක් නොවේ. පුහුදුන් පුද්ගලයා කෙරෙහි මතුවන ශ‍්‍රද්ධාවේ එක් පැත්තකි මෙයින් විවරණය කෙළේ.

ආකාර්තිකා ශ‍්‍රද්ධාව එයට ඉඳුරාම පටහැනි, හාත්පසින් ම වෙනස්වූවකි. චිත්ත චෛතසික ධර්මතා ප‍්‍රගුණ කරගත්, දියුණු කර ගත්, වර්ධනය වූ සිතක පහළ වන්නේ ආකාර්තිකා ශ‍්‍රද්ධාවයි.

 

ජීවිතයේ යථාර්ථය

ජීවිතයේ යථාර්ථය (Reality) දැකීම මත පුද්ගලයාගේ මනස ප‍්‍රගුණ කර ගැනීමෙන් ජීවිතයේ ස්වභාවය, ස්වරූපය ඇත්ත ඇති සැටියෙන් දකී.

කිසියම් වස්තුවක් මෙලොවට පහළ වූයේ නම් එය නැතිවෙයි. යමකු මෙලොවට බිහිවූයේ නම් කිසියම් දිනක මිය යයි. මිනිසා නැත්නම් සත්ත්වයා ඉපදීමත් සමඟයි මරණය රැගෙන එන්නේ. කිසියම් දිනක සත්ත්වයා මිය යන්නේය. එය කවරකුටවත් වළක්වා ගත නොහැකිය. ජීවිතය තත්ත්වාකාරයෙන් දැක ඒ අනුව හැසිරීම, ජීවත්වීමට ආකාර්තිකා ශ‍්‍රද්ධාව අතිශයින් ම ඉවහල් වේ.

 

ති‍්‍රලක්‍ෂණය

අනිත්‍ය – දුක්ඛ – අනාත්ම යන ති‍්‍රලක්‍ෂණය අප නිරතුරුවම මෙනෙහි කළ යුතුය. කිසිම දෙයක් ස්ථිර නොමැත. සදාකාලික ද නැත. ඒ අනුව අප එය නිතරම මෙනෙහි කළ යුතුය. එලෙස හැසිරිය යුතුය.

එමෙන්ම ජීවිතය දුකක් ය. මිනිසා යම් යම් ලෙඩ රෝගවලට ගොදුරු වේ. අපගේ සිරුරේ රෝග හටගන්නේ අපට දන්වා නොවේ. මෙයයි ලෝක ස්වභාවය. කර්මානුකර්ම රූපතා මත යම් යම් දුක්ඛාවලියකට පුද්ගලයා ගොදුරු වේ. නැඹුරු වේ. ඒ අනුව ජීවිතයේ යථාර්ථය අප තේරුම් බේරුම් කර ගත යුතුය. මෙයට පාදක වන්නේ බුදුරදුන් දෙසූ ධර්මයයි. ඒ ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. දුක – දුක ඇතිවීම – දුක නැතිකිරීම – දුක නැතිකිරීමේ මාර්ගය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය පසක්කොට ගත් පුද්ගලයා කෙරෙහි ජනිත වන්නේ ආකාර්තිකා ශ‍්‍රද්ධාවයි.

 

අරි අටැඟි මඟ

ඊට සමගාමීව ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව යථාවබෝධ ඥානයත් තිබිය යුතුය. ශීල – සමාධි – ප‍්‍රඥා වශයෙන් පුද්ගලයා කෙරෙහි චෛතසික වර්ධනයක් ඇතිකර ගත යුතුය. මෙය ශීල – සමාධි – ප‍්‍රඥා වශයෙන් අටුවාවල සඳහන් වී තිබුණද එය ප‍්‍රඥා – ශීල – සමාධි වශයෙන් සකස් විය යුතුය යන්න මගේ හැඟීමයි. යම් ආකාරයකින් අටුවාචාරීන්ට වැරැදී ගිය තැනක් ලෙස ද මෙය හැඳින්විය හැකිය.

බුදුරදුන් දේශනා කළ පරිදි බුද්ධ ධර්මය උකහා ගන්නට ප‍්‍රඥාව තිබිය යුතුය. “මගේ ධර්මය ප‍්‍රඥාවන්තයන්ට පමණයි” යනුවෙන් බුදුරදුන් සඳහන් කෙළේ ඒ හේතුව නිසාය. සමාධිය වඩන්නට ප‍්‍රඥාව තිබිය යුතුය. ශීලය ඇතිවන්නේ ප‍්‍රඥාව ප‍්‍රගුණ කළහොත් පමණි. ප‍්‍රඥාවෙන් ජනිත වන සිතක නියතය ආකාර්තිකා ශ‍්‍රද්ධාවයි.

 

මායාව හා මිථ්‍යාව

මායාව (Fantacy) මිථ්‍යාව (myths) ආකාර්තිකා ශ‍්‍රද්ධාව බැහැර කරයි. ශුද්ධවූ සිතුවිලි සමුදායක අග‍්‍ර ඵලයකි. ආකාර්තිකා ශ‍්‍රද්ධාව. එතැන මායාව, මිථ්‍යාව හා ව්‍යාජත්වය ඇති නොවේ. ඉතාම පාරිශුද්ධ වූ සිතුවිලි සමුදායකින් ජනිතවන ආකාර්තිකා ශ‍්‍රද්ධාව නිවන් මඟට ප‍්‍රවේශයකි.

දිනක් එක්තරා කාන්තාවක් තමන්ගේ පන්සලට පැමිණ එහි වැඩ විසූ නායක හිමියන්ට තමන් වට වන්දනාවේ යන බව දන්වා, එසේ ගොස් යළි පන්සලට පැමිණි විට අර නාහිමියන්ට පැවැසුවේ “මේ පන්සලේ තියෙන දාගැබ, බුදුරුව මොකක්ද පොළොන්නරු ගල් විහාරයේ තියෙන බුදු රූ නෙ, හාමුදුරුවනේ බුදු රූ, රුවන්වැලි සෑය, මිරිසවැටි සෑය නෙ හාමුදුරුවනේ දාගැබ්” යනුවෙන් පවසා ඇත. මෙතැනදී ඉස්මතු වූයේ අමූලිකා ශ‍්‍රද්ධාවයි.

පුළුල් වූ විෂය පථයක නොරැඳුණු, බුද්ධිය පරිපාකයට පත් නොවූ සිතක පහළ වන ශ‍්‍රද්ධාව අමූලිකා ශ‍්‍රද්ධාව ලෙස අර්ථ දක්වන අතර එම ශ‍්‍රද්ධාව මත පුද්ගලයා කෙරෙහි පහන් සිතිවිලි සමුදායයක් පහළ වන්නට පුළුවන.

කිසියම් බණක් අසා එහි අවසානයේ ශ‍්‍රද්ධාවක් ජනිත වන්නට පුළුවන. ධර්ම දේශනය සමාරම්භයේ පටන් සමාප්තිය තෙක් සිත එකම අරමුණක තබාගෙන ධර්ම අවසානයේ චිත්ත සමාධියක් ලැබ පහන් සංවේග ජනිත වන්නට, ආකාර්තිකා ශ‍්‍රද්ධාවක් ඇතිවන්නට පුළුවන.

සදාකාලික වශයෙන් ජීවත්වන අය ලෙස සලකා අද්‍යතන සමාජයේ දිවි ගෙවන අය අපි කොතෙකුත් දැක ඇත්තෙමු. මෙසේ සිතීම එක්තරා අන්දමකින් මායාවකි. මිථ්‍යාවකි. අනුවණකමකි. මෝහයෙන් මුළා වූවකි. ජීවිතයේ යථාර්ථය තේරුම් – බේරුම් කර නොගැනීමේ ඵලයකි. ජීවිතය දෙස පුළුල් වූ දෘෂ්ටි කෝණයක පිහිටා නොබැලීමේ ඵල විපාකයකි. මෙවන් පුද්ගලයන්ගේ ජීවිතය දිගුය. සසර කෙටි කර ගැනීමට තිබියදී සසර දිගු කර ගැනීමයි මෙයින් සිදුවන්නේ.

 

හොඳ හා නරක

තමන් කළ නරක ගොනා පසුපස ගැල යන්නා සේය. තමන් කළ හොඳ තමන් පසුපස යන සෙවණැල්ල මෙනි. හොඳ – නරක උපමා කොට ඇත්තේ මෙසේය.

පුළුල් වූ දෘෂ්ටිකෝණයක පිහිටා ජීවිතය දෙස ගැඹුරින් බැලිය යුතුය. ආකාර්තිකා ශ‍්‍රද්ධාව මතුවන්නේ එවිටය. සිතෙහි පහන් සංවේග ජනිත වී තමන් කෙරෙහි පවත්නා ආශාව තුනී කර ගැනීමට අමූලිකා ශ‍්‍රද්ධාවට වඩා අකාර්තිකා ශ‍්‍රද්ධාව බලපානු ලැබේ.

පුද්ගලයා කෙරෙහි පවත්නා ඇලීම් – ගැලීම් – බැඳීම් – රැඳීම් – වෙලීම් නිසා සසර තව තවත් දිගු වේ. නිරන්තරයෙන් ම ආත්මය කෙටි කර ගැනීමට අවශ්‍ය වී තිබියදී තව තවත් දිගු කර ගන්නට අප පෙළඹෙන්නේ ඇයි. “ආශාව“ මත රැඳීම හේතුකොට ගෙන අපට සසරෙන් ගැලවීමක් නොමැත. සසරෙන් ගැලවෙන්නට නම් අප කෙරෙහි ආකාර්තිකා ශ‍්‍රද්ධාව ජනිත කර ගත යුතුය. මෙය මතුපිටින් නොව ප‍්‍රඥාවෙන් යුතුව යථාර්ථවාදීව (Realism) බැලිය යුතුය.

බුදුරදුන් දවස උද්දායි නමින් බ‍්‍රහ්මණයෙක් සිටියේය. එම බමුණා බුදුරදුන් කෙරෙහි එම ධර්මය කෙරෙහි පැහැදී ඒ අයුරින් ජීවිතය ගත කළද බමුණාගේ බිරිය එනම් බැමිණිය බුද්ධ ධර්මය ගැන කිසිදු තැකීමක් නැති, බුදුරදුන් සරණ නොයන, ඒ දෙස වපර ඇසින් බලන මිථ්‍යා දෘෂ්ටික දහම් එල්බගෙන සිටියාය.

එහෙත් බුදුරදුන් ලෝකය දෙස බලන වේලේ මේ බැමිණිය කෙරෙහි පවත්නා මිථ්‍යා දහම් බැහැරකොට සමිඳු වූ මඟට ගත හැකිය යන මතයේ එල්බගෙන දිනක් බුදුරදුන් එම බැමිණියගේ නිවසට වැඩියාය. එම නිවසට වඩින අවස්ථාවේ බමුණා උදේ ආහාර ගනිමින් සිටියාය. බුදුරදුන්ට පිටුපා ආහාර ගැනීම නිසා බමුණා බුදුරදුන් වැඩිය බව නොදැන සිටියාය.

එහෙත් අර බැමිණිය බුදුරදුන් වැඩිය බව දැන සිටි නිසා ඔළුව වනා බුදුරදුන්ට යන ලෙස කීවාය. බුදුරදුන් හිස වනා නොයන බව දැන්වීය. මෙසේ ටික වේලාවක් දොරකඩ රැඳී සිටි බුදුරදුන් දුටු කාන්තාවටම සිනහ පහළ විය. තම බිරිය (බැමිණිය) කොක් හඬලා සිනාසෙන්නේ කා සමඟ ද කියා බමුණා පසුපස හැරී බැලුවාය.

බුදුරදුන් සමඟ සිනාසෙන බව දත් බමුණා, වහා එතැනින් නැඟිට වැඳ දානය පිළිගන්වන්නට කිසිත් නැති හෙයින් බමුණා අතිශයින් ම දුකට පත් විය. මේ අවස්ථාවේ තමන් ගත් ආහාරවලින් අඩක් බුදුරදුන්ට බමුණා පූජා කළාය. එම ආහාර අඩ පිළිගෙන ගසක් සමීපයට ගොස් වැළැඳූ බුදුරදුන් අවසානයේ බැමිණියගේ මිසදුටු දහම් සිඳ බිඳ මෝක්ෂ මාර්ගයට පත් කළාය.

මේ අවස්ථාවේදී අර බැමිණිය කෙරෙහි ඇතිවූයේ ආකාර්තිකා ශ‍්‍රද්ධාවයි. ඒ කෙසේද බමුණාගේ ඉඳුල් කළ ආහාර බුදුරදුන් අනුභව කිරීමෙන් බුදුරදුන් කෙරෙහි අතිශය ශ‍්‍රද්ධාවක්, පැහැදීමක් ජනිත වී සියලු වැරැදි මාර්ග පිටුදැක බුදුරදුන් සරණ ගියාය. බලන්න ආකාර්තිකා ශ‍්‍රද්ධාව මත පිහිටීමේ ඵලයක මහිම.

තවද බුදුරදුන් සමයේ සැමියා මියගිය, දරුවන් සලකන්නේ නැති එක්තරා කාන්තාවක් ගෙවල් ගානේ ගොස් පර වැඩ කොට ඒ අනුසාරයෙන් ජීවිකාව ගත කළාය.අමූලිකා ශ‍්‍රද්ධාවෙන් ජීවිතය අරඹා එයින්ම කෙළවර වන ජීවිත ද දක්නට ලැබේ. එමෙන්ම අමූලිකා ශ‍්‍රද්ධාවෙන් අරඹා ආකාර්තිකා ශ‍්‍රද්ධාවෙන් කෙළවර වන ජීවිත ද දැකගත හැකිය. කෙසේ වෙතත් ජීවිතයක ශ‍්‍රද්ධාවාදී ගුණය ජනිත විය යුතුය. ජීවිතය යථාවාදී, තථාකාරී ස්වරූපය හඳුනාගෙන එයින් සැහැල්ලුවෙන් යුතුව නික්මෙන්නට ඉටා ගැනීම ප‍්‍රඥා ගෝචරකාරියකි.

(ආචාර්ය රංජිත් ඇල්. අබේවික‍්‍රම)


Responses

  1. apa siylloma akarthika sraddawa ethi karagana nrwana suwayama athvidamu.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: