Posted by: lrrp | February 14, 2012

සීල විපත්ති

පාණාතිපාතාදීහි වා විරමන්තස්ස වත්තපට්වත්තංවා පුරෙන්තස්ස චේතනාදයො ධම්මා’ යන අටුවා හැඳින්වීමට අනුව ප‍්‍රාණඝාත ආදියෙන් වැළැකෙන තැනැත්තාගේ හෝ වත් පිළිවෙත් පුරන තැනැත්තාගේ හෝ සිතේ පහළ වන චේතනාවන් ශීල නම් වෙයි. මේ අනුව පැහැදිලි වන්නේ කයින් හා වචනයෙන් සිදු වන නරක කි‍්‍රයාවන්ගෙන් වැළැකීම ශීලය බවයි.

මෙසේ කය වචන දෙකෙන් සිදු වන වැරැදි කි‍්‍රයාවන්ගෙන් වැළකීම ශීලය වන්නේ නම් එකී කි‍්‍රයා සිදු කිරීමෙන් ශීලය බිඳී යයි. සීල විපත්ති ලෙස හඳුන්වන්නේ එලෙස ශීලය බිඳී යාමයි.

ශීල විපත්තියේදී එය මූලික වශයෙන් කරුණු 04 ක් ඔස්සේ සිදු විය හැකි බව බුදු දහම පෙන්වා දෙයි. එනම් ඛණ්ඩ, ජිද්ද සබල හා කම්මාස වශයෙනි. මෙහි ඛණ්ඩ වශයෙන් ශීලය බිඳීයාම යනු යමකු විසින් සමාදන් වූ ශීලයේ මුලින් හෝ අගින් සිල් පදයක් කැඩී යාමයි. පංච ශීලයේ නම් ‘පාණාතිපාතා’ යන මුල් සිල් පදය හෝ සුරාමේරය යන අග සිල් පදය හෝ කැඩී ගියහොත් එය ඛණ්ඩ සීල නම් වෙයි. මෙසේ වූ විට ඔහුගේ ශීලය දුබල වී යයි.

යමකුගේ ශීලයේ මැදින්සිල් පදයක් කැඩී ගියේ නම් එය ජිද්ද සීල නම් වෙයි. ශීලයේ මැද බිඳී ගිය විට කණුවක ගසක මැදින් බිඳුණු විට එහි වටිනාකම අඩුවන්නා සේ වටිනාකමින් අඩුවී යයි.

‘සබල සීල’ යනුසමාදන් වූ සිල්පද අතරින් කිහිපයක් පිළිවෙළින් කැඩී යාමයි. එලෙස සිල් පද කිහිපයක් ම පිළිවෙළින් කැඩී ගිය විට අනෙක් ඒවා රැකීමද කළ නොහැකි වෙයි. මුල් ඒවා කැඩී යාමෙන් අනෙක් ඒවා පිළිබඳවද උත්සාහවත් සිතුවිලි ඇති නොවේ.

‘කම්මාස සීල’ යනුවෙන් හැඳින්වෙන්නේ තැනින් තැන සිල් පද කීපයක් කැඩී යාමයි. එනම් මුලින් මැදින් හා අගින් වශයෙනි. මෙසේ වූ විට ද අනෙක් සිල් පද රැකීමේ ශක්තිය ද දුබල වෙයි. එකක් දෙකක් කැඩී ඇති විටදීද අනෙක් ඒවා රැකීම පිළිබඳ අවධානයක්ද යොමු නොවී යයි.

මෙසේ මූලික වශයෙන් යම් කෙනෙකුගේ ශීලයට විපත්ති ඇති විය හැකිය. එනිසා කිසියම් හෝ ශීලයක් රකින පුද්ගලයා මනාව පිහිටුවා ගත් සිහියෙන් යුතුව කටයුතු කළ යුතු වෙයි. ශීලය බිඳී යාමට බලපාන ප‍්‍රධානතම සාධකය වන්නේ මනාවූ සිහියක් පිහිටුවා නොගැනීමයි.

ඉහත කී ශීල විපත්ති වලට අමතරව පහත දැක්වෙන ආපත්ති සත් සත් වර්ගයෙන්ද සිදු වන්නේ සීලය බිඳී යාමයි. එනම්

පරාජිකා
සංඝාදිසේස
ථුල්ලච්චය
පාචිත්තිය
පාටිදේසනීය
දුක්කට හා
දුබ්බාසිත යන හතයි. මේ හත විශේෂයෙන්ම අදාළ වන්නේ භික්ෂූන් වහන්සේලාට හා භික්ෂූණින් වහන්සේලාටයි. වඩාත් බලවත් ආපත්තියේ සිට දුබල වූ ආපත්තිය දක්වා ක‍්‍රමයෙන් බලවත් කමින් අඩු වන ලෙස ඉහත ආපත්ති නම් කොට ඇත. එනම් පාරාජිකා ඇවතකට වඩා සංඝාදිසේස ඇවතක් බලවත්කමින් අඩුය. අවසාන විශේෂය වන දුබ්බාසිත ඇවැතක් නිසා සිදු වන ශීල බිඳීම ඉතාමත් සුළු සිල් බිඳීමක් වෙයි.

පාරාජිකා සිල් පදයක් බිඳී යාමෙන් භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ හෝ සීලය සම්පූර්ණයෙන්ම නැතිවී යයි. භික්ෂූත්වයද අහිමි වෙයි. මේ භවයේදී යළිත් පැවිදි භාවයට පත්වීමට හෝ නොහැකි වී යයි. නැවත ඔහුට හෝ ඇයට පැවිදි භාවය ලද හැක්කේ ඊළඟ භවයේදීය.

මෙලෙස භික්ෂූත්වය අහිමි වන පාරාජිකා ශික්ෂාපද ප‍්‍රමාණය භික්ෂු භික්ෂුණීන් සම්බන්ධයෙන් වෙනස් වෙයි. භික්ෂූන්ට මෙබදු සික පද හතරක් ද භික්ෂූණීන්ට අටක් ද වෙයි. මෙසේ භික්ෂූණීන් සම්බන්ධයෙන් එම ප‍්‍රමාණය දෙගුණ කර ඇත්තේ භික්ෂූණියක් වරදකට යොමු විය හැකි ඉඩ කඩ වැඩි බවත් ස්ති‍්‍රයගේ ශාරීරික ස්වරූපයත් සලකා බලාය.

පාරාජිකා සික පද හැරුණු විට අනෙක් සෑම සිකපදයක් කැඩී ගිය විට නැවත අලුත් කළ හැකිය. එනම් ඒවා නැවත සමාදන් කරවිය හැකිය. ගිහියා සම්බන්ධයෙන් බලන විට නැවත සමාදන් කළ නොහැකි ආකාරයේ කිසියම් හෝ සිකපදයක් නැත. සෑම සිල් පදයක් කැඩී ගිය විට නැවත සමාදන් කරවිය හැකිය.

වර්තමාන සමාජය දෙස බලන විට අපට පැහැදිලිව පෙනී යන කරුණක් වන්නේ වඩාත් වේගවත් ලෙස සීල විපත්තිය සිදු වන බවයි. ඒ හේතුව නිසාම මිනිසුන් නිතර නිතර සීලය සමාදන් වීමට පුරුදුව සිටිනු පෙනේ. විශේෂයෙන් පංච ශීලය සමාදන් වන ඇතැම්මු දිනකට හත් අට වතාවක් ද සමාදන් වෙති.

මන්ද යත් එක් වරක් සමාදන් වී වැඩි වේලාවක් යාමට පෙර සිල් පද එකක් හෝ කීපයක් කැඩී යන බැවිනි. එහෙත් ජීවිතයේ එක් වරක් සමාදන් වූ ශීලය යමෙකුට නොකැඩී ආරක්ෂා කර ගත හැකි නම් නිතර නිතර හෝ දෙතුන් වරක් හෝ සමාදන් වීමට අවශ්‍යතාවක් නැත.

කෙනෙකුගේ ශීල විපත්තිය සිදු වන්නේ තමා විසින් ඒ ඒ වැරදි කි‍්‍රයා සිදු කිරීමෙන් පමණක් නොවේ. අනුන් ලවා වැරැදි කි‍්‍රයා කරවීමෙන්ද අනුන් විසින් කළ වැරැදි කි‍්‍රයා අනුමත කිරීමෙන්ද යමෙකුගේ ශීලය කැඩී යා ඛ්ැකිය. නිදසුනක් ලෙස ප‍්‍රාණඝාත සිකපදය පිළිබඳව සැලකුවහොත් එය සමාදන් පුද්ගලයා විසින්ම ප‍්‍රාණඝාත කිරීමෙන් එම ශීලය කැඩී යයි.

එසේම අනුන්ලවා ප‍්‍රාණඝාත කරවීමෙන්ද ශීලය බිඳේ. ඊට අමතරව අනුන් විසින් කරන ලද ප‍්‍රාණඝාතයක් හොඳයි කියා අනුමත කිරීමෙන් ද ඔහුගේ ශීලය බිඳේ. සෙසු ශික්ෂාපද සම්බන්ධයෙන්ද මෙය එසේම බලපායි.

මේ නිසා සීල විපත්තිය වළකා ගැනීම සඳහා දැඩි සිහියෙන් හා අධිෂ්ඨානයෙන් යුතුව විශාල කැප කිරීමකින් එය ආරක්ෂා කළ යුතුය. බුදුරදුන් දෙසන පරිදි

‘කිරල්දෙන බිත්තර රකින්නා සේද,
සෙමර මුවා තම වලිගය රකින්නා සේද,
මවක් තම එක ම පුතු රකින්නා සේද,
එක් ඇසක් ඇති තැනැත්තා එය රකින්නාසේද
ඉතා සැලකිල්ලෙන් හා ගෞරවයෙන්
යුතුවය ශීලය රැකිය යුතු වෙයි.

කිකීව අණ්ඩං චමරීව වාලධිං
පියංව පුත්තං නයනංව ඒකකං
තථෙව සීලං අනුරක්ඛ මානකා
සුපේසලා හෝථ සදා සගාරවා
යන බුදු වදන එයට දෙස් දෙයි

(කපුදුව ශ‍්‍රී මහා බෝධි විහාරාධිකාරී තිහගොඩ ශා. බ. ම. ලේඛකාධිකාරී මාතර ශ‍්‍රී සුදර්ශි පිරිවෙනේ ආචාර්ය පනාමුරේ තපස්සි හිමි)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: