Posted by: lrrp | February 16, 2012

දමනය කළ සිත ගෙනදෙයි සුව සෙත

සුදුද්දසං සුනිපුනං – යත්‍ථකාම නිපාතිනං
චිත්තස්ස දමථොසාධු – චිත්තං දන්තං සුඛාවහං

පින්වත්නි,

“දැකීමට ඉතා අපහසු ඉතාමත් සියුම් වූ පි‍්‍රයමනාප අරමුණුම සොයා යන මෙම සිත දමනය කිරීම මැනවි. දමනය කළ සිත සැප ගෙනදෙයි” සිත දැකීමට හෝ ස්පර්ශ කිරීමට බැහැ කැමැති අරමුණුවලමයි ලගින්නෙ. කැමති පුද්ගලයන් ගැන ආසා කරන ගෙවල් දොරවල් වතුපිටි ගැන පි‍්‍රය මනාප පදවි තානාත්තර ගැන සිතමින් ඒවා සොයමින් වෙහෙසෙනවා. සිතේ මූලික ලක්ෂණයක් ලෙස කැමැති තැන් සොයා යාම හඳුන්වන්න පුළුවන්.

සිතක මොනතරම් ආශාවන් බලාපොරොත්තු පහල වෙනවද? විවේකයක් ලද විගස අප කවුරුත් ගාල් වෙන්නෙ සිතිවිලි ලෝකයටයි. සමහරුන් පුරුද්දක් ලෙස කල්පනාවේ යෙදෙනවා. තව සමහරුන් ගැටලුවකදී පැත්තකට වෙලා නිහඬව සිටිනවා. කායිකව අප යම් කිසිවක් නොකරන හැමවිටම අප ඉන්නෙ සිතින් මවා ගත්තු ලෝකයකයි.

ගැටලුවකට විසඳුම් සෙවීම, යම් ශාස්තී‍්‍රය කරුණක් ගැන සිතීම, එහෙමත් නැතිනම් තම කටයුතු සංවිධානය ගැන සැලසුම් කිරීම වැනි ප‍්‍රයෝජනවත් දෙයක් ගැන සිතීම හානිකර නැතත් නිශ්චිත අරමුණකින් තොරව කල්පනා කිරීම අනවශ්‍ය මානසික වෙහෙසට හේතු විය හැකිය. ප‍්‍රමාණය ඉක්මවා කල්පනාවේ යෙදීම මානසික ගැටලුවලට මුල් වෙන්නත් පුළුවන්.

ඇත්තටම මේ තරම් අප කල්පනා කරන්නේ මොනවාද හැමවිටම සිතන්නෙ ජීවිතයේ ශුභවාදී පැත්ත ගැනයි. සිතන දේ කිසිදින ඉටු නොවුනත් ඒ ගැන සිතීමෙන් පවා සමහරුන් ආස්වාදයත් ලබනවා. උගත් නූගත් භේදයකින් තොරව කවුරුත් මොහොතකට හරි මේ මනºකල්පිත ලෝකයෙ සැරිසරන්න කැමැතියි. ඒත් වැඩිපුරම මේ සිහින ලොව ගැවසෙන්නෙ මෝඩ පුද්ගලයන්. මෝඩ පුද්ගලයාගේ ස්වභාවය ගැන ධර්මයෙහි සඳහන් වන අදහසක් මෙතැනට ගැළපෙනවා.

මහණෙනි, බාලයෝ දෙදෙනෙකි. එක් බාලයෙක් පැමිණ බර නුහුලති. අනෙකා නොපැමිණ බර උසුලති.

මේ පුද්ගලයන් දෙදෙනාගෙන් මෙහි සඳහන් කරන මෝඩ පුද්ගලයා නොපැමිණි බර උහුලන්නෙකි. නොපැමිණි සැපයෙහි ගැලී වසන්නෙකි.

සිතින් මවා ගත්තු ලෝකයේ රිසි අන්දමට හැසිරෙන්න පුළුවනි. එහි තහංචි නීති පනවන්න කිසිවෙක් නැහැ. ඒ ලෝකයෙ රජ වී සතුරන් ජයගන්නත් ලෙහෙසියෙන්ම පුළුවන් කෝටිපතීන් වෙන්න. හොඳ ගෙවල් දොරවල්වලට හිමිකාරයන් වන්න කිසිම බාධාවක් නැහැ. මේ අන්දමට මවා ගත්තු ලෝකයෙ ආස්වාදයක් විඳීම සාමාන්‍ය මිනිස් සිතේ ස්වභාවයයි. දිලිඳු පුද්ගලයන්ට නම් හැමවිටම ආශ්වාදයක් ලැබිය හැක්කෙත් කල්පනා ලෝකයෙදී පමණයි.

කල්පනා ලොවත් සැබෑ ලොවත් අතර ඇත්තේ බලවත් වෙනසකි. කල්පනා ලොවදී ඇතිවන ආශාවන් බලාපොරොත්තු සැබෑ ලොවේදී ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් බොහෝ විට සිතට ඇති වන්නේ දුකකි. ආශාවන් බලාපොරොත්තු ඉටු කර ගැනීමට බාධා පැමිණෙන විට මහත් ආයාසයෙන් ඒවා යටපත් කරගෙන දුක්විඳීම හැර වෙන මොනව කරන්නද?

විවේකයක් ලද විගස මෙලෙස අපේ සිත අපි‍්‍රය කරන පුද්ගලයින් ගැන වැඩ කටයුතු ගැන වස්තු සම්පත් ගැන සිතන්නේ සිතේ මූලික ලක්ෂණ කැමැති අරමුණුවලට වැටීම නිසයි.

සිත කය ගිලන් වීමට හේතුවන මේ අයහපත් පුරුද්දෙන් මිදීම ඔබේ ජීවිතය ප‍්‍රබෝධයෙන් ගත කිරීමට හේතුවෙයි. එහෙයින් නිරර්ථක කල්පනාවේ යෙදීමේ අනර්ථය ගැන ඔබ හොඳින් තේරුම් ගන්න. එහි ගැළුණුවිට පැය ගණනක් වුවද ඒ පිළිබඳ දැනීමක් ඇති නො වන බවද සිතන්න.

සිතේම ස්වභාවය විසින් ඔබව මෙසේ නිසරු සිතිවිලි ලෝකයට ගෙනගිය විගස ඔබ ඉරියව් මාරු කරන්න. හුන් තැනින් නැගිටින්න. කුමක් හෝ වැඩක නිරත වන්න. එය එක අතකින් භාවනාවකි. සතිපට්ඨාන සූත‍්‍රය ධම්මානු පස්සනාවේ දී මෙසේ සඳහන් කරයි.

“තමන් කෙරෙහි කුසීත ගිලන් ස්වභාවය යම් විටෙක ඇතිවේ ද? සිහි නුවණින් යුතු පුද්ගලයා ඒ බව හොඳින් දනියි. එමෙන්ම යම් විටෙක අලස කුසීත ගති තමන් වෙතින් ඉවත්වේ නම් ඒ ගති ඉවත්වීමෙන් වූ ප‍්‍රබෝධයද ඔහු හොඳින් දනියි. එපමණක් නොව සිත සැඟවීමටත් කය මැලිවීමටත් යම් හේතුවක් වෙයිද ඒ හේතු සාධක ගැනත් මනා දැනීම ඔහුට ඇත. එසේම යම් විටෙක කය සිත කුසීත බවෙන් මිදෙයිද ඒ මිදීමට හේතු ද හොදාකාරවම ඔහු දනියි. මේ මොහොතේ නැතත් මතු යම් විටෙක ථින මිද්ධය නූපදියිනම් එයද චනගනියි. “

සතිපට්ඨානයෙ සඳහන් අන්දමට නිසරු කල්පනාවේ නිතර යෙදීමෙන් ඇතිවිය හැකි කුසීත බවෙන් මිදීමට නම් මෙසේ මනාසේ සිහිය පිහිටුවා ගත යුතුය.

සිහිය යනුවෙන් අප සාමාන්‍ය ව්‍යවහාරයේදී අදහස් කරන්නේ මතකයයි. හදිසියෙ සිදුවුන අත්වැරැදි අතපසුවීම් ආදිය සිහිය නැති නිසා සිදුවන දුර්වලකම් ලෙස සැලකෙයි. මෙසේ සාමාන්‍ය ව්‍යවහාරයේදී සිහිය සරළ තේරුමක් ගනියි.

බුදු දහමේ එයට එළඹි සිහිය යන අරුත දෙයි. සතිය දියුණු කළ පුද්ගලයා කෙරෙහි නිරතුරුවම අවදිමත් බව එළඹ සිටි සිහිය පවතියි. එහෙයින් සතියේ මූලිකම ලක්ෂණ ලෙස අවදිමත් බව නැතහොත් අරමුණේ මැනවින් පිහිටීම හා එළඹෙන සුළු බව දැක්විය හැකිය.

සතිය සිතත් අරමුණත් අතර පවතින හෙයින් සිත හා අරමුණ අතර ඇති සබඳතාව ගැන දැන ගැනීමෙන් සිහියේ තතු දැනගත හැකිය.

සිත අරමුණු ගැනීමේදී ඇතැම් විට අරමුණෙහි මැනවින් නො පිහිටයි. තවත් විටෙක අරමුණ දැඩිව ගනියි. ස්වයංකී‍්‍රයව සිත අරමුණ සමග කි‍්‍රයා කිරීම වැඩිපුරම සිදුවන බව අපට දෛනික කටයුතුවලදී සිත සම්බන්ධ වන අන්දම ගැන පිරික්සන විට වටහා ගත හැක.

සිත අවධානයෙන් අරමුණු ගන්නේ භාවනා වඩන විටයි. භාවනාවේ දියුණු අවස්ථාවලදී සිතේම පවතින සුවිශේෂ චිත්ත සමාධිය මගින් අරමුණ හා සිත අතර මනා සබඳතාව වෙයි.

සිත අරමුණෙහි මනාව නො පිහිටීම ලෙස උදාසීන අවස්ථාව හඳුන්වා දිය හැක. අරමුණේ සිත මැනවින් නොපිහිටි විට සිත සැඟවෙයි. කය සිත ගිලන් වෙයි. මේ අවස්ථාව අරමුණේ සිත ලෙස්සා යාමකි. ධර්ම ග‍්‍රන්ථවල මේ අවස්ථාව “ පිලාපනතා” යන වචනයෙන් හඳුන්වා ඇත. “පිලාපනතා” යන්නෙහි විරුද්ධ වචනය අනපිලපනතා” යන්නයි. “පිලාපනතා” යනු පාවීමයි. සිත ද සිහියෙන් බැහැර වූ විට පාවෙයි.

දියමත දැමූ කඩදාසි ඔරුව සැහැල්ලු හෙයින් දියමත පාවෙයි. වේගයෙන් ගලන දිය පහරකට හසුවුවහොත් ගසාගෙන යයි. එමෙන් නියමිත වැඩක නො යෙදුණු ඒ මේ අත පාවෙන සිතද රාගය, කාමය, ද්වේශය වැනි පහසු පි‍්‍රය අරමුණකට හසු වුවහොත් ඒ කැමැති අරමුණෙහි ගිලී යයි. සහජ ගතිගුණ ඉස්මතුවීම් වශයෙන් නොයෙක් පුරුදු ඇබ්බැහිකම්වලට යොමු වන්නේ මෙවැනි අවස්ථාවලදියි. සිත නිශ්චිත අරමුණක නොපිහිටීම හානිකර හෙයින් යම් කිසි වැඩක යෙදීමෙන් සිත ප‍්‍රබෝධයෙන් තබා ගැනීමට පුහුණු විය යුතුයි.

මේ කරුණ ඔබේ දෛනික කටයුතු ගැන සිතමින් තවදුරටත් පැහැදිලි කරගන්න. මුළු දවසම එකම ආකාරයට ගත වන්නේ නැහැ. වරෙක සිනහවෙන මුහුණෙහිම වරෙක දුක් කඳුළු මතු වෙයි. උදේ කාලයේ ජයමංගල ගී ගයන මුවින්ම හවස දුක් ගීතද ගායනා කිරීමට සිදුවෙයි. නොසිතූ කරදර හැමවිටම ඇති නොවූවත් අපේ සිත දවස පුරාම සතුටින් තබා ගැනීම පහසු නැත. උදාසීනත්වයද වරින් වර ඇතිවෙයි.

රාගය, ද්වේශය තරම් අපට තදින් නොදැනුනත් උදාසීනත්වයද අඳුරකි. පාපයට යොමු කරවන්නකි. වැඩ කටයුතු ගොඩ ගැසී ඇතත් කිසිවක් කිරීමට නො සිතේ ඒ තරමටම සිත සැඟව පවතියි. වැඩ කටයුතු පටන් ගත් එහෙත් අවසන් කිරීමට නොහැකිව බලා සිටියි. ඇතැම් විට එක වැඩකින් තව වැඩකට මාරුවෙයි. එහෙත් එකක්වත් නිමාවක් නැත.

පොතක් බලන්න සූදානම් වී එය අතැර දමා සඟාවක් අතට ගනියි. එය ද එපා වී පත්තරයක් කියවීමට සිතයි. එයද උඩින් පල්ලෙන් පෙරලා දමා ගුවන් විදුලිය කරකවයි. අනතුරුව රූපවාහිනිය හෝ කැසට් යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරන්නේ එයින්වත් අස්වැසිල්ලක් ලැබීමටයි. ඒත් ඒ එකකින්වත් උදාසීන සිතට සතියෙන් තොර සිතට සැනසීම නැත. එලිමහනෙ එහාට මෙහාට පියවර මැන පාරට යන්නේ ඒ මඟින්වත් සිතපුරා පවතින තනිකම දුරුකර ගැනීමටයි.

අරමුණු සිතින් දැඩිව ගත්විටද සිහිය හෙවත් සතිය ඈත්වෙයි. හිත රිදවන සිදුවීමක් හෝ වචනයක් නිසා නිදි නොලබා මුළු රැයක් පහන් කරවන්නේ සිත තදින් අරමුණේ වැඩ කරන හෙයිනි. ඇතැම් සිදුවීම් අප සිතට දැඩි බලපෑම් කරයි. කොතෙක් අප උත්සාහ කළද ඒවා අපට ලෙහෙසියෙන් අමතක කළ නොහැක. භාවනාවකින් සිත සන්සුන් කර ගැනීමටද මේ අවස්ථාවේදී අපහසු විය හැක.

දෛනික කටයුතුවලදී බොහෝ විට සිත අරමුණු ගන්නේ පුරුද්දෙනි. පුරුද්ද සතියට විරුද්ධ ධර්මතාවයි. පුරුදු ඇබ්බැහිකම් නැති කිරීමට හොඳම උපාය මාර්ගය සතිය දියුණු කිරීමයි.

සිත කුළු වස්සෙකු නම් ඒ නොහික්මුණු සතා හික්මවිය යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ශක්තිමත් කණුවකි. ශක්තිමත් සුදුසු ප‍්‍රමාණයට සකස් කරගත් ලණුවකි. කණුව දුර්වල වුවහොත් ඒ මේ අත දුවමින් දඟලන කුළුවස්සාට එය කඩා බිඳ දැමීමට ඒ තරම් වෙලාවක් ගත නොවේ. එහෙයින් කුළු වස්සාගේ චණ්ඩ පරුෂ බවට ඔරොත්තු දෙන කණුවක් විය යුතුයි.

(කඩවත සමාධි මැදුරේපයාගල නන්ද හිමි )


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: