Posted by: lrrp | February 16, 2012

රහතන් වහන්සේ ගේ කතා සහ උදාන ගීත – සිරිවඩ්ඪ රහතන් වහන්සේ

සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ.

දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමග ඔබට පුදමු.

බුද්ධ ජයන්ති ති‍්‍රපිටක ග‍්‍රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි. ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරැයුම කරයි.

“ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”

මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න. නොයෙක් නම්වලින්, ගෝත‍්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස්ය. සමාපත්තිවලට සමවදිති. ප‍්‍රඥාවන්තය. සියලු දුකෙන් මිදුණහ.

විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.

අකුණු මැද අකම්පිත බුදු පුතෙක්

රජගහ නුවරට තුන් ගව්වකට ඈතින් පිහිටි තල් වනයට බුදුරජාණන් වහන්සේ වැඩම කළ පුවත බිම්බිසාර රජතුමාට අසන්නට ලැබිණි. මහ පිරිසක් සමග ඔහු තල් වනයට ගියේය.

ලොව්තුරා බුදු කෙනකු බිහිවී ගෙවුනේ මාස නවයක් පමණි. එහෙත් අලුත් ශාස්තෘවරයාගේ දහම මෙතෙක් නොඇසූ විරූ එකක් බව රජගහ නුවර වැස්සන්ට ද අසන්නට ලැබී තිබිණ. තල් වනය සුවහස් ගණින් දනන් ගෙන් පිරී ගියේ එහෙයිනි. රජගහ නුවර වැස්සන්ගේ ගෞරවාදරයට ලක්ව සිටි උරුවෙල කාශ්‍යප මහ තවුසාද ගයා කාශ්‍යප නදී කාශ්‍යප යන තවුසන් ද බුදුරජාණන් වහන්සේ සමග වැඩම කළ දහසක් සඟුන් අතර වැඩ සිටිනු නුවර වැසියන්ට පෙනිණි.

උරුවෙල කාශ්‍යප තවුස් තුමා බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයෙක් ද බුදුරජාණන් වහන්සේ උරුවෙල් කාශ්‍යප ගේ ශ‍්‍රාවකයෙක් ද යන පැනය එහි රැස්ව සිටි බොහෝ දෙනකුට ඇති විය.

බුදුරජාණන් වහන්සේට මෙය පෙනිණි.

‘ඔබ ගිනි දෙවියන් පිදීම අත් හළේ ඇයි ?’ බුදුහු උරුවෙල කාශ්‍යප හිමියන්ගෙන් ඇසූහ.

‘ඔබ වහන්සේ ගෙන් දහම් ඇසීමෙන් පසු ගිනි දෙවියන් පිදීමේ නිසරු බව මට වැටහුණා’ උරුවෙල කාශ්‍යප හිමියෝ පිළිතුරු දුන්හ.

ඒ පිළිතුරෙන් පසු පුර වැසියෝ බුදුපියාණන් පිළිගත්හ.

පෙර භවයක දී ද උරුවෙල කාශ්‍යපයන් තමා විසින් දමනය කළ ආකාරය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ මහා නාරද කාශ්‍යප ජාතකය දේශනා කළ සේක.

ඉන් පසු ඒ පිරිසට දාන කතාදී පිළිවෙළින් දහම් දෙසූ බුදුරජාණන් වහන්සේ ඔවුන් ගේ සිත් ශාන්ත බවට පත් වූ පසු චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළ සේක. බිම්බිසාර රජු ඇතුළු 11000 ක් පුර වැසියෝ ඒ බණ අසා සෝවාන් වූහ. තවත් 11000 ක් තෙරුවන් සරණ ගියහ.

රජගහ නුවර මහ ධනවත් බමුණු පවුලකට අයත් සිරිවඩ්ඪ නමැති තරුණයා ද මේ බණට සවන් දුන්නේය. මෙතෙක් ඇසූ බණවලට වඩා වෙනසක් ඔහුට දැනිණි. සසර ගමනට බියක් ඇති විය. මේ ගමන සිදු වන්නේ අපේම සිත නිසා. සිත හීලෑ කරගෙන තණ්හාව දුරු කිරීමෙන් මේ ගමන නතර කළ හැකියි. මම ද ඒ සඳහා වෙහෙසෙමි.

ඔහු ද 11000 ක් පිරිස සමග එක්ව බුදුන් සරණ ගියේය. දහම් සරණ ගියේය. සඟුන් සරණ ගියේය. එදා සිරිවඩ්ඪව තවත් අසිරිමත් දෙයක් දක්නට ලැබිණ. ඒ බුදු සසුනේ ප‍්‍රථම ආරාම පූජාවයි.

‘ඔබ වහන්සේ දැන් වැඩ සිටින තල් වනය අපට දුර වැඩියි. අපට දුරක් නැති ළඟත් නැති ඉතා රමණීය තැනක් තියෙනවා. විවේක පහසුව තිබෙනවා. සොඳුරු තුරු සෙවණින් යුක්තයි. සිත් අදින ගල් තලා, සඳලු සහිත ගෙවල්, ඇති වේළුවනය නමැති අපගේ උද්‍යානය ඔබ වහන්සේට මා අද පූජා කරනවා. එතැනට වැඩම කරන්න’ බිම්බිසාර රජු බුදු රජාණන් වහන්සේට කීවේය.

බුදුහු වේළුවනයට වැඩියහ. බුදු රජාණන් වහන්සේගේ ශ‍්‍රී හස්තයට රන් කෙණ්ඩියෙන් පැන් වත් කළ රජතුමා වේළුවන උයන බුදු සසුනට පිදුවේය. ඒ අවස්ථාවේ දී ද බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කළහ. සිරිවඩ්ඪ බමුණා ඒ ධර්ම දේශනාවට ද සවන් දුන්නේය.

‘මා දැන් සිටින්නේ උතුම් දහමකට සමීපව. ඒ දහමින් උසස් ඵල ලබා ගැනීමට උන් වහන්සේ දේශනා කළ නිවන් මගෙහි ගමන් කිරීමට ගිහි ගෙය බාධාවක්. මා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා’

ඔහුගේ සිතිවිල්ලට පණ ලැබිණි. බුදු හිමියෝ ඔහු පැවිදි කළහ.

සිරිවඩ්ඩ හිමියෝ භාවනා කිරීම සඳහා තෝරා ගත්තේ රජගහ නුවර වේහාර, පාණ්ඩව පර්වත අතර පිහිටි ගල් ගුහාවකි. අවට සුන්දර, නිශ්චල පරිසරය තුළ උන් වහන්සේ ගේ සිත සන්සුන් විය. ධ්‍යානවලට ද පැමිණියේය. ඒ වැසි සමයයි. පොද වැස්සක් වැටිණ. මද වේලාවකින් එය මහ වැස්සකට හැරිණ. ගල් ගුහාව ඉදිරියෙන් දිය දහරක් ගලා ගියේය. වේහාර පාණ්ඩව පර්වත අතර අකුණු පිපිරෙන හඬ ඇසෙන්නට විය. ගල් ගුහාව දෙදරිණි. වේහාර පාණ්ඩව පර්වත අතර බෑවුමට අකුණු පිට පිට වැටිණ. ගිනි රස්නය ද වැසි සීතල අතර දැනිණි.

එහෙත් සිරිවඩ්ඪ හිමියෝ නොසැලුණහ. ධ්‍යාන නොබිඳින. විදසුන් වැඩීම දිගටම සිදු විය.

අවසානයේ උන් වහන්සේ රහත් බවට පත් වූහ.

පසු කලෙක සිරිවඩ්ඪ රහතන් වහන්සේ සිය උදානය පළ කෙළේ මෙසේය.

වේහාර පාණ්ඩව
මහා පර්වත අතර
බෑවුමේ ඇසේ පිපිරෙන
අකුණු ගට ගටය

භාවනාවේ යෙදෙන
හිමි නමකි ඒ අසල
ඒ සැබෑ බුදු පුතෙකි,
අකුණු මැද අකම්පිත


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: