සසර දුකෙන් මිදීම සඳහා ඒ උතුමෝ අපමණ වෙහෙස දැරූහ. චතුරාර්ය සත්‍යය අවබෝධ කැර ගැනීමෙන් පසු දුකෙන් මිදුණහ. දුකෙන් මිදීම නිවනය. ඒ අසිරිමත් අවස්ථාවට පැමිණීමෙන් පසු ලැබූ ශාන්ත සුවය උදාන ගාථා ලෙසින් උන්වහන්සේ පළ කළහ. රහත් උතුමන් දෙසිය සිවුසැට නමක ගේ ලුහුඬු ජීවිත කතා සමඟ ඒ උතුමන් දෙසූ උදාන ගාථා ‘ආලෝකෝ උදපාදි’ සමඟ ඔබට පුදමු.
බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්රන්ථ මාලාවේ ඛුද්දක නිකායේ ථෙර ගාථා පාලි කෘතිය මෙහි දී ඇසුරු කැරිණි.
ථෙර ගාථා කියැවීමට පෙර ඛුද්ධක නිකාය ඔබට මේ ඇරියුම කරයි. “ඒ උතුම් රහතුන් ගේ හඬට සවන් දෙන්න.”
මහ කඳු මැද පිහිටි ගුහාවල වෙසෙන නද දෙන, තියුණු දත් ඇති සිංහයන් වැනි දියුණු කළ සිත් ඇති ඒ උතුම් රහතුන්ගේ හඬට සවන් දෙන්න.
නොයෙක් නම්වලින්, ගෝත්‍රවලින්, ඒ රහත් උතුමන් හැඳින්ෙවි. උන්වහන්සේ අනලස් ය. සමාපත්තිවලට සමවදිති. ප්‍රඥාවන්ත ය. සියලු දුකෙන් මිදුණහ. විදර්ශනා භාවනාවේ යෙදී නිවන් සුව සාදා ගත් උන්වහන්සේ මේ උදාන ගාථා වදාළහ.
තුච්ඡය වේ කාය
ඔහු උපන් දා අසිරිමත් දෙයක් සිදුවිය.
නිවසේ හිස් බඳුන් රන් මසු වලින් පිරී ගියේය. මේ නිසා ‘මසුරන් වලින් පිරුණු’ යන අරුත ඇති පුණ්ණවාස යන නම ඔහුට තැබිණ.
පුණ්ණවාස සැවැත්නුවර ධනවත් පවුල්වල දරුවන්ට ලැබෙන සිප් සතර මැනවින් හැදෑරුවේය. නිසි කල පැමිණිවිට ඔහු රූමත් තරුණියක සමඟ ආවාහ විය.
මසුරන් ඇති තැන සතුට ඇත යන හැඟීම ඇතැම් මිතුරන් ගෙන් පළවුවද ඔහුට ඒ හැඟීම් ඇතිවූයේ නැත. එය එසේ නොවන බව ඔහුට නිතර පෙනිණ.
ඔහුත් ඔහුගේ බිරිඳත් සතුටු කිරීමට පැමිණි රඟන, ගයන, වයන තරුණ තරුණියන් සිනාමුසුව, මහත් පී‍්‍රතියක් මුහුණෙන් පළ කළත් රැඟුම්, ගැයුම, වැයුම අවසන ඔවුන්ට සිදුවන දේ පුණ්ණවාස දැකතිබේ.
ඔවුන් ගේ සිරුරු විඩාපත් වේ. මුහුණු දුක්මුසු වේ. රැඟුම් දැක ගැයුම් වැයුම් අසා සතුටින් පිනාගිය අයද එය නොපෙනී, නොඇසී ගියපසු දුකට වැටේ.
සෑම සතුටකම ඇත්තේ දුකකි.
ඔහුට ඔහුගේ විවාහ ජීවිතය ගැන ද එසේ සිතිණ. ඔහු ගේ සුරූපී බිරිඳ ගැබ් ගත්තාය. ඇගේ පියකරු මනබඳින ගමන වෙනස් විය. රෝගියකු ගේ ගමනක් බවට එය පත්විය. මුහුණ ද සුදුමැලි විය. රජා ඇය දැක ලැබූ සතුට දැන් නැත. සියල්ල වෙනස් වන හැටි.
ඇය සමඟ යහනේ සිටින ඔහු මැදියම් රැයේ කවුළුව ළඟට යයි. අසුනෙක හිඳගෙන අහස දෙස බලා සිටී. සඳ වැහි කළු යට සැඟවී සිටී. ලොව ම අඳුරු ය. ඔහු ගේ සිතේ ද ඇත්තේ අඳුරකි. මාස කීපයක් ගෙවිණ.
බිරිඳට දරුවකු ලැබිණ.
දරුවාගේ වැලපිල්ල ඔහුට ඇසිණ.
ලොව ම දුකෙන් පිරී ඇති සැටි මේ දරුවාටත් දැනිලා වගේ. උපතත් සමඟ මේ දරුවාට ජරාව, ව්‍යාධිය, මරණය – ශෝකය – පරිදේව මේ සියල්ල ලැබෙනවා. ඔහුට එක් භික්ෂුවක කී බණක් සිහිවිය.
ඇත්ත. උන්වහන්සේගේ බණ හරියටම හරි.
මා එදා ඒ බණ එක කනකින් අසා අනෙක් කනෙන් ඉවතට දැම්මා. දැන් තමයි මට ඒ බණ තේරෙන්නේ.
ඔහු දරුවා ඉපිද දින කීපයකට පසු නිවසෙන් බැහැරව ගියේය. යළි නො ආවේය.
ඈත ගමක සෙනසුනකට ගිය ඔහු එහි පැවිදි වූයේය. පුණ්ණවාස හිමියෝ ආර්ය අෂ්ටාංගික මර්ගය, පංච උපදානස්කන්ධ, ත්රිලක්ෂණය, පටිච්ච සමුප්පාදය ආදී දහම් කරුණු එහිවූ භික්ෂුවගෙන් අසා දැනගත්හ. නිවනට යන මග ද විමසා පැහැදිලි කැර ගත්හ.
දැඩි අධිෂ්ඨානයෙන් සහ වීරියයෙන් යුතුව භාවනාව ඇරැඹූහ. විදසුන් වඩන්නට පටන් ගත්හ. කලක් ගෙවුණු පසු ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේ නමක් බවට පත්වූහ.
ඉන්පසු පුණ්ණාවාස රහතන්වහන්සේ ජේතවනාරාමයට පැමිණ බුදුරජාණන්වහන්සේට වැඳ සුසාන භූමියකට ගොස් ඒ අසල කුටියක වැඩ සිටියහ.
උන්වහන්සේ පැවිදිබිමට පැමිණ මඳ කලකට පසු ගිහිකළ පුතු මිය ගියේය. දරුවාගේ මව පුණ්ණවාස හිමි සැවැත්නුවර අසල සුසාන භූමියේ වෙසෙන බව අසා එතැනට ගියාය.
“මට සැමියෙක් නැත. දරුවාත් මියගියා. දරුවා නැති මගේ ධනය රජුට අයත් වෙනවා. යළි අපේ නිවසට එන්න. මොකක්ද ඔය ගෙවන ජීවිතය”
ඇය පුණ්ණවාස හිමි ගිහි ජීවිතයට හරවා ගැනීමට වෙහෙසුනාය. මායම් පාමින් හිමියන් ගේ සිත් ගැනීමට උපාය යෙදුවාය.
පුණ්ණවාස හිමියෝ ඇයට මෙසේ කීහ.
“කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථිනමිද්ධය, උද්ධච්ඡකුක්කුච්ඡ, විචිකිච්ඡා යන පඤ්ච නීවරණයන් නැති කළ මා විදර්ශනා ඥානය නමැති කැටපතින් පංච උපාදානස්කන්ධයන් ගේ අනිත්‍ය – දුක්ඛ – අනාත්ම දුටුවා වගේ පිට අයගේත් ඒ තත්ත්වයන් වටහා ගත්තා. කයේ යථාර්ථය වටහා ගත්තා.
මට දැන් නුඹගේ කයේ බලන්නට දෙයක් නැහැ. මා භික්ෂුවක වශයෙන් කළ යුතු සියලු දේ මේ බුදු සසුන තුළ සිදුකොට අවසානයි.
උන්වහන්සේ තිසරණයෙහි ද, පන්සිල් හිද පිහිටුවා ආර්ය මාර්ගයේ ගමන් කිරීමට ඇයට දිරි දුන්හ.
පසුකලෙක පුණ්ණවාස රහතන්වහන්සේ සිය උදානය පළ කළේ ද ඇයට කී දහම් කරුණු ඇසුරු කරමිනි.
“පංච නීවරණ දුරුකොට විදසුන් නැණ කැටපත ගෙන සිරුරේ ඇතුල ද පිටත ද මා සිත හා අනුන් සිත ද නැරඹූ පසු මට වැටහිණ තුච්චයි මේ කය හැමවිට හිස්ය. කිසිදු අංගයක් නැත.
Leave a Reply