Posted by: lrrp | February 17, 2012

ඉතා පැරණි සිංහල බණ කතා – පතාක ප්‍රේතයාගේ කථාව

මෙසේ අසන්ට ලැබේ. සිංහල ද්වීපයෙහි රුහුණු දනව්වෙහි දීඝාවූ 1 නමැති මහා චෛත්‍යයක් විය. එහි නැංවූ එක්තරා කොඩියක් සුළඟින් ගසගෙන ගොස් කෙළෙඹියකුගේ ගොයම් කෙතක වැටුණි. කුඹුරු හිමියා කුඹුරෙහි ඇවිදින්නේ එය දැක රැගෙන එහි අකුරු කියාවත් එය ඉවත නොදමා ලෝභ සහගත සිතින් එය පොරවා ගෙන ගියේය. ආයුෂ ගෙවීමෙන් මරණයට පත් හෙතෙම යකඩ තහඩු දහසකින් වෙළුණු ප්‍රේතයෙක්ව උපන්නේය. දැල්වෙන ශරීර ඇති හෙතෙම ඇවිදිමින් බෝපිටි පෙදෙසට ගොස් මැදියම් රැයෙහි එක්තරා පිණ්ඩපාතික භික්ෂුවක් සමීපයට ගොස් වැඳ ඇඳිලි බැඳගෙන දුරින් සිටියේය.

ඔහු දුටු තෙරනම (1) තාගේ මුළු සිරුර ලෝහ තහඩුවලින් වැසුණේය. වෙළන ලද්දේය, ගිනිපැහැයෙන් යුක්තය, මෙහි සිටින තෝ කවරෙක්දැයි විචාළේය. (2) ස්වාමීනී, මම යකඩ තහඩු වලින් වෙළුණු ප්‍රේතයෙක් වෙමි. මම හැමකල්හි දැවෙමින් තහඩු දහසකින් ආවරණය වී සිටිමි යි පේ‍්‍රතයා කීය. (3) “තා විසින් කයින්, වචනයෙන්, සිතින් කිනම් පවක් කරන ලද ද ? කවර කර්ම විපාකයක් නිසා යකඩ තහඩුවලින් දැවෙහිදැ”යි තෙරනම විචාළේය.

ප්‍රේතයා මෙසේ කීය: (4) මම ධනවත් මිනිසෙක්ව ඉපද බොහෝ කුඹුරු වපුරවා ඒවා බලමින් ඇවිදින්නේ දීඝාවූ මහසෑය අසළ තිබුණු කොඩියක් සුළඟින් ගව්වක් පමණ ඇවිත් මාගේ කෙතෙහි වැටී තිබෙනු දුටුවෙමි. (6) එහි වැටී තිබුණු එය දැක අතින් ගෙන විමසා බලන්නේ එහි ලියූ අකුරු දුටිමි.

(7) මම ඒ අකුරු දැකත් ලෝභ සිත් උපදවා බුදු සෑයකට අයත් ඒ කොඩිය රැගෙන පොරවා ගතිමි. (8) එතැනින් ච්‍යුත වූ මම ප්‍රේතලෝකයට අවුත් යකඩ තහඩුවලින් නිමි වස්තු දහසක් ලදිමි. (9) ඒ තහඩු මාගේ ශරීරය දවති; බොහෝ සේ දුක් උපදවන බැවින් මට කිසි අස්වැසිල්ලක් නැත. (10) මට හිඳීමක් නිදීමක් නැත, ආහාර පානයක් නැත. අත්‍යන්ත දුකකට පත්වූ නමුත් මට මරණයක් ද නැත.

තෙරනම මෙසේ කීය : (11) ඔබ සඳහා මම කුමක් කරන්නෙම් ද ? කවරාකාරයකින් තා දුකින් මිදවිය හැකි ද ? මම තා උදෙසා රත්නත්‍රයට ධජ පූජා කරන්නෙමි යි. (12) “ඉඳින් කොඩි දහසක් ගෙනවුත් මේ දීඝාවුසෑයට පුදනු ලැබේ නම් මම මෙයින් නිදහස් වන්නෙමි” යි ප්‍රේතයා කීය. (13) මෙසේ කියා ප්‍රේතයා අන්තර්ධාන විය. ඉක්බිති තෙරනම රැය පහන් වූ පසු (14) වහ වහා කොඩි සොයා පණහක් පමණ ලැබ දීඝාවු සෑයට පුදා ප්‍රේතයාට පින් දුණි. ඉන්පසු රාත්‍රි කාලයෙහි ප්‍රේතයා තෙරුන් වෙත අවුත් “ස්වාමීනි, මාගේ හිසෙහි අටගුලක් පමණ තැන් විවෘත විය, එය බලනු මැනවැ” යි කීය.

පසුදා තෙරනම තවත් කොඩි පණහක් සොයා පූජා කොට පින් අනුමෝදන් කරවීය. එදින ඔහුගේ තවත් අටගුලක් පමණ තැන් විවෘත විය. මේ ක්‍රමයෙන් කොඩි දහස පිරුණු කල්හි ඔහුගේ මුළු සිරුර රන්වන් විය. ඉන් පසුදිනක හෙතෙම සියලු අබරණින් සැරසී මැදියම් රැයෙහි තෙරුන් වෙත පැමිණ උන් වහන්සේ ගේ පා වැද තෙවරක් ප්‍රදක්ෂිණාකොට ඇඳිලි බැඳගෙන නුදුරු තැනක සිටගත්තේය.

තෙරනම මෙසේ විචාළේය: (15) වර්ණවත්, මනා රූ ඇති, අබරණින් සැරසුණු, පිරිසිදු වස්ත්‍ර ඇති, සුවඳ පතුරු වන කුවේරයා වැනි ඔබ කවරෙක් ද ? ප්‍රේතයා මෙසේ කීය. (16) පෙර රත්වූ ලොහොතහඩුවලින් වැසුණු මම භයානක රූප ඇත්තෙක් වීමි. එවැනි වෙහෙසට පත් දුගද ඇති මා ඔබ වහන්සේ විසින් ප්‍රේතභාවයෙන් මුදවන ලදී. මහාවීරයන්වහන්ස, ඒ විපාකයෙන් ඔබ අග්‍රසැපයට පැමිණෙත්වා (17) මම ප්‍රමාද නමැති මඩෙහි එරුනේ ප්‍රේත ගතියට පැමිණියෙමි. සෑයට පිදූ ධජයක් ගෙන මම රත්වූ යපට දරන්නෙක් වීමි. ධර්ම ප්‍රීති ඇත්තෝ සැප සඳහා ඒ ධජය දුරු රත්වා. (18)

මෙසේ ත්‍රිවිධ රත්නයෙහි අල්ප වූ විප්‍රකාරය ද ඉතා දරුණු විපාක ඇත්තේ ය. (19) එහි අල්ප වූ අධිකාරය ද මහත් ශුභඵල ඇත්තේය. එයින් දිව්‍ය මනුෂ්‍ය සම්පත් ලබයි. (20) එබැවින් ඵලසමූර්ධිය කැමැත්තන් විසින් ත්‍රිවිධරත්නයෙහි අපරාධයක් නොකළ යුතුය. අධිකාරයක්ම කළ යුතුය. (21) ඒ රත්නත්‍රයෙහි අධිකාර කළ බොහෝ දෙව් මිනිසුස් දෙව්මිනිස් සැප ලබා නිවණට පැමිණියහ. ඒ දේවපුත්‍රයා මෙසේ කියා තෙරුන්ගේ පා වැඳ ප්‍රදක්ෂිණා කොට එහිම අන්තර්ධාන විය.

1. මෙය දීඝවාපි මහ සෑය විය යුතු, දීඝාවු කුමරා විසූ පෙදෙසෙහි වූ බැවින් පුරාණයේදී එය දීඝාවුචෛත්‍යය යයි ප්‍රකට විය.

(පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: