Posted by: lrrp | February 17, 2012

තරුණ භික්ෂුනමගේ කථාව

(මෙසේ අසන්ට ලැබේ) සම්පත් පිරි ජනයාගෙන් යුක්ත වූ, නිත්‍ය ශස්‍ය සම්පත් ඇති, මනා භික්ෂූන් බහුල වූ, සැපවත් සෘතුගුණ ඇති, හැම දිශාවන්හි පතළ කීර්ති ඇති, හැමකල්හි රම්‍ය වූ, ශ්‍රධාවත් උපාසක පිරිසෙන් යුතු සුරට්ඨජනපදයෙහි ප්‍රකට ගමක ආවාසයක එක් තරුණ භික්ෂු නමක් වසයි. ප්‍රමාද විහාරී වූ හෙතෙම භික්ෂුනාමය දරමින් රාත්‍රි කාලයෙහි කැමති තැන්වල ඇවිදිමින් ප්‍රකට ලෙසම සිකපද මඩින්නෙක් විය. මෙසේ වසන ඔහුගේ භාර්යාව ගැබ් ගත්තීය. හෙතෙම ගැබ මුහුකුරා ගිය විට ඒ ස්ත්‍රිය ඇගේ මවගේ ගෙට කැඳවාගෙන ගියේය.

ඈ අතරමගදී පඳුරු අතරට වී දරුවකු වැදී. භික්ෂුනම ලෙයින් වැකුණු, දුගඳ හමන, විරූප වූ ඇය දැක සංවේගයට පත්ව පිලිකුල් සංඥාව උපදවා මෙසේ සිතී: (1) මේ පණු සමූහයාගෙන් ගැවසී ගත් ශරීරය පිට සමෙන් වැසී මනෝඥකාරයක් දක්වයි. මම ඇතුළත නොදකිමින් පිටත ඇලී සිටියෙමි. (2) මේ සිරුර යටින් පතුල්වල පටන් උඩින් හිසකෙස් දක්වා මලයෙන් පිරුණු අපිරිසිදු දුර්ගන්ධ ඇත්තෙකි. (3) මේ සිරුරෙහි කෙස් ලොම් නිය දත් සම් යන මොහු වෙති. මෝහයෙන් මේ සිරුරෙහි ඇලුම් කරති. (4) මම අද තත්වූ පරිද්දෙන් මෙහි ඇතුළත ස්වභාවය දකිමි.

මෙහි ඇතුළත ගොනුන් මරන තැනක මෙන් ලේ ද මස් ද සඳමිදුලුද වෙති. (5) මේ පිළිකුල් කටයුතු වූ හරයක් නැති ශරීරයට නින්දා වේවා. මෙය හැම නුවණැත්තන් විසින් දුරුකරන ලද්දකි. හැම අඥානයන් විසින් සෙවුනා ලද්දකි. (6) මම පෙර මෙවැනි කුණු කයක ඇලී සිටියෙමි. විපරීත වූ සිතින් මුළා වී රාගයෙන් මැඩුනේ වෙමි. (7) ශීලය හැරදමා මේ කුණු කයෙහි ඇලුණු මම බුදු සස්න ලැබ නපුරු ජීවිතයක් ගත කළෙමි. (8) මාගේ ප්‍රමාදී ගමනින් සිදුවූ දෙය හැරදමා නැවත පැවිද්ද ලබාගෙන බුද්ධානුශාසනය පිළිපදින්නෙමි. (9) රාග, ද්වේෂ, මලාදි ක්ලේශයන්ගෙන් කිලිටි වූ මම සදහම් තොටට ගොස් ඒ කිලිටු සෝදා හරින්නෙමු. (10) මෙසේ සිතා හෙතෙම සිත දැඩි කොට ගෙන සංවේග භයින් තැවුනේ පැවිද්ද සඳහා සිත යොමු කළේය.

හෙතෙම මෙසේ සිතා අශුභ සංඥාව මෙනෙහි කොට ඒ ස්ත්‍රිය මවගේ ගමට ගෙන ගොස් නවත්වා ‘චිත්තගෝ’ නැමැති විහාරයට ගොස් එහි වසන ෂඩභිඥාලාභී සිග්ගව නම් තෙරුන් වෙත එළඹ පැවිද්ද ඉල්වීය. (11) ‘ක්ලේශ නමැති ග්‍රාහක සතුන්ගෙන් යුක්ත වූ දරුණු සංසාර සාගරයෙහි කාමාදී සැඩපහර සතරින් පාවී යන මා දහම් නමැති නැවෙන් බේරාගත මැනවි. (12) මාගේ බැමි සිඳීම සඳහා මට බුද්ධ ධර්මය දෙනු මැනවි. (13) රාග – ද්වේශ – මෝහ ගින්නෙන් නොසන්සිඳුණු දාහ ඇතිව දීර්ඝ කාලයක් සසර ඇවිදින මට දහම් නමැති පැන් දෙනු මැනවි.

(14) නැවත කෙලෙස් ඉපදීම නමැති රෝගයෙන් පීඩිතව ක්ලේශයන් විසින් කනු ලබන මට දහම් බෙහෙත දෙනු මැනවි. (15) ප්‍රපාතයක වැටෙන්ට සිටින්නා වූ අනාථ දූ දුගී වූ මා අනුකම්පා සහගත සිතින් නවත්වාගනු මැනවි. (16) ප්‍රමාදයාගේ වසඟයට පත් මාගේ දෝෂය මා ඉක්මවා ගියේය. ඒ සියල්ල ඉවසා මා පැවිදි කරනු මැනවි. ‘මෙසේ යාච්ඥා කරනු ලැබූ තෙරනම ඔහු පැවිදි කෙළේය. හෙතෙම පැවිදි වී වනයෙහි ගස් මුල් අසල තනිව වසමින් උත්සාහ කරන්නේත් මාර්ගඵලාධිමයක් නොකළ හැකිව පෘථග්ජනයෙක්වම නොබෝ කලකදී කලුරිය කොට ඒ වනයෙහි ගස්කරුවක ඔපපාතික මිනිස් දරුවෙක්ව උපන්නේය.

එක්තරා භික්ෂුනමක් ඔහු දැක ගෙනවුත් චිත්තනාග තෙරුන්ට දැක්වීය. දුටු කෙණෙහිම තෙරනම ඔහු හැඳින ඒ භික්ෂුනමට මෙසේ කීය. (17) ‘මේ ලෙණෙහි තබා මේ ළදරුවා පෝෂණය කරව. මේ තෙම මහා වීරයෙක් ද ධ්‍යානවැඩූ අභිඥාලාභියෙක්ද වන්නේය. (18) මේ තෙම හැම ආගමයන් ඉගෙන බුදු සස්න අවබෝධ කරගෙන ධර්මාර්ථ දෙක්හි දක්ෂ වූයේ, විශාරද වූයේ පරවාදයන් බිඳ බොහෝ තීර්ථකයන් මැඩ පවත්වා ධර්ම මාර්ගය පහදා දී නොයෙක් දෙන පැවිදි කරන්නේය. (20) එක් වරක් වැදූ ලෙයින් වැකුණු ස්ත්‍රිය දැක සංවේගයට පත් හෙතෙම මාර්ග ඵලයන්ට පැමිණෙන්නේය’.

ඒ භික්ෂුනම තෙරුන්ගේ කීම අසා ළදරුවා කාමරයක දමා පෝෂණය කෙළේය. මෙසේ වැඩෙන හෙතෙම සත් හැවිරිදි කාලයෙහි තෙරුන් සමීපයෙහි පැවිදිව රහත් ඵලය ලැබීය. ෂඩභිඥාවන් හා සිවුපිළිසිඹියාවන් ලැබ සියලු බුද්ධ ධර්මය වටහා ගත්තේය. චිත්තාභ තෙරුන් පිරිනිවී පසු හෙතෙම බොහෝ භික්ෂූන්ට ආචාර්යයෙක්ව දිවි ඇතිතාක් සිට පිරිනිවීයේය.

පිරිනිවෙන්ට පෙර සත්තලක් පමණ අහසට නැග අහසෙහි හිඳගෙන මේ ගාථාවන් කීය. (21) ‘බුදුන් දහම් සඟුන් කෙරෙහි හෝ මාර්ගයෙහි හෝ ප්‍රතිපදාවෙහි හෝ යම් කෙනෙකුන්ට සැකයක් ඇත්නම් මා විචාරනු මැනවි’ භික්ෂූහු මෙසේ කිය. (22) බුද්ධාදි රත්නත්‍රයෙහි අපට සැකයක් නැත. ඔබ විසින් පූර්වයේදී කිනම් කර්මයක් කරන ලද්දේද ? අහසෙහිම සිටි හෙතෙමේ මෙසේ කීය. (23) මම පෙර ශ්‍රමණ නම දරන්නා වූ දුශ්ශීලයෙක් වීමි. ප්‍රමාදයට පැමිණි ඒ මම සුරට්ඨපෙදෙසෙහි විසුවෙමි. (24) මම සඟවා නොගත් පව්කම් ඇත්තෙක් වීමි. මාගේ වරද ඉතාප්‍රකට විය. මම පින් රැස් කිරීම පිණිස නොව බුදු සස්නෙහි ජීවිකාව කෙළෙමි.

හැම දෙනම මා භික්ෂූන්ට කටුවක් මෙන් රිදවන්නෙකැයි දැනගත්හ. (26) මෙසේ ප්‍රමාදීව වසන්නා වූ මාගේ අඹුව දරු ගැබ් ඇත්තී විය. වදන්නා වූ ඇය දැක මට කාමහේතුවෙන් භයක් ඇතිවිය. (27) එයින්සසර කලකිරුණු මම චිත්තාභ පර්වතයට ගියෙමි. නැවත පැවිදි වූ මාගේ සිත වනයෙහිම ඇලුණි. (28) එයින් ච්‍යුත වූ මම ඔපපාතිකව මිනිස් දරුවකුගේ රූපයෙන් ගසක කරුවක උපන්නෙමි. (29) මා දුටු එක් භික්ෂු නමක් මා ගෙන ගොස් චිත්තාභ තෙරුන්ට පෙන්වා (ඒ තෙරුන්ගේ අවවාදය ලෙස) කරුණාවෙන් මා පෝෂණය කළේය. (30) වැඩිවිය පත් මම ඒ තෙරුන් සමීපයෙහි පැවිදිව කල් නොයවාම රහත් ඵලය ලැබුවෙමි. (32) සංවේග කටයුතු දෙයෙහි සංවේගයට පත්වීම මෙසේ මහත් ඵලදායි වේයයි ලෝකවිදු වූ බුදුරජ වර්ණනා කෙළේය. (33) මෙසේ ඒ රහත් තෙරනම අහසෙහි හිඳගෙන තමාකළ කර්මයත් කර්ම විපාකයත් ප්‍රකාශ කළේය.

(34) මෙසේ පව්කමෙහි නොයෙක් දොස් ප්‍රකාශ කළ ඒ රහත් තෙරනම සෘÿබලයෙන් අහසෙහි සිටීම හිඳීම හොවීම හා සක්මන් කිරීම පොළොවේදී මෙන් කොට ප්‍රාතිහාර්ය දැක්වීය. මෙසේ ඒ තෙරනම සෘÿබල පෙන්වා පිරිනිවියේය. එහෙයින් ස්වල්ප වුත් සංවේගය යහපත් ගුණ එළවන්නේ යයි දත යුතු.

(කණ්ටකසෝල පටුනෙහි උපන් පට්ටකෝටි විහාරවාසී ආචාර්ය ධම්මනන්දි තෙරුන් විසින් කරන ලද සීහල වත්ථූවේ විසිවෙනි කථාව නිමි)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: